Posted by Taboo on November 9, 2009

කවරක් මැය කොට ගත්තද පසුගිය මාස කිහිපය මුළුල්ලේ ලේඛකයා විසින් යත්නයෙන්ම අත්හළ මාතෘකාවක් වූයේ ස්වකීය වෘත්තීය ජීවිතය හා සබැඳි සිද්ධීන්ය. ඊට හේතුව බොහෝ කාලයකට ඉහත පීඨාධිපතිවරයකු විසින් ‘ඇතුළත ගිනි පිටතට නොදෙන්නැ’යි දෙනු ලැබූ උවදෙසකි. එහෙත් පසුගිය සතියේ දවසක, මූසල උදෑසනක, දරුණු වැසි සහිත කාලගුණය විසින් පාළු කාමරයක හුදකලා කොට තිබියදී සගයකු විසින් පුරසාරම් මුඛයෙන් ප්‍රකාශිත මේ ලිංගික අත්දැකීම සිරකොට තැබීම කුහක කමකැයි ඔහුට සිතුණේය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යනු වෙනස් මැටියෙකින් නිර්මිත මිනිසුන් කොට්ඨාශයක් නොවෙති. ඔවුහුද ලෙයින් මසින් සැදි, මේ ගෙන්දගම් පොළොවේ පය ගසා නැඟී සිටීමට වෙරදරන පෘතග්ජන මනුෂ්‍යයෝය. සරත් විජේසූරිය මහැදුරුතුමන්ගේ ‘මගේ නඩුව ඉවරයි’ නවකතාවෙන් පිළිඹිබු කෙරෙන ලෙසින්ම පටු හැඟීම්වලින් පාලනය කරනු ලබන්නෝය; අපාය සහායකයෝය; කලාතුරෙකින් යහපත් මිනිස්හුය. උපකල්පිත උගත්කම විසින් ඔවුන් අනෙකුන්ගෙන් වෙනස් කරනු ලබන්නේය සිතීම හිතළුවකි.
මගේ වෘත්තීය සගයා වයස තිහකට මඳක් වැඩි විය හැකි කථිකාචාර්යවරයෙකි. විවාපත් වී වසර තුනක් හෝ හතරක් විය හැකිය. දරුඵල ලබා නැත්තේය. දැනට මාස කිහිපයක සිට, රජයේ ආයතනයක සේවය කරන ඔහුගේ බිරිඳ පුහුණුවක් සඳහා එතෙර ගොසිණි. මේ ඉසඹුව කම් සැප ඉල්ලා හඬන තම යව්වන සිරුර සංතෘප්තිමත් කිරීම සඳහා සුදුසු නිදහසට කාරණයකැයි ඔහු කල්පනා කරයි. බොහෝ විට සිදුවන පරිදි ඔහුගේ ගොදුර නවයොවුන් සරසවි දියණියකි.
දඩයක්කාරයා තමාම නොවන බවත්, තමා විසින් කරන ලද්දේ අනෙකෙකුගේ දඩයමින් කොටහක් ඩැහැ ගැනීම පමණක් බවත් ඔහු කියයි.
“දන්නවද කවුද සෙට් කළේ කියල. ඩොක්ටර් …… මිනිහ ඒකිට උගන්නන්නේ ස්ටැටිස්ටික්ස් විතරක්ම නෙවෙන පාටයි.”
මේ දැනට මැදිවිය පසුකරමින් ඉන්නා, කලෙක ලේඛකයාගේද ගුරුවරයකු වූ, දැන් තට්ටය පෑදුනු ජ්‍යෙෂ්ට ආචාර්යවරයෙකි. එකල අපි ඔහුට Student කීමු. අනෙකුන්ට මෙන් වලහා, බූරුවා, තට්ටයා නොකියා ගෞරවාන්විත නාමයක් දුන්නේ ඔහු ඊට නිසි වූ නිසාය. Student Distribution හඳුන්නා දුන් කිසිදා තම නමින් පළ නොකළ පර්යේෂකයා තරමටම සීතලයකු වූ නිසාය. ඩොක්ටර් …… නරක මිනිසෙකැයි මම නොසිතමි. නමුත් තනතුරුවලට, ගෙවල්වලට, යානවාහනයන්ට ලොබ බැඳ ලොක්කන්ගේ දියණියන් කරකාරයට ගන්නා අහිංසකයන්ට ජීවිතය පුරා තම අඹුවන්ගේ සිරකරුවන් බවට පත්වනු මම දැක ඇත්තෙමි. ඩොක්ටර් …… තම සිර මැදුරෙන් පිටත නැවුම් පිච්ච මල් සුවඳක් සොයනවා විය යුතුය.
පාඨකයින් අපේක්ෂා භංගත්වයට පත්විය හැකි මුත් සගයාගේ ලිංගික අත්දැකීම පියවරින් පියවර විස්තර කිරීම අනුචිත යැයි ලේඛකයාගේ කල්පනාවය. ඒ ඔහු අශෝක හඳගම නොවන නිසාය. සිද්ධිය වූ දිනය හෝ වේලාව වැදගත් නොවතුදු ස්ථානය වැදගත්ය. ඒ මා කලින් කී ඩොක්ටර්……ගේ නිල කාමරයය.
ජ්‍යෙෂ්ට ආචාර්යවරයා විසින් “සර්ව හොඳට බලාගන්න” කියා සිය නිල කුටියෙහි තනි කරනු ලැබීමෙන් පසුව, ගම කොහේද, ඉගෙන ගන්නේ මොනවාද, සරසවිය ගැන ඈ සිතන්නේ කුමක්ද වැනි කෙටි පිළිසඳර ප්‍රශ්න කිහිපයකින් පසුව, ඇයම පුරුදුකාරියක ලෙසින් ලිංගික අභ්‍යාසයට අවතීර්ණ වූ බව මගේ සගයා විස්තර කරන්නේ ස්ටැන්ලි කුබ්‍රික්ගේ සිතුවම්පටයකටත් වඩා සජීවී ආකාරයෙනි.
“මාර බඩුවක්. ඒකිට කිසි ගාණක් නෑ බං. කියන්නත් කලින් බ්ලව්ස් එක ගලවන්න යනකොට මුලින්ම මම නැවැත්තුවා. මෙන්න විනාඩි පහකට පස්සෙ එක පාරටම ඔක්කොම ගලවනවා ඒකිම කිසි ගාණක් නැතුව…”
කාමයෙන් අන්ධ වූ මා සගයා නොදකින පසුතලය මම දකිමි. මේ කටයුත්ත වින්දනයක් වන්නේ ඔහුට මිස ඇයට නොවේ. ඇගේ අභිප්‍රාය හැකි ඉක්මණින් එක දාගෙන, කළ යුතු නිසාම කරන මේ අප්‍රසන්න කාරිය අහවර කිරීමය. තම ලිංගික සහකරුවාට ඇඳුම් එකින් එක, කටයුත්තේ තෘප්තිය ඉහළින්ම විඳිමින්, ගලවන්නට ඉඩ දීම නිකරුණේ කාලය වැය කිරීමකි. ස්වේච්ඡාවෙන්ම ඈ ඊට ඉදිරිපත්වන්නේ එනිසාය.
“ඇඳල ඇඳල හමගිය, ඉරිච්චි බ්‍රා එකක් ඇඳගෙන හිටියෙ. මුනුත් අපි ඒ දවස් වල ඇන්ද වගේ තමා තාම අඳින්නෙ…”
“කෙල්ල ලස්සනද?” මා අසන්නේ “කෙල්ල දුප්පත්ද?” අසන්නට බැරි නිසාය.
“අනර්කලී තරම් නෑ. මේ බදුල්ල පැත්තෙ බෝගොඩ පාලම දිහාවෙ පිටිසර ගමක එකියක්නෙ. මූණ නං ගන්ඩ දෙයක් නෑ. ඒත් ඇඟ ලස්සනයි. කළුයි. කෙට්ටුයි. ගැට දොඩම් ගෙඩි දෙකක් තරම් වත් නෑ. නියම ගාන.”
මේ ගම්බද කෙල්ලන් හැම එකියක්ම නොවැඩුණු කෙසඟ සිරුරකට හිමිකම් කියන්නේ මන්දැයි මා සගයා නොදන්නවා විය යුතුය. ගමේ කෙල්ලන් සේම කොල්ලෝද කුඩා කළ නිසි අහරක් නැතිව මන්ද පෝෂණයට ලක් වූවෝය. දරුවන් හයක් හතක් ඉන්නා, දෙමාපියන්ට එක වේලකටවත් පෝෂ්‍යදායී ආහාරයක් නැති පවුල්වල උපත ලබන මොවුන්ගේ මන්දපෝෂණය පටන්ගන්නේ ළදරුවියේදී මව්කිරක් කියා දෙයක් නොලැබීමටත් පෙරාතුව, මව්කුසේදීමය. වැඩිවිය පත්වන කල පිඟානට බෙදෙන කොස් පොළොස් මැල්ලුම්වල, බත්, කිරි, බිත්තර, මස්, මාළු වල ඇති පෝෂ්‍ය ගුණය නැත. කුඩා කල සිට නගරයේ හැදී වැඩී කලාතුරෙකින් විනෝදගමනකට පමණක් කොළඹින් පිටට යන මා සගයා සිතනු ඇත්තේ උන් මේ කෙසඟ සිරුරු තනා ගන්නේ ඕනෑකමින් රූප ලාවන්‍ය උපදෙස් මත ඩයට් කර, සිය පිය බිරිය කරන ආකාරයට සිරුර සකසා ගන්නා උපක්‍රම අනුගමනය කිරීම නිසා කියා විය යුතුය.
සගයා සිසුවියගේ නම මට නොකියන්නට පරෙස්සම් වෙයි. ඇය මගේද සිසුවියක් විය හැකි නිසාය සිතමි. එහෙත් ගමේ විස්තර ඔහු නොදැනුවත්වම ලිස්සූ නිසා අවශ්‍ය නම් මට ලෙහෙසියෙන් ඇය වෙන්කොට ගත හැකිය. මම ඊට නොවෙහෙසෙමි. ශිෂ්‍යාවන් සමඟ මගේ ඇති සබඳතාවය වෙනස්ය. මම “හදන්න බැරි ගණන් අහගන්නට” ඔවුන්ට කාමරයට එන්නට නොකියමි. පැවරුම් අප්‍රසිද්ධියේ නොව ප්‍රසිද්ධියේ අගයමි.
සගයාගේ එකම දුක් ගැනවිල්ල ලිංගික අත්දැකීම පූර්ණත්වයට පත් කර ගැනීමට බැරිවීම ගැනය. ඒ ඇගේ අකැමැත්තක් නිසා නොව ඔහු වෙත කොන්ඩෝමයක් නොතිබුණු හෙයිනි. “ඒත් අවුලක් නෑ. ඩොක්ටර්…… කිව්ව ඕනැ වෙලාවක කියන්න කියල…”
මේ සිද්ධිය බ්ලොගයේ ඇතුළත් කරන්නට වැඩියත්ම මා පෙළඹවූයේ ඉන්පසු ඔහු කියූ දෙයයි.
“මට ඒකි ගැන පව් කියල හිතුන මචං. කීයක් හරි දෙන්න කියල හිතාගෙන හිටියෙ. ඒත් මං වොෂ් එකක් දාගෙන එනකොට ඒකි ගිහින්. මම ඩොක්ටර්……ට රුපියල් දෙදාහක් දීල ආව දෙන්න කියල. ඩොක්ටර් …… නම් කිව්ව ඕනැත් නෑ කියල…”
දැවැන්ත දැනුම් සම්භාරයක්, රැකියාවක් ලබා ගත හැකි උපාධි සහතිකයක් ලබාගන්නට ගමේ සිට එන යුවතියන් නැණවතුන්ට, විද්‍යාර්ථින්ට කෙම් බිමක් වේය කියනු ලබන මේ පරිසරය තුළ කෙතෙක් දරුණු ලෙස සූරාකෑමට ලක්වන්නේද යන්න වටහා ගැන්ම සඳහා මේ කියමන ප්‍රමාණවත්ය සිතමි. ඇගේ ලිංගික පහසෙහි මිළ කණිෂ්ඨ ගුරුවරයකුට රුපියල් දෙදහසකි. ඒද “පව් කියලා හිතෙන” නිසාය. ඇයගේම ජ්‍යෙෂ්ට ගුරුවරයා ඊට මිළක් ගෙවීම පවා අවශ්‍ය නැති ආකාරයේ සිම්පල් දෙයක් බව සිතයි. මෙය මාක්ස් විසින් වත් අර්ථ නොදක්වන ලද ආකාරයේ, වැඩවසම් යුගයේ මිස පූර්ව ධනවාදී යුගයේවත් සිදුවිය නොහැකි ආකාරයක නින්දනීය කුරිරු සූරාකෑමකි. (මේ ලේඛකයා ඇසූ පළමු සිදුවීම නොවේ. නමුත් මින් පෙර මෙවැනි සිද්ධීන් ඔහු අසා තිබුණේ වැඩිකොටම ශිෂ්‍යයකු හැටියට හෝ තෙවන පාර්ශවයක මුවිනි. දඩයම්කරුවාගෙන්ම මේ තරම් විස්තර ඇතිව ඇසූ පළමු වතාවයි මේ.)
මම මේ සිසුවියගේ දෙනෙතින් ලොව දකින්නට උත්සාහ කරමි. ඇය මේ ක්‍රියාවෙහි යෙදෙන්නේ කැමැත්තකින් නොවිය හැකිය. තම මිතුරියන් සේම ඇයද එක පිරිමියකු තෝරාගෙන ඔහු සමඟ හන්තාන කඳු මුදුනේ පැලක් අටවන දිනය ගැන සිහින මවන්නට ආසා කරනවා විය යුතුය. එහෙත් මා නොදන්නා කවර හෝ හේතුවක් නිසා ඇයට මේ කාලකණ්නි ජීවිතය ගත කරන්නට සිදුව ඇත. ඩොක්ටර් …… ඇයට මුදලින් ආධාර කරනවා විය හැකිය. පුංචි කටවල් හතර පහකට බත් කටක් දෙකක් සඳහා මාස්පතා යවන්නට මුදලක් දෙනවා විය හැකිය. නැතිනම් පියකු නැති අඩුව සපුරනවා විය හැකිය. කවරක් කළද ඔහු ඇගෙන් පෙරළා අපේක්ෂා කරන දෑ කවර සමාජයක සදාචාරයට වුව අනුකූල විය නොහැකිය.
මම ජීවිතය තේරුම් ගන්නට උත්සාහ නොකරමි. එබැවින් මේ තවත් අසම්පූර්ණ සටහනක නිමාවය.
සැයු: මෙහි දැක්වෙන චිත්‍රය වානිජමය නොවන කටයුත්තක් (non commercial) සඳහා Creative Commons යටතේ http://igorandandre.blogspot.com/2008/09/prints-update.html ගෙන් ලබා ගන්නා ලදී. ස්තූතියි.
Posted in Uncategorized | Tagged: අනර්කලී, ආචාර්යවරුන්, උපාධිය, කථිකාචාර්ය, කාමය, කොන්ඩෝම, ඩොක්ටර්, පෘතග්ජන මනුෂ්‍යයෝ, මගේ නඩුව ඉවරයි, මන්ද පෝෂණය, ලිංගික අත්දැකීම්, ලිංගික අභ්‍යාසය, විශ්වවිද්‍යාල, සරත් විජේසූරිය, ස්ටැන්ලි කුබ්රික්, සිසුවිය, Condom, Degree Certificate, Education in Sri Lanka, Free Education, Lecturer, Malnutrition, poverty, sex, sexuality, Student Distribution, Student Teacher Sexual Relationships, University Acedemics, University Life | 33 Comments »
Posted by Taboo on November 7, 2009
කනා මිණි වළලු නැඟි රැස් මල් කැණැතී
මනා දිඟු ඇඟිළි නව තඹ ළපලු ඇතී
දනා කැමැති දෙන පළඹත එසුර පතී
දිනා දිමුතු සිරි අතු සුරතුර පැවතී
– සැළලිහිණි සන්දේශය, විභීෂණ දේව වර්ණනාව
පෙර කළ මහ පිනැති, ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ විමල් වීරවංශ මැතිසඳ විබිසණ සුරිඳුන් හා සමවනුයේ, සිරි රහල් හිමියන්ගෙන් ණයට ගත් උපමාවකින් කියැවෙන ලෙසට උහු දෑත් සුරතුරෙහි ශාඛාවන් හා සැසඳිය හැකි හෙයින්ම නොවේ. දක්ෂිණ දේශය අඩවිය කොට ගත් විබිසණ සුරිඳුන් සේම වීරවංශ මැතිඳෝද තම පිළ හැර දමා පසමිතුරු පිළෙහි සරණ සොයා ආවෝය. එසේ අවුදින් තම පැරැණි පිළට “අහා, තෙල සුළුදිය කොල්ලනි, අපට මිස තොපට දිනුම් නොවේය” කියමින් මහත්වූ නිග්‍රහ කළෝය.
මේ සකල සමානතා අතරට තවත් නවමුවක් එක් කෙරෙමින් වීරවංශ මැතිඳෝ දැන් කලකට ඉහත විබිසණ දෙවිරදුන් තම ප්‍රාසාදය ගොඩ නැංවූ කැළණි ගං මිටියාවතෙහිම තම කුටුම්භය උදෙසා කොත් අගට මිණි පැමිණිය රමණීය තෙමහල් පායෙක් ගොඩ නඟමින් සිටිති. රාවයේ අලුගුත්තේරු මාද්දියකාරයින් කියන හැටියට මෙහි ඇස්තමේන්තුගත වියදම රුපියල් වලින් නම් සිව් කෙළක් (පර සුද්දාගේ මිලියන වලින් හතළිහක්) ඉක්මවන්නේය. ඒ ආරක්ෂක පද්ධති හා පිහිනුම් තටාක වැනි සුකුරුත්තම් නැතිවය. ඒවාට තව අමතර වැයක් විය හැකිය. මේ තෙමහල් පායෙහි බිම් මහළෙහි වපසරිය පර්චස් දහයකි. ඉඩම පර්චස් තිහකි. පර්චසයක වෙළඳ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට එපිට මිස මෙපිට නොවන හෝකන්දරිනි. ඉඩමේ වටිනාකමද මේ කෝටි හතරට අමතරවය.
බාල්දුවුණු රුපියල් වලින් පවා කෝටි සතරක් හෙවත් මිලියන හතළිහක් (40,000,000) යනු සුළුපටු මුදලක් නොවෙයි. මසකට රුපියල් 20,000ක ආදායමක් ලබන සාමාන්‍ය රජයේ සේවකයකු ඒ වෙනුවෙන් මාස 2,000ක් එනම් වසර එකසිය හැටහතක් (167) කැඹරිය යුතු වන්නේය. ශ්‍රී ලංකාද්වීපයෙහි මන්ත්‍රීශ්වරයකුගේ මාසික වැටුප සියළු දීමනා සමඟ රුපියල් ලක්ෂයකට ආසන්නය. වසරකට ඒ රුපියල් ලක්ෂ දොළහකි. තමා මන්ත්‍රීවරයකු වූ වසර අට මුළුල්ලේ නොකා නොබී, ඇඳුමක් කැඩුමක් මිළට නොගෙන සිය පවුල සමඟ හෙළුවෙන් පිටකොටුවේ බෝධිය යට නිදාගෙන, දේශයේ දූ පුතුන්ගේ සම්පත් බැංකුවේ සියයට දහසයේ ස්ථිර තැන්පතුවල දමා ඉතිරිකළත් වීරවංශ මැතිඳුන්ට ඉතිරි කරන්නට ලැබෙන්නේ රුපියල් මිලියන විස්සකට හෙවත් කෝටි දෙකකට සමාන මුදලකි.
දේශප්‍රේමී අවංක විමල් වීරවංශ මැතිඳුන් මහාජන මුදලින් රුපියල් කෝටි හතරක් පිල්ලි ගැසුවාය අපි මොහොතකටවත් නොසිතමු. එවැනි ජරා වැඩ කරන්නේ NGO ඩොලර් වලින් වැටුප් ලබන (අපගේද බ්ලොග් සෘහදයන් වන මකබාස්, Beyond Frame, තරංග ජයසේන හෙවත් කූඹියාද ඇතුළු) ඩොලර් කාක්කන්ය. දේශප්‍රේමීන්ට රුපියල් කෝටි හතරක් උපයා ගැනීමට ඕනෑතරම් සම්මා ආජීවයන් ඇත්තේය.
සමහරවිට එය ප්‍රාතිහාර්යයකින් ලැබෙන්නට ඇත. විමල් වීරවංශ මැතිඳුන් දිවා රෑ නැතිව, සීගිරි වන්දනාවකටවත් ඉස්පාසුවක් නොගෙන රට ජාතිය, ආගම රැක ගැනීම සඳහා දරණ උදාර මෙහෙවර ගැන පඬුපුල් අසුන හුණු වූ සක් දෙවිඳුන් හොර රහසේම උහුගේ ගෙදර පිළිකන්නේ කැරට් විසිහතරේ මසු දහසක පැසෙක් දමා ගියා විය හැකිය. නැතිනම් තිස් තුන් කෝටියක් සම්‍යදෘෂ්ටික දෙවි දේවතාවන් රුපියල ගණනේ හැට් කලෙක්ශන් පාරක් දමා ඒ මුදල ඔහුගේ ගිණුමට බැර කළාද විය හැකිය. එසේද නොමැතිනම් සිව් මහ බඹුන් පෙළහර පා වීරවංශ මැතිඳුන් බැහැර කෙරෙන අසුචි, සිරුරු කිස නිමවන මොහොතේම දඹ රත්තරන්වලට පරිවර්තනය කළ දුන්නාද නොවෙන්නටම බැරිය.
අනෙක් අතට මේ මුදල වීරවංශ මැතිඳුන්ගේ පිය ඇඹෙනිය වූ ශීර්ෂා උදයන්ති රණසිංහ හෙවත් ශෂී වීරවංශ මැතිණියන් විසින් සෙව්වාද විය හැකිය. රාවය කියන හැටියට නම් ඇයට රැකියාවක් හෝ ව්‍යාපාරාදී ආදායම් මාර්ගයක් නැත. ඇය බඳු රුවැති කතකට මසුරන් සොයන්නට රැකියාවක් හෝ ව්‍යාපාරයක් ඇවැසි නැති බැව ඒ උපන්ගෙයි මෝඩයෝ නොදනිති. එක රැයකට ඇය වැනි සුන්දර ළඳකට කොපමණ මුදලක් උපයා ගත හැක්කේද? ලෙහෙසියෙන්ම ඇයට දිනෙකට රුපියල් විසි දහසක පමණ ආදායමක් ලබා ගත හැකිවනු ඇත්තේය. ඉතින් රුපියල් කෝටි හතරක් සෙවීම මහ කජ්ජක්යැ? ඉදින් වීරවංශ මැතිඳුන්ට මහාජන මුදල් ගසා කන්නට කවර නම් අවශ්‍යතාවයක් වේද? උහු එසේ කළාය චෝදනා කරන්නන්ගේ මුඛයන්හි ශෂී වීරවංශ මැතිණියන්ගේ පියොවුරු වලටද වඩා විශාල ගෙඩි හට නොගත යුත්තේද?
විමල් වීරවංශ මැතිඳුනට ප්‍රාතිහාර්යයෙකින් මේ සිව් කෙළක් ධන සම්භාරය පහළ වන්නට ඇත්තේ හෝ උහු ඇඹෙනිය විසින් ඒ මුදල උපයන්නට ඇත්තේ මැතිඳුන් “කම් ඕ, ගෝ චිකාගෝ” කියා ජනතා විමුක්ති පෙරමුණින් රජ වාසලට බඩ පිණුමක් ගැසුවාට පසු වන්නට ඇතැයි අපගේ අවංක කල්පනාවය. මක් නිසාද යත්, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීශ්වරයන්ට වැටුප් ලබා ගැනීම තහනම් කොට ඇති බැව් අප අසා ඇති හෙයිනි. උන්ගේ ඉපැයීම් සියල්ල පක්ෂ අරමුදලට යායුතුලු. කුටුම්භ රක්ෂණයට බර පැණ සැපයෙන්නේ පක්ෂයෙන්ලු. (සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීශ්වරයාට නම් අනෙකෙකු විසින් ගැබ්බර කරන ලද ළඳක් භාර්යාව හැටියට දායාද කොට දුන්නේද පක්ෂයයි. කෙසේවෙතත් ඒ අතුරු කතාවෙකි.) ඉදින් වීරවංශ මැතිඳුන්ට පුද්ගලික වස්තූන් කොහි වෙයිද?
මහ පිනැති විමල් වීරවංශ මැතිසඳ දේශප්‍රේමය විකොට මසුරන් ඉපැයීය යන චෝදනාව අප අළුයම ලූ කෙළ පිඬක් සේ බැහැර කරමු. පර සුද්දන්ට මේ රට සූරාකෑමට ඉඩ නොදීමෙන් උහු කරන ලද මහඟු සේවාව කෙතරම්ද? මව්බිම ලංකා පදනමේ (දොන්) ආරියසීල (ඩි සිල්වා) වික්‍රමනායකලා, කුලතුංග රාජපක්ෂලා, වේගපිටියලා උන් කරන ලද මේ සේවාව සලකා බලා වැඩිම උනොත් දරුවකුට පොල් ටොපියක් දෙකක්, මිළෙන් අඩු DSI සපත්තු කුට්ටමක් හෝ ගෙදර පාවිච්චියට ගෑස් සිලින්ඩරයක් දෙන්නට ඇත. එසේ නැතිව දේශප්‍රේමය වෙන්දේසි කොට අසදාචාරාත්මකව සිව් කෙළක් ධනය සොයන්නට තරම් අමනයකු නොවේ වීරවංශ මැතිසඳ. එවැනි මාටියා ගැසීම් කළේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේලාය; රවි කරුණානායකලාය; නිමල් සිරිපාල ද සිල්වලාය. දේශප්‍රේමී විමල් වීරවංශ මැතිසඳ සර්ෆ් එක්සෙල් වලින් නහවා ගත් ආකාරයේ පාරිශුද්ධ පොලිතීසියෙකි. මහාජන මුදල් මාටියා ගසනවාට වඩා පිය බිරිඳ වෛශ්‍යා වෘත්තියෙහි යොදවා කුටුම්භ රක්ෂණයෙහි නියැලීම නම්බුකාර බැව් ඔහු නොදන්නෙහිද?
අපිදු ගරු විමල් වීරවංශ නම් වූ පින්බර කෝටිපති පොලිතීසියාට සුබ ගමන් පතමු. එමතු නොව අපගේ දේශප්‍රේමී පාඨකයන්ට උන්ට සුබ පැතීම උදෙසා කමෙන්ටු තීරුවද විවර කොට ඇත්තේය.
Posted in Uncategorized | Tagged: Ariyaseela Wickramanayake, කුලතුංග රාජපක්ෂ, කූඹියා, ජනතා විමුක්ති පෙරමුණ, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, ඩොලර් කාක්කන්, තරංග ජයසේන, දේශප්‍රේමය, දොන් ආරියසීල ඩි සිල්වා වික්‍රමනායක, නිමල් සිරිපාල ද සිල්වා, මව්බිම ලංකා පදනම, රවි කරුණානායක, රාවය, විභීෂණ, විමල් වීරවංශ, වේගපිටිය, ශෂී වීරවංශ, ශීර්ෂා උදයන්ති රණසිංහ, සම්පත් බැංකුව, සර්ෆ් එක්සෙල්, සැළලිහිණි සන්දේශය, සිරි රහල් හිමියන්, සුනිල් හඳුන්නෙත්ති, සුරතුර, Beyond Frame, DSI, Jeyaraj Fernandopulle, JVP, Kulathunga Rajapaksha, NGO, Nimal Siripala De Silva, Patriotism, Ravaya, Ravi Karunanayake, Sampath Bank, Shashi Weerawansa, Sheersha Udhayanthi Ranasinghe, Sunil Handunnetti, Surf Excel, Vibheeshana, Wimal Weerawansa, Wimal Weerawansa's house | 34 Comments »
Posted by Taboo on October 30, 2009

ඩුං ඩුං ඩුං
මහ රජ්ජුරුවන් වහන්සේගේ අනඥාවනුකූලව අලහප්පෙරුම නිලමේ තුමා, වීරවංස නිලමේ තුමා හා යාපා නිලමේ තුමා මාර්ගයෙන් හුදීජන බලු ගැත්තන්ට කරනු ලබන ආරඤ්චියයි. ලොකු ඕනෑකමකට පුරාණ රථචක්‍ර (පරණ ටයර්) තොගයක් මහ රජවාසලට ඕනෑය. මෙව්වා රජවාසලට ඇන්න එන හුදී ජනයින්ට පඬුරු පාක්කුඩම්ද රජවාසලේ මුළුතැන්ගෙයින් කට්ට කරවල හොදි, තම්පලා මැල්ලුම් සමඟ හීල්බත් ගෙඩියක්ද ලැබෙනවා ඇත.
ඩුං ඩුං ඩුං
Posted in Uncategorized | Tagged: අණ බෙරය | 7 Comments »
Posted by Taboo on October 25, 2009
මේ කවුද? මොනවද කරන්නෙ?
1978දී අපේ රටට හඳුන්වා දෙනු ලැබූ විධායක ජනාධිපති ක්‍රමය පළමුවරට බරපතළ ලෙස විවේචනය කළ දේශපාලනඥයා ආචාර්ය එන්. එම් පෙරේරාය. එන්. එම්. මියගියේ 1979දීය. මේ කෙටි කාලය තුළ ඔහු විධායක ජනාධිපති ක්‍රමයේ ගැටළු ඉතා පැහැදිළි ලෙස දක්වමින් පොත් පිංචක් ලියා තිබේ. අද අප දන්නා අරුතින් මාක්ස්වාදියකු නුවුවද එන්. එම්ට බ්‍රිතාන්‍යයේ එවකට කම්කරු පක්ෂයේ ලයින් එකට සමාන්තරව ගිය, අවිගත් විප්ලවය වෙනුවට, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා වාමාංශික දේශපාලන දැක්මක් තිබුණේය. ඔහු කිසිම අත්දැකීමක් නැතිව විධායක ජනාධිපති ක්‍රමයේ ලුහුඬුතා දුටුවේ මේ ඉවෙනි. විධායක ජනාධිපති ක්‍රමය අද විවේචනය කරන බොහෝදෙනකු එහි වැරදි දුටුවේ එන්. එම්ට බොහෝ පසුව තමන්ටම හොම්බ බිම ඇනෙන්නට වැදුණු පසුය.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රාජ්‍යපාලනය සඳහා මිනිසා විසින් නිර්මාණය කරගත් හොඳම ක්‍රමයක් සේ සැලකිය හැකිය. සියයට සියයක් නිවැරදි නුවුවද, එය අන් කිසිදු විකල්ප පාලන ක්‍රමයකට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලකයන්ගේ හැසිරීම පාර්ලිමේන්තුව මඟින් සීමා කරයි. බ්‍රිතාන්‍යයේ අගමැතිවරයාට හෝ ඉන්දීය අගමැතිවරයාට ලැබී ඇති බලතල ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට නීතියෙන් ලැබෙන බලතල වලට වඩා බෙහෙවින් අඩුය. Power corrupts and absolute power corrupts absolutely කියා කීවේ Animal Farm නවකතාවේ ජෝර්ජ් ඕවල්ය. විධායක ජනාධිපති ක්‍රමය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මෙන් නොව දරුණු ලෙස පාලකයන්ට නීතිය තම අතට ගන්නට ඉඩ ඇති මෙවලමක් සේ දකින්නට එන්. එම්. මේ ප්‍රකට කියමන පදනම් කොට ගත්තා විය හැකිය.
එන්. එම්. බොහෝ දුරට නිවැරදි විය. එතෙක් මෙතෙක් විධායක ජනාධිපති ධුරය දැරූ හැමදෙනාම පාහේ හිතුවක්කාර ලෙස නීතිය තම අතට ගත්හ. එය මෙතෙක් දරණ ලද දුර්වලම පුද්ගලයාද, ඊට මහජන ඡන්දයෙන් පත් නොවූ එකම පුද්ගලයාද වන ඩී. බී. විජේතුංග පවා තම ව්‍යාපාරික හිතවතුන්ට උදව් කිරීම සඳහා විධායක ජනාධිපති පදවිය සතු බලතල වැරදි ලෙස භාවිතා කළේය. (බොහෝ දෙනකු නොදන්නවාට විජේතුංගගේ පාලන සමය අතිශයින් දූෂිත එකකි. එකම වෙනස හම්බකර ගත්තේ ඔහු නොව එක්සත් ජාතික පක්ෂයේ අනෙකුන් වීමය. මහරාජා බඳු යූ ඇන් පී හිතැති වෙළඳ ව්‍යාපාර මේ යුගයේ ලද අතිරේක රාජ්‍ය අනුග්‍රහය අපමණය.) අනෙකුන් ගැන කියනුම කවරේද?
එන්. එම්ට නොතිබුණු ජනාධිපති ක්‍රමය පිළිබඳ දශක තුනකට වැඩි අත්දැකීම් දැන් අපට ඇත්තේය. ඒ නිසා ඒ ගැන වඩා නිවැරදි තීන්දුවක් ගන්නට දැන් අපට හැකිවිය යුතුය.
විධායක ජනාධිපති ක්‍රමය භයානක බැව් සත්‍යයක් මුත්, අනෙක් අතට අප අත් දුටුවක් නම් ලංකාව වැනි රටක විධායක ජනාධිපති ක්‍රමයක් නැතිව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් යටතේ පවා පාලකයකුට අවශ්‍ය නම් අන්තනෝමතික ලෙස හැසිරීමට බැරිකමක් නැති බවයි. උදාහරණ හැටියට 1970-77 කාලය තුළ සිරිමා බණ්ඩාරනායකගේද, ඊට සමාන්තර වකවානුවක හදිසි නීතිය යටතේ ඉන්දිරා ගාන්ධිගේද හිතුවක්කාර හැසිරීම් දැක්විය හැකිය. මේ කිසිම වගකීමකින් තොරව පිස්සු කෙළින්නේ විධායක බලැති ජනාධිපතිවරුන් නොව පාර්ලිමේන්තුවට වගකිවයුතු අගමැතිනියන්ය.
මෙසේ විය හැක්කේ කෙසේද යන්න ඉතාම සරලව පහදා දිය හැකිය. මහා බ්‍රිතාන්‍යයේ පශ්චාත් ධනවාදී සමාජය වෙනුවට දකුණු ආසියාවේ තවමත් ඇත්තේ ප්‍රාථමික වැඩවසම් සමාජයකි. ඒ වැඩවසම් සමාජයේ පුරවැසියා සතු සිවිල් බලය හීනය. දේශපාලන අවබෝධය අවමය. මේ දුර්වලතාවයන් දඩ මීමා කරගන්නා පාලකයන්ට හිතුවක්කාර ඒකාධිපති පාලනයක් ගෙන යාමට ක්‍රමය කුමක් වුවද එය ගැටළුවක් නොවේ. උදාහරණයක් හැටියට සිරිමා බණ්ඩාරනායක අගමැති හැටියටත් ජේ. ආර් ජයවර්ධන විධායක ජනාධිපති හැටියටත් ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය කළ කලාවේ කිසිම වෙනසක් වූයේ නොවේ. 1971 ජවිපෙ සමූලඝාතනය ඇසින් දුටුවන්ගේ මතය එය 1989දී කරන ලද මර්ධනයටත් වඩා අතිශයින් සැහැසි වූ බවයි. (ජවිපෙ ත්‍රස්තවාදීන් පූස් පැටියන් යැයි මෙයින් අදහස් නොකෙරේ.) එසේම මහජන කැමැත්තක් නොලබා තම ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කර ගැනීමටද සිරිමා බණ්ඩාරනායකට ජනාධිපති විධායක බලතල අවශ්‍ය වූයේ නැත. නිරායුධ විරෝධතාවන්ට වෙඩි තබමින් 1974දී යාපනයේදී තරුණයන් එකොළොස් දෙනකුද, 1976දී පේරාදෙණිය සරසවියේ වීරසූරිය ශිෂ්‍යයාද මරා දමන ලද්දේ අද විධායක ජනාධිපති සතු බලතල කිසිවක් නැතිවය.
එසේම අපට ඇති තව අවබෝධයක් නම් පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂය බලයට පැමිණි කල්හි විධායක ජනාධිපති පදවියේ පවා තටු එක්තරා මට්ටමකට සිඳෙන බවයි. එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ බල බිඳෙනු අපි දුටිමු. බලය තිබුණේ සාමාන්‍යයෙන් නාමික පදවියක් සේ ගැනෙන අගමැති ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ අතය. තම ඇමති පදවි තුනක් ඇය විසින් උදුරාගත් අවස්ථාවේ උද්ධච්ඡ නොවී ඥාණාන්විතව කටයුතු කළේ නම් වික්‍රමසිංහට තවදුරටත් ඇය සීමා කිරීමට ඉඩ තිබුණේය. මේ බල තුලනය වැළකුණේ වික්‍රමසිංහගේ දුර්වල රාජතාන්ත්‍රිකභාවය නිසා මිස ක්‍රමයේ වරදක් නිසා නොවේ.
මේ දීර්ඝ අටුවාව අද සිදුවෙමින් පවතින කතාබහට අතිශයින් වැදගත් වේ.
විධායක ජනාධිපතිකම මොහොතකට අමතක කොට මිලිටරි ආණ්ඩුක්‍රමය දෙසට හැරෙමු. වාසනාවකට මෙන් අපේ රටේ මිලිටරි පාලනයක් තවම ඇති වී නැත්තේය. එනිසා අපට මේ ගැන අධ්‍යයනය කළ හැක්කේ නුදුරු පාකිස්තානයේ, බංග්ලාදේශයේ හා බුරුමයේ අත්දැකීම් ආශ්‍රයෙනි.
මිලිටරි ආඥාදායකත්වයක් අප දන්නා සියළුම පාලන ක්‍රමයන්ට වඩා භයානක විය හැකිය. කෙතරම් ප්‍රාථමික වුවද රාජාණ්ඩුවක වුව රජතුමන්ගේ හැසිරීම එක්තරා මට්ටමකට ජන සම්මතය මඟින් පාලනය කොට තිබේ. උදාහරණයක් හැටියට මහනුවර අවසාන සමයේ රජකළ නායක්කර් වංශික රජුන්ට පවා බහුතර ජනතාවගේ ආගම නොපිළිගෙන නොසිටිය හැකි විය. එහෙත් මිලිටරි අඥාදායකත්වයකට මේ සීමා බල නොපායි. බුරුමය බහුතර බෞද්ධ ජනගහණයක් වෙසෙන රටක් වීම එරට කිතුණු හමුදා පාලනයට ප්‍රශ්නයක් නොවේ.
මිලිටරි පාලනයේ භයානකත්වය වටහා ගැනීමට පාකිස්තානයේ සියා-උල්-හක්ගේ හැසිරීම පමණක් වුව ප්‍රමාණවත්ය. ඔහු ඉතා දරුණු ලෙස පූර්වගාමියා වූ සුල්ෆිකාර් අලි භුට්ටෝ මරා දමයි. ඒ නාඳුනන තුවක්කුකරුවකු ලවා නොව රටේ නීතිය අන්තනෝමතික ලෙස තම අතට ගැනීමෙනි. සමස්ත අධිකරණ පද්ධතියම මෙහිදී සියා-උල්-හක්ගේ අවශ්‍යතා අනුව සේවය කරයි. මේ මරණයට පත් කෙරෙන්නේ පාකිස්තානු ජනතාව වැඩිඡන්දයෙන් තෝරා පත්කොට ගන්නා ලද අගමැතිවරයකු බව සැලකුව මනාය. ඒ සඳහා භුට්ටෝට එරෙහිව නඟන චෝදනා වලට සමාන චෝදනා අවශ්‍ය නම් (උදාරණයක් හැටියට) ලංකාවේදී චන්ද්‍රිකා කුමාරතුංගට හෝ රනිල් වික්‍රමසිංහට එල්ල කළ හැකිය. භුට්ටෝට වඩා පහසුවෙන් මොවුන් එල්ලා මැරිය හැකිය. එහෙත් මිලිටරි ආඥාදායකත්වයේ බලය ඒය. දේශීය හෝ අන්තර්ජාතික වශයෙන් ඒ බලය ප්‍රශ්න කළ හැකි කෙනකු නොවේ. ඉතාම දැඩි අන්තර්ජාතික පීඩනයක මුහුණ දෙමින් වුවද බුරුමයේ පාලක ජුන්ටාව තම බලය රැකගනී.
මේ අත්දැකීම් ඇසුරින් අපට පැහැදිළි වන්නේ කොයිතරම් වැරදි තිබුනද විධායක ජනාධිපතික්‍රමය මිලිටරි අඥාදායකත්වයකට වඩා ප්‍රජාතන්ත්‍රවාදී බවය. විධායක ජනාධිපති ක්‍රමයේ ඇති වැරදි නිවැරදි කරගත හැකි වෙනත් ආකාර තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙන් checks and balances ක්‍රමයක් ඇති කිරීම එක් ආකාරයකි. මේ රාජ්‍ය බලය බෙදීමේ ක්‍රියාවලිය තුළින් එක් ආයතනයක/පදවියක බලය වෙනත් ආයතනයක් මඟින් සූක්ෂ්ම ලෙස පාලනය වේ. එසේ නොමැතිව විධායක ජනාධිපති ක්‍රමයේ වැරදි නිවැරදිකිරීම සඳහා මිලිටරි අඥාදායකත්වයක සරණ සොයා යාම ඉඟුරු දීලා මිරිස් ගැනීමට හෝ මූණ සමඟ තරහට නහය කපා ගැනීමට වඩා භයානකය. හුදෙක් ප්‍රභාකරන්ට එරෙහි යුද්ධය ජයග්‍රහණය කිරීමේ ආහ්ලාදයෙන් හෝ පුද්ගල වෛරයක් නිසා මිලිටරි ඒකාධිපතියකුට නැඟෙන්නට ඉඩ දිය යුතු නොවේ. එය රටක් ලෙස අප සිටින පසුගාමී ලක්ෂ්‍යයෙන්ද පසුපසට පැනීමකි.
එසේම මිලිටරි ආඥාදායකත්වයක් අවි බලයෙන්ම ඇති විය යුතු නොවේ. මැතිවරණයක් පවා එවැන්නකට මඟ පාදයි. ඇඩොල්ෆ් හිට්ලර් නාසි ජර්මනියේ චාන්සලර් වන්නේ හමුදා කුමන්ත්‍රණයකින් නොව පොදුජනතාවගේ කැමැත්ත ඇතිවය. පොදු ජනතාව විසින් යහපත් අරමුණින් යුතුව ලබාදෙන කැමැත්ත හමුදා නායකයකුට ඉතාම ලෙහෙසියෙන් තම වාසියට හරවා ගත හැකිය. එසේවන්නේ සාමාන්‍ය දේශපාලකයකුට මෙන් නොව හමුදාව තුළින්ම බිහිවූ නායකයකුට යම්තාක් දුරකට යුද්ධ හමුදාව හැසිරවීමේ ශක්‍යතාවයක් ඇති නිසාය. මේනිසා ජන සම්මතවාදයට පිටුපෑම එවැන්නකුට වඩා පහසුය. මෙවැනි උදාහරණ අවශ්‍ය තරම් අප්‍රිකානු රටවලින් හමුවේ. අප්‍රිකාවේ පසුව සැහැසි ඒකාධිපතියන් බවට පත්වූ බොහෝ මිලිටරි නායකයින් මුලින්ම කරළියට ඇවිත් ඇත්තේ මහා ජනහිතකාමීන් ලෙසය. මේ බැටළුවන් වෘකයින් බවට පරිවර්තනය වන්නේ පසුවය.
මේ රටේ දේශපාලන විපක්ෂය දැන් කෙතෙක් ඉච්ඡා භංගත්වයකට පත්වී ඇත්ද යත් රට දරුණු මිලිටරි ආඥාදායකත්වයට ලක්විය හැකි දැඩි අවදානම් උපක්‍රම පවා අත්හදා බැලීමට උත්සාහ දරණ සෙයක් පෙනේ. රට වැඩවසම් රාජාණ්ඩුවක් කරා ඇදීයාම වැළක්වීම කෙතෙක් අවශ්‍ය වුව එයින් අදහස් වන්නේ මෙරට මහජනතාව මේ දේශපාලන පක්ෂයන්හි ඉච්ඡා භංගත්වය තමන්ගේ එකක් බවට පත්කොටගෙන කබලෙන් ලිපට වැටිය යුතු බව නම් නොවේ. රනිල් වික්‍රමසිංහට හෝ සෝමවංශ අමරසිංහට මිස අපට එවැනි පිස්සුවක් නැත.
Posted in Uncategorized | Tagged: ආචාර්ය එන්. එම් පෙරේරා, ඉන්දිරා ගාන්ධි, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ජේ. ආර්. ජයවර්ධන, ඩී. බී. විජේතුංග, දකුණු ආසියාව, පශ්චාත් ධනවාදී සමාජය, ප්‍රජාතන්ත්‍රවාදය, පාකිස්තානය, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය, බංග්ලාදේශය, බුරුමය, මහරාජා, මිලිටරි අඥාදායකත්වය, රනිල් වික්‍රමසිංහ, විධායක ජනාධිපති, විධායක ජනාධිපති ක්‍රමය, විධායක ජනාධිපතිකම, සියා-උල්-හක්, සිරිමා බණ්ඩාරනායක, සිවිල් බලය, සුල්ෆිකාර් අලි භුට්ටෝ, Bangladesh, Burma, Chandrika Kumaratunga, checks and balances, D. B. Wijetunga, Democracy, Dr. N. M. Perera, Executive Presidency, Executive President, Indira Gandhi, JVP, Maharaja, Military Dictatorship, Muhammad Zia-ul-Haq, Pakistan, Post Capitalist Society, Ranil Wickremasinghe, Sirima Bandaranaike, South Asia, UNP, Zulfikar Ali Bhutto | 34 Comments »
Posted by Taboo on October 24, 2009

වික්ටර් අයිවන්ට අනුව, ප්‍රභාකරන් තම ජීවිතයේ කරගත් ලොකුම ගොන්කම් තුනෙන් එකක් නම් රටේ පොදු ජනතාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමය. මධ්‍යම රාත්‍රියේ මායිම් ගම්මාන වලට පැන අත දරුවන්ද නොඅතහැර, නිරායුධ අහිංසක ජනතාව කැතිගාන විට, බස් රථයන්හි බෝම්බ තියා අහඹු ලෙස සිවිල් වැසියන් මරා දමන විට සමස්ත ජනතාව ‘පොදු සතුරාට’ එරෙහිව පෙළ ගැසෙනු නොවැළැක්විය හැක්කේය.
ප්‍රභාකරන් කරගත් මේ ගොන්කමම දැන් ජනතා විමුක්ති පෙරමුණද නැවත වාරයක් කරගනිමින් සිටී. ‘නැවත වාරයක්’ කියන්නේ ජවිපෙ මේ ගොන්කම කළ පළමු වතාව නොවන නිසාය. 1989දී මේ වරද කළවුන් වැඩි හරියක් කෙළවර වූයේ ටයර්වලය. නමුත් අප දන්නා පරිදි ජෙප්පන් යනු යමක් ඉගෙන ගන්නා කොටහක් නොවේ. (චන්ද්‍රිකා කුමාරතුංග ගෙන්ද, මහින්ද රාජපක්ෂගෙන්ද ඉල්ලාගෙන කෑමෙන් අනතුරුව දැන් රනිල් වික්‍රමසිංහගෙන්ද, සරත් ෆොන්සේකාගෙන්ද ඉල්ලාගෙන කෑමට සැරසෙන මොවුන්ට අත්දැකීම්වලින් ඉගෙන ගැනීම පිළිබඳව බරපතළ ගැටළු තිබෙන බව පැහැදිළිය.)
තම ආධිපත්‍යය ඇති වෘත්තීය සංගම් කිහිපයක් හරහා රටේ ඉන්ධන සැපයුම අඩාල කරන විට ජවිපෙ නායකයින් සිතනු ඇත්තේ රිදෙන්නේ මහ රජාණන්ට බවය. මහ රජාණන්ට රිදේ නම් ලේඛකයාද සතුටුය. නමුත් මේ අබග්ගය මදුරුවකු කෑ තරමටවත් රජතුමාට දැන්නේ නැත. එයින් රිදෙන්නේ වෙන කාටවත් නොව පොදු ජනතාවටය. ඒද ධනපතියන්ට නොව පුංචි මිනිසුන්ටය.
ඉන්ධන හිඟයෙන් ඉතාම දැඩිලෙස පීඩා විඳින ජන කොට්ඨාශයක් නම් තෙසක් සැරි රියැදුරන්ය. අනෙකුන්ට ඒ සුළු අපහසුවක් පමණක් විය හැකිවුව මොවුනට තම එදාවේල අහිමි වීමකි. ජවිපෙට එය ගැටළුවක් නොවේ. ඔවුනට අනුව තෙසක් සැරි රියැදුරන් යනු ධනපතියන්ය. අනෙක් අතට විජේවීර සහෝදරයා 1989දී කීවේ විප්ලවය සඳහා රටේ පොදු ජනතාව ‘ටිකක් දුක් වින්දාට කමක් නැති’ බවය. ‘ටිකක් දුක් විඳීමට’ කැමති නොවූ ජනතාව හුජ්ජා කිරීමේ නිදහස උදෙසා හමුදාවන්ට ‘ටිප් එක’ දුන්නෝය. ගෝනි බිල්ලන්ට ඇන්දෝය. (එහිදී නම් සිංහල ජනතාව දෙමළුන්ට වඩා බෙහෙවින් ඥාණවන්තව කටයුතු කළහ. දෙමළ ජනතාවද එසේ ඥාණාන්විතව කටයුතු කළේ නම් LTTE ව්‍යසනය මීට බොහෝ කාලයකට ඉහත කම්මුතු කිරීමට ඉඩ තිබිණි.)
මේ ලියන සෙනසුරාදා රාත්‍රිය වන විට කොළඹ ඉන්ධන අලෙවිහල් 174කින් 160ක් වැසිලාය. මහා මාර්ගයන්හි මෝටර් රථ ධාවනයේ කැපී පෙනෙන අඩුවක් ඇත්තේය. හෙට දිනය තුළ මේ ගැටළුවට විසඳුමක් නොලැබෙන්නේ නම් ලබන සඳුදා ජන ජීවිතය අඩාලවනු නොවැළක්විය හැක්කේය. ඒ මහ රජාණන්ගේ ජීවිතය නොවේ. උන් වහන්සේ මේ වන විට වියට්නාමයේ සුපිරි හෝටලයක අතුරුපස වළඳනවා හෝ සුන්දරියක අතින් ගෙන මධුවිත තොළගානවා විය හැකිය. සඳුදා පාසල් නොයනු ඇත්තේ, රෝහිත බේබි නොව මේ රටේ පොදු ජනතාවගේ දරුවන්ය. එදාවේල සරිකර ගත නොහී බඩ සයින් නින්දට යනු ඇත්තේ දිළිඳු මෑණිවරුන් පියවරුන්ය. වැලි වැටෙනු ඇත්තේ ධනපතියන්ගේ නොව පොඩි මිනිහාගේ බත් පතටය. මේ පොතේගුරු මාක්ස්වාදීන්ගේ රෝමෑන්තික වැඩ වර්ජනයක් නොවේ. පොඩි මිනිහාගේම බොටුව සිත් පිත් නැති ආකාරයෙන් මිරිකන වැඩ වර්ජනයකි.
මේ සියල්ල මෙසේ සිදුවන තුර රනිල් වික්‍රමසිංහගේ යූ. ඇන්. පියද කටේ පිට්ටු හිරකරගත් උගුඩුවකු සේ බලා ඉන්නේය. වික්‍රමසිංහගේ මේ මොහොතේ අවශ්‍යතාවයද ජවිපෙ ආත්මාර්ථකාමී පාදඩ අවශ්‍යතාවයට දෙවැනි නොවේ. එනයින් ජවිපෙ පමණක් නොව වික්‍රමසිංහද මේ රටේ ජනතාවට කොකා පෙන්නීමට පටන්ගෙන ඇත. මෙයින් අදහස් කරන්නේ වික්‍රමසිංහ මෙයකළ පළමු අවස්ථාව මේ බැව් නොවේ. මොහු සෝමවංශ අමරසිංහ තරමටම ජනතාවගේ ඕනෑ එපාකම් ගැන නිර්වින්දිත චරිතයකි. වික්‍රමසිංහට මේ මොහොතේ අවශ්‍ය වන්නේ තම සමරිසි සගයන් සමඟ සිරියහනට පැන, පොඩි සොමියක් ගැනීම හෝ මුතුහෙට්ටිගම වයින් කොට මොන්ටිසෝරි ශිෂ්‍යයකුසේ මෝඩ චූන් එකක් ගැනීම විය හැකිය. රටේ පොදු ජනතාවගේ හද ගැසීම මොවුන් කිසිවකුට දැනීමක් නොවේ.
ජවිපෙට සේම එජාපයටද තමන් කැමති ඕනෑම ආකාරයක නිරායුධ දේශපාලනයක නිරත වීමේ අයිතිය ඇත. නමුත් ඔවුන් ඒ අයිතිය පොදුජනතාවගේ නිදහසට බාධාවන ආකාරයෙන් යොදාගනු ලබන්නේ නම් ප්‍රතිඵල දරුණු විය හැකිය. මේ රටේ ජනතාවට විධායක ජනාධිපති ක්‍රමයට වඩා බරපතළ ප්‍රශ්න ඇති නිසාය. ජවිපෙ හා එජාපය තමන්ගේ කාලතුවක්කු හරවන්නේ රටේ පොදු ජනතාව වෙත නම් ෆොන්සේකා නොව ෆොන්සේකාගේ අප්පොච්චි පොදු අපේක්ෂකයා කළත් සිදුවනු ඇත්තේ ඇපත් නැතිවීම පමණකි.
Posted in Uncategorized | Tagged: චන්ද්‍රිකා කුමාරතුංග, ජනතා විමුක්ති පෙරමුණ, ජවිපෙ, තෙසක් සැරි රියැදුරන්, ප්‍රභාකරන්, පොදු අපේක්ෂකයා, පොදු ජනතාව, මහින්ද රාජපක්ෂ, මුතුහෙට්ටිගම, රනිල් වික්‍රමසිංහ, රෝහණ විජේවීර, වික්ටර් අයිවන්, විධායක ජනාධිපති ක්‍රමය, සරත් ෆොන්සේකා, Chandrika Kumaratunga, Executive Presidency, General Public, Janatha Vimukthi Peramuna, JVP, LTTE, Mahinda Rajapaksha, Muthuhettigama, Ranil Wickremasinghe, Rohana Wijeweera, Sarath Fonseka, Threewheeler drivers, Victor Ivan | 38 Comments »
Posted by Taboo on October 24, 2009

මේ වෛවර්ණ නාම පුවරුව වූ කලී අපේ රටේ සිංහලයට දී ඇති තැන නොවෙනස්ව දෙමළ භාෂාවටත් එසේම ලැබෙන බව ප්‍රදර්ශනය කිරීම සඳහා සිංහල වර්ගවාදී බ්ලොග් අඩවියක පළවූවකි.* එහි පරස්පරය ප්‍රතිෂ්ඨාපනය කිරීම උදෙසා මම එයම උපයෝගී කොට ගනිමි.
නිකමට මේ පුවරුවේ ඇති සිංහල හා දෙමළ වචන ගණන් කරන්න. මගේ ගණනය පහත පරිදිය.
සිංහල වචන – 31
දෙමළ වචන – 14
මේ අනුව අපට බැසගත හැකි නිගමනය එක්කෝ සිංහලයට වඩා වර්ධිත බසක් වන දෙමළ අඩකටත් වඩා අඩු වචන ගණනකින් එකම විඥාපනය (information) සපයනු ලබන බවය. නැතිනම් දෙමළ භාෂාවෙන් ඉදිරිපත් කරන විඥාපනයෙහි, සිංහලයෙන් ඉදිරිපත් කරන්නට සාපේක්ෂව යම් ලුහුඬුතාවක් ඇති බවය.
කුමට උගුරට හොරා බෙහෙත් කමුද? සැබෑව දෙවැන්නය.
දැන් දෙමළ බස පමණක් දන්නා කෙනකුට මේ පුවරුව සපයන විඥාපනය (information) කවරේද බලමු. එවැන්නකු මින් දැනුම්වත් කරන එකම කාරණය නම් මේ රෝහලෙහි වාට්ටු, ළමා ඒකකයක්, බාහිර රෝගී නික්ෂේපණ ඒකකයක් හා විකිරණ ප්‍රතිකාර අංශයක් ඇති බව පමණි. සමහරවිට කෙනකුට මේ අලුත් දැනුමක් නොවිය හැකිය. (රෝගියකු රෝහලකට එන්නේ මෙයින් තැනකට යනු පිණිසය.) සිංහල පමණක් දත්තකු මීට අමතරව මේ පුවරුව තුළින්ම අදාළ ඒකක ඇති ස්ථානද දැනගනී. දෙමළකුට ඒ සඳහා වෙනකකුගේ පිහිට පැතීමට සිදුවනු ඇත්තේය.
එහෙයින් මේ පුවරුව පවා සිංහල දත්තන්ට හා දෙමළ දත්තන්ට සලකන්නේ දෙවිදියකට බව පැහැදිළිය. කොටින්ම දෙමළ පමණක් දත්තකුට එහි කිසිම උපයෝගීතාවක් නොවිය හැකිය.
වැදගත්ම කාරණය ඉතාම ලෙහෙසියෙන් මේ වැරදි නිවැරදි කරගත හැකි බවය. මෙහි ඊට අවශ්‍ය වන්නේ ගිළිහුණු දෙමළ වදන් ඔබ්බවා පුවරුව යළි පින්තාරු කිරීම පමණි. ඒ සඳහා රුපියල් දහසක්වත් වැයවේය නොසිතමි.
විහිළුව, අප සමහරකු මේ සරල කටයුත්ත නොකොට මැලේසියාවෙත් ඔහොම තමා, නොර්වේ වලත් වෙනසක් නෑ, ඉන්දියාවේ ඊට අන්තයි, ඉතින් මෙහිද වුනාම කවර වරදද? කියමින් තමන්ගේ ඇහේ පොල් පරාළ වසා ගැනීමට අනුන්ගේ ඇස්වල රොඩු පෙන්න පෙන්නා සිටීමය.
සමහරවිට මේ වෙනසාකරය (discrimination) පවත්වා ගැනීම වර්ගවාදී අවශ්‍යතාවයක් විය හැකිය. අධ්‍යාපන ලැදි , වීචක්ෂ්ණයෙහි නිපුණ දෙමළුන් වැඩිපුර විශේෂඥ වෛද්‍යවරුන් බවට පත්වීම, ඒ තත්වයට ළඟා වීමට අපේක්ෂා කරන සාමාන්‍ය බුද්ධියකින් යුතු සිංහල වෛද්‍යවරියකුට ඉරිසියාවට හේතුවක්ද, වෘත්තීය තර්ජනයක්ද වේ. එනිසා ඇයගේ අවිඥානක වෑයම මේ වෙනසාකරය හැකිතාක් පුළුල් කිරීම තුළින් දෙමළුන් පාගා දැමීම විය හැකිය. නමුත් රටක් ලෙස දීර්ඝ කාලීනව සිතීමේදී මේ අසාධාරණ පමණක් නොව මුග්ධ සිතිවිල්ලක්ද වේ.
බොහෝ රාජ්‍යායතන පුවරුවල දක්නා ලැබෙන තවත් දුර්වලතාවයක් මේ පුවරුවෙහිද වේ. හැමවිටම දෙමළ අකුරු, සිංහල අකුරුවලට වඩා කුඩාය. මෙසේ වන්නේ ඇයි? කුඩා අකුරු කියැවීම සඳහා දෙමළුන්ට සිංහලයන්ට වඩා තීක්ෂ්ණ දෘෂ්ඨියක් ඇති හෙයින්ද? එවැන්නක් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී නැතැයි සිතමි. එසේනම් විය හැක්කේ සිංහලයාගේ වර්ගවාදය මෙවන් අවස්ථාවක පවා දෙමළාට වඩා උස් තැනක් ගැනීමට අවිඥානකව ක්‍රියාත්මක වීමය.
තමිල්නාඩුවේ දැන්වීම් පුවරු වල හින්දිය ගැන හෝ නවදිල්ලියේ පුවරුවල දෙමළ ගැන දැන් කවුරුන් හෝ බක පණ්ඩිතයකු ප්‍රශ්න කළ හැකිය. මේ කිසිවක් අපට අදාළ ප්‍රශ්න නොවේ. තමිල්නාඩුවද දියුණු රටක් නොවේ. සුළුතරයන්ට සැලැකීමේදී අප තමිල්නාඩුව, මැලේසියාව හෝ බුරුමය කොපිකළ යුතු යයි කිසිතැනෙක කියා නැත.
මේ පහත් වර්ගවාදී මානසිකත්වයෙන් මිදී ඉතාම සුළු ප්‍රතිපත්තිමය ක්‍රියා මාර්ග තුළින් දෙමළාට, දෙමළ භාෂාවට නිසි තැන ලබාදීමට ජාතියක් හැටියට අපි කවදා නම් සමත් වෙමුද?
අනේ, අපි කවදාක හිනැහෙමුද ඒ රටේ?
* පසු සටහන: අවසර නැතිව ඉමේජයක් සොරා ගැනීම වරදක් මුත් උක්ත බ්ලොග් හිමියාද කිසිම අවසරයකින් තොරව මෙම බ්ලොග් අඩවියෙන් සොරාගත් ඉමේජ ගණනාවක් විකෘති කොට තම අඩවියේ පළකළ බව සැලකුව මනාය. අඩු තරමින් මේ ඉමේජය විකෘති කොට නැත. එසේම එය භාවිතා කරනුයේ වැදගත් කටයුත්තක් සඳහාය.
Posted in Uncategorized | Tagged: ඉන්දියාව, දෙමළ, දෙමළ අකුරු, දෙමළ භාෂාව, නොර්වේ, මැලේසියාව, රෝහල, වර්ගවාදී බ්ලොග්, විඥාපනය, විශේෂඥ වෛද්‍යවරුන්, සිංහල, සිංහල අකුරු, සිංහල වර්ගවාදය, consultants, discrimination, hospital, India, information, Malaysia, Norway, Sinhala, Sinhala racism, Tamil | 26 Comments »
Posted by Taboo on October 18, 2009

සරත් බරත් – බර කරත්තෙ
රෑට අදින – ගොන් කරත්තෙ
අප මෙහෙම කීවේ ඉස්කෝලෙ යන කාලයේදී විහිළුවටය. එහෙත් අබුද්දස්ස කාලයේදී ලබු තිත්තවනවා පමණක් නොව මෙවැනි ජෝක් සීරියස් වීමද නිරීක්ෂණය කළ හැකිය.
දෙවැනි මහින්දාගමනයෙන් අනතුරුව වැලේ වැල් නැතුව ගොස් සිටින යූ ඇන් පී කාරයින්ටත් ජේ වී පී කාරයින්ටත් දැන් යාන්තම් බර කරත්තයක් හමුවී තිබේ. දෙගොල්ලන්ගේම දැන් තදියම මේ බර කරත්තයට ගොඩවීමය. සත්වැනි මහින්ද මහ රජ්ජුරුවන් වහන්සේගේ තිරික්කලයට තරගයක් දෙන්නට බැරිනම් “ඔන්න අපත් රේස් එකට දිව්වා” යි කියන්නටවත් පුළුවන් මේ බර කරත්තයට ගොඩවීමෙන් පමණකැයි අන්කල් රනිල්ගේ හා සෝමවංස සීයාගේ ගෝල බාලයන් කල්පනා කරන සෙයක් පෙනෙන්නට ඇත්තේය. ඇත්ත. එය දැන් මෙන් චාටර් වී පයින් යනවාට වඩා හොඳය. බ්ලොග් ලිවීමද, බණ්ඩාරගම කොණ්ඩේ බඳින චීන්නුන්ට ගිනි පොළියට ණය දීම හා දාහේ හොර නෝට්ටු ගැසීම තරමටම පහසු ලෙස සිතා ඉන්නා අජිත් පී. පෙරේරාද සරම කැහැපට ගසාගෙන දැන් මේ ගොන් කරත්තෙ දක්කන්නට ලක ලැහැස්ති වෙනවා විය යුතුය.
කවුද මේ බර කරත්තකාරයා? මහරජාණන් වෙනුවට මොහු ආදේශ කිරීමෙන් මෙරට පොදු මහජනතාව ලබන ප්‍රතිලාභ කවරේද?
ජනරාල් සරත් ෆොන්සේකා යනු මෙරට වසර තිහක් තිස්සේ දිග් ගැසුණු යුද්ධය (තාවකාලිකව හෝ) නතර කිරීමට ගොඩ බිමින් සටන් කළ හමුදාවන්ට මිලිටරි නායකත්වය සැපයූයේය. තමන්ගේ ජීවිතය නැතිකිරීමට සතුරන් ගත් උත්සාහයක් අනූනවයෙන් ව්‍යවර්ථ වීමෙන්, ශාරීරික හානීන්ට ගොදුරුවීමෙන් පසුව පවා රණ බිමින් ඉවත් නොවීමට ඔහු ගත් තීරණය විශිෂ්ටය. එසේම යුද්ධ හමුදාවේ සම්පත් ඉහළ නැංවීම, යුද්ධයේ ඉලක්කය කේන්ද්‍රගත කිරීම, හමුදාවේ කර්යක්ෂ්මතාවය ඉහළ නැංවීම හා විනය පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඔහු ගත් පියවර ව්‍යාපාර හා රාජ්‍ය පරිපාලන (Business and public administration) සිසුන්ගේ නොමඳ අවධානයට බඳුන් වීමට තරම් අනර්ඝය. එතෙක් වුවත් ඔහු විසින් කරන ලද කාර්යභාරය ඉහත තනි වැකියෙන් ප්‍රකාශකරනවාට වඩා අඩු සේම වැඩිද නොවන්නේය.
රාජපක්ෂ-ප්‍රභාකරන් ද්වන්ධ සටනේ අරමුණ ගැන සේම එය සිදුවූ ආකාරය ගැනද තදබල විවේචනයක් තිබූ ලේඛකයා එකහෙළා පිළිගන්නා කාරණාවක් වන්නේ මේ යුද්ධය ෆොන්සේකා වරෙක සඳහන් කළ ආකාරයට 95% ක යුද්ධ හමුදා දායකත්වයෙන් ‘නතර කළ’ එකක් නොවන බවය. අද එය (තාවකාලිකව හෝ) නතර වී ඇත්තේ තවත් බොහෝ දෙනකුගේ සක්‍රිය සම්මාදමේ ප්‍රතිඵලයක් ලෙසය. ප්‍රභාකරන්ට අවසාන පොරෝ පහර දුන්නේ කවුරුන් වුවද, එසේ කළ හැකිවූයේ ඔවුන්ට ලැබෙන මුල්‍යාධාර, යුද්ධායුධ පමණක් නොව මානව සම්පත්ද දරුණු ලෙස අවමකරණය කිරීමෙන් පසුය. මූල්‍යාධර කපා දැමුණේ ලක්ෂ්මන් කදිරගාමර්ගේ සිට දයාන් ජයතිලක දක්වා පිරිස් LTTEයේ විදේශීය බළල් අත් අක්‍රිය කිරීමට ගෙනගිය ක්‍රියාමාර්ග නිසාය. කිලෝමීටර් සිය දහස් ගණන් ඈත දියඹේ යාත්‍රා විනාශ කරමින් LTTE යුද්ධායුධ සැපයුම් ජාලය විනාශ කරන ලද්දේ වසන්ත කරන්නාගොඩගේ නායකත්වයෙන් යුත් නාවුක හමුදාවය. මානව සම්පත් උල්පත සිඳුනේ (කවුරුන් පිළිගැනීමට කැමති වුවද ) චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ අනුරුද්ධ රත්වත්තේගේ නායකත්වයෙන් යුතුව වැඩිම දෙමළ ජනගහණයක් වාසය කළ යාපනය අර්ධද්වීපය රජයේ පාලනයට නතුකර ගන්නා ලද නිසාය. තනිකරම චණ්ඩිකමට වුවද නොසැළී යුද්ධයට දේශපාලන නායකත්වය දුන්නේ රාජපක්ෂය. මේ සියල්ල අමතක කොට යුද්ධයේ මේ තාවකාලික නිමාව තනි පුද්ගලයකුගේ ක්‍රියාවක් සේ අර්ථ දැක්විය හැක්කේ ඉතිහාසය ඕනෑකමින්ම අමතක කරන්නෙකුට පමණකි.
ඒ සියල්ල නොසලකා හැරියද, ෆොන්සේකා මොනම අවස්ථාවකවත් තමන් මෙරට දේශපාලන නායකත්වයට සුදුසු පුද්ගලයකු බව ක්‍රියාවෙන් පෙන්නා නැත. ඔහුගේ ක්‍රියාවන්ගෙන් පැහැදිළිව පෙනී ගොස් ඇත්තේ ඔහුගේ නුසුදුසුකම පමණකි. (මිලිටරි නායකත්වය හා දේශපාලන නායකත්වය යනු එකක් නොව දෙකකි.) දෙමළ ජනතාව ගැන මහ රජාණන්වත් නොකළ ප්‍රකාශ ඔහු කළ අවස්ථා ඇත. චම්පික රණවක හා නලින් ද සිල්වා ලෙසින්ම ඔහු සිංහල බහුතරයට අනෙකුත් ජාතීන්ට හිමි නොවන වරප්‍රසාද හිමිවීම සාධාරණීකරණය කරයි. ඒ සඳහා ජාතික පුවත්පත්වල කතුවරුන් ඝාතනය කරන, රූපවාහිනී ආයතනවල මැදිරි කුඩුපට්ටම් කරන මාධ්‍ය කල්තරයක්ද අනුමත කරයි. එජාපයට හා ජවිපෙට සේම මහරජාණන්ගේ වැඩවසම් පාලනයෙන් රට මුදා ඉදිරියට ගෙනයාමේ කිසිම සමාජ ආර්ථික වැඩපිළිවෙලක් ඔහුටද නැත. ඔහුද රනිල් වික්‍රමසිංහ හා සෝමවංශ අමරසිංහ තරමටම දේශපාලන අනාථයෙකි. එකම වෙනස වික්‍රමසිංහට හෝ අමරසිංහට නැති ජනප්‍රියතාවයක් ඔහු සිංහල බෞද්ධ ගෝත්‍රික සමාජය තුළ හිමිකොටගෙන සිටීමය.
රාජපක්ෂ පවුල මේ රට පාලනය කිරීම (වඩාත් නිවැරදිව කීවොත් රට උලා කෑම) ගැන ලේඛකයාට ගැටළු ගණනාවක් තිබේ. ඒවා රනිල් වික්‍රමසිංහගේ අතවැසියකු වන අජිත් පී. පෙරේරාට ඇති ගැටළුවලට වඩා බරපතළය. (මේ ගැන බ්ලොග් පෝස්ට ඇතිතරම් ලියා ඇති බැවින් පුනරුච්චාරණයක් අනවශ්‍යය.) එහෙත් එයින් අදහස් කරන්නේ මේ මොහොතේ සියල්ලන්ගේම ඒකායන අරමුණ රාජපක්ෂ උන්නැහේ ගෙදර යැවීම විය යුතු බව නම් නොවේ. මහ රජ්ජුරුවන් වහන්සේ ගෙදර යැවීමට යූ ඇන් පියට හෝ, මංගල සමරවීරට හෝ සෝමවංශ අමරසිංහට ඇති තදියම රටේ බහුතර ජනතාවට සේම ලේඛකයාටද නැත. රාජපක්ෂ ගෙදර යනවා නම් යායුත්තේ එතැනට ඊට වඩා සුදුසු කෙනකු පත්වීමෙන් පසුවය. කැහි ගෑනි දී මැරිච්චි ගෑනියකු ගෙට කැන්දා ගන්නට තරම් මෙරට පොදු ජනතාව මෝඩ විය යුතු නොවේ.
Posted in Uncategorized | Tagged: Ajith P. Perera, අජිත් පී. පෙරේරා, අනුරුද්ධ රත්වත්තේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක, චම්පික රණවක, ජේ වී පී, දයාන් ජයතිලක, නලින් ද සිල්වා, ප්‍රභාකරන්, බණ්ඩාරගම, මංගල සමරවීර, මහින්දාගමනය, මාධ්‍ය කල්තරය, යුද්ධ හමුදාව, යුද්ධය, යූ ඇන් පී, රනිල් වික්‍රමසිංහ, ලක්ෂ්මන් කදිරගාමර්, ව්‍යාපාර හා රාජ්‍ය කළමනාකරණ, සත්වැනි මහින්ද මහ රජ්ජුරුවන් වහන්සේ, සරත් ෆොන්සේකා, සෝමවංස, Bandaragama, Business and public administration, Champika Ranawaka, Chandrika Bandaranaike, Chandrika Kumaratunga, Dayan Jayathilake, Janatha Vimukthi Peramuna, JVP, Lakshman Kadiragamar, LTTE, Mahinda, Mahinda Rajapakse, Mangala Samaraweera, Media culture, Media suppression in Sri Lanka, Military leadership, Nalin De Silva, political leadership, Ranil Wickremasinghe, Sarath Fonseka, Somawansa Amarasinghe, Sri Lanka Army, United National Party, UNP, Velupillai Pirabaharan, War in Sri Lanka | 76 Comments »
Posted by Taboo on October 10, 2009

රනිල් වික්‍රමසිංහ වුකලී ලේඛකයා දැඩි ලෙස පිළිකුල් කරන පොලිතීසියන් ලැයිස්තුවේ මුදුනින්ම සිටින්නෙකි. ඒ එක්සත් ජාතික පක්ෂය සමඟ චිරාත් කාලයක් තිස්සේ වූ ඝට්ඨනය නිසා නොවේ. එසේම රටේ බහුතරයක් ඔහු පිළිකුල් කරන හේතූන්ට ඉඳුරා වෙනස් හේතු ඇතිවය.
ධන ලක්ෂණ වලින් පටන් ගත්තොත්, කෘෂිකර්මාන්තය පදනම් කොට ගත් ඩී. එස්. සේනානායකගේ පසුගාමී, යල් පැණ ගිය පැරැණි යූ ඇන් පීයට සාපේක්ෂව වික්‍රමසිංහගේ නූතනත්වය ලේඛකයා අගයයි. අඩු තරමින් බස්නාහිර පළාතේ ඉඩම් කුඹුරු ගොවිතැනට වඩා වෙනත් කටයුත්තක් සඳහා යොදා ගැනීම වඩා ඵලදායී බැව් අවබෝධ කරගන්නට තරම් මොළයක් වික්‍රමසිංහට තිබුණේය. එසේම අන් සියළු විකල්පයන් අහෝසි කොට දෙමළුන් ත්‍රස්තවාදයට තල්ලුකොට දැමූ ජාතික ගැටළුව පිළිබඳ ජේ. ආර් ජයවර්ධනගේ බමුණු මතයට වඩා වික්‍රමසිංහ ඒ ගැන දැක්වූ නම්‍යශීලීත්වයටද ලේඛකයා ප්‍රිය කරන්නේය. දෙමළුන් වෙනුවෙන් පෙනී නොසිටියද, වික්‍රමසිංහ අනෙකුත් ජාතික මට්ටමේ සිංහල නායකයින් මෙන් අන්ත සිංහල ගෝත්‍රවාදයක් කරා තල්ලු වී නැත. සුළුතරයන්ගේ අයිතිවාසිකම්, මානව අයිතීන් හා මානව හිමිකම් සම්බන්ධව (තරමක අපුලකින් යුතුව වුවද) ඔහු සමඟ එකම වේදිකාවට ගොඩ වන්නට අපට බැරිකමක් නැත්තේම නොවේ. අන්තර් ජාතික වශයෙන් ‘මහ ජරා’ මහ රජාසේ වික්‍රමසිංහ කාඩ් කුඩු කරගෙනද නැත. (තමන්ට තවමත් පෙරසේ වෙණ ගායනා බැරි බැව් ඔහු අවබෝධ නොකැරගැන්මට එක් හේතුවක් මේය.)
ඔළුව අත ගා ඉවරය. දැන් ටොකු ඇනීම පටන් ගනිමු.
ලේඛකයාට වික්‍රමසිංහ ගැන ඇති තදබල විවේචනය ඔහුගේ ‘ලිබරල්’ යැයි වැරදි ලෙස හඳුන්වනු ලබන මතවාදය සම්බන්ධව නොව ලිබරල්වාදියකු සේ පෙනී සිටිමින් සාම්ප්‍රදායික නිලමේවරයකුගේ භූමිකාව රඟපෑම, තමා ඊට නුසුදුසු බව දැන දැනම, මේ රටේ ජනතාව වෙනුවෙන් මහඟු සේවයක් ඉටුකළැකි තනතුරක් (වෙන සුදුස්සකුට ඉඩ ලබාදීම සඳහා) අත් නොහැරීම හා ගොඩ නැඟෙමින් තිබෙන වැඩවසම් රාජ්‍යයට එරෙහිව ජනතාව පෙළ ගස්සනවා වෙනුවට තම නොහැකියාව නිසා වක්‍රව ඒ දුර්දාන්ත රාජ්‍යතන්ත්‍රයේ පැවැත්මට රුකුල් දීම ගැනය.
රටක් ආර්ථික වශයෙන් දියුණු වීම සඳහා පමණක් සවිමත් විපක්ෂයක් තිබිය යුතුය යන කාරණය ලේඛකයා තරයේ ප්‍රතික්ෂේප කරයි. සිංගප්පූරුව හා මාල දිවයින හොඳ නිදසුන් දෙකකි. නොබෝදා ජපාන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (DPJ) විසින් පරදවන ලද තුරුම, මාස එකොළහක කෙටි කාලයකට හැර, ජපානය වසර 54ක් තිස්සේ ආණ්ඩු කරන ලද්දේද එක පක්ෂයක් – ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (LDP) විසිනි. කොමියුනිස්ට් චීනයේ විපක්ෂයක් කියා මඟුලක් ඇත්තේම නැත. දීර්ඝ කාලයක් තිස්සේ සවිමත් විපක්ෂයක් නැතිවීම මේ කිසිම රාජ්‍යයකට දියුණු වීම සඳහා බාධාවක් වූයේ නොවේ. සමහර අවස්ථාවන්හීදී සවිමත් විපක්ෂයක් නැතිවීම ඒවායේ සංවර්ධනයට හේතුවී ඇත. වරෙක ඉන්දීය අගමැති මන්මෝහන් සිං ප්‍රකාශ කළේ ඉන්දියාවේ කම්හලක් ගොඩනඟන්නට, පාරක් හදන්නට යන කාලයෙන් දහයෙන් එකකදී චීනයට එය කළ හැක්කේ රජයේ තීරණ ප්‍රශ්න කරන්නට කිසිවකු නැති නිසා බවය.
සවිමත් විපක්ෂයක් නැතිවීම කෙටිකාලීනව රටක දේශපාලන ස්ථාවරභාවයට (Political Stability) හානියක්ද නොවේ. විපක්ෂය දුර්වල වීම බොහෝවිට රටක දේශපාලන ස්ථාවරභාවයට යහපත්ය.
එසේනම් අප මෙතරම් දතකා විපක්ෂයක් පවත්වාගෙන යන්නේ ඇයි? රනිල් වික්‍රමසිංහට, සෝමවංශ අමරසිංහට හා ඔවුන්ගේ ගෝලයින්ට මහජන මුදලින් වැටුප් ගෙවමින් නඩත්තු කරන්නේ ඇයි?
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක විපක්ෂයක් අවශ්‍ය වන්නේ ඉඳුරාම වෙනස් කාරණාවක් සඳහාය. ඕනෑම රටක පාලකයකු (හැන්ද තමන්ගේ අතේ නිසා) තමන්ගේ ජාතියට, කුලයට, ප්‍රදේශයට පමණක් නොව පවුලට පවා අසාධාරණ ලෙස සම්පත් බෙදා ගැනීමේ අවදානමක් පවතී. මෙය ලංකාව වැනි නොදියුණු රටවල පමණක් නොව සිංගප්පූරුව වැනි දියුණු රටවල පවා සිදු වන බැව් ලී ක්වාන් යූගේ පවුලට හිමි ව්‍යාපාරික වස්තූන් දෙස බැලීමේදී පෙනී යයි. (සිංගප්පූරුවේ අද අගමැති ලී ක්වාන් යූගේ පුත්‍රයාය. දේශපාලනය තුළ වංශය පවත්වා ගැනීමේ පවිටු සිරිත දකුණු ආසියාවට සීමාවී නැති බවයි මෙයින් පෙනෙන්නේ.) රටකට විපක්ෂයක් අවශ්‍ය වන්නේ මේ ධ්‍රැවීකරණය වළක්වා ගැන්ම සඳහාය. විපක්ෂයක් නොමැතිනම් පාලකයන් අයත්වන කුලකයන්ට අයත්නොවන ජනතාවගේ අයිතීන් ගැන හඬක් නැඟීමට කවරකු හෝ ඉතිරි වන්නේ නොවේ. මේ නිසා විපක්ෂයේ ප්‍රමුඛ කාර්යභාරය විය යුත්තේ හඬක් නැති ජනතාවගේ හඬ වීමය. යම් මොහොතක පාලකයන්ගේ අනුග්‍රහය නොලබන මේ හඬක් නැති ජනතාව බහුතරය වන කල්හි ඔවුහු පවත්නා ආණ්ඩුව පෙරළා දමා නව ආණ්ඩුවක් පිහිටුවා ගනිති. මෙහිදී පක්ෂ දෙකක භූමිකාවන් වෙනස් වුවද ආණ්ඩුවේ හා විපක්ෂයේ භූමිකාවන් වෙනස් නොවේ. තට්ටු මාරුවකදී එතෙක් බලයේ සිටි පක්ෂය විපක්ෂයට ගොස් විපක්ෂයේ භූමිකාව රඟපෑම ආරම්භ කරයි.
අද අපේ රටේ විපක්ෂයට අයත් වන දේශපාලන පක්ෂ දෙස බැළුවොත් ඉතාම ප්‍රතිගාමී ස්ථාවරයක සිටිමින් හෝ තමන් නියෝජනය කරන ජන කොටස් ගැන ප්‍රබල හඬක් නඟන එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණය. ඒ හඬ වැරදිද නිවැරදිද යන්න වෙනම කතාවක් වුවත් අඩු තරමින් මේ රටේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්, රජයේ සේවකයින් වැනි තෝරාගත් ජන කොටස් වල අවශ්‍යතා ජවිපෙ විසින් හඳුනාගෙන ඇති බව මේ කොටස් ඒ වටා එක් රැස් වීමෙන් පෙනෙයි. පළාත් සභා මැතිවරණ එක පිට එකින් අන්ත පරාජයන්ට ලක් වෙද්දීත් කඳුළු ගෑස් කන්නට සූදානමින්, කොටුවේ මහාමාර්ග වසන්නට තරම් ජනකායක් පාරට බස්සන්නට ජවිපෙට ශක්තිය ලැබී ඇත්තේ එනිසාය. එසේම බිම් මට්ටමේ ජවිපෙ ක්‍රියාකාරීන් තුළ තවමත් නායකයින් කෙරෙහි යම් හෝ ගෞරවයක් ඇත්තේය. මේ වෙන කිසිම හේතුවක් නිසා නොව තමන් නියෝජනය කරන ඉතාම කුඩා ජනතීරුවේ වුව ප්‍රශ්න ජවිපෙ න්‍යායපත්‍රයේ අඩංගුව ඇති නිසාය. (උදා: හරි වැරැද්ද පසෙක තියා, පුද්ගලික වෛද්‍යවිද්‍යාලයට එරෙහි වීම තමන්ගේ අවිනිශ්චිත අනාගතය ගැටළුවක් කොට ගෙන ඇති දුප්පත් විශ්වවිද්‍යාල සිසුන්ට ඉතාම ආකර්ෂණීය ඇමකි.)
ජවිපෙට සේම යූ ඇන් පියටද තමන්ට සම්ප්‍රදායික ලෙස ආමන්ත්‍රණය කළ හැකි ජනකොටස් ඇත්තේය. බොහෝ මෝඩ ඊනියා සමාජවාදීන් සිතා සිටින හැටියට යූ ඇන් පියට මෙතෙක් කල් ඡන්දය දුන්නේද සහයෝගය දැක්වූයේද ධනපති පංතිය හා ඔවුන්ගේ අන්තේවාසිකයෝම නොවෙති. (එක් මෝඩ ‘මාක්ස්වාදී’ නායකයකු කීවේ පොල් අත්තක් යට තරාදියක් එලා ගන්නා සුළු වෙළෙන්දාද ධනපතියකු සේ සැලකිය යුතු බවය. මේ මුන් මාක්ස්වාදය තේරුම්ගත් තරමය.) මැද පෙරදිග රටවල් ඇතුළු විදේශයන්හි සේවය කරන පිරිස්, සුළු වෙළෙන්දන්, තෙසක් සැරි රියැදුරන්, විවිධාකාරයේ ස්වයං රැකියාවන්හි නිරත වූවන් පමණක් නොව ගොවීන් හා ධීවරයෝද ඔවුන්ගේ පවුල් වල ඇත්තන් සමඟ යූ ඇන් පියට සහයෝගය දක්වති. මෙතෙක් තම කටයුතුවලට රුකුලක්ව ඇත්තේ යූ ඇන් පී ප්‍රතිපත්තීන් බව සුළු බුද්ධියකින් පවා වටහා ගැන්මට ඔවුන්ට හැකිවී තිබේ. අනෙක් අතට මහරජාණන්ගේ සිංහල බෞද්ධ අන්තවාදය පිළිකුල් කරන අති විශාල සංඛ්‍යාවක් සුළුජාතිකයෝ වෙති. වික්‍රමසිංහගේ වර්තමාන යූ ඇන් පිය කරන ලොකුම වරද මේ කිසිම ජන කොටසකගේ අයිතීන් වෙනුවෙන් හඬක් නොනැගීමය.
අද යූ ඇන් පිය කතා කරන ප්‍රශ්න ඔවුන්ගේ ප්‍රශ්න මිස පොදු ජනතාවගේ ප්‍රශ්න නොවේ. 17 වැනි සංශෝධනය, මැතිවරණ කොමිසම්ද, සාධාරණ මැතිවරණද අවශ්‍යවන්නේ යූ ඇන් පියටය; ජනතාවට නොවේ. රාජ්‍ය මාධ්‍යාධිපත්‍යය භයානක ලෙස හිසරදයක්ව ඇත්තේ ද යූ ඇන් පියටය. ජනතාවගේ ප්‍රශ්න මේවායින් වෙනස්ය. අඩු තරමින් ජවිපෙ සේ ප්‍රශ්න පත්තරයක වැරද්දක් අල්ලාගෙන කෑගැසීමටවත් යූ ඇන් පියට නොහැකිව තිබේ. අවතැන්වූවන් ගැන කියනුම කවරේද?
එසේම වික්‍රමසිංහගේ යූ ඇන්පිය ඉතාම වැරදි හා මෝඩ ලෙස ජනතාවගේ සංකීර්ණ ප්‍රශ්න තම වාසියට හරවා ගන්නට උත්සාහ දරයි. මෙය ඕනෑම රටක විපක්ෂයක් කරන දෙයක් මුත් එය කළ යුත්තේ පරිස්සමිනි. ජනතාවගේ අපේක්ෂාවන්ට පටහැනි නොවන අයුරිනි. GSP+ ප්‍රශ්නය ගනිමු. ඇඟලුම් කර්මාන්තයෙන් දිවි රැක ගන්නා ගම්බද ජනතාව අති විශාල පිරිසක් GSP+ සහනය ලැබේද නොලැබේද දෙගිඩියාවකින් පසුවන මොහොතකි මේ. ඔවුන්ට මේ සහනය අත්‍යාවශ්‍යය. අනික් අතට ඊට ප්‍රතිවිරුද්ධ ස්ථාවරයක ඉන්නා යූ ඇන් පිය GSP+ සහනය නොලැබීම ගැන යටි සිතින් සතුටු වේ. ඔවුන්ගේ අභිලාෂය GSP+ සහනය ලැබී මෙරට ගම්බද ජනතාවට යහපතක් වනු දැකීම නොව එය නොලැබී රාජපක්ෂ රෙජීමය කුජීත වනු දැකීමය. මොවුන් දිගින් දිගටම මැතිවරණ වලින් පැරැදීම පුදුමයක්ද? හුදෙක් පක්ෂ දේශපාලනයේ වාසි සඳහා පොදු ජනතාවගේ එදාවේල උකස් කිරීමට පසුබට නොවන පක්ෂයකට ඔවුන් තව දුරටත් ඡන්දය භාවිතා කළ යුත්තේද?
එතැනින් එපිටට යන වික්‍රමසිංහ තමන්ගේ ලිංගික නම්ණීකරණයද ගැටළුවක් කොට ගනී. මෙය කතා කිරීම අසාධරණය කියන්නෝ පිරිසක්ද වෙති. ඒ එසේ නම් විෂම ලිංගික රාජපක්ෂගේ පවුල ගැනද ඔහුගේ නැඟණියගේ දෙනියායේ බංගලාව ගැනද කතා කිරීමද අසාධාරණ විය යුතුය. පවුලේ සාමාජිකයන් කරන කියන දේ දේශපාලනයට අදාළ නොවන හෙයිනි. රනිල් වික්‍රමසිංහගේ සමරිසි සම්බන්ධතා (gay affairs) අපේ මාතෘකාවට අතිශයින් අදාළ ඔහු තම ලිංගික ජීවිතය (මංගල සමරවීර සේ) පුද්ගලික මට්ටමින් තබා නොගෙන දේශපාලනයට මුසු කරන හෙයිනි. වික්‍රමසිංහගේ ඡායා කැබිනෙට්ටුවේ (shadow cabinet) අධ්‍යාපනය භාරදී ඇත්තේ අකිල විරාජ් කාරියවසම්ටය. ආරක්ෂක කටයුතු තවත් සුකුමාල තරුණයකු වූ සාගල රත්නායකටය. වික්‍රමසිංහගේ පුරිස් කයට මෝක්ෂ සුව ලබා දීම සඳහා ඕනෑම වෙලාවක ‘එව-රෙඩි’ තබා ඇති රෙක්තමයන් හැරුණුවිට මේ භාරදූර පදවි දරන්නට මොවුන්ට ඇති සුදුසුකම් කවරේද? රටේ ප්‍රධාන විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස තමන් වෙත පැවරුණු වගකීම් මෙලෙස පුද්ගලික වින්දනයට යට කරන මේ පුද්ගලයාට රාජපක්ෂගේ ඥාති සංග්‍රහ ගැනත්, අනර්කලිය දේශපාලනයට සම්ප්‍රාප්ත වීම ගැනත් කතා කරන්නට ඇති අයිතිය කුමක්ද?
වික්‍රමසිංහ අද ඉටුකරමින් සිටින යම් ක්‍රියාවක් වේද එය ආච්චිට හාල් ගැරීමක් ලෙස හඳුන්වා දීමට ලේඛකයා පසුබට නොවන්නේ එහෙයිනි. ජීවිතයේ කිසිම දිනයක යූ ඇන් පිය වෙනුවෙන් ඡන්දය පාවිච්චිකර නැතද, අට වතාවක් මේ රට පාලනය කිරීම සඳහා මෙරට පොදු ජනතාව විසින් තෝරා පත්කර ගන්නා යූ ඇන් පිය මෝඩ ‘සමාජවාදීන්’ සේ ධනපති පක්ෂයක් සේ හංවඩු ගසා කොන් කර දමනවා වෙනුවට මැටි බළලකුගෙන් ගන්නා වැඩපළවත් කර ගැනීමට ඊට මීට වඩා සුදුසු, රට ගැන ආදරයක් ඇති, නායකත්වයක් අවශ්‍ය බව ලේඛකයාගේ කල්පනාවය.
අනෙක් අතට යූ ඇන් පිය යකාට ගියේවා, මෙරට විපක්ෂයට හිසක් තිබිය යුතුය. එය කවන්ධයක් විය යුතු නැත, විශේෂයෙන්ම රට වැඩවසම් යුගයකට තල්ලු කරන්නට පාලකයින් අර අඳින මේ අබුද්දස්ස යුගයේ. සිරිමා බණ්ඩාරනායක නම් අකර්මන්‍ය චරිතය විපක්ෂයේ මුල් පුටුව බදාගෙන රටට කළ මහා වින්නැහිය කරන්නට වික්‍රමසිංහට ඉඩ නොතැබිය යුතුය.
Posted in Uncategorized | Tagged: 17 වැනි සංශෝධනය, Akila Viraj Kariyavasam, අකිල විරාජ් කාරියවසම්, අවතැන්වූවන්, ඇඟලුම් කර්මාන්තය, චීනය, ජනතා විමුක්ති පෙරමුණ, ජපානය, ජවිපෙ, ජාතික ගැටළුව, ජේ. ආර්. ජයවර්ධන, ඩී. එස්. සේනානායක, ත්‍රස්තවාදය, තෙසක් සැරි රියැදුරන්, දෙනියායේ බංගලාව, දේශපාලන ස්ථාවරභාවය, පළාත් සභා මැතිවරණ, පුද්ගලික වෛද්‍යවිද්‍යාලය, මංගල සමරවීර, මන්මෝහන් සිං, මාක්ස්වාදය, මාල දිවයින, මැද පෙරදිග, රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂ රෙජීමය, ලිංගික ජීවිතය, ලිංගික නම්ණීකරණය, ලිබරල් මතවාදය, විපක්ෂය, සංවර්ධනය, සමරිසි සම්බන්ධතා, සාගල රත්නායක, සාධාරණ මැතිවරණ, සිංගප්පූරුව, සිංහල බෞද්ධ අන්තවාදය, සිරිමා බණ්ඩාරනායක, සෝමවංශ අමරසිංහ, China, D. S Senanayake, Development, Ethnic Issue in Sri Lanka, Gay affairs, GSP+, IDPs, India, J. R. Jayawardena, Janathaa Vimukthi Peramuna, Japan, JVP, Liberalism, Maldives, Mangala Samaraweera, Manmohan Singh, Opposition, Opposition Leader, Political Stability, Private Medical College, Provincial Council Elections, RajapakSha Regime, Ranil Wickremasinghe, Sagala Ratnayake, Sex life, sexual orientation, Singapore, Sirima Bandaranaike, Somawnsa Amerasinghe, terrorism, UNP | 41 Comments »
Posted by Taboo on October 7, 2009

මම ඔහු ෆීනික්ස් පක්ෂියාට සම කරමි. දැවී හළුවී යන ෆීනික්ස් නැවත ඒ අළු මතින්ම උපත ලබන්නේය. එනිසාම ෆීනික්ස් විනාශ කළ නොහැකිය.
[මේ සටහන ඔහු කුඩා කළ කියැවූ බොරිස් පොලෙවොයිගේ 'සැබෑ මිනිසකුගේ කතාවක්' කෘතියෙහි දෙපා අහිමි ගුවන් නියමුවා තරමටම ලේඛකයාගේ ලෝකයේ 'අසහාය වීරයකු' බවට පත් වූ මිනිසකු ගැනය. ඔහුගේ ජීවිතයේ හමුව ඇති ධෛර්යයෙන් දෙවන තැන ගන්නා මිනිසා ගැන ලියන මෙය මෙතෙක් පමාවීම ගැන ඔහු කණගාටු වෙයි.]
තමාගේ HIV ආසාදිතතාව විසි හතර හැවිරිදි චාල්ස් දැනගන්නේ නිවාඩුවට ගම රට පැමිණ රැකියාව සඳහා නැවත විදෙස් ගත වීමට වීසා ලබා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණයට යොමුවන අවස්ථාවේය. පවුලේ වෛද්‍යවරයා ඔහුගෙන් දෙවන වරටත් රුධිර සාම්පලයක් ඉල්ලා සිටින්නේ කලින් ලබා ගත් ලේ ‘ඉහිරුණු’ බව කියමිනි. පළමු වතාවේ මෙන් පැය දහහතරක් උපවාසයෙහි නියැලෙන්නට උවදෙස් දී රුධිර සාම්පලය ලබා නොගත්තේ මන්දැයි ඔහු කල්පනා කරමින් සිටින අතරතුරය වෛද්‍යවරයා ‘ඩිස්පෙන්සරිය වැසුවායින් පසුව’ අම්මාත් තාත්තාත් සමඟ පැමිණ හමුවන්නට ඔහුට දන්වා සිටින්නේ.
“Son, I know you since infancy so I don’t want to beat around the bush…” කියා කතාව පටන් ගන්නා වෛද්‍යවරයා ඉන්පසු කුමක් කීවේද චාල්ස්ට මතක නැත. වෛද්‍යවරයාත් තම දෙමාපියනුත් කිසියම් බැරෑරුම් දෙයක් ගැන කරන දීර්ඝ සංවාදය ඔහුට නිහඬ සිතුවම්පටයකි. වචන කිසිවක් කණට නොයයි. සංවාදයට මැදිවනු බැරිව මුව වියැළී ගොසිනි.
එදිනම රාත්‍රියේ තාත්තා සමඟ ගුහාවක් බඳු තම අඳුරු කාමරයේදී පැවැත්වූ දීර්ඝ, විච්ඡින්න සාකච්ඡාවෙන්ද ඔහුට මතක එකම එක කියමනකි. “පුතා මොනව වුනත් දැන් මට වැදගත් එකම දේ ඔබේ අනාගතය…අපි ඒ ගැන කතා කරමු” (“Son, whatever happened, the most important thing to me now is your future…Let us talk about that”)
HIV ආසාදිතයකු දකුණු ආසියානු රටකදී අඩු වැඩි වශයෙන් මුහුණ දෙන වේදනා, ගැරහුම්, අවමන්, කොන් කිරීම්, රැකියා නැතිවීම්, ආදරය ප්‍රතික්ෂේප කිරීම් සියල්ලටම චාල්ස් මුහුණ දෙන්නේය. වෙනදා ජීවිතය බෙදා ගන්නා තරමට මිතුරු වූවෝ දැන් මහමඟ දැක ඉවත බලා ගනිති. කිසිවෙක් ඔහුට රැකියාවක් දීම බරෙකැයි කල්පනා කරත්. නොතැලී නොපෙළී වැඩුණු මධ්‍යම පාංතික තරුණයකු ලෙස ඔහු විෂයෙහි එහි බලපෑම කිහිප ගුණයකින් අධිකය. සිය දිවි නසා ගැනීමේ විකල්පය ඔහු සලකා බැලුවේද නැත්ද ලේඛකයා නොදනී. මේවා එකිනෙක විස්තර කිරීම අවශ්‍ය නොවන්නේ සටහනේ අරමුණ එය නොවන නිසාය.
ELISA පරීක්ෂණය පහළොස් වතාවක් කර ගෙන ඒ පහළොස් වතාවේම ධන ප්‍රතිඵල ලද චාල්ස් එක් අවස්ථාවක යමක් අවබෝධ කොට ගන්නේය. ඒ තමා කැමති වුවද අකමැති වුවද HIV සමඟ තම ජීවිතයේ ඉතිරි කොටස ගෙවීම හැර වෙනත් විකල්පයක් නැති බවය. මේ අවබෝධය ජීවිතය දිහා අමුතු ඇසෙකින් බලන්නට ඔහු පොළඹවයි.
නිදි නැති දීර්ඝ රාත්‍රියකින් පසු ඔහු ජීවිතයේ සොඳුරුම තීරණය ගන්නේය. ඒ තම ජීවිතය තමා වැනිම දුක් විඳින ජන කොටස් වෙනුවෙන් කැපකිරීමටය.
“මං ජීවිතේ පළවැනි වතාවට කුණු බක්කියකින් යමක් අහුළගෙන කෑවේ ඊට පහු වෙනිදා. මොනවා කළත් ඒකට හිත හදාගන්න මට ගොඩක්වෙලා ගියා. අපි නොහිතුවාට ඒවත් රහයි. මට ඕනැ වුනේ මගේ මධ්‍යම පාංතික චින්තනය අභියෝගයට ලක් කරලා මහපාරෙ කුණු බක්කිවලින් අහුළාකන මිනිස්සුන්ට සමීප වෙන්න”
කොළඹ මහ රෝහලේදී ජීවිතයේ පළමු වරට ඒඩ්ස් රෝගියකු දකින චාල්ස්ට ඇතිවූ මුල්ම හැඟීම සියල්ල ඉවතලා ආපසු හැරී දිවීමය. (“Gosh, I have never seen anything like that in my life”) මිනිසකුට වඩා ඇටසැකිල්ලකට සමීප මේ මිනිසා, කිළිටි රෙදි කඩමාල්ලක් දවටා ගෙන වැතිරී සිටින්නේ තම මළ මුත්‍රා මතය. ඒඩ්ස් රෝගියකු පිරිසිදු කිරීමට කිට්ටුවන හෙදියන් උපස්ථායකයින් ඇතිනම් ඒ කලාතුරෙකිනි. අද කෙසේ වෙතත් අනූව දශකය මැද හරියේ එවැන්නකු නොසිටි තරම්ය. තම ඥාතීන් විසින්ද අත්හරිනු ලබන මේ මනුෂ්‍යයෝ මතු දිනෙයක මරණය තමන් කැන්දාගෙන යාමට එනතුරා මහළුවී ගිය අශ්වයන් පරිද්දෙන් අවාසනාවන්ත ජීවිත ගත කරති.
මා හිත දැඩි කර ගත්තා. මා මටම කියා ගත්තා චාල්ස්, නුඹ අද මේ මිනිසා වෙනුවෙන් කළ යුත්ත නොකළොත් හෙට නුඹ වෙනුවෙන් එවැන්නක් කිරීමට කෙනෙක්ද නැතිවන බව. (“Charles, if you don’t do this today, tomorrow there will be nobody to do it for you”)
චාල්ස් මේ අහිංසකයාගේ අත අල්ලා ගන්නා විට ඔහු නෙතින් කඳුළු බින්දුවක් රූරා වැටෙන්නේය. කතා කරන්නට වෙර දරණ මුත් වචන කටට නෑවිත් උගුරේ සිර වන්නේය. මේ චිරාත් කාලයකට පසු කවුරුන් හෝ ඔහු අතින් අල්ලාගත් අවස්ථාවය. රැවුමකින් නොව සිනාවකින් සංග්‍රහ කළ අවස්ථාවය.
“ඔහු කොයිතරම් කෙට්ටුද කිව්වොත්, මේ මිනිසා ඔසවාගන්නට තැත්කරද්දී මට දැණුනේ රෙදිපිළි සාප්පුවක ඇති ඩමියක් ඔසවනවා වගේ. මා ඔහු නාන කාමරයට ගෙනගොස්, අත්වැසුම්වත් නැතිව මගේ මේ අත්දෙකින්ම සෝදා පිරිසිදු කළ පසු මට දැණුනේ කියන්න බැරි තරම් සතුටක්.”
“අවාසනාවකට ඔහු මට හමුවනවිට ඔහුගේ AIDS රෝගී තත්ත්වය ඔඩුදුවා අවසන්. ඒනිසා ඔහුගේ ජීවිතය බේරා ගැනීමට මට හැකිවුණේ නැහැ. මේ අහිංසකයා මිය ගියේ අපේ ගෙදර මගේ කාමරයේදී. වෙලාවට ආහාර හා කතාකරන්නට සගයන් ලැබීමෙන් ඔහුගේ කායික මානසික තත්ත්වය වර්ධනය වෙලයි තිබුණේ. පොඩ්ඩක් ඇඟට මස් දාලත් තිබුණා. ඔහු මිය ගියේ මුවෙහි ශාන්ත සිනහවක් ඇතිවයි. එය මට කිසිදා අමතක නොවන දසුනක්.”
මේ කාලයේදීම චාල්ස්ට තවත් අපූරු අමුත්තියක හමුවන්නේය. ඒ විශේෂඥ වෛද්‍ය කාමලිකා අබේරත්නය. කාමලිකා HIV ආසාදිත වන්නේ මෙරට සුවසේවයේ ලුහුඬුතාවක් නිසාය. HIV වෛරසය ඇගේ රුධිර නාළයන්ට රිංගා ගන්නේ හදිසි අනතුරෙකින් පසුව කෙරෙන රුධිර පාරවිලයනකිනි. මේ රුධිර පාරවිලයනය කළ වෛද්‍ය සේවයම ඇගේ ජීවිතය ඇගෙන් උදුරා ගන්නේය. ස්පර්ශයෙන් HIV ආසදිත නොවන බව හොඳින්ම දන්නා ඇගේ වෘත්තීය සගයෝම ඇය දුටු කල්හි නොදුටුවාක්සේ පාරේ අනෙක් පැත්තට මාරු වන්නෝය. (ඇය මිය ගිය කල්හි ඇගේ අවමඟුලට සහභාගි වන්නේ වෛද්‍යවරුන් දහයකට අඩු සංඛ්‍යාවකි.) සෞඛ්‍ය අමාත්‍යාංශය ඇගේ රැකියාව පමණක් නොව (HIV ආසාදිත නොවූ) ඇගේ සැමියා වෛද්‍ය මයිකල් අබේනායකගේ උසස්වීම්ද උදුරා ගන්නේය.
මෙයින් කම්පිත වන්නේ කාමලිකා නොවේ. ඇයද තම දිවියම තමා තරමටවත් වාසනාවන්ත නොවූ HIV ආසාදිතයන් වෙනුවෙන් කැපකරන්නීය. (කාමලිකා පසු අවස්ථාවෙක ජනාධිපති ගෞරව ලබන අතර, චන්ද්‍රිකා කුමාරතුංග ඇය වැළඳ HIV ආසාදිතයන් කොන් කිරීමට අතුල් පහරක් දෙන ගමන්ම අවම වශයෙන් ඇය කළ එක හොඳ වැඩක් ගැන සටහන් කිරීමේ අවස්ථාව ලේඛකයාට සපයා දෙයි.)
තවත් HIV ආසාදිතයන් ගණනාවක් චාල්ස් හඳුනාගන්නේ කාමලිකා අබේරත්න හරහාය. HIV ආසාදිතයන් සඳහා වූ පළමු ලාංකේය සංවිධානය පිහිටුවා ගනු ලබන්නේ මේ පිරිස විසිනි.
කාමලිකා අබේරත්න මේ පිරිස අතුරින් අවාසනාවන්තියකි. ඇය ජීවත්වනුයේ HIV වලට එරෙහි පර්යේෂණ අද තරම් සාර්ථක වූ යුගයක නොවේ. මේ නිසා ඇගේ දිවි අවාසනාවන්ත ලෙස කෙටි වේ. ඉදින් තව වසර කිහිපයක් පමා වී නම් දිනකට රුපියල් සියයකට අඩු පෙති තුනක් පමණක් දිනපතා ගැනීම තුළින් HIV ආසදිත තත්ත්වය AIDS රෝගය දක්වා වර්ධනය වීම පමා කොට දශක එකක් හා දෙකක් අතර කාලයක් ජීවිතය දීර්ඝ කර ගැනීමේ අවස්ථාව ඇය ලබන්නේය. (අද තත්ත්වය අනුව නිසි පරිදි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නේ නම්, පෝෂ්‍යදායී ආහාරවේලක් ලබන්නේ නම් හා ආරක්ෂකව පමණක් ලිංගික සම්බන්ධතා පවත්වන්නේ නම් HIV ආසාදනය මාරාන්තික විය යුතු නොවේ. HIV ආසාදිතයන්ට දැන් බොහෝදුරට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව ලැබී ඇත්තේය.නිව්යෝක් හි මෑතක කළ සංගණනයකදී හෙළිවූයේ HIV ආසාදිතයන්ගේ මරණ අතුරින් AIDS හෝ සම්බන්ධ රෝග වලින් වන්නේ තුනෙන් එකක් පමණක් බවය. 30% ක පමණ සාර්ථකත්වයක් ඇති ප්‍රති-HIV වැක්සිනයක් පවා මෑතක අත්හදා බලනු ලැබීය.)
චාල්ස් විසින් ලෝකය වෙනුවෙන් කරන ලද මහඟු මෙහෙවර මෙහි පියවරින් පියවර ලියන්නට ලේඛකයා අදහස් නොකරයි. එහෙත් HIV ආසාදිත තත්ත්වයට පත්වූ, එනිසාම රැකියා පමණක් නොව ගෙදර දොරද අහිමිව සිය දිවි නසා ගැනීම හැර වෙනත් විකල්පයක් නොවූ තත්ත්වයට පත්වූ සිය ගණනක් අහිංසකයන්ගේ ආධ්‍යාත්මයට සුවඳක්ව ඇත්තේ ඔහු බව නම් සටහන් කළ යුතුමය. අන් කිසිවක් නැතද ඔහු ඔවුන්ට ජීවත්වීමේ බලාපොරොත්තුව දී ඇත්තේය. ඒ තමන්ගේ ජීවත්වීමේ බලාපොරොත්තුව නැති නොකරගනිමිනි.
දිනෙක පමාවී උදෑසන රැස්වීමකට පැමිණෙන හෙතෙම මෙසේ කියයි: “මට සමාවෙන්න. උදේම යන්න උනා වෛරස් උණ හැදිච්චි මිත්‍රයන් කීප දෙනකුට බෙහෙත් දීල, නාවල එන්න. HIV ආසදිතයන්ට උණ ගැනීමේ සම්භාවිතාව වැඩියි, ප්‍රතිශක්තිය අවම නිසා.” මේ “බස් එක පරක්කු උනා” යැයි කියනවාට වඩා කොයිතරම් අපූරු නිදහසට කාරණාවක්ද?
“I am HIV positive and living with it for eleven years now.” චාල්ස් ලේඛකයා මුල්වරට හමුවූ අවස්ථාවේ කීවේය. දැන් මේ එකොළොස් වසර පහළොව දක්වා දිගු වී තිබේ. මේ වාසනාව ඔහුගේ ප්‍රතිකාර සඳහා පමණක් නොව ජීවිතය ගෙන යාම සඳහාද වියදම් දරන්නට තරම් දෙමාපියන්ට වත්කම තිබූ හෙයිනි. HIV ආසාදිත තත්ත්වයට පත්වන සියල්ලෝම මෙසේ වාසනාවන්ත නොවෙති. ප්‍රතිකාර රජයේ රෝහල් වලින් නොමිලේ සැපයුනද, HIV අසාදිත තත්ත්වය නිසා රැකියාව අහිමි වීම හේතු කොට ගෙන පුද්ගලයන් වශයෙන් නොව පවුල් වශයෙන්ද අන්තිම අසරණ තත්ත්වයට පත්වන්නෝ වෙති. හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා පාත්වූ පසුව සිදුවිය හැකි දේ අමුතුවෙන් කිව මනාද?
චාල්ස්ට ලෝකයට ඇත්තේ එක පණිවිඩයකි: “මම ඔබෙන් මුදල් හෝ රැකියාවක් නොඉල්වමි. අප විසින් එක් අවස්තාවක අත්විඳින ලදුව, පසුව අපට අහිමි වූ, ඔබට තවමත් හිමි නිදහස පමණක් අපට දෙන්න. අප ඔබෙන් ඉල්ලන්නේ එය පමණකි.” (“I don’t ask for money. Neither do I ask for a job. Just give us the freedom that we lost, what everyone of you enjoy. Just give us that freedom. That is all we want.”)
“Can I write your story?” ලේඛකයා එක් අවස්ථාවක චාල්ස්ගෙන් අසන්නේය. ඔහුගේ ප්‍රතිචාරය කෙටිය. “Okay, if you think it does any good to society”
ජීවිතයේ බොහෝ දේ අහිමි කොටගෙන ඇති, එහෙත් තවමත් සිනාසෙන මේ ධෛර්යසම්පන්න මිනිසාට ලොවින් සඟවන්නට දෙයක් නැත්තාක් සේය. මම ඔහු ෆීනික්ස් පක්ෂියාට සම කරමි. දැවී හළුවී යන ෆීනික්ස් නැවත ඒ අළු මතින්ම උපත ලබන්නේය. එනිසාම ෆීනික්ස් විනාශ කළ නොහැකිය.
මම ඔහුට මෙසේ කියමි. Charles, forever you are my inspiration. I am so glad that I have a friend like you.
Posted in Uncategorized | Tagged: AIDS, ඒඩ්ස්, කාමලිකා අබේරත්න, කොළඹ මහ රෝහල, චන්ද්‍රිකා කුමාරතුංග, ජීවිතය, ධෛර්යය, බලාපොරොත්තුව, බොරිස් පොලෙවොයි, සැබෑ මිනිසකුගේ කතාවක්, Chandrika Kumaratunga, Colombo General Hospital, Courage, HIV, Hope, Human Immunodeficiency Virus, Kamalika Abeyratne, Life, Michael Abeyratne, Stigma, The Story of a Real Man | 23 Comments »
Posted by Taboo on October 5, 2009

අතීත කතාව
ලේඛකයාට කැබිතිගොල්ලෑවේ එච්. එම්. මුනිදාස (නම, ගම අන්වර්ථය) හමුවන්නේ Daily Mirror පත්තරයේ කොලම් සෙන්ටිමීටර් දහයකට නොවැඩි තරමේ දැන්වීමක් තුළිනි. මුනිදාස තම පුතුගේ ස්නායු සැත්කමක් කර ගැනීම සඳහා මූල්‍යාධාර අයදියි. ඔහුගේ අවශ්‍යතාව ලොකු ගණනක් නොවේ. මතක හැටියට ලක්ෂ දහයකට අඩුය. වෙනත් බොහෝදෙනකු බලපොරොත්තුවන මුදල මෙන් පංගුවකි. කවර හෝ හේතුවක් නිසා මේ දැන්වීම තවත් එවන් දැන්වීම් සිය දහස් ගණනක් අතර ලේඛකයාගේ අනුකම්පාව දිනා ගනී. ශක්ති ප්‍රමාණයෙන් ආධාර මුදලක් තැපැල් කරන්නට ඔහු පෙළඹෙන්නේ ඒ අනුවය.
දින කිහිපයකින් අනුරාධපුර හුවමාරු අංකයකින් ඇමතුමක් ලැබේ. මුනිදාස රැකියාවෙන් ග්‍රාමාරක්ෂක භටයකු බවද එවකට වයස අවුරුදු දහයක් වන ඔහුගේ පුතාගේ නම නදීශ බවද ඔහු දැනගන්නේය. මේ පළමු ඇමතුම කෙටිය. පරිත්‍යාගය පිළිබඳව මුනිදාස ස්තූතිවන්ත වේ. සැත්කම නුදුරු දිනයක කරන්නට ඉඩ ඇතිබව ඔහු කියයි. ලේඛකයා සාම්ප්‍රදායික ලෙස එය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරයි.
මුනිදාස සේම ලේඛකයාද අනෙකුන්ට වෙනස් පුද්ගලයන් නොවී නම් මේ සම්බන්ධය එතැනින්ම බිඳ වැටෙන්නට තිබුණේය. නමුත් කවර හෝ හේතුවක් නිසා එසේ නොවීම ඔබට කියන්නට අපූරු කථාන්තරයක් ඉතිරි කරන්නේය.
මුනිදාස එක්කෝ ආරක්ෂක භටයකුට කිසිසේත් නොගැළපෙන ආකාරයේ හැඟුම්බර (emotional) පුද්ගලයෙකි. නැතිනම් සිය පුතු කෙරෙහි, යථාර්ථය ඉක්මවා යන්නා වූ අසීමිත ආදරයෙන් වෙළී ගිය පියෙකි. සැත්කම සඳහා පුතු කොළඹ රැගෙන ඒමට ආසන්න වන මොහොතේ සිට දින කිහිපයකට වරක් ලේඛකයාට කතා කරන ඔහු විද්‍යුත් තරංග ඔස්සේ වෛද්‍ය වර්තා ඇතුළු කිසිසේත් අනවශ්‍ය තොරතුරු ගොන්නක් මුදා හරී. (“අද පුතා ඇඩ්මිට් කළා සර්, ඩොක්ටර් නම් කිව්වෙ බය වෙන්ඩ දෙයක් නෑ කියලා. ඒත් කවුද දන්නෙ” හෝ “ලේ දෙන්න කිව්ව සර්. දෙන්නෙක් වත් හොයා ගන්ඩ ඕනෑ”)
රාත්‍රි දහයෙන් පසු ලැබෙන මේ ඇමතුම් ලේඛකයාට කරදරයකි. මුනිදාස තවත් මුදල් ඉල්ලනට එන්නේය යන අප්‍රසන්න හැඟීමද ඔහු පෙළයි. එහෙත් මුනිදාසගේ අභිප්‍රාය මුදල් නොව කවරකුට හෝ තම දුක්ගැනවිලි කියා සිත නිදහස් කර ගැනීම බව ඔහු ටික කලෙකින් අවබෝධ කොට ගනී. කරදරයක් වුව එවැන්නකුට “කතා කරන්නට එපා” කීම කරන්නට අසීරුය. මේ දරුණු සැත්කමකට මුහුණ දෙන්නට සූදානම් දරුවකුගේ පියෙකි. සැත්කම සාර්ථක වේද නොවේද යන්න සංශයකි. සාර්ථක වුව පුතු යළි පියවි තත්ත්වයට පැමිනේද යන්න ප්‍රශ්නාර්ථයකි. ටික කාලයකට මේ කරදරය ඉවසීමට ලේඛකයා තීරණය කරයි.
කතාවේ පළමු කොටස සුඛාන්තයකි. සැත්කම සාර්ථක වේ. පුතා සුවවී නිවසට ගෙනගියදා මුනිදාස ලේඛකයාට කතා කරයි. (“අපි සිරි මහ බෝධියටත් ගිහින් ආවේ සර්. මං සර්වත් මතක් කරලා පින් දුන්නා”)
වර්තමාන කතාව
වසරකට ටිකක් අඩු කාලයකට තුළ මුනිදාස නිහඬ වේ. ඉන්පසු හදිසියේ දිනෙක ඔහු කතා කරන්නේ දැඩි ආහ්ලාදයකිනි.
“පොඩි එකා ශිෂ්‍යත්වෙ පාස් සර්. ඔපරේෂන් එකට පන්ති පාළුවෙච්චි නිසා අපි හිතාගෙන හිටියෙ නෑ පාස් වෙයි කියලවත්. ඒත් හොඳට ලකුණු තියෙනවා.”
ලකුණු කීයදැයි මට නොකියන මුත් පසුගිය වසරේ තෝරාගත් ලකුණු අනුව රාජකීය විද්‍යාලයට පුතා දාගන්නට හැකි යැයි ඔහු සිතයි. (“මේ සැරේ පේපර් එක අමාරුයි ගිය සැරේට වඩා. ඒ හන්දා ඔය ලකුණු වලින් රෝයල් එකට යන්න බැරිවෙන එකක් නෑ.”)
පුතාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මම අසමි. මුනිදාසගේ හඬ මොහොතකට දුක්බර වේ.
“ලොකුම කරදරයක් කියලා දෙයක් නෑ සර්. ඒත් හිසේ රදේ හැදෙනවා වතාවකට. අපි අනුරාධපුර ඉස්පිරිතාලෙට ගිහින් පෙන්නුවා. ඒත් හරියට යමක් කියන්න බෑ කියලයි ඩොක්ටර්ස්ලා කියන්නේ.” මේ හඬට යටින් ඔහු නොකියන දෙයක් ඇති බව මට සිතේ. එහෙත් මම එය හාරා නාවුස්සමි.
ඊළඟ ඇමතුම එන්නේ අනපේක්ෂිත ලෙස දවල් වරුවේය. මුනිදාසගේ හඬේ ඇත්තේ ජයග්‍රාහී ස්වරූපයකි. “රෝයල් එක නම් හම්බ වුනේ නෑ සර්. නූලෙන් මිස් වුනේ. පුතාව ඩී. එස්. එකට දාගත්තා.”
මම ඔහුට සුබපතමි. මේ අනුරාධපුරයට නුදුරු ගමක හැදී වැඩුණු දරුවකුගේ ජීවිතයේ අතිශය වැදගත් අවස්ථාවකි. ඔහුගේ ජීවිතය වෙනස් විය යුතුය. අනාගතය යහපත් විය යුතුය. කැබිතිගොල්ලෑවේ කෙල්ලන් කොල්ලන්ද හැමදාම පොළොව කොට කොටා සිටිය යුතු නැත. ඔවුන්ද වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, පරිගණක ශිල්පීන්, විද්‍යාඥයින්, රජයේ උසස් නිලධරයන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් විය යුතුය. දරුවකුගේ ජීවිතය වෙනස් කිරීමට සුළුවෙන් හෝ දායක වීමි යන සතුටින් මගේ හද පිරී යයි.
මින්පසු තවත් දීර්ඝකාලයකට මුනිදාස නිහඬ වෙයි. එය අවුරුද්දක් හෝ දෙකක් විය හැකිය. කාර්යබහුල ජීවිතය ලේඛකයාට සටහන් තබා ගැනීමේ ඉඩක් නොසපයයි.
මුනිදාස එවර කතා කරන්නේ දැඩි වැසි වැටෙන මූසල රාත්‍රියකය. ඉඳහිට විදිලියක් කොටා අහස ගුගුරා යයි. වැස්ස නිසා ඔහුගේ හඬ අපැහැදිළිය.
“අපට හරි කරදරයක් වෙලා සර්. උදව් කරන්න කවුරුත් නෑ.”
ප්‍රශ්නය කියැන්නයි මම කියමි.
“ඩී. එස්. එකට තේරුණාට සර්, අපි පුතාව දැම්මෙ නෑ. මොකද ඒ කාලෙත් පුතාට නිතරම නූනත් වරින්වර සැරේට හිස රදේ හැදුන. පුතාලගේ අම්ම දරුව කොළඹ එවන්ඩ කැමති උනේම නෑ. ඉතින් අපි ගමේ ඉස්කෝලෙ තියා ගත්ත.”
“දැන් කොහොමද?”
“දැන්නම් හොඳයි සර්. ඔපරේෂන් එක කරලත් කාලයක් වෙනවනෙ. පුතා යවන්නත් පුළුවන්. ඒත් දැන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියනවනෙ ළමයව ගන්ඩ බෑ කියල. තේරුණු අවුරුද්දෙම ඒ ඉස්කෝලෙට යන්න ඕනැලු”
මෙය යකාගේ නීතියකැයි මට සිතෙයි. ඉසුරුපායට ගොස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් හමුවන වී කාරණය පැහැදිළි කොට කියන සේ මම උපදෙස් දෙමි.
“මම ඔය හැමෝම හම්බ උනා සර්. ඇමතිතුමත් හම්බවුනා. හැමෝම අන්තිමට මාව යවන්නෙ එකම තැනට. එතැනින් කීප සැරයක්ම ප්‍රතික්ෂේප වෙලා දැන් තවත් කියලා වැඩක් නෑ. මම ජනාධිපතිතුමාටත් ලිව්වා. ලියුම හම්බවුනාය කියනව එච්චරයි.”
මට ඔහුට දෙන්නට විසඳුමක් නැත. කළ හැක්කේ මේ කතාව අසා සිටීම පමණකි.
“සර් පුළුවන්නම් මට මේ උදව්ව කරන්න” ඔහු අවසානයේ කියයි. “මට ළමයව ඩී. එස්. එකට දාන්න ඕනැ නෑ දැන්. ඒක මේ කපේදි වෙන වැඩක් නෙවෙයි. අනේ සර් අඩු ගානෙ අනුරාධපුරේ නිවන්තක චේතිය එකට දාල දෙන්න. ඒකවත් කරන්න බෑය කියනවනේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන්. කොල්ලට ඉතුරුවෙලා තියෙන්නෙ දැන් ගමේ ඉස්කෝලෙ විතරයි. ඒකෙත් විද්‍යාවටයි ගණිතයටයි ගුරුවරු නෑ. කොහොම විභාග පාස් වෙන්නද සර්, ඒවයින්? ටියුෂන් නම් යනවා. ඒත් මෙහේ හොඳ පන්ති නෑ.”
වසර තිහක යුද්ධය නිමා කිරීම වෙනුවෙන් ජනතාව විසින් කිරිබත් කවන ලද ග්‍රාමාරක්ෂක භටයකුට නැති සිවිල් පිළිගැනීම මා වැනි සාමාන්‍ය පුරවැසියකුට රජයේ ආයතනයකින් ලැබෙතැයි සිතනු අසීරුය. මා දන්නා ප්‍රබල දේශපාලකයෝ නොවෙති. මම ඔහුට වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයාගේ අංකය දෙමි. ඒ දැඩි බලාපොරොත්තු ඇතිව නොවේ.
කැබිතිගොල්ලෑවේ අහිංසක දරුවකුට තමා දැඩිලෙස කැපවීමෙන් දිනාගත් අවස්ථාව අනුව වඩා හොඳ පහසුකම් ඇති පාසලක් ලබා ගැනීම වළකන්නේ ඉසුරුපායේ නිලධරවාදය පමණක්ම නොවේ. මේ මුනිදාසලා හැමදාම රවටනු ලබන රාජ්‍යතන්ත්‍රයේ තවත් හපන්කමකි. වසර හයකට වතාවක් ඔවුන්ගෙන් බලාපොරොත්තුවන චන්දය උදෙසා ‘නිදහස් අධ්‍යාපනය’ නමින් කැරට් අලයක් මුනිදාසලාට දිගු වන්නේය. මේ සශ්‍රීකව වැඩුණු කැරට් අලයක් නොව, නොමේරූ, මැලැවී, මාන්දු වී ගිය කැරට් අලයකි. නිදහස් අධ්‍යාපනය නමින් මුනිදාසලාට ලැබෙන මේ කෙංගෙඩිය කොයිතරම් රැවටීමක්ද යන්න ඔහුට වැටහීමක් නොවේ. වැඩක් වන ආකාරයට නිදහස් අධ්‍යාපනයේ දොරටු විවර වන්නේ දුප්පතුන් අතුරින් ඉතාම සුළු කොටසකට පමණකි. (සංඛ්‍යාත්මකව මෙය 1% පමණ වේ යැයි සිතමි.) පළමුවන ශ්‍රේනියේ සිට සරසවිය දක්වා වැඩකට ඇති රැකියාවක් කළ හැකි ආකාරයේ අධ්‍යාපනයක් ලැබෙන්නේ දුප්පත් පවුල් වලින් මේ සුළු කොටසටය. ඉතිරි සියල්ලෝ එක්කෝ අතර මඟදී ක්‍රමයෙන් ඉවත විසිවෙති. නැතිනම් කිසිවකුට ඵලක් නොවන කලා විෂයයන් කිහිපයක් උගෙන රැකියාවක් නොලැබ දේශපාලකයින් පසුපස යති.
කැබිතිගොල්ලෑවේ හේරත් මුදියන්සේලාගේ නදීශ චාමින්දට ඇරෙන්නට ඔන්න මෙන්න කියා තිබූ දොර වැසෙන්නේද මේ විකල් ක්‍රියාවලියේම කොටසක් ලෙසිනි. දේශපාලකයින් නිදහස් අධ්‍යාපනයේ ඵල ලබන ලක්ෂ සංඛ්‍යාත සිසුසිසුවියන් අතුරින් කෙනකු ලෙස නදීශ හඳුන්නා දෙනු ඇත. මේ දරුවාට නිදහස් අධ්‍යාපනය කියා ලැබෙන්නේ බත් පිඟානක් නොව වෙනකකු කා ඉතිරි කළ ඉඳුල් පිඟානක් බවත්, කළ හැක්කේ එය ලෙවකෑම පමණක් බවත් කියන්නට කෙනක් නොවෙති. ඔහුට පාසලක් නොදී වල කපන ඉසුරුපායේ මහදැනමුත්තන්ට එයින් අඳුරුවන මේ දරුවාගේ අනාගතය ගැන කල්පනාවක් හෝ ඕනෑකමක් නැත. ඔවුන්ට අනුව දරුවකු පාසල් සමය තුළ යම් සෞඛ්‍ය ගැටළුවකට මැදිවන්නේ නම් කළ හැකි එකම දෙය ගමේ ඉස්කෝලයකට ඇතුළු කොට ඔහුගේ අනාගතය ලිපිකරු මට්ටමේ හෝ පහළ රැකියාවක සිර කිරීමය.
අවාසනාවන්තම කාරණය මේ උන්දලාද කොළඹ ඉපිද හැදී වැඩී රෝයල් එකට කාර් එකෙන් ගිය උදවිය නොව ගමේ ඉස්කෝලවලින් ශිෂ්‍යත්වය සමත් වී අනාගතය වෙනස් කර ගත්තවුන් වීමය. තමන් ලද අවස්ථාව වෙනුවෙන්වත් මේ දරුවා වෙනුවෙන් තීරණයක් ගන්නට කෙනක් මේ නිලධර පැළැන්තියේ නොවෙති. දරුවකුගේ අනාගතයට වඩා ඔවුන්ට චක්‍රලේඛ වැදගත්ය.
මම නදීශගේ කතාව වෘත්තීය සගයකුට කියමි.
“ඩී. එස්. එකේ ආදිශිෂ්‍ය සංගමේට කියලා බලන්ඩ පුළුවන්. ගාණක් දෙනව නම් දාන්ඩ බැරිවෙන එකක් නෑ.” ඔහු කියයි. මම කීයක්දැයි අසමි.
“ලක්ෂ තුනක් තුනහමාරක් වත් ඉල්ලයි. අඩුකරගන්ඩ බලමු.”
ලක්ෂ තුනක් නැති මුනිදාස, දේශප්‍රේමීන් වෙනුවෙන් රට රකිමින්, තවමත් තම පුතු කැබිතිගොල්ලෑවේ විද්‍යා ගණිත ගුරුවරුන් නැති පාසලකට යවනවා විය යුතුය. ඔහුට තම පුතා මෝඩයකු කිරීමේ නිදහස අධ්‍යාපනය තුළින් ලැබී ඇත්තේය.
Posted in Uncategorized | Tagged: Anuradhapura, අධ්‍යාපන දෙපර්තමේන්තුව, අධ්‍යාපනය, අනුරාධපුරය, ඉසුරුපාය, කැබිතිගොල්ලෑව, ජනාධිපතිතුමා, නිදහස් අධ්‍යාපනය, නිලධරවාදය, රාජකීය විද්‍යාලය, ශල්‍යකර්මය, ශිෂ්‍යත්වය, Bureaucracy, D. S. Senanayake Vidyalaya, Daily Mirror, Department of Education, Education, Free Education, Grade 5 Scholarship exam, Isurupaya, Operation, President, Royal College | 13 Comments »