Posted by Taboo on February 8, 2010

වැලන්ටයිනොෆෝබියාව අපේ රටේම නිෂ්පන්නයක් නොවෙයි. තවමත් වැඩවසම් ආකෘතිය ඉක්මවා යන්නට අසමත් වූ භාරතයෙනුත්, මුස්ලිම් රටවලිනුත් (සාපේක්ෂව ලිබරල් මැලේසියාවෙන් පවා) කොමියුනිස්ට් රටවලිනුත් මේ ව්‍යාධිය වාර්තා වෙනවා, සමහරවිට අපේ රටේ දකින්නට ලැබෙනවාට වඩා බරපතළ රෝගලක්ෂණ සහිතව. මුම්බායේ හින්දු අන්තවාදී ශිවසේනා බලකායේ වැලන්ටයින් විරෝධී ක්‍රියා නතර වන්නේ අතින් පයින් කෙරෙන පහරදීම්, දේපොළ අලාභ හානි වලින් පසුව.
මේ තලේබාන් සමාජ තවමත් විශ්වාස කරන්නේ ආදරය (ලිංගිකත්වය පසෙක තියමු) ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළ යුතු හැඟීමක් හැටියට. ඔවුන්ට අනුව ආදරය ප්‍රකාශ කිරීම යනු මළපහ කිරීම වැනි පෞද්ගලිකව නියැළිය යුතු අසභ්‍ය (= සභාවන්ට අනෞචිත්‍ය) ක්‍රියාවක්. අපේ පටු කල්තර රාමු තුළ, ඉතාම තියුණු තරගයකින් පසුව රටේ නායකයා බවට පත්වන ජනාධිපතිවරයකුවත් සිප වැළඳ සුභ ප්‍රාර්ථනා කරන්නට ඔහුගේ නීත්‍යානුකූල භාර්යාවටවත් ආචාරාත්මක වරමක් නැහැ. දීර්ඝ කාලයකට රටින් බැහැරවන තම ප්‍රියයාට අපේ රටේ සාම්ප්‍රදායික පතිනියකට සමු දිය හැක්කේ ඇස් වලින් පමණයි; තොල් වලින් නොවෙයි.
ආදරය හා ලිංගිකත්වය කෙරෙහි සමාජය දක්වන මේ දැඩි භීතිකාව සමහර තිරිසන් සතුන්ගේ (උදා: බළලුන්ගේ) ශිශ්නය තුළ ඇති කුඩා අස්ථිය සිහි ගන්වන්නක්. මේ අස්ථියේ එකම පරිණාමික අවශ්‍යතාවය සංසර්ගයේදී ගැහැනු සතුන්ට සියුම් වේදනාවක් ඇති කිරීම. මේ නිසා හැම විටම සංසර්ග අවස්ථාවන් සීමා කර ගැනීමට බැළලියන් වෙහෙසෙනවා. ඔවුන් අවනත වන්නේ ඒ වේදනාව ඉක්මවා ගොස් ලිංගික තෘප්තියක් ලබා දීමට හැකියාවක් ඇති බළලුන්ට පමණයි. මෙය වර්ගයා පවත්වාගැනීමේ හා වර්ධනය කර ගැනීමේ පරිණාමික ක්‍රමෝපායයක්. බැළලියන් මහළු ලොම් හැළුණු රෝගී බළලුන් පිළිකෙව් කොට, කඩවසම්, තරුණ, නීරෝගී බළලුන්ට සංසර්ග අවස්ථාවන් ලබාදීම තුළින් විකෘති බළල් පැටවුන් බිහිවීම අවම කෙරෙනවා.
නමුත් මානවයාට තවදුරටත් මෙවැනි කෘතිම පරිණාමික හෝ පරිණාමික නොවන ක්‍රම මඟින් සංසර්ගය පාලනය කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. පැටවුන් බිහි කිරීමේ මැසිමේ භූමිකාවෙන් බටහිර දියුණු රටවල මානවිකාවන් මිදුණේ මීට දශක ගණනාවකට ඉහත උපත් පාලන ක්‍රම (වඩා ප්‍රචලිත ලෙස Pill හෙවත් ‘පෙත්ත’) ජනප්‍රිය වීමත් සමඟයි. මේ නිසා තවදුරටත් කාන්තාවන්ට අනවශ්‍ය දරු උපත් කෙරෙහි බියෙකින් සංසර්ගය පාලනය කරන්නට ඕනෑකමක් නැහැ. ඇයට අද පිරිමියකුට සේම නිදහස්ව තම ලිංගික ජීවිතය සැලසුම් කර ගැනීමේ නිදහස තිබෙනවා. දියුණු රටවල කාන්තාවන් ලැබුවා වූ මේ නිදහස උපරිම ලෙස භුක්ති විඳින සමයක් මේ. ඔවුන්ට එරෙහිව ඇති සමාජ තහංචි අවමයි. නමුත් තවමත් පරිණාමික හණමිටිය බිම තියන්නට නොහැකි වූ, අපේ රටේ ඇත්තාක් බඳු, තලේබාන් සමාජ ආදරයට චිරාගත සම්ප්‍රදායානුකූල තහංචිම පනවනවා. උපත් පාලන ක්‍රම සඳහා අපේ රටේ (නූගත්, දිළිඳු) කාන්තාවන්ට බටහිර කාන්තාවන්ට ඇරී ඇති ද්වාරයන් විවෘත නැති බව කෙනකුට මෙහිදී තර්ක කළ හැකියි. එහෙත් මීට පිළියම ඔවුන් දැනුම්වත් කිරීම හා මේ ක්‍රම සුලබ කිරීම තුළින් ඒ බාධකය ජය ගැනීම මිසක සාධාරණ මානුෂීය අවශ්‍යතාවයන්ට වැට බැඳීම නොවෙයි.
වැලන්ටයින් දිනය සැමරීම අඩු වැඩි වශයෙන් චිරාත් කාලයක් පැවතුනත්, අපේ රටේ වැලන්ටිනෝෆෝබියාව ඉස්මතු වන්නේ පසුගිය වසර හත අටක කාලය තුළයි. එහි එක් ප්‍රකට මං සළකුණත් උපුල් ශාන්ත සන්නස්ගල විසින් සංවිධානය කරන ‘ආදර වැස්ස’. සන්නස්ගල කියන්නේ වෙළෙන්දෙක්. එහි තර්කයක් නැහැ. හැම වෙළෙන්දකු සේම ඔහුද තමන්ට ගැළපෙන වෙළදපොළ තෝරාගෙන ඊට ගැළපෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා. සෝමරත්න දිසානායක එය කිරීමේ වරදක් නැතිනම් සන්නස්ගල එය කිරීමේ වරදක්ද නැහැ. සන්නස්ගල මෙයින් එපිටට ගිහින් අවංක වීමටත් උත්සාහ කරනවා. ඔහුට අනුව ඔහුගේ අරමුණ මෙතෙක් සමාජයේ ධනපති පංතියට පමණක් විඳින්නට ලැබුණු ආදරයේ රසය සීමිත කාල පරාසයකට හෝ ඊට පහළ පංති වලටත් පරිභෝජනය කරන්නට ඉඩ ලබාදීම.
මේ ප්‍රකාශයේ අපේ රටේ පීඩිතයන් තවමත් හඳුනා නොගත් ගැඹුරු සත්‍යයක් තිබෙනවා. (මෙහි පීඩිතයන් කීවේ වෘත්තීය සංගම් නායකයින් එය භාවිතා කරන අර්ථයෙන් නෙවෙයි. ලංකාවේ සමස්ත තරුණ ජනගහණයෙන් 90%කට වඩා පීඩිතයන් ගණයටයි වැටෙන්නේ.) තවමත් අපේ රටේ ලිංගික නිදහස ලබා ඇත්තේ යමක් කමක් ඇති, ජනගහණයෙන් ඉතාම සුළු ප්‍රතිශතයක් පමණයි. මේ පංතියට ආදරය හෝ රමණය සුඛෝපභෝගය පිණිස වැලන්ටයින් දින එනතුරු බලා සිටිය යුතු නැහැ. අන්තර්ජාතික පාසල්වල මානව මානවිකාවන් සංවිධානය කරන යුනිෆෝම් සාද ගැන මින් පෙර සඳහනක් කළා. මීට අමතරව ඔවුන්ට යව්වනයේ රස විඳින්නට අවශ්‍ය සියළුම මාවත් විවරව තිබෙනවා. කම් සුවය ඇත්තේ SMS කිහිපයක දුරින්. ඊට අවස්ථාව ලබා දෙනවා නම් දිය යුත්තේ ඊට පහළ පංතීන්හි තම යව්වනය දරිද්‍රතාවයට යටකොට දියකර හරින තරුණ තරුණියන්ටයි. ඒ අරුතින් සන්නස්ගල කළේ ලොකු පිංකමක්. අනික් අතට මේ ‘ආදර වැස්ස’ වැලන්ටයින් දිනවල තරුපහේ සාද වල සිදුවන දේවල් අහළින් යන්නේ නැහැ. ඔන්න වැඩිම උනොත් දීර්ඝම හාදුව දෙන තරගයක් තියේවි. එච්චරයි. එක් වසරක දීර්ඝම හාදුව දුන් මානවිකාවියකගේ තොළින් ලේ ආවායි ඒකටත් කවුදෝ පිංවන්තයකු සත්ත්ව කරුණාවෙන් යුතුව ලියා තිබුණා මතකයි.
‘ආදර වැස්ස’ කඩාකප්පල් කිරීමට මුල් වන්නේ එකළ ජාතික හෙළ උරුමයේ නයුවකු වන ගලගොඩ අත්තේ ඥානසාර නම් චීවරධරයායි. (පසු කාලයක හෙළ උරුමයෙන් ඉවත් වී යූ එන් පියට ඉව අල්ලා හොට දාගන්නට බැරිවූ තැන මොහු දැන් දේශපාලන අනාථයකු වී සිටිනවා. ගිය ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා වෙනුවෙන් කඩේ ගිය ජොකියෙක්.) ඉන්පෙර ගංගොඩවිල සෝම වැනි ජනප්‍රිය චරිතයක් විසින් පවා උත්සාහ කොට අතහැර දමන ලද මේ ව්‍යායාමය මෙවර සාර්ථක වන්නේ ජාතික හෙළ උරුමයේ නැඟී එන දේශපාලන බල පුළුවන්කාරකම් හමුවේයි.
වැලන්ටයින් දිනය සමරනවාට එරෙහිව නැඟෙන සරල චෝදනාදෙකක් තමා;
(i) ආදරය වසරේ එක් දිනෙකට සීමා නොවිය යුතුය යන්න හා
(ii) එය වෙළෙන්දන් තම භාණ්ඩ හා සේවාවන් විකුණා ගැනීමට යොදාගන්නා අවස්ථාවක් පමණක්ය යන්න.
මේ බොල් චෝදනා පිළිගන්නවා නම් අප මුලින්ම කළ යුත්තේ වෙසක් උත්සවය (හා පුර පසළොස්වක පෝය නිවාඩු) අහෝසි කිරීම. මොකද ආගම ඇදහීමත් එක් දිනකට සීමා විය යුතු නැහැනෙ. අනෙක් අතට වෙසක් උත්සවය වෙළෙන්දන්ගේ උත්සවයක් වුනේ අද ඊයෙයැ. වැලන්ටයින් දිනයට වගේම වෙසක් එකටත් කාඩ් ගහනවා. මාස ගණනකට හරියන්නට ගතම් එකක් හොයා ගන්න තොරණ බඳිනවා, කූඩු හදනවා. වෙසක් කලාප ගහනවා. බෞද්ධාලෝක මාවතේ මහා වෙසක් සංදර්ශනවලට සම්පත් බැංකුව වගේ දිවයිනේ ප්‍රමුඛ ‘බෞද්ධ’ වෙළෙඳ සමාගම් විසින් අනුග්‍රහය සැපයෙනවා. ගමේ ගොඩේ පන්සල්වලත් සල්පිල් පවත්වනවා. ඇහැට කණට පේන ගැටිස්සියන් මහපු ලේන්සු පොඩි දහස් ගණන් වලට වෙන්දේසි වෙනකොට පුණ්‍යවන්තයින් කට වසා ගෙන හිනාවෙනවා. වෙසක් උත්සවය වෙළෙන්දන්ගේ කෙළි මඬලක් වීම ගැන වචනයක් වත් කතා නොකරන අපේ ගනින්නාසේලාට ඇකේ පුම්ම හැදෙන්නේ වැලන්ටයින් දවසට විතරයි.
පුරාණ ලක් ඉතිහාසයේ කවර දුර්දාන්ත පාලකයකුවත් ආදරයට වර්තමානයේ මෙන් තහංචි දැමූ අවස්ථාවක් වාර්තා වී නැහැ. මේ තහංචි එල්ල වන්නේ රාජ්‍යයෙන් පමණක් නෙවෙයි. රාජ්‍යය සමඟ මතවාදී ලෙස ගැටෙන ජනතා විමුක්ති පෙරමුණ හා කොටි සංවිධානය පවා තම කාඩරයන්ට ආදරයට හා ලිංගිකත්වයට තහංචි පැනවූ අවස්ථා ඕනෑතරම් වාර්තා වෙනවා. (හැබැයි මේ බලවේගයන්ගේ අනුත්තර නායකයින් වූ රෝහණ විජේවීරටසේම වේලුපිල්ලෙයි පිරබාහරන්ටද මේ තහංචි වලංගු වුනේ නැහැ.)
කලින් පෝස්ටයකද සඳහන් කළ පරිදි අපේ මානව මානවිකාවන්ගේ මානුෂීය හා ලිංගික අවශ්‍යතා හඳුනාගන්නා දේශපාලන බලවේග එකක් වත් නැති රටක ඔවුන්ට කළ හැක්කේ දියසේන කුමාරයා එනතුරු සිහින මවමින් හස්තය හා සරණ යාම පමණයි. සමරිසි විවාහ නීත්‍යානුකූල කිරීමට තරම් ඉදිරියට ගොස් ඇති ලෝකයක අප තවමත් ආදරය හා ලිංගිකත්වය හමුවේ තිරිසනුන් ලෙසයි හැසිරෙන්නේ. මානව මානවිකාවන්ගේ සැබෑ නිදහස් දිනය විය යුතු වැලන්ටයින් දිනයේ උරුමය ඔවුන්ට හිමිවන දිනය වර්තමාන තත්ත්වයන් යටතේ පේනතෙක් මානයක වත් නැහැ.
Posted in Uncategorized | Tagged: Adara Vessa, අසභ්‍ය, ආදර වැස්ස, ආදරය, උපත් පාලන ක්‍රම, උපුල් ශාන්ත සන්නස්ගල, කොටි සංවිධානය, කොමියුනිස්ට්, ගංගොඩවිල සෝම, ගලගොඩ අත්තේ ඥානසාර, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය, තලේබාන් සමාජ, තොරණ, දියසේන කුමාරයා, නිදහස, පරිණාමය, භාරතය, රෝහණ විජේවීර, ලිංගික ජීවිතය, ලිංගික තෘප්තිය, ලිංගිකත්වය, වැලන්ටයින් දිනය, වැලන්ටයිනොෆෝබියාව, වෙසක් උත්සවය, වේලුපිල්ලෙයි පිරබාහරන්, ශිවසේනා, සංසර්ගය, සම්පත් බැංකුව, සරත් ෆොන්සේකා, හාදුව, Bharatiya Janata Party, Birth control pill, birth control techniques, BJP, Buddhism, Buddhist Temples, Desmond Morris, Diyasena Kumaraya, evolution, freedom, Galagoda Aththe Gnanasara, Gangodawila soma, Hindu extremism, Janatha Vimukthi Peramuna, Jathika Hela Urumaya, JHU, JVP, kissing, Liberal, love, LTTE, Open markets, Presidential Election, Rohana Wijeaweera, Sampath Bank, Sarath Fonseka, sex, sex freedom, Sex life, sex parties, Shiv Sena, SMS, Taleban, Taliban, Upul Shantha Sannasgala, Valentine’s day, valentinophobia, Velupillei Pirabaharan, Vesak Festival, Womens' freedom, Womens' rights | 21 Comments »
Posted by Taboo on February 8, 2010

ඡායාරූපය: www.indi.ca
මේ පෝස්ටය මුල් වරට කරන ලද්දේ, ජනාධිපතිවරණයට පෙරාතුව 2009 දෙසැම්බර් මාසයේ තුන්වැනිදායි. එයින් පළකළ සමහර අනාවැකි ඉතාම කෙටි කාලයක් තුළ සත්‍ය වී ඇත. (උදා: දැයට කිරුළ, ජවිපෙ මර්ධනයේ ආරම්භය ) කාලීන වැදගත්කම සලකා සංස්කරණයකින් තොරව නැවත පළ කෙරේ. ____________________________________________________________________
මේ අවස්ථාවේදී බොහෝ දෙනකුගේ මාතෘකාව වී ඇත්තේ ජනාධිපතිවරණයයි. ලේඛකයා ඉන් අඩියක් ඔබ්බට ගොස් 2010 ජනවාරි මාසයෙන් පසු උද්ගත විය හැකි තත්ත්වය ගැන සංවාදයක් ඇරැඹීමට අදහස් කරයි. ඒ ලාංකිකයන් බොහොමයකට සේම ඔහුටද වඩා වැදගත් වන්නේ ගෝත්‍රික සටනක් බවට පත්ව ඇති මෙවර ජනාධිපතිවරණය නොව ඉන් පසුව සිදුවන ක්‍රියාවලිය නිසාය. (ජනාධිපතිවරණය වැදගත් වනු ඇත්තේ එහි එක් පාර්ශවයක් නියෝජනය කරමින් පුද්ගලික වාසි ලබා ගැනීමට අපේක්ෂාවෙන් ඉන්නා අජිත් පී. පෙරේරා බඳු පොලිතීසියන් හා දෙපසට බෙදී තම පාර්ශවය වෙනුවෙන් කඩේ යාමට සැදී පැහැදී ඉන්නා බ්ලොග්කරුවන් කිහිප දෙනකුට පමණකි.)
ජනාධිපතිවරණයෙන් වර්තමාන පාලකයාම සමහරවිට සුළු වැඩි ඡන්ද ගණනකින් හෝ යළි බලයට පත්වීම මේ වන විට නිශ්චයකි. එසේ වන්නේ රාජපක්ෂ, ෆොන්සේකාට වඩා ‘හොඳ’ නිසාවත්, පළපුරුදු නිසාවත්, ජනතාව රාජපක්ෂ වඩා ප්‍රියකරන නිසාවත් නොවේ. පවත්නා ක්‍රමය තුළ විධායක ජනාධිපතිවරයකු, ඔහු හෝ ඇය කොයිතරම් දුර්වල වුවද, දෙවන ධුර කාලය සඳහා බලයට පත්වීම සියයට සියයක්ම පාහේ නිශ්චයක් වන නිසාය. තමාද එක තරගකරුවකු සේ සලකා, තමන්ගේ බලතල අතහැර සාධාරණව තරගයක නියැලීමේ සම්ප්‍රදායක් අපේ නායකයන්ට නැත. ජනාධිපති රාජපක්ෂ තරග කරන්නේ ජනාධිපති රාජපක්ෂ ලෙසිනි. තමාගේ පාලනය යටතේ පවත්නා සමස්ත රාජ්‍යතන්ත්‍රයම ඔහු තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් යොදාගනු ඇති බවට කිසිම සැකයක් නැත. මෙය හුදෙක් රාජ්‍ය මාධ්‍ය අසදාචාරාත්මක ලෙස තමාගේ ප්‍රචාරක ව්‍යාපාරයට යොදා ගැනීමට සීමා නොවේ. හැම රජයේ ආයතනයක්ම ස්වකීය සම්පත් (වාහන, පුද්ගල, මුදල්) විශාල ප්‍රමාණයක් පාලක පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට යොමු කරයි. (දකුණු පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ වේදිකා තැනීමට සිරකරුවන් පවා යොදා ගැනුණේය.) පොලීසිය ආණ්ඩු පක්ෂයට කීකරුවන අතරම විරුද්ධ පක්ෂයට කෙනෙහිළි කරයි. වෙනෙකක් තියා නිදහස්ය අප සිතා සිටින දයානන්ද දිශානායක නම් වූ මැතිවරණ කොමසාරිස්වරයාද බලයේ සිටින පාලකයාට ‘යර්ස් සර්’ කියන බයාදු රජයේ නිලධරයෙකි. ත්සුනාමියක් බඳු මේ දැවැන්ත රාජ්‍ය යාන්ත්‍රණයට එරෙහිව සටන් වැද ජය ගැනීමට කිසිම විරුද්ධ පාක්ෂික අපේක්ෂකයකුට පුළුවන්කමක් නැත. සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් වුව මෙහි වෙනසක් වෙතැයි සිතිය නොහැකිය. එක්තරා මට්ටමක නිදහසක් අත්විඳි සිරස වැනි මාධ්‍ය පවා පසුගිය සමයේ නිහඬ කොට තිබීම රාජපක්ෂගේ ජය තව දුරටත් තහවුරු කරයි.
ජයග්‍රහණයෙන් පසු රාජපක්ෂ කෙසේ හැසිරේද යන්න නිශ්චය කර ගත හැක්කේ ජනාධිපතිවරණය තුළ මතුවන කාරණා (issues) සලකා බැලීමෙනි. 2005 ජනාධිපතිවරණයේදී මතුවූ ප්‍රධාන කාරණාව ජනවාර්ගික ගැටළුව හා යුද්ධයයි. ඊට විසඳුමක් ලබා දීම රාජපක්ෂ හමුවේ වූ ප්‍රධානතම අභියෝගය විය. ඔහු මේ ඇජෙන්ඩාවට අනුව ක්‍රියා කොට මේ වන විට යුද්ධය මුළුමනින්ම නවතා ජනවාර්ගික ගැටළුව තව ටික කලකට හෝ බලයෙන් යටපත් කර ඇත. 2010 ජනාධිපතිවරණය මෙබඳු ජනතාවට වැදගත් විය හැකි තනි ප්‍රධාන ගැටළුවක් වටා සංකේන්ද්‍රීය වනු ඇතැයි සිතනු උගහටය. එනිසා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය තනිකරම රාජපක්ෂගේ ජනප්‍රියතාව මත තීරණය වනු ඇත. මෙය “අප ඔබට කැමති නිසා ඔබ පත් කර ගන්නවා. ඔබට හොඳයි කියා සිතෙන දෙයක් දෙයක් කරන්න” යි සමස්ත ජනතාව රාජපක්ෂට කීමකි. වෙනත් වචන වලින් කිව්වොත් “බ්ලෑන්ක් චෙක්” එකක් ප්‍රදානය කිරීමකි. මේ “බ්ලෑන්ක් චෙක්” එක රාජපක්ෂ කිසිම පැකිලීමකින් තොරව ස්වාර්ථය පිණිස භාවිතා කරනු ඇතැයි සිතිය හැකිය.
පසුගිය වසර කිහිපය තුළ ඔහුගේ හැසිරීමෙන් රාජපක්ෂගේ දීර්ඝ කාලීන අරමුණු පැහැදිළිය. ඔහුගේ අවශ්‍යතාවය තමන්ගේ රාජ්‍යයේ මහ රජතුමා බවට පත්වීමය. වැඩවසම් රාජ්‍යයක රාජ්‍යත්වයට පත්වීම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මහජන ඡන්දයෙන් තෝරා ගැනෙන පාලකයා (විධායක බලය ඇතිව හෝ නැතිව) වීමට වඩා ආස්වාදනීය අත්දැකීමකි. මහජන ඡන්දයෙන් පත්වන පාලකයකු යම් නියත කාලයකින් පසු පරාජයට පත්වී හෝ විශ්‍රාම ලබා ඉවත යයි. රටක රජුට එසේ නොව ජීවිතාන්තය දක්වා රට ආණ්ඩු කළ හැකිය. විධායකය පමණක් නොව ව්‍යවස්ථාදායකයද, අධිකරණයද තම සිතැඟි පරිදි පාලනය කළ හැකිය. රජයෙන් තම පවුල සඳහා නියමිත යැපීම් දීමනා ප්‍රමාණවත් නොවේ නම් සිතැඟි පරිදි ඒවා වෙනස් කර ගත හැකිය. රාජ්‍ය භාණ්ඩාගාරය තමන්ගේ පුද්ගලික ධනයේ සේ සලකා ක්‍රියා කළ හැකිය. (අගමැති කොතලාවලට වරක් ප්‍රශ්නයක් මතුවූයේ ලංකාවේ අගමැති නමට ලැබුණු සුදු හංසයින් දෙදනකු තම පුද්ගලික නිවස වන කඳවල වලව්වට ගෙනයාම ගැනය. රජවරුන්ට මෙබඳු ගැටළු නැත. රජයට ලැබෙන ඕනෑම දෙයක් රජතුමාගේය.) එපමණක් නොව තමා සිහසුන හැර යද්දී, කිසිම අපහසුවකින් තොරව පුතනුවන්ට එය උරුම කොට දිය හැකිය. රටක රජුට තමන්ට සිතෙන සිතෙන ආකාරයෙන් බදු පැණවීමටද ඒ මුදල් සියල්ල තම භාණ්ඩාගාරයට යොමු කර ගැනීමටද හැකිය. රටේ සියළුම ව්‍යාපාරික කටයුතු පාලනය කළ හැකිය. වැඩවසම් රාජ්‍යයක ධනවත්ම පුද්ගලයා රජතුමාය. කොයිතරම් ධනවත් වුව යම් සිටුවරයකුගේ ධනය රජුගේ ධනයට වඩා වැඩි වී යැයි බෞද්ධ සාහිත්‍යයේවත් කිසි තැනෙක සඳහනක් නොවේ.
මේ නිසා තම දෙවන ධූර කාලය තුළ රාජපක්ෂ මේ අරමුණු ඉටුකර ගැනීම උදෙසා ක්‍රියා කරනු ඇතැයි සිතිය හැකිය.
1. රාජපක්ෂ ‘රජ’ පවුල ලංකාවේ බලවත්ම පවුල බවට පත් කිරීම
2. රාජපක්ෂ ‘රජ’ පවුල ලංකාවේ ධනවත්ම පවුල බවට පත් කිරීම
3. තම රාජ්‍ය කාලය ජීවිතාන්තය දක්වා බැරිනම්, හැකි උපරිම කාලසීමාව දක්වා දීර්ඝ කර ගැනීම. (මෙය ප්‍රායෝගිකව වසර විස්සක් විය හැකිය.)
4. තමා බලයෙන් ඉවත්ව යද්දී තම වැඩිමහළු පුතු ඒ තනතුරට පත් කිරීම සඳහා පදනම සකස් කිරීම
5. ප්‍රාදේශීය මට්ටමින් තමන්ගේ බලය තහවුරු කර ගැනීම පිණිස රූකඩ පළාත් සභා ආණ්ඩු බිහි කිරීම හා පවත්වාගෙන යාම
6. තමන්ට අවශ්‍ය තීරණ පහසුවෙන් ගැනීමට හැකිවන සේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන හැකි උපරිම මට්ටමට නිහඬ කිරීම
7. විරුද්ධ දේශපාලන මතවාද පාලනය කිරීම හා විරුද්ධ පක්ෂය හැකි උපරිම ලෙස මර්ධනය කිරීම (රනිල් වික්‍රමසිංහ නම් දේශපාලන නපුංසකයා සිටින තුරු මෙයට ලොකු අමතර වෙහෙසක් දැරිය යුතු නොවේ.)
8. තමන්ට විවේචනාත්මක අභියෝගයක් එල්ල විය හැකි මාධ්‍ය නිහඬ කිරීම
9. සුළු ජාතීන් මර්ධනය කොට සියළු රාජ්‍ය හා වෙළෙඳ බලතල තමා අයත්වන සිංහල බෞද්ධ ගෝත්‍රික සමාජය අත කේන්ද්‍රගත කිරීම
10. දියවී යන තම ප්‍රතිරූපය පවත්වා ගැනීම සඳහා මහජන මුදලින් දැවැන්ත ආයෝජන සිදු කිරීම (දැයට කිරුළ වැනි ප්‍රදර්ශන, යෝධ කටවුට් හා ප්‍රතිමා, මුද්දර, නෝට්ටු යනාදියට රුව යොදා ගැනීම, පෝස්ටර් ව්‍යාපාර )
මේ සියල්ල රාජපක්ෂට සාක්ෂාත්කර ගත හැක්කේ එකම ආකාරයකින් පමණකි. ඒ ඉඩි අමීන් සේ දුර්දාන්ත ඒකාධිපතියකු බවට පත්වීමෙනි. එසේ හෙයින් ඔහු ඉදිරි වසර හය තුළ එතැනට ගමන් කරතැයි සිතීම තර්කානුකූලය. ඉඩි අමීන්ට සේම මෙහිදී ඔහුටද විරුද්ධතා (විශේෂයෙන්ම බටහිර රටවලින්) මතුවීමට ඉඩ ඇතද දැනටමත් රාජපක්ෂ රටේ මානසිකත්වය සකසා ඇත්තේ බටහිර රටවල්, අන්තර්ජාතික ආයතන වලින් එල්ල වන කවර හෝ විරෝධතාවයක්, එහි ඇත්ත නැත්ත සොයා නොබලාම ප්‍රතික්ෂේප කිරීමටය. (උදා: චැනල් 4 වීඩියෝව ඉදිරිපත්කරන ලද අවස්ථාවේ එය ප්‍රතික්ෂේප කරන ලද්දේ කිසිම පරීක්ෂණයක් පැවැත්වීමට කලිනි.) එහෙයින් ඔහුට එතැනට ගමන් කිරීමට කිසිම බාධාවක් නොවේ.
රට වැඩවසම් සමාජයක් කරා ගමන් කිරීමත්, ඒ වැඩවසම් සමාජය තුළ පූර්ණ බලැති රජ පවුලක් ඇති වීමත්, ඒ රජ පවුල විසින් තමන්ගේ ඕනෑ එපා කම්වලට අනුව රටේ ආර්ථිකය මෙහෙයවීමත් කවර හෝ දේශයකට අන්තරාදායක බව අමුතුවෙන් කිවමනා නොවේ. අවාසනාවකට මේ අන්තරාය එතැනින් කෙළවර නොවන්නේය. ඉදිරි වසර හය තුළ මීට අමතරව සිදුවිය හැකි තවත් භයානක ව්‍යසනයක් නම් ජනතා විමුක්ති පෙරමුණ ලංකා ඉතිහාසයේ තෙවන වතාවට ආයුධ අතට ගැනීමය. මෙය එක්තරා අන්දමකට අසූව දශකයේ සිදුවූ ක්‍රියාවලියම පුනරාවර්තනය වීමක් විය හැකිය. අසූව දශකයේ ජනතා විමුක්ති පෙරමුණ ආයුධ අතට ගන්නේද නිශ්චිත අරමුණක් ඇතිව නොව දැඩි ඉච්ඡා භංගත්වයේ (extreme frustration) ප්‍රතිඵලයක් ලෙසය. අද රාජපක්ෂ විසින් සකසනු ලබන වටපිටාව තුළ මෙය නැවත සිදුවීමේ දැඩි අවදානමක් පවතී. (ජවිපෙ නිර්දෝෂී බව මින් අදහස් නොවේ.) කාගේ හෝ වරදකින් ඇතිවන මේ ‘කැරැල්ල’ 1971 හෝ 1989 සිදුවූවාටද වඩා දරුණු ක්‍රම භාවිතා කොට මර්ධනය කෙරෙනු ඇත්තේය.
මේ දකුණය. මීට සමාන්තර ක්‍රියාවලි උතුරේ හා නැඟෙනහිර සිදුවිය හැකිය. මිලිටරි බලයෙන් LTTEය අතුගා දැමුවාට LTTEය බිහිවීමට තුඩුදුන් හේතු සාධක කිසිවක් ඉවත් කිරීමට රාජපක්ෂට තවමත් නොහැකි වී ඇති නිසාය. රටේ සම්පත් හා අවස්ථා වර්ගවාදී පදනම මත තෝරාගත් සුළු ජනකොටසක් අතර අසමමිතිකව බෙදී යාම අපේ රටේ ජනතාව තව දුරටත් නිහඬව ඉවසා සිටිනු ඇතැයි සිතිය නොහැකිය.
මේ සටහනෙහි අරමුණ රාජපක්ෂ වෙනුවට සරත් ෆොන්සේකා පත් කොට ගැනීමෙන් මේ ව්‍යසනයෙන් මිදිය හැකිය කීම නොවේ. ෆොන්සේකාද රාජපක්ෂගේ නිවුන් සොහොයුරා බඳු ගෝත්‍රික නායකයෙකි. බලයට පත්වූ පසු ඔහු විසින්ද සමාන ක්‍රියාදාමයක් නොගෙන යනු ඇති බවට කිසිම සහතිකයක් නොවේ. (පෙර ලියා ඇති නිසා ෆොන්සේකා ගැන අළුතින් ලිවීම අර්ථ විරහිතය.) ඊට අමතරව, කලින් පැහැදිළි කළ ආකාරයට පවත්නා සන්දර්භය තුළ ෆොන්සේකා බලයට පත්විය හැකි ඉඩ අතිශයින් අල්පය. බිත්තර බිඳෙන්නට පළමු කුකුළු පැටවුන් ගණන් කළ යුතු නොවේ.
මෙරට නුදුරු අනාගතයෙහි අන්තනෝමතික වැඩවසම් ඒකාධිපති පාලනයක් බිහිවීම නතර කළ හැකි එකම ප්‍රායෝගික මාර්ගය සේ ලේඛකයාට පෙනෙන්නේ සමතුලිත පාර්ලිමේන්තුවක් ඇති කිරීමය. ප්‍රබල විපක්ෂයක් ගොඩ නැගීම තුළින් ජනධිපතිවරයාගේ හිතුවක්කාර ක්‍රියා යම් මට්ටමකට පාලනය වේ. එහෙත් මේ රටේ ඡන්දදායකයා නැමැති මෝඩයාගේ චින්තනය හොඳින් දන්නා නිසා ඒ ගැනද වැඩි බලපොරොත්තු තබා ගැනීමට ඔහු පැකිළෙන්නේය.
Posted in Uncategorized | Tagged: 2010 ජනවාරි, 2010 Presidential Elections, ආර්ථිකය, ඉඩි අමීන්, උතුර, ඒකාධිපති, කොතලාවල, ගාර්දිහේවාගේ සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා, චැනල් 4 වීඩියෝව, ජනතා විමුක්ති පෙරමුණ, ජනපතිවරණය, ජනවාර්ගික ගැටළුව, ජනාධිපති රාජපක්ෂ, දකුණු පළාත් සභා මැතිවරණය, දයානන්ද දිශානායක, නැඟෙනහිර, පළාත් සභා ආණ්ඩු, මහින්ද රාජපක්ෂ, මාධ්‍ය, මැතිවරණ කොමසාරිස්, මැතිවරණ ව්‍යාපාරය, යුද්ධය, රාජපක්ෂ රෙජීමය, වැඩවසම් රාජ්‍යය, විධායක ජනාධිපති, සරත් ෆොන්සේකා, සිංහල බෞද්ධ ගෝත්‍රික සමාජය, සිරස, Channel 4 video, East, Election campaign, Election Commissioner, Ethnic Issue in Sri Lanka, Executive President, Idi Amin, Janatha Vimukthi Peramuna, JVP, LTTE, Mahinda Rajapaksha, media freedom, North, politics, Presidential Elections, Prime Minister of Sri Lanka, Provincial Councils, Sarath Fonseka, Sirasa, Sirasa TV, SLFP, Sri Lanka, Sri Lanka economy, UNP, War in Sri Lanka | 31 Comments »
Posted by Taboo on February 5, 2010

මාස්ටර් බයිලා – අපේ ගෙතු රස කරලා
ඇහිඳ ගනිල්ලා – මේවා නිදහස් බයිලා
කතරට සහරා – ගලන ලෙස රස දහරා
එලිසම නොමරා – ගයමු නිදහස සමරා
නිදහස ලැබුනා – මල්ලි, නිදහස ලැබුනා
තලුමරන්ට මිහිරි අකුරු හතරක් ලැබුනා
ගීයක් ලැබුනා – ජාතික කොඩියක් ලැබුනා
එළිවෙනකොට නිදහස අහසෙන් ගෙට වැටුනා
කොඩිය සුද්දගේ – මල්ලි, සිංහයා අපේ
ලනුව සුද්දගේ – වුනත් කොඩිගහ අපගේ
නෑ බැටකෑවේ – නේරු පාතෙල් වාගේ
නෑ දිවි දුන්නේ මහත්ම ගාන්ධි වාගේ
ලේ හැලුනේ නෑ- සුද්දා තරහ වුනෙත් නෑ
යන්ට ගියෙත් නෑ- නොගිහින් හිටියෙත් නෑ
අදත් බොමූ – ඒ නිදහස් පානෙ සුමිහිරී
තවත් සුමිහිරී – අද ඒ පානෙ මිතුරනී
හිතන්ට නිදහස ලියන්ට කියන්ට නිදහස
බනින්ට නිදහස ඇති රට මේ උත්තම රට
බයිල කියා පුදදෙමු අපි ස්වෛරි සිරිලක
නිවන් දකිත්වා අපගේ ජන නායක කැළ
නිදහස් බයිලාව – සුනිල් ආරියරත්න/නන්දා මාලිනී
සුනිල් ආරියරත්න ‘නිදහස් බයිලාව’ ලියන්නේ අසූව දශකයේ අග භාගයේදී, ‘පවන’ ප්‍රසංගය වෙනුවෙන්. පාලකයා ජේ. ආර්, ජයවර්ධන. ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදී ක්‍රියා උච්චම අවස්ථාවට පැමිණ ඇති මේ යුගයේ විරෝධාකල්පය ඉතාම හොඳින් විකිණිය හැකි වෙළඳ භාණ්ඩයක් සේ ජැක්සන් ඇන්තනිට නොදෙවෙනි කපටි මාකටිං ඉවක් ඇති සුනිල් ආරියරත්න තේරුම් ගන්නවා. වෙළඳපළ කඩා වැටෙන්නට පෙරාතුව දඩිබිඩියේ විකුණා ගැනීම සඳහා කඩිමුඩියේ බාන බිත්තර ආප්ප කිහිපයකින් එකක් තමා නිදහස් බයිලාව. එනිසා මෙහි කලාත්මක අගය ගැන කතා කිරීම අලියා ජින්ජර් බියර් එකක කලාත්මක අගය කතා කිරීම වගේ නිරර්ථක ක්‍රියාවක්. ඒත් එහි යම් දේශපාලන අර්ථයක් ඇති බව ප්‍රතික්ෂේප කළ නොහැකියි. (අනේ ඒ වුනත් ප්‍රගීත් එක්නැළිගොඩ වගේ සුනිල් ආරියරත්න අතුරුදහන් වෙන්නේ හෙම නැහැ. ගැරඬි මරලා පව් පුරවගන්න ඕනැ නෑ කියා ජයවර්ධන හිතන්න ඇති සමහර විට.)
නිදහස් බයිලාව ලියැවෙන සමයේ බොහෝදෙනකු එහි අන්තර්ගතය හා එකඟ වනු දකින්ට පුළුවන්. ‘පවන’ ප්‍රසංගයේ ප්‍රේක්ෂකයන් මේ බයිලා ගායනයට පුටු වලට තට්ටු කිරීමෙන් එක් වෙනවා. “නිවන් දකිත්වා අපේ ජන නායක කැළ” කියන කොට, රිදී තිරයේ ගාමිණී ෆොන්සේකා දුෂ්ඨයාට හොම්බෙන් යන්න දෙනකොට ගැලරියෙන් ඇහෙනවා වාගේම ශාලාව දෙවනත් වෙන්න විසිල් පාරක් යනවා.
දශක දෙකක් දෙකහාමාරකට පසුව ‘නිදහස් බයිලාව’ සමාජයේ පෙර පිළිගැනීමට ලක් වන්නේ නෑ. දැන් අප එදා නොහෙළු ලේ හළා නිදහස දිනාගෙන ඇතැයි රටේ ජනතාව කල්පනා කරනවා වගේ. (ජනතාව = සිංහල බෞද්ධ ජනතාව; අනෙක් උන් මොක්කුද?) තවදුරටත් සුද්දාට කොඩියත්, අපට කුඹගහත් ඉතිරිව ඇතැයි රටේ බහුතරය කල්පනා කරන්නේ නෑ. දැන් දෙකම අපේ වගේ. ඔවුන් හිතන්නේ අපට ලැබිය හැකි උතුම්ම රජතුමා ලැබී එතුමන් පර සුද්දාට රිඹ යන්න නෙළා ඇති බව. හරියට “අනේ කූඹින්නේ, තොපටත් රජෙක් ඉන්නේ, අපට නැත ඉන්නේ, ඒ නිසාවද අප තැවෙන්නේ” කියා කුංකුනාවේ හාමුදුරුවන් ඉත සිතින් බලාපොරොත්තු වූ රජෙකැයි අපට නොසිතෙන මහරජානෝ වගේම. ඉතින් කිව්වා වගේම අප කොඩි සේසත් නඟා, කිරිබත් උයා අනුන්ටත් ඉස්මුරුත්තාව හැදෙනකම් කවා සාදුනාදෙන් ගිගුම් දෙනවා. අනේ සාදු!
මොකද්ද මේ වෙනස? ජේ. ආර්. ජයවර්ධන සමයේ නොතිබුණු අද ලැබී ඇති මේ සුවිශේෂී නිදහස කුමක්ද?
මේ දශක දෙකක කාලය තුළ අප රටක් වශයෙන් ආර්ථිකව ඉදිරියට ගොස් ඇති බවට කිසිම සැකයක් නෑ. මේ කාලය තුළ රටේ ඒක පුද්ගල ආදායම අඩුම තරමින් 400% කින් වර්ධනය වී තිබෙනවා. ඒ වගේම මේ කාලය තුළ ලෝකයේ ඇතිවූ තාක්ෂණික දියුණුව හා පාරිභෝගික භාණ්ඩ මහා පරිමාණ නිෂ්පාදනය තුළින් ඒකක අගය පහත වැටීම නිසා එදා සීමිත පන්තියකට පමණක් පරිභෝජනය කරන්නට ලැබුණු දේවල් අද සමාජයේ බහුතරයක් භාවිතා කරනවා. නවසිය අසූවේ දශකයේ සියයට දහයක් පමණ නිවෙස් වල දකින්නට ලැබුණු රූපවාහිනී අද සියයට අසූවක් නිවෙස් වල දකින්නට පුළුවන්. ජීවිතයේ සියළු දුක්ඛ දෝමනස්සයන් අමතක කර දැමිය හැකි ලෙසින් දිනපතා පැය දෙකක නිර්වින්දනයක් ලබා දෙන මෙගා සීරියල් එදා තිබුණේ නෑනේ. මව් යානාවලින් බේරී කිරිල්ලිට SMS යවන්න මොබයිල් ෆෝන් තිබුනෙත් නෑනේ. අද හොලිවුඩ් වල නිකුත්වෙන සිතුවම්පටයක අනවසර කොපියක් ඊට කලින් සුමානේ රුපියල් සීයකට අරගෙන බලන්න පුළුවන්කම තිබුනෙත් නෑනේ. මීට වඩා ගැඹුරු සාකච්ඡාවකට යනවා නම් අද එදාට වඩා අනිවාර්යයෙන් රැකියා අවස්ථා, ආදායම් අවස්ථා වැඩිවී තිබෙනවා. (ඒකටත් ජයවර්ධනගේම විවෘත ආර්ථිකයට පින් දෙන්නට ඕනෑවීම වෙනම කතාවක්.) මේ නිසා පොදු ජනතාව එදා නොතිබුණු නිදහසක් අත් විඳිනවා යැයි කියන්න පුළුවන්.
නමුත් අද අපට ලැබී ඇතැයි බොහෝදෙනා කියන්නේ මේ නිදහස නොව “ත්‍රස්තවාදයෙන් නිදහස”. වසර තිහක් තිස්සේ උතුරේ තරුණයින් අවි අතට ගෙන පොදු මහ ජනතාවට තර්ජනයක් වීම 2009 මැයි මාසයෙන් අවසාන වෙනවා. කොළඹ නගරයේ බෝම්බ බස් වල බෝම්බ පිපිරීම නතර වෙනවා. මකබාස්ගෙන් ණයට ගත් යෙදුමකින් කිව්වොත් අපට හුජ්ජා කිරීමේ නිදහස ලැබෙනවා.
මේ අප ත්‍රස්තවාදයෙන් නිදහස ලබාගත පළමු අවස්ථාව යැයි කියන්නට බැහැ. 1962 අසාර්ථක හමුදා කුමන්ත්‍රණය මෙරට පළමුවරට ත්‍රස්තවාදය හා ගනුදෙනු කළ අවස්ථාව. මෙය ලේ හැලීමක් කරා ගමන් නොකළත්, 1971දී ජවිපෙ විසින් ඇති කරනු ලැබූ අප්‍රේල් නැඟිටීම ඉතාම කෲර අන්දමින් මර්ධනය කරනු ලබනවා, සිරිමා බණ්ඩාරනායක විසින් අපට “ත්‍රස්තවාදයෙන් නිදහස ලබා දීම පිණිස”. මේ ඉතිහාසයම 1989දී පුනරාවර්තනය වෙනවා. මේ නිසා 2009දී ඇති එකම විශේෂත්වය දෙමළ ත්‍රස්තවාදයෙන් සිංහල ජනයා නිදහස් වීම පමණයි. ඉන් පෙර සිදුවූයේ සිංහල ත්‍රස්තවාදයෙන් සිංහල ජනයා නිදහස් වීම. චිරාත් කාලයක් තිස්සේ දෙමළුන් තමන්ගේ බද්ධ වෛරක්කාරයින් ලෙස සිතාගෙන ඉන්නා සිංහල බෞද්ධ ගෝත්‍රික සමාජයට මින් ලැබෙන්නේ පොඩි ජොලියක් එහෙම නෙවෙයි. විශේෂයෙන් වාර්ගික හුදකලාවේ හැදී වැඩෙන 1983ට පසු පරපුර මේ සාධනීය ජයග්‍රහණයක් ලෙස දකිනවා. තමන්ගේ ඉරිසියාවට නිරන්තරයෙන් පාත්‍ර වන සුද්දන් (ඉරිසියාවට හේතුව: උන් පෝසත්,උගත්), එන්ජීඕ කාරයින් (උන්ට පඩි හම්බවෙන්නෙ ඩොලර්වලින්, අපට තමා රුපියල්), කතෝලිකයින් (උන්ට ඉංග්‍රීසි පුළුවන්, යන්න සෙන්ට් පීටර්ස්, සෙන්ට් ජෝශප් වගේ ඉස්කෝල තියෙනවා) වැනි කොටසුත් ඒ ගොඩට දමා ගත්තාම ප්‍රභාකරන් වගේම මැයි මාසේ මුන්ටත් කෙළ උනා නේද බොලේ කියමින් අපූරු ස්වයං වින්දනයක් ලබන්න පුළුවන්. හරියට මලක් ගහනවා වගේ. අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි. නලින් ද සිල්වගෙන් ඇහුව නම් කියාවි සොමියේ තරම.
මීට අමතරව උපයෝගීතාවය අවම එහෙත් මානසිකව මෙරට ජනතාව (ජනතාව = සිංහල බෞද්ධ ජනතාව) අමන්දානන්දයට පත්කරන සරුව පිත්තල ‘නිදහසක්’ද වර්තමාන පාලකයා යටතේ අපට ලැබී තිබෙනවා. තෙවන පාර්ශවයක් උපුටා දක්වමින් වික්ටර් අයිවන් ගිය සතියේ ඉරිදා ලංකාදීපයට කියන්නේ හරියට කට්ට සම්බල් දමා අනාගෙන කිරිබත් කෑ හැකි පළමු රාජ්‍ය නායකයා “අපේ උන්නැහේ” බව. (“අනිත් අය කිරිබත් කෑවේත් කේක් කන්නා වගේ.”) මේක බොරුවක් හෙම නෙවෙයි. අනෙකුන් ටොයිලට් පේපර්ස් භාවිතා කරද්දී මළ පහ කොට වතුරෙන් සේදූ පළමු රාජ්‍ය නායකයාද එතුමන් බව වික්ටර් අයිවන් තව ටික දවසකින් අපට කියා දෙනවා සිකුරුයි. ඒ විතරක් නෙවෙයි. ජේ. ආර්. ජයවර්ධන කවමදාවත් විහිළුවකටවත් “කුක්කු පැටියා” කියලා පොඩි එකෙක් වඩා ගත්තයැ! චන්ද්‍රිකා බණ්ඩාරනායක ඌරුවරිගෙ වන්නියාව රජගෙදර මුළුතැන්ගෙටවත් වැද්ද ගත්තයැ! ප්‍රේමදාසටවත් කෝපිකඩේ අබිලිංට වගේ ප්‍රතාපවත් උඩු රැවුලක් තිබුණයැ! මේවා අහන දකින කොට මේ තරම් නිදහසක් කවදා අපට තිබුණාද හිතෙනවා. මනාපය 58%කින් නතරවුනු එක පුදුමයි ඊට වැඩි නොවී.
මේ විහිළු ටික අයින් කළාම මොකද්ද අපට දකින්නට පුළුවන්? ජේ. ආර්. ජයවර්ධන යුගයේ සේම අදත් අප දකුණු ආසියාවේ පුංචි රටක් හැටියට ගෝලීය ධනවාදය මත ඒ මට්ටමටම යැපෙන බව. (වරදවා තේරුම් ගන්න එපා. ගෝලීය ධනවාදයෙන් අප මිදිය යුතු යැයි කීමක් නොවේ මේ. එය කරන්ට බැරි දෙයක්. එය විය යුතුත් නෑ. නමුත් අප ඉන්නා තැන අප දැන ගත යුතුයි.) අදත් අපට අවශ්‍ය දැනුම නිර්මාණය වන්නේ දේශීය සරසවිවල නොව විදේශීයව. වැඩිදුර අධ්‍යාපනයට අප තවමත් පිටරටටයි යන්නේ, මොන ක්ෂේත්‍රයේ වුනත්. බැහැරින් මෙහි එන සිරිතක් නෑ, කලාතුරෙකින් බෞද්ධ දර්ශනය වගේ දෙයක් ඉගෙනගන්න මිසක. අපේ රටේ වාර්ෂික අයවැය හිඟය පියවන්නේ පිටින් ගිනි පොළියට ණය අරගෙන. මේ නිසා අපි ඇත්තටම හැම කෙනෙක්ම එදාට වඩා අද ණය වී තිබෙනවා. මගේ මතකය නිවැරදි නම් 2008 අයවැයෙන් අප වැයෙන් 50%කට එනම් හරි අඩකට වඩා වැඩි කොටසක් වැය කළේ මේ ණය ගෙවීම පිණිස. ලිප ගිණි මොළොවන තෙක් දිය සැළියේ කීවාක් මෙන් අප දැන් සිටින්නේ මැතිවරණ පිණිස කෘතිමව සකස් කරන ලද ජනතා හිතවාදී ආර්ථික පරිසරයකයි. මේ කෘතිම සනීපය හැමදා පවතින්නේ නෑ. පැට්රල් ඩීසල් ගෑස් හැමදාම මේ ගණන් වලට ලැබෙන්නේ නෑ. දිය සැළිය රත්වන දවසකුත් ඉක්මණින්ම එනවා. බලාගෙන ඉන්න.
කොටින් කිව්වොත් ඔය විජාතික බලවේගද මොනවාද කියන ඒවා අසූවේ දශකයේ තිබුණා වගේම අදත් තියෙනවා. හෙටත් තියේවි. ඔය එකක්වත් දකුණු ආසියාවේ කොනක තියෙන පුංචිම පුංචි තුන්වන ලෝකයේ රටකට ඕනැ විදියට වෙනස් වෙන්නේ නෑ, කට්ට සම්බල් එක්ක කිරිබත් කෑවාට.
ඊළඟට අපට ත්‍රස්තවාදයෙන් ලබා දී ඇතැයි කියන නිදහස දෙස බලමු. ලංකා ඉතිහාසය දෙස බැලීමේදී පැහැදිළිව පෙනෙන දෙයක් නම් කොයිතරම් ප්‍රබල මිලිටරි බලයක් යොදා පාලනය කළත් ජනතාවගේ එදිනෙදා ගැටළු නොවිසඳී තිබේනම් රට යළි ත්‍රස්තවාදී තර්ජනයට යට වීමට ඉඩක් ඇතැයි යන්න. ත්‍රස්තවාදයෙන් සෑබෑ නිදහස ලැබෙන්නේ පීඩිත බලවේග සැබෑ ලෙස ප්‍රධාන දේශපාලන ධාරාවට එක් වීමෙන් පසුව. එය කෙතෙක් දුරට වී තිබෙනවාද? බලය විමධ්‍යගත කිරීමක් තියා දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන බලවේග ප්‍රධාන ධාරාවන්ට එක් කොට ගැනීමේ කිසිම සැලසුමක් තවම නැහැ. ඒ වෙනුවට කෙරෙන්නේ ඔවුන් ද්‍රෝහීන් ලෙස නම් කරමින්, ඔවුන් හා දේශපාලන සන්ධානයකට එක්වීම පවා ආනන්තරිය පාපකර්මයක් සේ නිර්වචනය කරමින් ඔවුන් නැවත වාරයක් ත්‍රස්තවාදය වෙත තල්ලු කිරීම.
මෙය උතුරට පමණක් නොව දකුණටත් අදාළයි. පසුගිය දශක එකහමාර තුළ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ධාරාවේ දේශපාලනයට එක්වීම ඉතා සාධනීය ලක්ෂණයක්. එයින් ඔවුන් සේම රටද විශාල ව්‍යසනයකින් ගැළවුනා. නමුත් අද වන්නේ කුමක්ද? හැකි උපරිම බලතල භාවිතා කොට ජවිපෙ අත ඇති සුළු බලය පවා ඔවුන්ට අහිමි කරලීම. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව කියන්නෙ ලොකු දෙයක් නෙවෙයි. සුරුට්ටු කඩයක් වගේ. සුරුට්ටු කඩේ පාලනයවත් ජවිපෙට කරන්ට නොදීමෙන් පාලකයින් ඉල්ලාගෙන කන්නටද මේ සැරසෙන්නේ?
මේ කාරණා කාරණ සැලකීමේදී වෙනදාට වඩා අමුතු නිදහසක් මෙවර ඇතැයි හිතන්නට කොහෙත්ම ඉඩක් නෑ. මේ “එදා කඳුරට කඩුව ගත් සිංහයා නැවතත් නැඟෙන්නේ නම් – මෙදා නිදහස් උළෙල උළෙලකි ඔබත් මා මෙන් සිතන්නේ නම්” කියා මීට අඩසියවසකට පමණ පෙර පී. බී. අල්විස් පෙරේරා කිවිඳුන් විස්තර කළ ආකාරයේ නිදහස් සමරුවක් හෙම නොවේ. රටේ පොදු ජනතාවගේ වියදමින් තේජෝ බල පරාක්‍රමයෙන් යුතු වැඩවසම් පාලකයකුගේ කුටුම්භය තවදුරටත් රක්ෂා කරන බව ස්ඵුථකරන සමරුවක්.
ඉතින් අදත් වෙනදා වගේම මහින්ද අබේසුන්දරගේ විපරම අහලා, පබා නැති පබා බලලා (කරන්ට නිදහස ඇති නිසා)ලොකු චූ පාරක් දාලා, නාමල් බේබිගෙ පින්තූරෙට හඳුන් කූරක් පත්තු කරලා, මදුරුවො තල තලා බුදිය ගනිමු. ඒක තමා අපේ නිදහස. නිවන් දකිත්වා අපගේ ජන නායක කැළ! සමාවන්න, වැරදුණා. නිවන් දකිත්වා අපගේ ජන නායක පවුල!
Posted in Uncategorized | Tagged: ආර්. ප්‍රේමදාස, ඉරිදා ලංකාදීපය, ඌරුවරිගේ වන්නියා, ඒක පුද්ගල ආදායම, කට්ට සම්බල්, කිරිබත්, කුංකුනාවේ හාමුදුරුවන්, ගාමිණී ෆොන්සේකා, චන්ද්‍රිකා බණ්ඩාරනායක, ජයවර්ධන, ජවිපෙ, ජාතික කොඩිය, ජැක්සන් ඇන්තනි, ජේ. ආර්, තාක්ෂණික දියුණුව, දෙමළ ත්‍රස්තවාදය, නලින් ද සිල්වා, නිදහස, නිදහස් බයිලාව, පවන, ප්‍රගීත් එක්නැළිගොඩ, ප්‍රභාකරන්, ප්‍රේමදාස, පී. බී. අල්විස් පෙරේරා, බයිලා, බයිලා ගායනය, මහින්ද අබේසුන්දර, රැකියා අවස්ථා, වික්ටර් අයිවන්, විවෘත ආර්ථිකය, සිංහල ත්‍රස්තවාදය, සිංහල බෞද්ධ ගෝත්‍රික සමාජය, සුද්ද, baila, Chandrika Bandaranaike, Colombo, Development, freedom of thought, Future of Sri Lanka, Gamini Fonseka, Global Capitalism, Income opportunities, Independence, India freedom struggle, ITN, J. R. Jayawardene, Jackson Anthony, Jawaharlal Nehru, Job opportunities, JVP, kiribath, kunkunave thero, LTTE, Mahatma Gandhi, Mahinda Abeysundara, Mahinda Rajapaksa, media freedom, mobile phones, Nalin De Silva, Namal Rajapakse, Nanda Malini, national anthem, national flag, Open Economy, P. B. Alwis Perera, Pabha, Pavana, poliics, Prageeth Ekneligoda, Premadasa, Rupavahini, Sardar Vallabhbhai Patel, Sinhala terrorism, SMS, South Asia, Sri Lanka, Sri Lanka economy, Sri Lanka History, Sri Lanka per capita income, Sunday Lankadeepa, Sunil Ariyaratne, Tamil terrorism, Tamils, terrorism, Tissamaharama, TNA, TV, University education, Uruvarige Vanniya, Velupillai Pirabaharan, Victor Ivan | 20 Comments »
Posted by Taboo on January 30, 2010

මේ පරාක්‍රමබාහු නොවේ.

නිවුන් සැතැපෙන පිළිම - ගල් විහාරය (ඉහළ) හා තන්තිරිමලේ (පහළ) මේ දෙක නිර්මාණය කිරීම අතර සියවස් හතරක පරතරයක් වී යැයි සිතිය හැක්කේද?
අපේ රටේ ජනප්‍රිය ඉතිහාසය වූ කලී මිථ්‍යා ආකරයක්. දේශපාලන අවශ්‍යතාවයන් උදෙසා, බොහෝ දෙනකු අසන්ට රිසි මේ මිථ්‍යාවන්ට පොහොර දමමින් වර්ධනය කිරීම දැන් මෙරට දේශපාලන වශයෙන් ආධානග්‍රාහී ‘ඉතිහාසඥයන්ගේ’ එදාවේල ජොබ් එක බවට පත්ව තිබෙනවා.
ජනාධිපතිවරණයේ උණුසුම අඩුවෙමින් පවතින මේ මොහොතේ තව දුරටත් දේශපාලනය කතා නොකරන්නැයි කෙරෙන ඉල්ලීමට කන්දෙමින් ජනප්‍රිය ඉතිහාසයේ මේ මිථ්‍යාවන් කිහිපයක් ගැන කතා කරන්ටයි කල්පනාව.
අද මාතෘකාව පරාක්‍රමබාහු I (1153-86). මේ සමහරවිට දුටුගැමුණු හැරුණු විට අපේ ජනප්‍රිය ඉතිහාසයේ වඩාත්ම කැපී පෙනෙන වීර චරිතය විය හැකියි. එහි පුදුමයක් නැහැ. මෞර්ය, ථෙරවාදී, මහාවිහාර භික්ෂූන් අතින් චෝළ ආක්‍රමණිකයන්ට පමණක් නොව ලම්බකර්ණිකයන්ට හා මහායානිකයන්ටද එරෙහිව ලියැවෙන මහාවංශයේ වීරයා දුටුගැමුණු වන්නාක් සේම චූලවංශයේ වීරයා වන්නේ පරාක්‍රමබාහු . මීට හේතුව පැහැදිළියි. අටවන හා නවවන සියවස් තුළදී අපේ රටේ බිහිවන මහායාන-තන්ත්‍රයානග්‍රාහී දියුණු ශිෂ්ටාචාරයේ චිතකයේ අවසාන ඇණය ගසා ස්ථිවිරවාදීන්ට සියවස් ගණනාවක් තිස්සේ නැතිව ගිය ආගමික ආධිපත්‍යය යළි අත්කර දෙන්නේ පරාක්‍රමබාහු . එහිදී මහා විහාර භික්ෂූන් ඉතාම කෘතවේදීව කෙන්ද කන්ද කරමින් අද ජැක්සන් ඇන්තනි රඟපාන භූමිකාවම රඟපාන්නට පටන් ගන්නවා.
චූලවංශය නිර්මාණය කරනු ලබන මිථ්‍යාවන් පසු කළෙක තව වර්ධනය වෙනවා. කොටින්ම අද වන විට පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයට නුදුරුව පොත්ගුල් විහාරය ආසන්නයේ ඇති පිළිමය පවා බොහෝදෙනකු විශ්වාස කරන්නේ පරාක්‍රමබාහු පිළිමයක් ලෙසයි. මීට කිසිම පිළිගත් සාක්ෂියක් නැහැ. දක්ෂිණ භාරතයේ ඇති සමාන පිළිම හා සංසන්දනයෙන් මෙය බොහෝවිට චෝළ ආක්‍රමණ සමයේ කරන ලද ඍෂිවර පිළිමයක් බව පැහැදිළියි. මෙය පුලස්ති හෝ අගස්ති ඍෂිවරයාගේ පිළිමයක් බවයි වඩාත් පිළිගත් පුරාවිද්‍යා මතය.
මේ පරාක්‍රමබාහු පිළිමයක් බව කියන්නට ආචාර්ය සෙනරත් පරණවිතාන උන්නැහේ පවා ඉදිරිපත් වෙනවා. (අපේ රටේ පුරාවිද්‍යාවට ප්‍රාමාණික මෙහෙවරක් කළද, දැන හෝ නොදැන පරණවිතාන නිර්මාණය කර ඇති මිථ්‍යාවන් ගැන කියන්නට නම් පොතක්වත් ලිවිය යුතුයි.) ඔහු එසේ කියන්නේ මේ පිළිමයේ අතෙහි ඇත්තේ මුණින් නැමූ වියගහක් බව කියමින්. කෘෂිකාර්මීය දිවිපෙවෙත නියෝජනය කරන වියගහ එකළ රාජ්‍යත්වයේ සංකේතයක් බව කියන්නට ඔහු රුකුල් කර ගන්නේ පනාකඩුව තඹ සන්නසෙහි “තමා සොවුරු ඈපා මායා යුව රජ ඈ රජගණා ප‍්‍රමුඛයෙන් සිහවිකුම් යහළ යුවළතිනුක” කොටස. මෙහි ‘යහළ’ (=වියගහ) යන වචනය සඳහන් වීම පමණක් යන සරල කාරණාව මත පමණක් පදනම්ව පරණවිතාන පොළොන්නරු යුගයේ තිබුණාය කියා උපකල්පිත නම්බු නාම ප්‍රදානයේදී වියගහ අතට දීමේ චාරිත්‍රයක් ගැන රාජකීය ආසියාතික සංගමයට පර්යේෂණ පත්‍රිකාවක් පවා ලියනවා. නමුත් අද අප දන්නේ ඔහු සන්නසෙහි ‘යහළු’ යන වචනය වරදවා ‘යහළ’ ලෙස කියවා සම්පූර්ණ වැරදි අර්ථකථනයක් දුන් බවයි. මේ පිළිමයේ අතෙහි ඇත්තේ වියගහක්ය කියන කතාවේ කිසිම පදනමක් නැහැ. එය බොහෝවිට පුස්කොළ පොතක් විය යුතුයි.
පරාක්‍රමබාහු සම්බන්ධ තවත් මිථ්‍යාවක් නම් ඔහු විසින් ගල් විහාරය හෝ අඩු තරමින් එහි ඇති පුරාණ ලාංකීය මූර්ති ශිල්පයේ කැඩපතක් බඳු බුදු පිළිම ත්‍රිත්වය නිර්මාණය කළේය යන්න. බොහෝ ඉතිහාසඥයින්, පුරා විද්‍යාඥයින් පවා මෙය ප්‍රශ්න නොකර පිළිගන්නේ ඔවුන් තුළ සිටින පර්යේෂකයා ඉක්මවා ‘සිංහලයා’ මතුවීම නිසා විය හැකියි.
අපේ රටේ අනෙකුත් මෙවැනි දැවැන්ත සෙල්මුවා බුදු පිළිම සියල්ලම අයත් වන්නේ කිතුවසින් 8-9 සියවස් සමයේ පැවති මහායාන-තන්ත්‍රවාද ශිෂ්ටාචාරයට. (උදා: අවුකන, වෙස්සගිරිය, මාළිගාවිල, බුදුරුවගල) මීට හේතුව පැහැදිළියි. කලා ශිල්ප කෙරෙහි ඍණාත්මක ආකල්පයක් දක්වන ලද ස්ථිවිරවාදය මෙන් නොව මහායානය තුළ ඊට ලැබුණු ධනාත්මක දිරිගැන්වීම තුළ හැම කලාවක්ම වර්ධනීය තත්වයක් ලබා ගැනීමේ පුදුමයක් නැහැ. එනිසා මේ පිළිම ත්‍රිත්වය පමණක් දොළොස්වැනි සියවසට අයත් වූයේ කෙසේදැයි අනිවාර්යයෙන්ම ගැටළුවක් මතුවනවා. ඒ සැකය තවත් තහවුරු වන්නේ මේ පිළිම වලින් දෙකකට ඉතාම සමාන ‘නිවුන්’ පිළිම දෙකක් (සැතපෙන හා හිඳි පිළිම) දිවයිනෙහි අනෙක් කොණෙහි 8-9 සියවස් වලට අයත් යැයි සැලකෙන තන්තිරිමලේ විහාරයේ දක්නා ලැබෙන නිසයි. ශෛලිය අතින් බැලූවිට පොළොන්නරු ගල් විහාරයේ පිළිම පැසුළු අනුරාධපුර (මහායාන) යුගයේ පිළිමවලට ඉතාම සමානයි. මේ නිසා මේ පිළිම ත්‍රිත්වය පමණක් දොළොස්වන සියවසට දාතමකරණයේ තර්කාණුකූල භාවයක් නැහැ. සමහරවිට මේ පිළිම සහිත පෙර ගල් විහාරය නැවත ප්‍රතිසංස්කරණය කළේ පරාක්‍රමබාහු විසින් විය හැකියි. නව විහාර තනනවාට වඩා පැවති විහාර වලට අළුතින් කොටස් එකතුකරලීම මේ යුගයේ රජවරුන් තුළ පැවති සම්ප්‍රදායයක්.
මෙහිදී පැණ නැඟිය හැකි එක් ප්‍රශ්නයක් නම් එකොළොස්වන සියවසේදී අගනගරය බවට පත්වන පොළොන්නරුවෙහි අටවන හා නවවන සියවසට අයත් වෙහෙර විහාර තිබිය හැකිද යන්න. මෙහිදී අප අමතක නොකළ යුත්තේ අගනගරය වීමට පෙරාතුව පොළොන්නරුව රටේ ප්‍රධාන වෙළෙඳ නගරයක් සේ සමාන්තරව සියවස් ගණනාවක් පැසුළු අනුරාධපුර යුගයේද පැවති වග. මෙනිසා පොළොන්නරුවෙහි පැසුළු අනුරාධපුර යුගයට අයත් පුරාවස්තූන් හමුවීමේ කිසිම අරුමයක් නැහැ.
අවසාන වශයෙන් අපි බලමු වංශ කතා කරුවා විස්තර කරන්නාක් සේ පරාක්‍රමබාහු ‘මහා’ යන අභිධානයෙන් පිදිය යුතු තරමේ ශ්‍රේෂ්ඨ නරපතියෙක්ද යන්න.
රටේ කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඔහු මහඟු මෙහෙවරක් කළ බැව් පැහැදිළියි, පරාක්‍රම සමුද්‍රය ගොඩ නැඟීම තුළින්. එහෙත් මෙවන් වාරිකර්මාන්ත අනුරාධපුර හා පොළොන්නරු යුගයේ රජකළ බොහෝ නරපතීන් අතින් සාමාන්‍යයෙන් කෙරුණු දෙයක්. එවකට දියුණු වාරි කර්මාන්තයක් තාමපර්ණියේ තිබූ බවද පැහැදිළියි. මේ නිසා පරාක්‍රමබාහු විසින් පරාක්‍රම සමුද්‍රය ගොඩ නැංවීම ධාතුසේන විසින් කලා වැව හෝ මහසෙන් විසින් මින්නේරිය වැව ඉදි කිරීමට වඩා වෙනස් වන්නේ නම් ඒ පරාක්‍රම සමුද්‍රයේ විශාලත්වයෙන් පමණයි. කිලෝමීටර දහහතරක් දිග මීටර් දොළහක වැව් බැම්මකින් වටවූ පරාක්‍රම සමුද්‍රය අතීත ලක් ඉතිහාසයේ ගොඩ නඟන ලද දැවැන්තම වාපියයි. සියවස් ගණනාවක් මුළුලේ වර්ධනය වෙමින් ආ දේශීය වාරි කර්මාන්තය මේ යුගයේදී සිය කූටප්‍රාප්තිය ලබා ගත් බවයි පෙනෙන්නේ.
රණ ශූරයකු ලෙසින් පරාක්‍රමබාහු ලක් ඉතිහාසයේ යම් සලකුණක් තැබුවද ඔහුට තම සටන් වලින් අඩකටත් වඩා වැඩි ගණනක් කරන්නට සිදු වූයේ අභ්‍යන්තර සතුරන්ට විරුද්ධවයි. මේ ගෝත්‍රික සටන් සමස්තයක් ලෙස ලක් ඉතිහාසයට වැදගත් නැහැ. සමහර විට ඊට වඩා වැදගත් ඔහු කලාපීය දේශපාලනයෙහි ලා විදේශීය රාජ්‍ය සමඟ ඇතිකරගත් අපූරු යුද සම්බන්ධතාවයන්. අපේ ඉතිහාසයේ මෙවැනි සාර්ථක විදේශීය යුද සම්බන්ධතා ඇති කොටගත් නර පතීන් හමුවන්නේ අතළොස්සක් පමණයි. පොදු සතුරා සේ සැලකිය හැකි චෝළයන් හා සටන් කිරීම පිණිස පරාක්‍රමබාහු පාණ්ඩ්‍යයන් හා එක් වෙනවා. මේ සටන් විස්තර අතිශයෝක්තියෙන් චූලවංශයෙහි විස්තර කොට ඇති බවත් පරාක්‍රමබාහුගේ හමුදා පරාජය වූ අවස්ථාවන් ගණනාවක් විස්තර කිරීම අත්හැර ඇතිබවත් දක්ෂිණ භාරතීය මූලාශ්‍ර ඇසුරින් කියන්නේ භාරතීය ඉතිහාසඥයකු වූ නීලඛන්ඨ ශාස්ත්‍රි. නමුත් එයින් ඒ කටයුත්තේ වැදගත්කම නැති වන්නේ නැහැ. තම බලපරාක්‍රමයන් කෙසේ වුවද පාණ්ඩ්‍යයන් හා එක් නොවීම තුළින් පරාක්‍රමබාහුගේ රාජ්‍යය පවා යළි සොළීන් අතට පත්විය හැකිව තිබුණා. ඔහු දූරදර්ශී රාජ්‍යතාන්ත්‍රිකයකු සේ මෙහිදී කටයුතු කර ඇති බැව් පැහැදිළියි.
ඉතාම වැදගත් ප්‍රශ්නය දේශයේ ආර්ථිකය නැංවීම උදෙසා පරාක්‍රමබාහුගේ කාර්යභාරය කවරේද යන්න.
පොළොන්නරු යුගයේ රටේ ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් දෙක හඳුනාගත හැකියි. එකක් ගොවිතැන. අනෙක විදේශීය වෙළඳාම. රජයට ආදායම් එක් වන්නේ මේ දෙයාකාරයෙන්. රටේ වැඩි ප්‍රමාණයක් කුඹුරු අයත් වන්නේ රජතුමන්ට. මෙයින් රජයට විශාල නියත ආදායමක් ලැබෙනවා. පුද්ගලික ඉඩම් අයිතිය අහිමි කර නැති මුත් පරාක්‍රමබාහු ඒ සඳහා සැලකිය යුතු මට්ටමේ ඉඩම් බද්දක් අයකර ගන්නවා. අස්වැන්න ලැබීමෙන් පසු ගෙවිය යුතු වූ මේ බද්ද සාමාන්‍යයෙන් මුළු අස්වැන්නෙන් හයෙන් එකක් වූ මුත් නියඟය නිසා සමස්ත අස්වැන්න වැටුණු අවස්ථාවල මීට වැඩි කොට තිබෙනවා. මෙහිදී ලංසුකිරීමේ හැකියාවක් නැති ගොවියා පත් වන්නේ ඉතාම අසීරු තත්ත්වයකටයි.
මීට අමතරව පරාක්‍රමබාහු ගොවිතැන සඳහා සපයන ජලය වෙනුවෙන් ‘දියදඩ’ නම් බද්දක් අය කරනවා. මෙය අනුරාධපුර යුගයේ ප්‍රචලිත ‘දියදෙදුම්’ බද්දට සමානයි. මේ බදු දෙකට අමතරව තෙවන බද්දක් පැනැවෙන්නේ අස්වැන්නෙන් කොටසක් විදේශයන්ට වෙළෙඳාම් කරන්නට යාමේදී. (ප්‍රමාණය නොදන්නා මුත් අපේ රට ‘පෙරදිග ධාන්‍යාගාරය’ ලෙස හැඳින්වූ මේ යුගයේ කෘෂි නිෂ්පාදනයෙන් යම් කොටසක් විදේශයන්ට අලෙවි කළා විය හැකියි.) මෙසේ බදු තුනකට යටත්ව, සමහරවිට නියඟයෙන් බැට කමින්, තම නිෂ්පාදනයන් කරන්නට වූ ගොවියා මොනතරම් අසීරුතාවයකට පත් වූවාද වටහා ගත හැකියි.
මේ සාධක වලින් ඉතාම පැහැදිළි පරාක්‍රමබාහු රටේ දේශපාලන හා ආර්ථික (හා සමහරවිට ආගමික) සංවර්ධනයක් ඇති කළත් එය කොට ඇත්තේ ස්වකීය ජනතාව මත ඉතාම දැඩි ලෙස බර පැටැවීමෙන් බවයි. මේ නිසා ඔහු හැම අර්ථයකින්ම නර ශ්‍රේෂ්ඨයකු වන්නේ නැහැ. මේ නිසා චූලවංශය විසින් ඔහුට ලබාදෙන ‘මහා’ ආඛ්‍යානය විවාදාපන්නයි.
දීර්ඝ කාලයක් තිස්සේ කර ඇතැයි සිතෙන වාරි කර්මාන්තයන්, ආර්ථික ප්‍රතිසංස්කරණ යනාදිය ඉතාම කෙටි කාලයක් තුළ ඉටුකිරීමට පරාක්‍රමබාහුට (හා පොළොන්නරුවේ අනෙකුත් පාලකයන්ට) හැකිවුවද, ඔහු එය කර ඇත්තේ රටේ සම්පත් දැඩි ලෙස මිරිකීමෙන් පසුව බව කියන්නේ ඉතිහාසඥ ආචාර්ය කේ. එම්. ද සිල්වා. මේ ඔහුගේම වචන:
” There was such a tremendous amount of constructive achievement in administration, economic rehabilitation, religion and culture in the reigns of Parakramabahu I (1153-86) and Nissanka Malla (1187-96) that it could easily have taken place over a much longer period of time and still deserve to be called splendid and awe-inspiring. But in retrospect, the activity appears to have been too frenetic, with and over-extension of the island’s economic resources in the restoration of its irrigation network and the architectural splendors of the city of Polonnaruva, and of its political power in overseas adventures. “
- K. M. De Silva, A History of Sri Lanka, 2005
Posted in Uncategorized | Tagged: A History of Sri Lanka, agasthi, Agri production, Agriculture, Agriculture in Sri Lanka, Ancient history of Sri Lanka, Anuradhapura period, Archeology, Awukana, අනුරාධපුර, අනුරාධපුර යුගය, අවුකන, ඉඩම් බද්ද, කලා වැව, කලාපීය දේශපාලනය, ගොවිතැන, චූලවංශය, ජනප්‍රිය ඉතිහාසය, තන්තිරිමලේ, ථෙරවාදී, දියදඩ, දියදෙදුම්, දුටුගැමුණු, දේශීය වාරි කර්මාන්තය, ධාතුසේන, පනාකඩුව තඹ සන්නස, පරාක්‍රම සමුද්‍රය, පරාක්‍රමබාහු - I, පාණ්ඩ්‍ය, පුරාවිද්‍යාව, පුලස්ති, පෙරදිග ධාන්‍යාගාරය, පොත්ගුල් විහාරය, පොළොන්නරු ගල් විහාරය, බුදුරුවගල, මහසෙන්, මහාවිහාර, මාළිගාවිල, මින්නේරිය වැව, මෞර්ය, යහළ, රාජකීය ආසියාතික සංගමය, වාරිකර්මාන්ත, විදේශීය වෙළඳාම, වියගහ, වෙස්සගිරිය, සෙනරත් පරණවිතාන, Buddhism, Buduruvagala, Chola, Chola invaders, Chronicles of Lanka, Chulawamsa, Culavamsa, Culawamsa, Dhatusena, Dr Senarat Paranavithana, Farmers in Sri Lanka, Galviharaya, Granary in Asia, Irrigation systems in Sri Lanka, Kalawewa, Kallidaikurichi Aiyah Nilakanta Sastri, Land Tax in Sri Lanka, Mahavihara, Mahawamsa, Mahayana, Mahayana civilization, Maligawila, Maurya, Myths, Pandya, Parakrama Samudraya, Parakramabahu, Polonnaruwa, Popular History, Pothgul Vihara, Prof. K. M. De Silva, Pulasthi, pulathisi, Regional politics, Royal Asiatic Society, South India, Sri Lanka ancient economy, Sri Lanka foreign trade, Sri Lanka History, Tantrism, Tax system in ancient Sri Lanka, Thanthirimale, Thanthrayana, Theravada, Vamsa katha, Vessagiriya | 32 Comments »
Posted by Taboo on January 27, 2010

සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටි සියළුම බ්ලොග් අඩවි මේ වන විට දීර්ඝ නිද්‍රාවකට පත්ව ඇති සේය. මෙය තේරුම් ගත හැකිය. මේ අතුරින් ඉතාම ක්‍රියාශීලී සිංහල බ්ලොග් අඩවියක් වූ බහි රාමු (Beyond Frame) මේ තම ගමනෙහි අවසානය බව ඉඟි කරයි.
2008 ඔක්තෝබරයේ තම ලිවීම ආරම්භ කළ Beyond Frame සමහරවිට වැඩිම බ්ලොග් පොස්ට් ප්‍රමාණයක් පළකළ සිංහල බ්ලොග් රචකයා විය හැකිය. තමන් බ්ලොග් පෝස්ට හාරසිය ගණනක් පළ කළැයි ඔහු මාස කිහිපයකට පෙරාතුව සඳහන් කරනු මතකය. මේ ගණන මේ වන විට පන්සියය ඉක්මවා ඇතැයි සිතමි. කෙටි කාලයක් තුළ ඔහු මේ තරම් පෝස්ට ගණනක් පළ කළේ සමහරවිට දිනෙකට දෙක තුන බැගිනි. මේ හැම පෝස්ටයකටම ලැබුණු අති මහත් කමෙන්ටු සංඛ්‍යාව පෙන්නුම් කළේ ඔහු බ්ලොගවකාශයේ ලබා තිබූ ජනප්‍රියතාවයයි.
ඔහුගේ කමෙන්ටු රචකයෝද ඔහුටම ආවේණික පිරිසක් වූහ. ඉන් පිරිසක් බ්ලොග් රචනයටද වඩා රසවත් කමෙන්ටු පළ කළහ. කුඩුලාල්ලා, සියදෝරිස් සීයලා අප හඳුනාගත්තේ එහිදීය. කොයි තරම් කුණුහරුප ඇද බෑවත් මොවුන්ද මේ බ්ලොග් අඩවියට යම් එළියක් එක් කළේය සිතමි.
Beyond Frame ජාතික යැයි කියාගන්නා පුවත්පතක කොලම් රචකයකුට වඩා බොහෝ ඉදිරියට ගියේය. තිස්සනායගම් සිද්ධිය වන් සමහර අවස්ථාවන්හීදී ඔහු ඉතා නිර්භීත ලෙස පෑන මෙහෙයවූ බව කිව යුතුය.
Beyond Frame ගැන විශේෂ පුද්ගලික සඳහනක් කළ යුතුය. Taboo Subjects අඩවිය සිංහලෙන් ආරම්භ කිරීමට එක්තරා දුරකට Beyond Frame සිංහල බ්ලොග් රචකයකු හැටියට ලබා තිබූ ජනප්‍රියතාව මුල්විය. Beyond Frame නොවන්නට මේ අඩවිය සිංහලෙන් නොව ඉංගිරිසියෙන් ඇරැඹීමට ඉඩ තිබුණේය.
අදහස් අතින් සමහරවිට මෙම අඩවිය Beyond Frame හා එකඟ වූ අතර තවත් අවස්ථාවන්හීදී අපි වෙනත් ස්ථාවර ගතිමු. යුද්ධය සම්බන්ධව අපි බොහෝදුරට සමාන අදහස් දැරීමු. එහෙත් ඒ යුද්ධයේම පාර්ශ්වයක් නියෝජනය කළ සරත් ෆොන්සේකා දේශපාලනයට පිවිසි කල්හි අපි දෙමඟක් ගතිමු.
Beyond Frame සම්බන්ධව ලේඛකයාට ඇති එක් විවේචනයක් නම් ආණ්ඩු පක්ෂයේ කටයුතු ඉතාම දැඩිව ප්‍රශ්න කළ ඔහුගේ විවේචනාංගුලිය ඉතාම කලාතුරෙකින් නොකැර බැරි අවස්ථාවක හැරෙන්නට විපක්ෂයට එල්ල නොවීමය. මෙය ඔහුට පාඨකයින් අතර යම් විශ්වාසයක් දිනා ගැනීමෙහිලා බාධාවක් වන්නට ඇතැයි සිතමි.
Beyond Frame නිශ්චිතව කවර තීරණයක් ගනු ඇත්ද මම නොදනිමි. ඉදින් ඔහු නතර වන්නේ නම් ඔහුගේ බ්ලොග් කියවන්නන් වන අපට එය තව බොහෝ කාලයකට නොපිරෙන ඉඩක් ඉතිරි කරන බව නම් කිව යුතුය. වසර එකහමාරක් තිස්සේ මට දිනපතා උදෑසන කියවන්නට යමක් ලිවීම වෙනුවෙන් මගේ කෘතඥතාවය මේ මේ කිසිදිනෙක මුණ නොගැහුණු ආගන්තුක සෘහද බ්ලොග් රචකයාට පිරිනමමි.
Posted in Uncategorized | Tagged: කමෙන්ටු රචකයෝ, කුඩුලාල්, බ්ලොග් අඩවි, සරත් ෆොන්සේකා, සිංහල බ්ලොගවකාශය, සිංහල බ්ලොග් රචනය, සියදෝරිස් සීය, Beyond Frame, blogging, Kudulal, Sarath Fonseka, Sinhala Bloggers, Sinhala Blogging, Sinhala blogosphere, Siyadhoris seeya, Taboo Subjects | 15 Comments »
Posted by Taboo on January 27, 2010

නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපය, පොළොන්නරුව
ජනාධිපතිවරණයෙන් රාජපක්ෂ ජය ගනු ඇති බවට ලේඛකයා තුළ මුල පටන්ම සැකයෙක් නොවීය. ඔහුට වැරදුණේ මේ තරගය කරට කර එකක් වනු ඇති බව උපකල්පනය කිරීමේදීය. ඒ මේ රටේ ඡන්දදායකයා ගැන වූ අධිතක්සේරුව නිසාය. තමන්ගේම දේපොළ ඡන්ද ප්‍රචාරණය සඳහා අයථා පරිහරණය, ප්‍රතිවාදියාට අමු මඩ ගැසීම හා රාජ්‍ය මාධ්‍ය තුළින් පැය විසිහතර මුළුල්ලේම තමන්ට පිදුරු කැවීම මුවින් නොබැණ ඉවසූ මෙරට ඡන්දදායකයාගේ ‘නිවට’ හැසිරීම ඇසුරින් ඒ පිළිබඳව ඔහු මීට වඩා දැන ගත යුතුව තිබිණි. තම දැනුමෙහි වූ මේ ලුහුඬුතාවය පිළිබඳව ඔහු කණගාටු වන්නේය.
ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ නිවුන් සහෝදරත්ව සමානතාව තමා සේම ඡන්දදායකයාද අවබෝධ කර ගනු ඇති බව ලේඛකයාගේ අවිඥානක විශ්වාසය විය. නමුත් ඡන්ද දායකයා ඒ ඇසින් නොබලා ඇති බව පැහැදිළිය. ඡන්දදායකයා උඩු රැවුල් හා ජාතික ඇඳුම් සමානතාව අභිභවා ගොස් ෆොන්සේකාගේ නැති යම් විශේෂත්වයක් රාජපක්ෂගේ දැක ඇත.
මෙය ෆොන්සේකාට දේශපාලනයේ පළපුරුද්දක් නැතිවීම, ඔප්පු නොකළ ‘හොර ගිවිසුම්’ හෝ ඔහුගේ බෑනාගේ කොම්පැණිය ගැන කළ කතා ආදී සරල කාරණා වලට බැර කිරීමට තරම් ලේඛකයා අඳ බාල නොවේ. මේ කිසිවක් අපේ රටේ බහුතර ඡන්ද දායකයාට වැදගත් නැත. එසේම ඡන්දය ප්‍රකාශ නොකළද ඔවුන් විශාල පිරිසක් ෆොන්සේකාට යම් ගෞරවයකින් සැලකූ බවද ඔහුගේ රැස්වීම් වලට එක් රොක් වූ ජනකායෙන් පැහැදිළිය. යුද්ධය නතර කිරීම වෙනුවෙන් කළගුණ සැලකූයේ නම් එයද 50-50 ලෙස අපේක්ෂකයන් දෙදෙනා අතර බෙදී යා යුතුව තිබුණේය. (පහළොස් වන සියවසේදී යාපා පටුන ජයගත් චරිතය හැටියට තවමත් අප බොහෝදෙනකුගේ මනසෙහි රැඳී ඇත්තේ යුද්ධයට මිලිටරි නායකත්වය සැපයූ සපුමල් කුමාරයාගේ නමය. නැතිව එකළ රජකළ සවැනි පැරකුම්බාවන්ගේ නම නොවේ.)
එසේ නම් අපේ රටේ සිංහල ඡන්දදායකයා විසින් ෆොන්සේකා තුළ නොදුටු රාජපක්ෂ තුළ දුටු මේ විශේෂත්වය කුමක්ද?
ජැක්සන් ඇන්තනි විසින් මීට පිළිතුරු සපයා ඇතැයි ලේඛකයා සිතයි. රාජපක්ෂ යනු මෙරට රාජ්‍යත්වය නියෝජනය කරන නායකයාය. ජනසම්මතවාදී ඔටුනු නොපළන් රජතුමන්ය. සරත් ෆොන්සේකා යනු ඒ අර්ථයෙන් නිකම්ම නිකම් පද්දෙක් (commoner) පමණය. සවිඥානකව හෝ අවිඥානකව මෙරට බහුතර සිංහල ඡන්ද දායකයා ක්‍රියා කොට ඇත්තේ රාජ්‍යත්වයට පක්ෂපාතීභාවය දක්වන තම ජානගත හැසිරීමට නොපිටින් යමිනි. ගතින් විසි එක්වන සියවසේ ජීවත් වුවද මනසින් ඔව්හු තවමත් දොළොස්වන සියවසේ ජීවත්වන්නෝය. වසර දහස් ගණනක් මුළුල්ලේ වැඩවසම් රාජ්‍යත්වය (මීට හරිස්චන්ද්‍ර විජේතුංග, සූරිය ගුණසේකර වැන්නන් දෙන නම ‘මහා සම්මත වාදය’යි.) තුළ ජීවත් වූ ඔව්හු තවමත් ඉන් පිටත ලෝකයක් නොදනිති. නොදකිති. මහ රජාණන්ට ආවතේව කරමින්, එතුමන්ගේ ඉඳුල් කමින් ජීවත්වීම ඔවුන්ට දෙපයින් තනිව නැඟී සිටීමට වඩා පහසුය; තෘප්තිකරය.
මේ මොඩලය තවත් බොහෝ දෑ පැහැදිළි කර දෙන්නේය.
1. වැඩවසම් රාජ්‍යත්වය තුළ රට වැස්සන් පාලකයාගෙන් බලාපොරොත්තු වන්නේ කාරණා දෙකක් පමණකි. පළමුවැන්න රට පර සතුරු උවදුරු වලින් රැක ගැනීමය. දෙවැන්න ධර්මයට හෙණ ගැහුනද, ‘බුද්ධ ශාසනය’ රැක ගැනීමය. රට බත බුලතින් සරු කිරීම යනාදිය දෙවියන්ගේ මිස පාලකයාගේ වගකීම් නොවේ. (“දෙවො වස්සතු කාලේන – සස්ස සම්පත්ති හේතුච”) කරන්නේ නම් හොඳය, නමුත් නොකළා කියා ගැටළුවක්ද නැත. රාජපක්ෂ මහ රජතුමන් තම දොළොස්වන සියවසෙහි රට වැස්සන්ට අවශ්‍ය කාරණා දෙකම ඉහටත් උඩින් ඉටු කර ඇත. එසේ හෙයින් ඔවුනට අනුව, ඔහු ප්‍රබල, අනුගමනය කළ යුතු ආකාරයේ පාලකයෙකි.
2. වැඩවසම් රාජ්‍යත්වය තුළ පාලකයා විසින් මහජන දේපොළ තමන්ගේ හා කුටුම්භයේ පාවිච්චියට ගැනීම වරදක් නොව බලාපොරොත්තු විය යුතු දෙයකි. රට වැසියන් රජතුමන්ට බදු ගෙවන්නේ රජතුමන්ගේ පැවැත්ම පිණිසය. සාංඝීක කළ දෙයක් ගැන ගිහියන්ට ප්‍රශ්න කළ නොහැක්කා සේම රජුට ගෙවූ බදු මුදලින් කළ යුත්තේ කවරක්ද තීරණය කිරීම රජුගේ වැඩකි. බැහැරින් එන වෙළඳුන්ගෙන් කප්පම් (කොමිස්) ගැනීම වැරදි වැඩක් නොව රජ කෙනකුගේ සාමාන්‍ය සිරිතය. මේවාට දූෂණය (corruption) කියා කියා කෑ මොර දෙන්නේ සුද්දාගේ ප්‍රජාතන්ත්‍රවාදය අදහන්නන්ය. අපේ දොළොස්වන සියවසෙහි රට වැසියන් නොවේ. එක් ඉංගිරිසි බ්ලොග් කරුවකු කියා තිබුණේ මහජනතාවට දන්සැල් දීම දශ රාජ ධර්මයට අනුව රජතුමන් විසින් අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් ලෙසය. යමක් කමක් දැන උගතුන්ද මෙසේ කියන කල සාමාන්‍ය ඡන්ද දායකයාගේ චින්තනය අපට වටහා ගත හැකිය.
3. ඥාතීන්ට විශෙෂ සැලකිළි දැක්වීමද (nepotism) වරදක් වන්නේද සුද්දාගේ ක්‍රමය යටතේය. ‘අපේ’ වැඩවසම් රාජ්‍යත්ව සිස්ටම් එක තුළ එය වරදක් නොව සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. (දේවානම් පිය තිස්ස රජුගේ සහෝදර සමාගම් ගැන කීවේද ජැක්සන් ඇන්තනිය. දුටුගැමුණු රජතුමන් තමන්ගෙන් පසු රජය උරුම කර දුන්නේ මලයාටය.)
4. කලාකරුවන්, ලේඛකයින්, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් මහරජාණන්ට පැල් බැඳගෙන කඩේ යන කාරණාවද පැහැදිළිය. බොහෝදෙනකු සිතන ලෙස මේ මූල්‍යමය ප්‍රතිලාභ වෙනුවෙන් කරන දෙයක් නොවේ. මේ සම්ප්‍රදායිකව වැඩවසම් ක්‍රමය තුළ ඔවුන් විසින් ඉටු කරනු ලැබූ රාජකාරි කටයුත්තය. රටේ රජතුමා වෙනුවෙන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිමින් එතුමන්ගේ රාජපරාක්‍රමය ලෝකයාට හෙළි කිරීම ඔවුනට සුවිශාල ගෞරවයකි. ඊට සරිලන සේ තමන් නොඉල්ලා අසුරු ගසා කැන්දනු ලබන බල්ලකු වෙත මස් කට්ටක් වීසි කරන්නාක් සේ දෙනු ලබන රන් මස්සක් දෙකක් ලබා ගැනීම අකැප නැති මුත් ඊට වඩා වැදගත් එහි නියැලීමෙන් ඔවුන් ලබන ආත්ම තෘප්තියයි. ධම්ම දිසානායක හෝ මාලින්ද සෙනෙවිරත්න ලබන්නේ මේ ආත්ම තෘප්තිය බව කිව හැකිය.
5. අවසන් වශයෙන් සරත් ෆොන්සේකා ගැන පොදු සිංහල ඡන්ද දායකයාගේ වූ වෛරයද පැහැදිළිය. මහ රජාණන්ට එරෙහිව මේ නැඟිටින්නේ රජතුමන්ගේ සෙවනෙහිම කා බී හැදී වැඩී එතුමන්ට එරෙහිවූ පද්දෙකි. උල තැබිය යුතු ආකාරයේ රාජ ද්‍රෝහියෙකි. ගුත්තිල ගඳඹුන් හා සරි සරියේ වැටුප් ඉල්ලූ මූසිලයෙකි. මූසිල මෙපුර තට- නුවරක් නොවෙයි ඉඳිනට-ඉන් තෝ මෙහි නොසිට- යවයි නෙරපූය යම පුරයට (ඇමෙරිකාවට?) කියා පළවා හැරිය යුතු ආකාරයේ දුෂ්ඨයෙකි. ගුත්තිල සක් දෙවිඳුන්ගේ සහාය ලැබ තත් සිඳි වීණාවෙන් බැරි ශිල්ප දක්වා ජයග්‍රගණය හිමි කර ගත් කතාව එතැනට අදාළ නැත. වැදගත් කවර හෝ ආකාරයෙකින් වැඩවසම් සිස්ටම් එක රැකෙන පරිදි ගුත්තිල ජයග්‍රහණය කිරීම පමණය.
මේ සන්දර්භය තුළ ජැක්සන් ඇන්තනි ජයග්‍රහණය කර ඇති බවත් ලේඛකයාද ඇතුළු තවත් බොහෝ දෙනකු පැරැදී ඇති බවත් පිළිගන්නට ඔහු මොහොතක්වත් මැළි නොවන්නේය. මේ ජැක්සන්ගේ අපේක්ෂකයා දිනා තම අපේක්ෂකයා පැරදුනේය යන අරුතින් නොවේ. ජැක්සන්ගේ රාජ්‍යත්ව මතවාදය දිනා තම ප්‍රජාතන්ත්‍රවාදී මතවාදය පැරදුනේය යන අර්ථයෙනි.
මේ රටේ තවදුරටත් තෘප්තිකරව හෝ නැතිව සිස්ටම් එකේ කොටසක් ලෙස ජීවත් වීමට නම් සිංහල, දෙමළ, මුස්ලිම් වේවා, දුප්පත් පොහොසත් වේවා සියළුදෙනාම විසින් පිළිගත යුතු එක් කාරණාවක් වේ. ඒ අප සියළු දෙනාම කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් බටහිරින් මෙහි ගෙන එනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළු සියළු හර පද්ධතීන් (value systems) අළුයම ලූ කෙළ පිඬක් සේ ප්‍රතික්ෂේප කොට දොළොස්වන සියවසෙහි, ජැක්සන් ඇන්තනි කතා කරන ආකාරයේ ‘දේශීය’ වැඩවසම් ගෝත්‍රික හර පද්ධතීන් කරා යළි ගමන් කළ යුතු බවය. අද අපට ආනන්තරිය පාප කර්ම ලෙස පෙනෙන බොහෝ දෑ ඒ හර පද්ධතිය තුළ කෙතක් සාධාරණද, පැවත්ම සඳහා කෙතෙක් අත්‍යාවශ්‍යද යන්න ජැක්සන් ඇන්තනිට, ධම්ම දිසානායකට අවබෝධ වූ ලෙස අපටම අවබෝධ වනු ඇත. එසේ කළ හැකිනම් අපට සුබ අනාගතයක් උදාවනු ඇත්තේය. එසේ නොව අප අද භාවිතා කරනු ලබන හර පද්ධතීන් ඇසුරින් මේ සමාජයේ යහපත් වෙනසක් බලපොරොත්තු වීම තවදුරටත් ප්‍රායෝගික නොවන්නේය.
Posted in Uncategorized | Tagged: ඡන්ද ප්‍රචාරණය, ඡන්දදායකයා, ජනාධිපතිවරණය, ජැක්සන් ඇන්තනි, ධම්ම දිසානායක, මහා සම්මත වාදය, මහින්ද රාජපක්ෂ, මාලින්ද සෙනෙවිරත්න, මිලිටරි නායකත්වය, යාපා පටුන, රාජ්‍යත්වය, වැඩවසම් රාජ්‍යත්වය, සපුමල් කුමාරයා, සවැනි පැරකුම්බා, සිංහල, සූරිය ගුණසේකර, හරිස්චන්ද්‍ර විජේතුංග, හොර ගිවිසුම්, Democracy, Dhamma Dissanayake, Election, Feudal system, Gen. Sarath Fonseka, Harischandra, Jackson Anthony, Jaffna, JVP, Mahinda Rajapaksa, Malinda Seneviratne, Military leadership, Parakramabahu VI, politics, Presidential Election, Sapumal Kumaraya, Sarath Fonseka, Sinhala, SLFP, Sri Lanka, Suriya Gunasekera, Tamil, UNP | 67 Comments »
Posted by Taboo on January 21, 2010

අපි දෙන්නා එක්වීලා, සහයෝගෙන් වැඩේ දෙන්නේ...
“හරිමි රජ සැපා…මම ලක්දිව තී නිසා…” මැතිවරණ කොමසාරිස් ධුරන්ධර දයානන්ද දිශානායක තෙමේ පරැණි රසාංගයක්ද ශ්‍රැතියෙන් පිට පැන ගායනා කෙරෙමින් විඩාබර දවසක අවසානයේ උල්පැන් ගෙය තුළට වැද සිහිලාරෙක පහස විඳ ගන්නේය. ඔහු අරමුණ මොහොතෙකට ඉහත ගන්නා ලද බියර් වීදුරු දෙකෙහි මත නිවී යන්නට මත්තෙන් කලෙකින් ඉසඹුවක් නොලද ලෝකාස්වාදරතියෙහි නිරත වීමය. කාටත් තේරෙන බාසාවෙන් කීවොත් පොඩි සොමියක් ගැනීමය.
සාළුවක් ඉණවටා දවටා ගෙන උල්පැන්ගෙයින් එළියට එන හෙතෙම ඉස්සකු සේ ඒ උනා දමමින් සයනයට පනියි. මෙතෙක් බොරු නින්දක් මවා පා සිටි ඔහු ඇඹෙණියද හැඳි සළු පිළි සමඟ පුරුදු විලිබියද ඉවත ලන්නී, ඔහුට උණුසුමට තුරුළු වෙමිනි.
අවාසනාවෙක මහත! “මට මහළු වයසේ, බැරිය වෙණ ගායනා පෙරසේ” කීවාක් මෙන් දිශානායකගේ ඉන්ද්‍රියයෝ ඔහුට කීකරු නොවෙති. කිහිප වතාවක් උත්සාහ දැරීමෙන් අනතුරුවද කටයුත්ත සාර්ථක නොවන කල්හි ඔහුට මළ පනින්නේය.
“මළ කෙළියයි. මට ඕනැ වෙලාවට මේකා කෙළින් වෙන්නේ නෑනේ. අනේ ඩාලිං ඉතින් මං මොනව කරන්ඩද? ඔයා වෙන කෙනෙකුට කියල හරි කර ගන්ඩ බලන්ඩ හොඳේ!” දිශානායක පියඹට මුමුණන්නේය.
මේ දයානන්ද දිශානායකගේ අප නොදුටු, සිතින් මවාගත් නිශා හැසිරීමය. මොහුගේ අප දකින රාජකාරි හැසිරීමද ඊට නොවෙනස්ය.
දයානන්ද දිශානායක මැතිවරණ කොමසාරිස් හැටියට තමන්ට ලැබී ඇති බලතල භාවිතා කොට රාජ්‍ය මාධ්‍ය දෙකකට පමණක් (ඔහු ඉතිරිවා අත හරින්නේ මන්ද යන්න තවත් රහසෙකි.) බලධරයකු පත් කරන්නේ පැහැදිළිවම ඒවායින් ඒකපාක්ෂික මැතිවරණ ප්‍රචාරයක් සිදුවන බැවිනි. බලධරයාද “දෙන්නං තොට!” කියා දිගට හරහට විධාන නිකුත් කරන්නේය. රූපවාහිනී හා රජයේ රෙදෙව් බලධරයෝ මේ නිවේදන තුට්ටුවකට නොසලකා තම පුරුදු කඩේයාම කරගෙන යති. කවුදෝ කීවේ උන් දිශානායකගේ විධාන මළපහ කොට පස්ස පිස දැමීමට ගන්නා බවය. ඉන්පසු දිශානායක තමා දැඩි අප්‍රසාදයට පත්ව ඇති බවක් අප්‍රසිද්ධියේ කියා තමන්ගේ ‘වැඩ-බැරි-දාස’ ඉල්ලා අස් කර ගනී.
මෙහිදී දිශානායක පුරවැසියන් වන අපට කියන්නේද නිදියහනේදී බිරිඳට කියන කතාවමය. “ඒකා කෙළින් වෙන්නේ නැත්නම් මම මොනව කරන්ඩද? වෙන කාට හරි කියල වත් කර ගන්ඩ බලන්ඩ!”
අත දිග හැර මේකාගේ කණ හරහා පාරක් ගහන්නට හිතෙන්නේ නම් ඒ ඔහුගේ බිරිඳට පමණක් නොවේ. පුරවැසියන් වන අපටද හිතෙන්නේ ඒ ටිකය. දයානන්ද දිශානායකගේ බිරිඳට සේම අපටද අල්ලපු ගෙදර මිනිහාට කියා එය කර ගත නොහැකිය. ඔහුගේ නෝංජල් හැසිරීම ගැන අපට කේන්ති යන්නේ එහෙයිනි.
මැතිවරණ කොමසාරිස් හැටියට දයානන්ද දිශානායකගේ හැසිරීම රජයේ උසස් නිලධරයකුට කිසිසේත්ම නොහොබිනා ආකාරයට පක්ෂග්‍රාහී බවද, දීන බවද අපි මීට පෙරද ලීවෙමු. එක මැයක් ගැන දෙවරක් ලිවීමේ සිරිත කෙතෙක් අනුචිත වුවද නැවත මේ ලියන්නට සිදුව ඇත්තේ මේ අපෘෂ්ඨවංශිකයාට අනුකම්පාවිරහිතව බැට දෙන්නට නොවේ. වයසින් අප පියාණන්ට සමාන මොහු ගැන අප අනුකම්පාකළ යුතු බව සැබැවි. එහෙත් මොහුගේ මේ දීන පක්ෂග්‍රාහී හැසිරීම රටේ අනාගතයට ඍජු ලෙස බලපෑම් කරන්නට පටන්ගෙන ඇති කල්හි අපට නිහඬව සිටීමද අසීරු කාරණාවකි.
දයානන්ද දිශානායක මෙහිදී තම නිදහසට කරුණු නොකීවද ඔහුට අනුකම්පා පාන්නෙක් මෙසේ කිව හැකිය. “අනේ අහිංසකයා, මූ මොනව කරන්ඩද? මහතැනට ඕනැ හැටියටනෙ මූත් වැඩ කරන්ඩ ඕනැ.”
මේ අපූරු තර්කයකි. මැතිවරණ අවස්ථාවෙක මැතිවරණ කොමසාරිස් ක්‍රියා කළ යුත්තේ ඡන්දාපේක්ෂකයින්ට ඉහළ තලයක සිටය. ඉන් එක් ඡන්දාපේක්ෂයකකු රටේ වර්තමාන ජනාධිපති වූ පළියට ඔහුට විශේෂයක් කිරීමේ බලයක් මැතිවරණ කොමසාරිස්ට නැත. එසේම තමන්ගේ විධාන අනෙකුන් නොපිළිපදින්නේය කියා අසාධාරණය පෙනි පෙනී නීතිය ක්‍රියාත්මක නොකොට සිටීමේ හැකියාවක්ද නැත. මැතිවරණ පැවැත්වීම ජනාධිපති කාර්යාලයෙන් නොකොට ඊට මහජන මුදලින් වැටුප් ගෙවා, වරප්‍රසාද සපයා කොමසාරිස් කෙනකු පත්කොට ඇත්තේ එනිසාය. නැත්නම් ඒකත් හැම එකකටම “යේස් සෑර්” කියා බයාදු ලෙස හිස නමන ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගටම කර ගන්නට භාර දෙන්නට තිබුණා නෙවැ?
සියළු පාර්ශවයන්ට සාධාරණයක් ඉටුවන ලෙස යම් මැතිවරණයක් නොපැවැත්වේ නම් එය අවලංගු කිරීමේ බලය පවා මැතිවරණ කොමසාරිස් සතුය. ඒ අන්තයට යන්නැයි අපි ඔහුගෙන් නොඉල්ලමු. තමන්ට නීතියෙන් ලැබී ඇති බලතල අනුව ඔහුට ගත හැකි ඉතාම සරල පියවරක් නම් දෙස් විදෙස් මාධ්‍යවේදීන් මාධ්‍යහමුවකට කැඳවා මේ ටික කියන එකය.
“මේ සාධාරණ මැතිවරණයක් නොවෙයි. රාජ්‍ය මාධ්‍ය හැසිරෙන්නේ ජනාධිපතිවරණයේ එක් අපේක්ෂකයකු වන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නැමැත්තාට නියත වාසියක් ලැබෙන ලෙස ඒකපාක්ෂිකවයි. රාජ්‍ය මාධ්‍ය, ඒ කියන්නේ ජාතික හා ස්වාධීන රූපවාහිනී සේවාවන්, රජයේ ගුවන් විදිලිය, ඒ එක්කම ලේක් හවුස් පුවත්පත් හැසිරෙන්නේ ඉතාම නරක විදියට ඒකපාක්ෂිකව. ඒ මදිවාට වර්තමාන ජනාධිපතිවරයා වන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ වාසියට රාජ්‍ය ආයතන ගණනාවක් මහජන මුදල් නීති විරෝධීව වියදම් කරනවා. අරලිය ගහ මන්දිරයේදී මහජන මුදලින් දෙන නීති විරෝධී ‘දන්සැල්’ නතර කරන්නය කියා මා ජනාධිපති ලේකම්ට ලිඛිතව දන්නා ඇතද ඒ ගැන කිසිම පියවරක් ගෙන නැහැ. කටවුට් ඉවත් කරන්නය කියා කීවාට පොලීසිය ඒ ගැන මන්දෝත්සාහීයි. මැතිවරණ කොමසාරිස් හැටියට මට නිදහසේ මගේ රාජකාරිය කරගෙන යන්න දෙන්නේ නැහැ. මේ ටික ප්‍රසිද්ධියේ කියන්න සිදුවන්නේ ඒ නිසයි.”
මේ කිසි ලෙසෙකින්වත් අසත්‍යයක් නොවන්නාසේම මැතිවරණ කොමසාරිස් හැටියට දයානන්ද දිශානායකට කළ නොහැක්කක්ද නොවේ. අඩු තරමින් එවිට මේ ජනාධිපතිවරණය අන්ත දූෂිත එකක් බව අවශේෂ ලෝකයාට අවබෝධ වනු ඇත්තේය. එවිට රාජපක්ෂ සුළුඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කළද, ඒ ‘බිලෝ ද බෙල්ට්’ ගසා නීතිවිරෝධී හැසිරීම් තුළින් ලබා ගත් දූෂිත ‘ජයග්‍රහණයක්’ බවද ලෝකයා දැනගන්නවා ඇත. මැතිවරණ කොමසාරිස් හැටියට දයානද දිශානායක මේ සරල කටයුත්ත වත් නොකරන්නේ නම් අපට බැස ගත හැකි එකම නිගමනය ඔහු රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් සයිඩ් සපෝර්ට් එකක් දෙන බවය.
දිශානායකගේ මේ පක්ෂග්‍රාහී දීන හැසිරීමේ ප්‍රතිඵල භයානක විය හැකිය. රාජ්‍ය බලය හිමි එක් අපේක්ෂකයකු තම බලය අයුතු ලෙස යොදවනවා මදිවාට මැතිවරණ කොමසාරිස්ද තමන්ට ඕනෑ හැටියට නටවා ගන්නට සැරසෙන්නේ නම් එහි තේරුම මොනතරම් උත්සාහයකින් පසුවත් අන් කිසිම අපේක්ෂකයකුට ජනාධිපතිවරණය ජයග්‍රහණය නොකළ හැකි බවය. එය ඡන්දයක් නොපවත්වනවාට වඩා භයානකය. මේ මුග්ධ ක්‍රියාවලින් රටේ නීතිය පිළබඳව කිසිම විශ්වාසයක් නැතිව ඉච්ඡා භංගත්වයට පත්වන්නෝ මෙරට තරුණයෝය. ඔව්හු මේ වන විට තෙවරක්, උතුරේදී වරක් හා දකුණේදී දෙවරක් ආයුධ අතට ගත්හ. දයානන්ද දිශානායකට අවශ්‍ය වී ඇත්තේ මේ කෲර ඉතිහාසයේ පුනරාවර්තනයක්ද?
අප සාමාන්‍යයෙන් සිතන්නේ මේ රටට වින කටින්නේ පොලිතීසියන් බවය. එහෙත් දයානන්ද දිශානායක බඳු රාජ්‍ය නිලධරයන් තමන්ට ජීවිත කාලය තිස්සේ වැටුප් ගෙවූ මහජනතාවට තම අක්‍රියාකාරීත්වය තුළින් කරන විනාශය ඊට සිය ගුණෙයකින් විශාලය. පුරවැසියන් විසින් මෙවැන්නට කිසිසේත් අනුකම්පා නොකළ යුතු යැයි ලේඛකයා සිතන්නේය. “අනේ මං අහිසකයා. ඕවට ආවොත් මං මීට පස්සෙ මේ පළාතෙ වත් එන්නෙ නෑ” වැනි බබා පාට් වලට අප රැවටිය යුතුද? මොහු මේ කරන්නේ පැහැදිළිවම රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් නීතිවිරෝධී ලෙස දරදිය ඇද තමන්ගේ අත සෝදා ගැනීමක් නොවන්නේද?
Posted in Uncategorized | Tagged: 2010 Presidential Election, අරලිය ගහ මන්දිරය, උල්පැන් ගෙය, ඒකපාක්ෂික මැතිවරණ ප්‍රචාරය, ජනාධිපති, ජනාධිපති කාර්යාලය, ජනාධිපති ලේකම්, ජනාධිපතිවරණය, ජාතික රූපවාහිනිය, දන්සැල්, දයානන්ද දිශානායක, පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ, පුරවැසියා, මහින්ද රාජපක්ෂ, මැතිවරණ, මැතිවරණ කොමසාරිස්, රාජ්‍ය මාධ්‍ය, ලලිත් වීරතුංග, ලේක් හවුස් පුවත්පත්, ස්වාධීන රූපවාහිනිය, Below the belt, citizen, Dayananda Dissanayake, Election Commissioner, Election malpractices, Elections, Lakehouse newspapers, Lalith Weeratunga, Mahinda Rajapaksa, President, President’s Office, President’s Secretary, State media, Temple Trees | 20 Comments »
Posted by Taboo on January 18, 2010

මේ ජනාධිපතිවරණය අභිමුඛව ලේඛකයා ඒ ගැන තබන අවසාන සටහන විය හැකියි. ඔහු දැනටමත් ජනාධිපතිවරණය ගැනත්, ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ගැන පමණක් නොව අනෙකුත් අපේක්ෂකයන් ගැනත් දීර්ඝ වශයෙන් ලියා තිබෙනවා. විවාදාභිමුඛව දෙපසට බෙදී ඇති අනෙකුත් බ්ලොග්රචකයන් මෙන් තව දුරටත් ඔහුට ඒ කටයුත්තේ නියැළීමට රිසියෙක් හෝ ඉසඹුවෙක් නැහැ.
මෙම කෙටි සටහනින් ඔහු දැනට පවත්නා තත්ත්වයන් මත ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති ආකාරයත්, තම නැණ පමණින්, ලැබිය හැකි ඡන්ද ප්‍රතිඵලයත් ප්‍රකාශ කිරීමට අදහස් කරනවා. මේ සියල්ල සංවාදයට විවෘතයි.
ලේඛකයාගේ ඡන්දය:
පළමු මනාපය: ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
දෙවන මනාපය*: සිරිතුංග ජයසූරිය
තෙවන මනාපය*: විජේ ඩයස්
* – මනාප තුනම පළ කිරීමට හේතුව යම් ආකාරයකින් ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාටම ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් නොලැබීම තුළ දෙවන හා තෙවන මනාප ගණන් කිරීමක් සිදුවුව හොත් කවරකුගේ හෝ නම ඉදිරියේ ඇති හිස් කොටුවේ දෙකේ ඉලක්කම ලියා එය වලංගු ඡන්දයක් හැටියට ගණන් ගැනීමට ඇති ඉඩ වැළකීමටයි.
ලේඛකයා සරත් ෆොන්සේකාට ඡන්දය නොදීමට හේතුව පැහැදිළි කළ යුතුයි. මාඕ සේතුං ප්‍රකාශ කළේ පොදු සතුරා සමඟ සටන් වැදීමේදී ඊට එරෙහි අනෙකුත් සියළුම බලවේග සමඟ එක්විය යුතු බව. නමුත් මෙහිදී මේ ඩිජිටල් විභේදනය ගැන ඔහුට මාඕ හා එකඟ වන්නට බැහැ. එක් ගෝත්‍රික ඒකාධිපතියකුගෙන් රට බේරා ගැනීම සඳහා තවත් ගෝත්‍රික ඒකාධිපතියකුට එය පැවැරීමට හිතට එකඟව ඔහු සූදානම් නැහැ, විශේෂයෙන්ම දෙවන ගෝත්‍රිකයාගේ න්‍යාය පත්‍රය නොදන්නා රාමුවක් තුළ.
ඔහු සිතන ආකාරයට ලැබිය හැකි අවසාන ප්‍රතිඵලය:
පර්සි රාජපක්ෂ – 50% (+ හෝ -2%)
සරත් ෆොන්සේකා – 49% (+ හෝ -2%)
ඉතිරි සියළුම දෙන – 1% අඩුය.
(පැහැදිළි කිරීම: ගණිතමය අරුත් දැක්වීමට අනුව ඉහත අනාවැකිය නියත ජයග්‍රාහකයකු ප්‍රකාශ නොකරන මුත් රාජපක්ෂට ජය ගැනීමට ඇති වැඩි ඉඩ පැහැදිළිවම පිළිඹිබු කරනවා.)
රාජපක්ෂ හා ෆොන්සේකා අතර ඇති පරතරය 2005දී රාජපක්ෂ හා වික්‍රමසිංහ අතර වූ පරතයට දළ වශයෙන් සමාන විය හැකියි. මෙය ඡන්ද 100,000 – 200,000 අතර විය හැකියි. දෙවන හා තෙවන මනාප ගණන් කිරීමට සිදුවීමේ ඉඩ අඩුයි.
උපකල්පන:
1. ඡන්දය ප්‍රකාශ කිරීම (voter turnover) සමස්තයක් ලෙස 75% මට්ටමේ පවතිනු ඇති. (මෙය මීට ඉහළ යෑම ෆොන්සේකාට වාසි සහගතයි.)
2. උතුරේ ඡන්දය ප්‍රකාශ කිරීම 40%ට වැඩි නොවනු ඇති අතර ඉන් සැලකිය යුතු කොටසක් (25%ක් වත්) දෙමළ අපේක්ෂකයාට ලැබෙනු ඇති. මේ නිසා ෆොන්සේකාට උතුරින් ලැබිය හැකි ඡන්ද ගණන එතරම් විශාල නොවේ.
3. ඡන්ද අක්‍රමිකතා හා රාජ්‍ය මාධ්‍යයන්හි නීති විරෝධී ඒකපාක්ෂික හැසිරීම නිසා සරත් ෆොන්සේකාට වන අවාසිය සැලකිල්ලට ගෙන තිබෙනවා.
පර්සි රාජපක්ෂ නියත ලෙස ජයග්‍රහණය කරන දිස්ත්‍රික්ක (දහයයි): ගම්පහ*, කළුතර, මාතර, හම්බන්තොට, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව, මොණරාගල, රත්නපුර, කෑගල්ල
* – චන්ද්‍රිකා කුමාරතුංගගේ ඍජු සහාය ෆොන්සේකාට නොලැබෙතැයි උපකල්පනය කරනවා.
සරත් ෆොන්සේකා නියත ලෙස ජයග්‍රහණය කරන දිස්ත්‍රික්ක (හයයි): මහනුවර, යාපනය, වන්නි, මඩකලපුව, දිගාමඩුල්ල, ත්‍රිකුණාමලය
ප්‍රතිඵලය නිශ්චිත නැති දිස්ත්‍රික්ක (හයයි):කොළඹ, මාතලේ, නුවර එළිය*, ගාල්ල, බදුල්ල*, පුත්තලම
* – ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ඡන්ද කෙසේ බෙදී ඇත්ද යන්න අවිනිශ්චිතයි.
Posted in Uncategorized | Tagged: Anuradhapura, අනුරාධපුර, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ඉඩි අමීන්, උගන්ඩාව, කළුතර, කෑගල්ල, කුරුණෑගල, කොළඹ, ගම්පහ, ගාල්ල, චන්ද්‍රිකා කුමාරතුංග, ජනාධිපතිවරණය, ත්‍රිකුණාමලය, දිගාමඩුල්ල, නුවර එළිය, පුත්තලම, පොළොන්නරුව, බදුල්ල, මඩකලපුව, මහනුවර, මහින්ද රාජපක්ෂ, මාතර, මාතලේ, මොණරාගල, යාපනය, රත්මලාන, රනිල් වික්‍රමසිංහ, වන්නි, සරත් ෆොන්සේකා, හම්බන්තොට, Badulla, Batticaloa, Chandrika Kumaratunga, Colombo, Digamadulla, Galle, Gampaha, Hambantota, Idi Amin, Jaffna, Kalutara, Kandy, Kegalle, Kurunegala, Mahinda Rajapaksa, Matale, Matara, Moneragala, Nuwara Eliya, Polonnaruwa, Presidential Election, protest vote, Puttalam, Ranil Wickremasinghe, Ratnapura, Sarath Fonseka, The Last King of Scotland, Trincomalee, Vanni, Wickramabahu Karunaratne | 52 Comments »
Posted by Taboo on January 10, 2010

මේ ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා හා ඔවුන්ගේ අනුගාමිකයින් ලොකු අසුචි වළකට බැස එකිනෙකාට අසුචි විසි කරගන්නා සමයයි. ලේඛකයාගේ මේ උත්සාහය ඒ නාරා වලට නොබැස, මෙතෙක් බ්ලොග් අවකාශයෙහි කිසිවකු විසින් කතා නොකරන ලද වාමාංශික අපේක්ෂකයින් තිදෙනා ගැනත්, ඔවුන්ගේ භූමිකාවෙහි වැදගත්කම ගැනත් සටහනක් තැබීමය. එය අසමතුලිත වන්නේ මේ තිදෙනා ගෙන් කෙනකු ගැන ඔහුගේ දැනුම සීමිත වීමත්, ඔවුන් ගැන කාරණා පොදු අවකාශයෙහි නැති වීමත් නිසාය.
මාක්ස්වාදියකුව සිටි සමයෙහි ලේඛකයාගේ ගමන් මඟ මින් දෙදනකුගේ, එනම් වික්‍රමබාහු කරුණාරත්නගේ හා විජේ ඩයස්ගේ ගමන් මාර්ග සමඟ ඡේදනය වී ඇත්තේය. සිරිතුංග ජයසූරිය ලේඛකයාට ආගන්තුකයෙකි.
කලක් ලේඛකයා විසින් සිය දේශපාලන මාර්ගෝපදේශකයා ලෙස සලකනු ලැබූ වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා පහළ මධ්‍යම පාංතික දෙමාපියන්ට දාව ගිණිකොණ දිග ලංකාවේ උපත ලැබුවද, අධ්‍යාපනය ලබන්නේ මතුගම ආනන්ද ශාස්ත්‍රාලයෙන් හා කොළඹ ආනන්ද මහා විද්‍යාලයෙනි. අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් ගණිත අංශයේ ලංකාවේ පළමුවැන්නා ලෙස සමත්වන ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළු වන්නේ විද්‍යුත් ඉංජිනේරු උපාධියක් සඳහාය. පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් මත කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ඇතුළුවන කරුණාරත්න 1970දී තම ආචාර්ය උපාධිය සම්පූර්ණ කරයි.
1962දී විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු ලෙස ලංකා සම සමාජ පක්ෂයට බැඳීම ඔහුගේ දේශපාලන ගමන් මාර්ගයෙහි ආරම්භයයි. එවකට ලංකා සමසමාජ පක්ෂයේ නියෝජ්‍ය නායක ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවශ්‍යතාවය මත දෙමළුන්ට එතෙක් ලැබී තිබුණු දේශපාලනමය බලතලද කප්පාදු කොට, සිංහල බෞද්ධ ආධිපත්‍යයකින් රට පාලනය කිරීම සඳහා ඊනියා ‘ඒකීය’ ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට විරුද්ධව 1972දී පක්ෂයෙන් එළියට බහින ඔහු 1977දී වාසුදේව නානායක්කාරගේ නායකත්වයෙන්, එවකට දැඩි ට්‍රොට්ස්කිවාදියකු වූ ආචාර්ය නලින් ද සිල්වාගේද සහභාගිත්වයෙන් පිහිටුවන ලද නව සම සමාජ පක්ෂයට බැඳේ. 1978දී ඔහුට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දරමින් සිටි කථිකාචාර්ය ධූරය අහිමි වන්නේ ජේ. ආර්. ජයවර්ධනට විධායක බලතල ලබාදුන් ව්‍යවස්ථාවට එරෙහිව කළුකොඩි දැමීම නිසාය. 1983 කළු ජූලියෙන් පසුව ජයවර්ධන ආණ්ඩුව විසින් කළු ජූලියට මුල්වූ ‘ත්‍රස්තවාදියකු’ ලෙසින් නම් කරනු ලබන කරුණාරත්නට වසර කිහිපයකට සැඟව සිටීමට සිදුවේ. විදුලි කාර්මිකයකු සේ පෙනී සිටින ඔහු පොලිස් ඇසට වැලි ගසමින් කොළඹ නගරයේම රැඳී සිට පසුව පොලිසියට භාරවෙයි.
ප්‍රේමදාස-විජේතුංග ආණ්ඩුව බලයෙන් පහ කිරීමට තීරණාත්මක මෙහෙයක් කරන කරුණාරත්න අනූව දශකයේ මුල් භාගයේදී මහින්ද රාජපක්ෂ විසින් සංවිධානය කරනු ලැබූ කොළඹ-කතරගම පාදයාත්‍රාවෙහි ප්‍රමුඛ කොටස්කරුවකු වෙයි.
මේ අටුවාව වාමාංශික අපේක්ෂයන් තිදෙනා අතුරින් අධ්‍යාපනික ලෙස ඉහළින්ම සිටින්නේද, සමාජය හා අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ වැඩිම අන්තර්ක්‍රියාකාරිත්වයක් දක්වා තිබෙන්නේද කරුණාරත්න බව කීමටය.
ඩයස් විජේගුණසිංහ හෙවත් විජේ ඩයස්ගේ පෞද්ගලික තොරතුරු වැඩිමනත් ලේඛකයා නොදනී. ඔහුගේ දේශපාලන ඉතිහාසය 1964දී සිරිමා බණ්ඩාරනායක රජය හා සම්බන්ධවීම හේතුකොටගෙන ලංකා සමසමාජ පක්ෂය හතරවන ජාත්‍යන්තරයෙන් පිටුවහල් කිරීමෙන් පසුව, එඩ්මන්ඩ් සමරක්කොඩි, බාලා තම්පෝ ආදී පිරිසකගේ නායකත්වයෙන් බිහිවූ විප්ලවවාදී සම සමාජ පක්ෂය දක්වා දිවෙයි. ලංකා විශ්ව විද්‍යාලයෙහි පළමුව ශිෂ්‍යයින්ද දෙවනුව කථිකාචාර්යවරුන්ද වූ විජේ ඩයස් හා ඔහුගේ භාර්යාව පියසීලී විජේගුණසිංහ 1968දී බිහිවූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ ප්‍රබල චරිත දෙකකි. මේ සංවිධානය වඩා ප්‍රකට ලෙස ‘විරෝධය’ නමින් හැඳින්වෙන්නේ එය ඔවුන් විසින් පළ කරනු ලබන පුවත්පතෙහි නම වීම පමණක් නිසා නොව ඔවුන්ගේ මුඛ්‍ය අරමුණ ඒ වන විට කරළියෙහි වූ සියළු කම්කරු හා වාමාංශික කඳවුරු වලට ඔවුන් මතවාදීමය වශයෙන් විරෝධයක් එල්ල කිරීම නිසාවෙනි. 1987දී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ එතෙක් නායකත්වය දැරූ කීර්ති බාලසූරියගේ අභාවයෙන් පසුව විජේ ඩයස් එහි නායකත්වයට පත්වේ. දැන් එය හැඳින්වෙන්නේ සමාජ සමානතා පක්ෂය (සසප) හෙවත් Socialist Equality Party නමිනි. World Socialist Web Site (http://www.wsws.org) නමින් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මඟින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියට විජේ ඩයස් ලංකාව හා සම්බන්ධ ලිපි රාශියක් රචනා කොට ඇත.
විජේ ඩයස් හා ඔහුගේ භාර්යාව මහාචාර්ය පියසීලී විජේගුණසිංහ, ආචාර්ය සරත් විජේසූරියගේ ‘මගේ නඩුව ඉවරයි’ නවකතාවේ චරිත ද්වයකි. එහි කථා නායකයා නිරන්තරයෙන් දිරිමත් කරන ‘විජේ සහෝදරයා’ නම් වූ දේශපාලන චරිතය විජේ ඩයස්ය.
සිරිතුංග ජයසූරිය ගැන ලේඛකයා දන්නේ අල්ප වශයෙනි. ජයසූරිය ඔහුගේ මාක්ස්වාදී දේශපාලන ගමන් මාර්ගයෙහි හමු නොවූ චරිතයකි. 2005 ජනාධිපතිවරණයේදී සිරිතුංග ජයසූරිය ඡන්ද 35,425ක් (වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 0.36%ක්) ලබා තෙවැනි තැනට පත්වූ බව සඳහන් කළ යුතුය.
මේ චරිත තුන සම්බන්ධයෙන් පොදු සමානතා ගණනාවකි. එකක් තිදෙනාම දැඩි ට්‍රොට්ස්කිවාදීන් වීමය. දෙවැන්න තිදෙනාම දැඩි ලෙස ප්‍රතිපත්තිගරුක මාක්ස්වාදීන් වීමය. ඔවුහු සෝමවංශ අමරසිංහලා, අනුර කුමාර දිසානායකලා, තිස්ස විතාරණලා, ඩිව් ගුණසේකරලා වැනි හුදෙක් තමන්ගේ පැවැත්ම උදෙසා රතු කමිස ඇඟලා ගත් අරික්කාල් මාක්ස්වාදියෝ නොවෙති. ඔවුන් භාවිතා කරන අර්ථයෙන්, වචනයේ පරිසමාප්තර්ථයෙන්ම මෙන්න සැබෑ මාක්ස්වාදීන් කියා ඇඟිල්ල දිගු කොට පෙන්විය හැකි චරිත ත්‍රිත්වයකි මේ. (මාක්ස්වාදීන් ගැන ලේඛකයාගේ වර්තමාන නිර්වචනය වෙනස්ය.)
තෙවන සමානතාවය මේ කිසිවකු අරූ, මූ, අරකි, මේකි රජ කරවීමට කඩේ ගිය දේශපාලඥයින් නොවීමයි. තමන්ගේ පුද්ගලික වාසිය බලපොරොත්තු වන්නේ නම් තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර හෝ ඩිව් ගුණසේකර මෙන් සාරි පොටක සාටකයක එල්ලීමේ හැකියාව මේ තිදෙනාම සතුවිය, එහෙත් මේ තිදෙනාගෙන් එක් අයෙකු වත් නිකමට වත් ඒ හැකියාව පිරික්සා බලාවත් නැත. අන් දෙදෙනා කෙසේ වෙතත් වික්‍රමබාහු කරුණාරත්නට ඔහුගේ මහින්ද රාජපක්ෂ හා තිබුණු සම්බන්ධය භාවිතා කොට ලෙහෙසියෙන්ම ඇමති ධූරයක් හෝ පිනට කන්නට හා කාර් එකක් ලැබෙන ජනාධිපති උපදේශකකමක් දක්වා ගමන් කළ හැකිව තිබුණේය. නමුත් ඔහු තම ප්‍රතිපත්තිගරුක දේශපාලනය වෙනුවෙන් එය අළුයම ලූ කෙළ පිඬක් සේ පිළිකෙව් කොට සිටී. විජේ ඩයස් අදත් කියන්නේ මීට දශක තුනකට කලින් කී දේමය. ඒ මතවාදයෙන් ඔහු අංශු මාත්‍රයක් හෝ එහා මෙහා වී නැත. කොටින් කිව්වොත් ඇමතිකමකට හෝ රුපියල් මිලියන කිහිපයකට හැලගෙම්බන් සේ එහෙන් මෙහාටත් මෙහෙන් එහාටත් පනින පොලිතීසියන් ඉන්නා රටක මේ වැදගත් මහත්වරුන් තිදෙනෙකි.
සිව්වන හා වැදගත්ම සමානත්වය මේ තිදෙනාම නියත ලෙස සමාජයේ පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටීමයි. දෙමළ අයිතීන් වෙනුවෙන් මොවුන් කතාකර හා ක්‍රියාකර ඇති තරම් කිසිම දෙමළ දේශපාලනඥයකුවත් කටයුතු කර ඇතිදැයි සැක සහිතය. ඔවුන් දෙමළුන් වෙනුවෙන් පෙනී සිට ඇත්තේ නිකම් නොව සිංහල බෞද්ධ ගෝත්‍රික සමාජයේ දැඩි අපහාසයන්ට ගොදුරු වෙමිනි. ‘දේශ ද්‍රෝහියා’ යන අවමාන නාමය සිංහල බෞද්ධ පිරිමි මහළු ගොවිගම ගෝත්‍රිකත්වය අනුනොයන ඕනෑම චරිතයක් විස්තර කිරීමට භාවිතා කරන මේ යුගයෙහි මේ අතිශයින් ප්‍රශස්ත දේශපාලන මෙහෙවරකි. නමුත් මේ පීඩිතයා වෙනුවෙන් පෙනී සිටීම දෙමළ අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට සීමා වී නැත. වෙනත් සුළුජන කොටස් වල අයිතීන්, ජන මාධ්‍ය අයිතීන්, වැඩ කරන ජනතාවගේ අයිතීන්, සමරිසි අයිතීන් (Gay rights) පමණක් නොව එස්. බී. දිසානායක අගතියට පත් කල්හි ඔහුගේ අයිතීන් වෙනුවෙන් පවා මේ නායකයින් තිදෙන පෙනී සිටි අවස්ථා ඇත.
ඡන්දදායකයකු මේ තිදෙනාගෙන් කෙනකු වෙනුවෙන් ඡන්දය භාවිතා කළ යුතුද? එසේ නම් ඒ ඇයි?
පැහැදිළිව ඒ ඔවුන්ගෙන් කෙනකු ජනාධිපති කිරීම පිණිස නොවේ. ඒ හැකියාව ගැන සලකා බැලිය යුතුවත් නොවන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී ඔවුන්ගෙන් දෙදනකු හා තෙවැන්නාගේ පක්ෂ අපේක්ෂකයා (නව සමසමාජ පක්ෂයේ චමිල් ජයනෙත්ති) ලබා ගත් මුළු ඡන්ද සංඛ්‍යාව වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 0.5% නොඉක්මවූ නිසාය. නමුත් ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාම ප්‍රතික්ෂේප කරන විරෝධතා ඡන්දයක් සේ එය අතිශයින් වැදගත් වේ.
ලේඛකයා කලින් ලිපියකින්ද ප්‍රකාශ කළාක් සේ 2010 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජය ගැනීමෙන් ඇතිවන ඉතාම භයානක ප්‍රතිඵලය වැඩවසම් ඒකාධිපතිත්වයක් කරා ඔහු තල්ලුවීමය. මෙය රටටද ජනතාවටද හානිකරය. ලංකාව ඉඩි අමීන්ගේ උගන්ඩාවක් හෝ පොල්පොට්ගේ කාම්බෝජයක් විය යුතු නොවේ. රාජපක්ෂගේ ජයග්‍රහණය මේ වන විට නියතයක් නිසා මේ සිදුවීමට නියමිත මහා විනාශය වලක්වා ගත හැකි එකම ක්‍රමය ප්‍රබල විපක්ෂයක් සහිත පාර්ලිමේන්තුවක් ගොඩ නැඟීම තුළ රාජපක්ෂ අත අභිසාරී වන බලය අවම කිරීමයි. මෙය මෙම ජනපතිවරණයෙන් පසුද අහෝසි වේ යැයි නොසිතිය හැකි විධායක ජනාධිපති ක්‍රමය තුළ සිටිමින්ම එය දරන්නාට අන්තනෝමතික හැසිරීමකට ඇති ඉඩ දැඩි ලෙස ඇහිරීමක් ලෙසද අරුත් දැක්විය හැකිය.මේ සඳහා පළමු පියවර තැබිය යුත්තේ ජනවාරි මාසයේ ජනාධිපතිවරණයෙනි.
දැනට (ජනවාරි 10දා) පවත්නා තත්ත්වය මත ජනපතිවරණයෙන් ලේඛකයා බලාපොරොත්තුවන ප්‍රතිඵලය මේය.
මහින්ද රාජපක්ෂ – 50%
සරත් ෆොන්සේකා – 49%
ඉතිරි සියල්ලන් – 1%
(මෙය 2005 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල, රාජපක්ෂ රෙජීමයේ යුද ජයග්‍රහණ, මේ මොහොතේ රාජ්‍ය පාලන හා රාජ්‍ය මාධ්‍ය යාන්ත්‍රණ රාජපක්ෂගේ පූර්ණ පාලනය යටතේ වීම, ජවිපෙ හා දෙමළ එක්සත් පෙරමුණ සරත් ෆොන්සේකාට සහය දීම හා අනිවාර්යයෙන්ම විය හැකි හොර ඡන්ද දැමීම් සැලකිල්ලට ගෙන කරන ලද අනුමානයකි.)
ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාම යම යම් හේතූන් නිසා නොරිසි පිරිස වාමාංශික අපේක්ෂකයන්ට ඡන්දය පාවිච්චි කරන්නේ නම් මේ ප්‍රතිශත පහත ලෙස වෙනස් වේ යැයි උපකල්පනය හැකිය.
මහින්ද රාජපක්ෂ – 49% + සුළු ඡන්ද ප්‍රමාණයක්
සරත් ෆොන්සේකා – 49%
ඉතිරි සියල්ලන් – 2%
මෙයින් රාජපක්ෂ ජනාධිපති වීම නොවැළකේ. එහෙත් ඔහු රාජාධිපති වීම වැළකේ. මහ ජනතාවගෙන් 50%ක ඡන්ද ප්‍රතිශතයක් වත් ලබා ගත නොහැකි සාපේක්ෂව දුර්වල පාලකයකු සේ මහ මැතිවරණයට එළඹෙන ඔහුගේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබා ගැනීමේ වියරු සිහිනයට අවසන් තිත තැබේ. ප්‍රබල විපක්ෂයක් ගොඩ නඟා ගැනීමට එජාපයට හා ජවිපෙට ලැබෙන අවස්ථාව මත රාජපක්ෂගේ පිස්සු කෙළීම දැඩි ලෙස පාලනය වේ. මෙහි අවසාන ප්‍රතිලාභය ලැබෙනු ඇත්තේ මහ ජනතාවටය.
මේ නිසා බලයට පත්වන අපේක්ෂකයා කවුරුන් හෝ වේවා, තමන්ට (මෙය ප්‍රධාන අපේක්ෂකයන්ට හැර අන් ඕනෑම කෙනකුට සේ ප්‍රසාරණය විය යුතුය.) ඡන්දය ප්‍රකාශ කොට ඔවුන්ගේ රාජාධිපති සිහිනය බිඳින ලෙස වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා කරන ඉල්ලීම විහිළුවක් නොව මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන, නැවත රාජසිංහ යුගයක් කරා පිය මැනීමේ අවශ්‍යතාවයක් නොදකින පුරවැසියන් විසින් තම සැලකිල්ලට ගත යුතු කාරණාවක් වන්නේය. ඊට ඔවුන් මාක්ස්වාදීන් නොවීම බාධාවක් කර ගත යුතු නොවේ.
Posted in Uncategorized | Tagged: 1983 Black July, Ananda College, Ananda Sastralaya Matugama, Anura Kumara Dissanayake, අනුර කුමාර දිසානායක, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, ආචාර්ය සරත් විජේසූරිය, ආනන්ද මහා විද්‍යාලය, ආර්. ප්‍රේමදාස, ඉඩි අමීන්, එඩ්මන්ඩ් සමරක්කොඩි, එස්.බී.දිසානායක, චමිල් ජයනෙත්ති, ජනපතිවරණය, ජේ. ආර්. ජයවර්ධන, ඩිව් ගුණසේකර, ඩී. බී. විජේතුංග, තිස්ස විතාරණ, දෙමළ අයිතීන්, දේශ ද්‍රෝහියා, නලින් ද සිල්වා, පියසීලී විජේගුණසිංහ, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, පොල්පොට්, බ්ලොග් අවකාශය, බාලා තම්පෝ, මගේ නඩුව ඉවරයි, මතුගම ආනන්ද ශාස්ත්‍රාලය, මහින්ද රාජපක්ෂ, රාජපක්ෂ රෙජීමය, රාජාධිපති, ලංකා සම සමාජ පක්ෂය, වාමාංශික අපේක්ෂකයින්, වාසුදේව නානායක්කාර, වික්‍රමබාහු කරුණාරත්න, විජේ ඩයස්, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය, විරෝධය, සමාජ සමානතා පක්ෂය, සිංහල බෞද්ධ ගෝත්‍රික සමාජය, සිරිතුංග ජයසූරිය, සිරිමා බණ්ඩාරනායක, සෝමවංශ අමරසිංහ, Bala Tampoe, Chamil Jayanetti, D. B. Wijetunga, D. E. W. Gunasekera, Dr. Colvin R. De Silva, Edmund Samarakkody, Executive Presidency, Gay rights, Gen. Sarath Fonseka, http://www.wsws.org, Idi Amin, J. R. Jayawardena, Left, Left candidates, LSSP, LTTE, Mahinda, Mahinda Rajapaksa, Marxist, media freedom, Nalin De Silva, Piyaseeli wijegunasinghe, Polpot, Presidential Election, R. Premadasa, S. B. Dissanayake, Sarath Fonseka, Sarath Wijesuriya, Sirima Bandaranaike, Siritunga Jayasuriya, Socialist Equality Party, Somawansa Amarasinghe, Tamil rights, Tissa Vitharana, University of Peradeniya, Vasudeva Nanayakkara, War in Sri Lanka, Wickramabahu Karunaratne, Wije Dias, World Socialist Web Site | 30 Comments »
Posted by Taboo on January 8, 2010

ගිණිබට වලින් පිඹහළ මරණයෙ විසට
මිලානව නොගිය ඔබෙ මුහුණත යසට
රැඳී තිබෙනු දුටුවා පුදුමෙකි හිතට
පැතුම සහගතව දිවි පිදුමෙක සතුට!
අවියෙන් වලකන්ට බෑ උතුම් අරමුණු
හඬගා කියන ඔබෙ හඬ අහසේ හැපෙනූ -
ඇසුණා ඒ හඬේ නෑ මිය ගිය ලකුණූ
මරණය සුන්දරයි සත්‍යය වෙත නැවුණු
– බක්මහේ විලාපය – නන්දන වීරසිංහ
______________________
සිංහලයකුව ජන්ම ලාභය ලැබුවද, සිංහල බෞද්ධ ගෝත්‍රික සමාජය ලසන්ත වික්‍රමතුංග හැමදාම දුටුවේ තම විශ්කම්භීය එදිරිවාදියා ලෙසිනි. ඒ අබෞද්ධ ඔහු සිංහලයේ මහා සම්ප්‍රදායට අයත් නොවූ නිසාය. රෝමානු කතෝලිකයකුව ඉපිද ජීවිතයේ අවසාන භාගයේදී ‘ඇසෙම්බ්ලි ඔෆ් ගෝඩ්’ නිකායට හැරුණු වික්‍රමතුංග හැමදාම අයත් වූයේ සිංහලයේ චූල සම්ප්‍රදායටය.
කිතුණුවන්ව ඉපිද දේශපාලන වාසි තකා බෞද්ධයින්ටත් වඩා ‘බෞද්ධ’ වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකලා, එස්. එල්. ගුණසේකරලා හෝ ජැක්සන් ඇන්තනිලා සේ වංකයකු, ජඩයකු නොවූ වික්‍රමතුංගට තමා උපතින් ලද නිශ්චායික වෙනස් කිරීමේ අවශ්‍යතාවයක්ද නොපෙණුනේය. හොඳින් සිංහල කතාකළ හැකිව, ලිවිය හැකිව තිබුණද ඔහු හැමවිටම සේවය කළේ ඉංගීසි පාඨකයාට/ප්‍රේක්ෂකයාටය. ඒද යම් පංතියක් නියෝජනය කරමිනි. වික්‍රමතුංග බස් එකෙන් කන්තෝරුවට ගිය, දිවා ආහාරයට වඩේ කෑ මහින්ද අබේසුන්දර වැනි පීචං පුවත්පත්කලාවේදියකු නොවූයේය. ඔහු සුඛෝපභෝගී රථයක් හිමි, තරු පහේ හෝටල් වල රාත්‍රී සාද වලට අමුත්තකු නොවූ, ගල් අරක්කු වෙනුවට විස්කි පානය කළ, ජාතික තලයේ පොලිතීසියන්ට ‘සර්’ කියා නොව ‘මචං’ කියා ආමන්ත්‍රණය කළ පුවත්පත්කලාවේදියක් විය. ඔහුට ඒ රාමුව තුළ ආස්ථානයක්, පැවැත්මක් විය.
(ලසන්ත වික්‍රමතුංග සිංහලෙන් කළ එකම සම්මුඛ සාකච්ඡාව සුසන්තිකා ජයසිංහ සමඟ සිරසට කළ එක විය හැකිය. සුසන්තිකාගේ දුර්වල ඉංග්‍රීසි දැනුම මත ඔහුට අන් විකල්පයක් නොතිබුණා වන්නට ඇත. එහිදී ඔහු හැසිරුණේ පුවත්පත් කලාවේදියකු නොව හරස් ප්‍රශ්න නඟන නීතිඥයකු ලෙසය. සුසන්තිකා ඇමතීම සඳහා ඔහු යොදා ගත්තේ ‘ඔබ’ යන යෙදුම නොව ‘තමා’ යන යෙදුමය. මෙය නීතිඥයකු ලෙස අත්දැකීමෙන් ගෙනා දෙයකට වඩා ඔවුනතර පංති පරතරය අවධාරණය කිරීමට කළ එකක් සේ පෙණිනි. )
සිංහලෙන් ලියූවද, ඉංග්‍රීසියෙන් ලියූවද මෙරට බොහෝ පුවත්පත්කලාවේදීහු සරල මිනිස්සු වෙති. ප්‍රෙස් කොන්ෆරන්ස් එකකට ගොස් පොලිතීසියකු දොඩවන දෙයක් ලියාගෙන විත් පළකරන පුවත්පත් කලාවෙන් එපිටට යන දෙයක් ඔවුනට විෂය නොවේ. ඒ ජීවිතය පහසුය. අවදානම්විරහිතය. මහරජාණන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙමළෙන් ඇමතීමට වඩින කල්හි පුෂ්පකවිමානයෙහි තටුවේ එල්ලී යන්නට පොට්ට චාන්ස් එකක්ද ලැබිය හැක්කේය. මේ නිසා ඒ බොහෝ පුවත්පත්කලාවේදීනගේ තේරීම වී ඇත්තේය.
පිරික්සුම් පත්කලාවේදියකු (Investigative Journalist) වූ ලසන්ත වික්‍රමතුංග මින් ඉඳුරා වෙනස් චරිතයක් විය. ඔහුට ලියන්නට අවශ්‍ය වූයේ හැමදෙනාම දන්නා තොරතුරු නොව කිසිවකු නොදන්නා තොරතුරුය. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක දිවා අහරට හිල්ටන් හෝටලයෙහි බුදිනගෙට වන් කල්හි ඔහු මෙනුපතද ඉරිදා ලීඩරයෙහි පළ කළේය. බහුජනයාට නොවැදගත් සේ පෙනෙන මේ තොරතුරු තළු මරමරා බුදින පිරිසක් තමා නියෝජනය කළ පංතියෙහි වූ බව ඔහු දැන සිටියේය. (“අයි කුඩ්න්ට් ඊවන් බිලීව් අනේ, චන්ද්‍රිකාත් මේ ඩිශ් එකට කැමතියි කියලා…”) මංගල සමරවීර මේ ගැන කිව්වේ ප්‍රේමදාස යුගයේ එවැන්නක් කළා නම් වික්‍රමතුංග මෙනුවෙහි කොටසක් බවට පත්වී නතර වන්නට ඉඩ තිබුණු බවකි. දෙවන-ප්‍රේමදාස යුගයේ එවැන්නක් සැබැවින්ම වීම මේ අනාවැකිය ස්ඵුට කිරීමක් පමණක් නොව, වික්‍රමතුංග ගෙන් වැඩිපුරම බැට කෑ චන්ද්‍රිකා කුමාරතුංගට දෙන ලද චරිත සහතිකයක්ද විය. (වික්ටර් අයිවන් නම් නොකියා කීවේ කුමාරතුංග තම පංති සගයා වූ ලසන්ත වික්‍රමතුංග ඉතිරි කොට, පන්ති සගයකු නොවූ රෝහණ කුමාරට ගේම දුන් බවය.)
පිරික්සුම් හා ඕපාදූප (gossip) පත්කලාවෙහි සම්මිශ්‍රණයක් වූ වික්‍රමතුංගගේ මාධ්‍ය හැසිරවීම රිසි පිරිසක්ද නොරිසි පිරිසක්ද වූහ. ඊට රිසි පිරිස වූයේ කවර හෝ හේතුවක් නිසා සිංහල බෞද්ධ ගෝත්‍රික මහා සම්ප්‍රදායට එක්වීමට වරම් නොලැබ, ඊට වෛරකරමින් සිටියවුන්ය. මීට කොළඹ ක්‍රොම්පදෝරු ධනපති පංතියේ කොටසක්ද, බූර්ෂුවා පංතියේ කොටසක්ද, කොතලාවලගේ කාලයේ සිට පැවත එන පරණ කොළඹ කේන්ද්‍රීය හණමිටි යූ ඇන් පී කාරයින් පිරිසක්ද අයත් වූහ. නොරිසි පිරිස ලීඩරයේ පාඨකයන්ම නොව, එයින් සිංහල බෞද්ධ ගෝත්‍රික සමාජයේ මුදුනන්ගේ සළු පිළි, ඔවුන් මුළුමනින් නිරුවත් කොට ගැලැවී වැටෙනු දැක තුෂ්නීම්භූත වූවෝය. (අද රාජපක්ෂ කඳවුරේ ඊනියා ‘දේශප්‍රේමීන්ගෙන්’ ෆොන්සේකාට එල්ල වන යුද අවි ජාවාරම් පිළිබඳ චෝදනා එදා එල්ල වූයේ සුරනිමල ලෙසින් ආරූඪ නම් ගත් වික්‍රමතුංග අතින් ඉරිදා ලීඩරයෙනි. එහෙත් එදා සිංහල බෞද්ධ ගෝත්‍රික සමාජයට වික්‍රමතුංග ‘දේශ ද්‍රෝහියකු’ විය.) මීට අමතරව ඉරිදා ලීඩරය වැදගතැයි සැලකුවෝ අල්පය. කොටින්ම එය තම විරුද්ධ දේශපාලන මතධරයාගේ හොරකම් හෙළිකරන්නට මුව අයා බලා හිඳින පොලිතීසියන්ටත්, ඉංග්‍රීසි දැනුමැති, රැකියා විරහිත පෝසත් ඉහළ මධ්‍යම පාංතික නෝනලාටත් මිස අන් කිසිවකුට වැඩක් නැති තරමට නිශීය (niche) වෙළඳපළකට සැකසුනක් විය.
මීට වසරකට ඉහත ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරන ලද්දේය. ඒ පැහැදිළිව දේශපාලන මිනී මැරිමකි. ඔහු තුච්ඡ ලෙස ඝාතනය කරන ලද්දේ අධි ආරක්ෂක කලාපයකට ඉතා ආසන්නයේය. ඔහු ඝාතනය කිරීමට යොදාගන්නා ලද අවිය කිසිදින හඳුනා නොගත් අතර, ඝාතනය ඇසින් දුටුවන්ගේ සාක්ෂිවලින් කියැවුනේ ඉන් හඬක් නොනිකුත් වූ බවයි. එකදු උණ්ඩයක් හෝ සොයා නොගන්නා ලදී. මේ සියළු කාරණා විසින් සැකය අභිසරණය කරනු ලබන්නේ සන්නද්ධ හමුදාවන්ගේ ඉහළම ලේයරය වෙතය. බාහිර පාර්ශවයක් හෝ සන්නද්ධ හමුදාවක් තුළ පවා දෙවන පෙළ නායකත්වයක් කවර හෝ හේතුවක් නිසා මේ සා දරුණු අවදානමක් ගනීද යන්න සැක සහිත කාරණාවකි. මේ නිසා න්‍යායාත්මකව මීට වගකිවයුතුයැයි ඇඟිල්ල දිගුකළ හැකිය හැකි සිව්දෙනක් වූහ. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, එවකට යුද හමුදාපති දැන් ජනාධිපති අපේක්ෂක සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා, එවකට නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ හා ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලකය. මින් නම් දෙකක ඇත්තේ න්‍යායාත්මක අගයක් පමණි. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කීවේ මෙය හමුදාපති ‘දැනුවත්ව සිදුවූ’ ඝාතනයක් බවය. (තමා විසින්ම එසේ චෝදනා එල්ල කරන පුද්ගලයා වෙනුවෙන්ම අද වේදිකාවට නඟින්නට රනිල් වික්‍රමසිංහට සිදුවී තිබීම දෛවයේ සරදමකි.)
මහා පොදු පුද්ගල සාධකය සමීකරණයෙන් ඉවත් කළ කල්හි වික්‍රමතුංගගේ මරණයට හේතුව තේරුම් ගැනීම පහසුය. LTTEය හා රජයේ හමුදා අතර යුද්ධය අවසාන අදියරට ළඟාවෙමින් තිබුණේය. වේලුපිල්ලේ පිරබාහරන්ගේ අභිප්‍රාය වූයේ සැලකිය යුතු සංඛ්‍යාවක් දෙමළ සිවිල් වැසියන් පළිහක් සේ භාවිතා කිරීමය. ඒ නැතත් LTTEය වෙනුවෙන් අවිගත් තරුණ පිරිස විශාල විය. යුද්ධයේ අවසාන අදියර දැවැන්ත සමූලඝාතනයක් වන ලකුණු පෙනෙන්නට තිබිණි. (හැමදාම කියන බයිලාව: මෙය එසේම වූයේ නොවේ. යුද්ධයේ අවසාන අදියරේදී මිය ගිය ගණන 6,000 පමණ වූ අතර මෙය බලාපොරොත්තු වූ අගයෙන් සතරින් එකක් පමණ විය.) යුද කලාව අපට වඩා හොඳින් දත්තන් මේ පරිසරය තුළ වික්‍රමතුංග වැනි නාහෙට නාහන පිරික්සුම් පත්කලාවේදියකුගේ පැවත්මෙහි අවදානම තේරුම් ගන්නට ඇත. එය නිවැරදි ඇගැයීමක් බව පැහැදිළිය. ලසන්ත වික්‍රමතුංග ජීවත්ව සිටියේ නම් නඩේසන් හා පුලිදේවන් සුදුකොඩි රැගෙන ආවායින් පසුව සිදුවූයේ කුමක්ද, කලපුවේ පාවෙමින් සිටින්නට පෙර පිරබාහරන්ට පොරෝ පහර දුන්නේ කවරෙක්ද යන ප්‍රශ්න වලට උත්තර ‘යුද රහස්’ව නොසැඟවෙන්නට ඉඩ තිබිණි. යුධ අපරාධ පිළිබඳව චැනල් ෆෝ (Channel Four) වීඩියෝවට වඩා නිශ්චිත, ප්‍රතික්ෂේප නොකළ හැකි සාක්ෂ්‍ය ලෝකයාට ලැබෙන්නට තිබිණි.
ලසන්ත වික්‍රමතුංග නිර්භීත පුවත්පත් කලාවේදියෙකි. සමහරවිට මෙතෙක් අපේ රටේ පහළ වූ නිර්භීතම පුවත්පත්කලාවේදියාද විය හැකිය. මරණය තමා පසුපස හඹා එන බැව් ඔහු දුටුවේය. එය කෙතෙක් නියතද යත් පසුදිවිව (posthumously) පළ කිරීම සඳහා කතුවැකියක් පවා ඔහු ලියා තිබිණි. නමුත් ඔහු මරණයෙන් පළා ගියේ නැත. වේලුපිල්ලෙයි පිරබාහරන් සේ බියගුල්ලකු ලෙසින් නොව වීරයකු ලෙසින් මරණයට මුහුණ දුන්නේය.
වික්‍රමතුංගගේ මරණයෙන් ගැහැණු දෙදනකුට තමන් ආදරය කළ පුද්ගලයා අහිමි විය. දරුවන් තිදෙනෙකුට තම පියා අහිමි විය. මේ රටේ එක්තරා කුලකයකට තම සදාදරණීය ලේඛකයා අහිමි විය. වෙනස් ආකාරයකින් මුත් රටට යම් සාධනීය මෙහෙවරක් කළ මාධ්‍ය හැසිරීමකට නැවතීමේ තිත වැටුණේය.
කෙනකුගේ මරණය නිසා වු යහපත කතා කිරීම අවලස්සනය. එහෙත් ලසන්ත වික්‍රමතුංගගේ මරණය (හා ඉන්පසුව ඇතිවූ ක්‍රියාවලිය) නිසා රටට යම් හොඳක් සිදුවිය. රාජපක්ෂ රෙජීමයේ (එවකට සරත් ෆොන්සේකාද එහි කොටසක් විය.) නිර්ලජ්ජිත මාධ්‍ය මර්දනයේ නිරුවත ලෝකයා ඉදිරියේ ප්‍රදර්ශනය වූයේ මේ ඝාතනය නිසාය. එයින් රාජපක්ෂ රෙජීමයේ යම් හික්මීමක් ඇතිවනු පැහැදිළිව දකින්නට තිබුණේය. එය එසේ නොවන්නට තවත් මාධ්‍ය පොඩ්ඩන් විශාල සංඛ්‍යාවක් ලොවට හොරෙන් මරු දකිණු ඇත. එසේම ඔප්පු කළ නොහැකි වෙතත්, උතුරේ යුද්ධය නිසා සිදුවෙන්නට ඉඩ තිබුණු මරණ සංඛ්‍යාව මීට වඩා ඉතා ඉහළ අගයක් ගැනීමටද ඉඩ තිබුණේය. මේ සිද්ධිය නිසා ඉතාම දැඩි මර්ධනයක් යටතේ වුව, මාධ්‍ය නිදහස හා සිවිල් නිදහස ආරක්ෂා කර ගැනීම සඳහා යම් පෙළගැස්මක් බිහිවිය. මේ නිසා ලසන්ත වික්‍රමතුංග මරණය සමාජයට වැඩදායක වී යැයි ඔහුගේ ඥාතීනට හා හිතවතුන්ට සිත සනසා ගත හැක්කේය.
Posted in Uncategorized | Tagged: Air Chief Marshal Roshan Goonetileka, Assassination of Lasantha Wickramatunga, Assembly of God, අධි ආරක්ෂක කලාපය, ආරක්ෂක ලේකම්, ඇසෙම්බ්ලි ඔෆ් ගෝඩ්, ඉරිදා ලීඩරය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, එස්. එල්. ගුණසේකර, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ක්‍රොම්පදෝරු ධනපති පංතිය, ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, ගෝඨාභය රාජපක්ෂ, චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක, ජැක්සන් ඇන්තනි, දෙමළ සිවිල් වැසියන්, නඩේසන්, නන්දන වීරසිංහ, ප්‍රේමදාස, පුලිදේවන්, පුවත්පත්කලාවේදීන්, බක්මහේ විලාපය, මංගල සමරවීර, මරණය, මහින්ද අබේසුන්දර, යුද හමුදාපති, රනිල් වික්‍රමසිංහ, රෝමානු කතෝලික, රෝහණ කුමාර, ලසන්ත වික්‍රමතුංග, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසන්ත කරන්නාගොඩ, වික්ටර් අයිවන්, වේලුපිල්ලේ පිරබාහරන්, සන්නද්ධ හමුදා, සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා, සිංහල, සිංහල බෞද්ධ, සිංහල බෞද්ධ අන්තවාදය, සිංහල බෞද්ධ ආධිපත්‍යය, සිංහල බෞද්ධ ගෝත්‍රික සමාජය, සිරස, සුරනිමල, සුසන්තිකා ජයසිංහ, B. Nadesan, Chandrika Kumaratunga, Channel Four video, death, English Press in Sri Lanka, Gossip, High Security Zone, Investigative Journalist, Jackson Anthony, Journalism, Lasantha Wickramatunga, LTTE, Mahinda Abeysundara, Mangala Samaraweera, media freedom, Nandana Weerasinghe, Pulidevan, R. Premadasa, Ranil Wickramasinghe, Rohana Kumara, Roman Catholic, S. L. Gunasekera, Sinhala, Sinhala Poems, Sirasa, Sri Lanka Air Force, Sri Lanka Armed Forces, Sri Lanka Army, Sri Lanka Navy, Suranimala, Susanthika Jayasinghe, SWRD Bandaranaike, Tamil civilians, The Sunday Leader, United Nations, UNP, Victor Ivan, Wasantha Karannagoda | 27 Comments »