Archive for March, 2009
Posted by Taboo on March 31, 2009

මතක ඇති කාලයක පටන් මේ ලේඛකයා යුද විරෝධියකු විය. ඒ ඔහු ත්‍රස්තවාදයට අනුකූලතාවයක් දැක්වූ නිසාවත් රාජ්‍ය නොවන සංවිධානයකින් පාක්කුඩම් ලබා කුටුම්භ සංරක්ෂණයෙහි නියැළි නිසාවත් අඩුතරමින් ප්‍රබුද්ධයෙකු සේ කැපී පෙනීමට වූ ආසාව නිසාවත් නොවේ. වර්තමානයෙහි මිනිසුන් අතර පැන නඟින ගැටළු විසඳා ගැනීමට යුද්ධයට වඩා ඵලදායක, මානුෂික, අඩු විනාශකාරී මාර්ග ඇති බව ඔහු අවංකව විශ්වාස කළේය.
දෙවන ලෝක යුද්ධයෙන් පසු කිසිම සංවර්ධිත රටක අළුතින් සිවිල් යුද්ධයක් ඇතිවී නැති අතර, සංවර්ධිත රටක් තවත් සංවර්ධිත රටක් සමඟ අවිගත් ගැටුමකද පැටලී නැත. හැම යුද්ධයකම කෙළවර ඉන්නේ නොදියුණු දිළිඳු රටකි. ශ්‍රී ලංකාව මේ වර්ගීකරණයට ලක්වනු දැකීම ඔහු රිසි නොවීය. මොන වැරදි තිබුණද, දකුණු ආසියාවේ සමස්තයක් සේ දියුණුම රට බව අවිවාදිත ශ්‍රී ලංකාවට මේ ගැටළුව අති විශාල ජන සංහාරයකට හේතු විය හැකි යුද්ධයකට නොයා විසඳා ගත හැකි බවට ඔහුට අවංක විශ්වාසයක් විය. තිස් වසරක් තිස්සේ කර වැරදුණු පරීක්ෂණයක් නැවත කිරීමට දරණ උත්සාහයක් ගඟට ඉණි කැපීමක් ලෙසය ඔහුට පෙණුනේ.
2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති වීම ඔහු බියපත් කළේය. හේතුව ඔහු අනුදත් දේශපාලනයට අනුව, මහින්ද ෆැසිස්ට්වාදියකු හැටියට පෙනීමය.(Facism = A radical, authoritarian nationalist ideology that aims to create a single-party state with a government led by a dictator who seeks national unity and development by requiring individuals to subordinate self-interest to the collective interest of the nation or race. බලන්න: http://en.wikipedia.org/wiki/Fascism) සාකච්ඡා මාර්ගයෙන් ජන වාර්ගික ගැටළුව විසඳා ගැනීමේ අභිලාෂයක් හෝ අඩු තරමින් හැකියාවක් මහින්ද සතු නොවූ බව ලේඛකයා දැන සිටියේය. මේ නිසා ඒ වන විට යම් පමණකට දෙපක්ෂය අතර ගොඩ නැඟී තිබුණු අවබෝධය බිඳ වැටී තවත් දීර්ඝ කාලීන යුද්ධයකට මඟ පෑදිය හැකි බව ඔහුගේ අදහස විය. එබඳු දීර්ඝ කාලීන යුද්ධයකින් තව දුරටත් බැට කන්නේ අහිංසක මිනිසුන්ය. 2005 ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාව කටු ගෑ ඔහු ඡන්ද මධ්‍යස්ථානයෙන් පිට වූයේ සැහැල්ලු සිතිනි. රටේ නිමාවක් නැති දීර්ඝ කාලීන යුද්ධයක් ඇති කිරීමට සම්මාදම් නොවීමි යන ප්‍රීතියෙනි.
2005 දී කිසිවකු මහින්ද උතුරු නැඟෙනහිර කොටි ග්‍රහණයෙන් මුදා ගනිතැයි යෝජනා කළේ නම් ලේඛකයාගේ ප්‍රතිචාරය වනු ඇත්තේ මේය: “පලයං බං යන්න, මූ අල්ලයි, අලිමංකඩ නෙවෙයි, පාමංකඩ! යුද්දෙට වියදම් කරන හැටියට අපට දවසක බඩගින්නෙ මැරෙන්ඩ තමා වෙන්නෙ.”
මන්නාරමින් පුනරීන් දෙසට යුද මෙහෙයුම් ආරම්භවෙද්දී , කිලිනොච්චිය අල්ලා ගැනීමටත් මත්තෙන්, අඩු තරමින් විසි පන් දහසක (25,000) පිරිසක් දෙපක්ෂයෙන්ම මිය යනු ඇතැයි ලේඛකයාගේ ගණන් බැලීම විය. කිලිනොච්චි අල්ලා ගැනීමට හැකිවෙතැයි ඔහු සිහිනෙනුදු අපේක්ෂා නොකළේය. ඊට වසර පහක්වත් ගත වෙතැයිද ඉන්පෙර ආර්ථික හේතූන් මත යුද්ධය නතර කොට නැවතත් සාකච්ඡා මාර්ගයට අවතීර්ණ වීමට සිදු වනු ඇතැයිද ඔහුගේ විශ්වාසය විය. අවම ජන සංහාරයක් ඇතිව පුනරීන්, කිලිනොච්චි, මුතූර් කපා ලූ කෙහෙල් කඳන් සේ කඩා වැටෙද්දී ඔහු තමා මහින්ද ගැන කළ ඇගැයීම වැරදි බව වටහා ගත්තේය. ඒතරම් පැහැදිළි ලෙස වැරදි බව ඔප්පු කිරීමෙන් පසුව තවදුරටත් පැරණි මතයෙහිම එල්බ ගෙන සිටීමට හැකිවන්නේ උද්ධච්ඡ මෝඩයෙකුට පමණකි. එවැන්නකු නොවූ ලේඛකයාට තමාට වැරදුණු බව තේරුම් ගැනීමේ අපහසුවක් නොවීය.
මින් අදහස් කෙරෙන්නේ මහින්දගේ දැක්ම නිවැරදි බව නොවේ. සමස්තයක් වශයෙන් සැලකූ කළ ඔහුගේ දැක්ම, එවැන්නක් ඇතිනම්, ඉතාම ප්‍රතිගාමී එකකි. ඔහු මෙරට පහළ වූ දක්ෂතම රාජ්‍යතාන්ත්‍රිකයා බවද නොවේ. දේශපාලන වශයෙන් නම් මහින්ද ලේඛකයාට තවමත් පරණ ෆැසිසිට්වාදියාමය. ඔහු වර්තමානයෙහි රඟ දක්වන්නේ ඕනෑම වැඩ වසම් පාලකයකුගේ භූමිකාවය. ඔහු කොටින් සමඟ සටන් වදින්නේ දේශය එක්සේසත් කිරීම හෝ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පරමාභිලාෂය කොට නොව තමගේ රාජධානියේ මායිම් පුළුල් කර ගැනීමේ ආත්මාර්ථකාමී හැඟීමෙනි. ඔහුගේ පාලනය යටතේ බලය බෙදීම සිහිනයක් පමණකි. සිදුවන්නට ඇති එකම දෙය තව දුරටත් පාලනය මධ්‍යගත වීමය. බලය එක් පුද්ගලයෙකු අත කේන්ද්‍රාපසාරී වීමය. (මෙහි හරි වැරද්ද සාපේක්ෂකය. එහෙත් තමන්ගේ ජාන ගත වැඩවසම් චින්තනයෙන් නොමිදුණු ලාංකිකයන් විශාල පිරිසක් මහින්ද ජනාධිපති වෙනවාට වඩා ‘රජ’ වෙනවාට කැමැතිය. ප්‍රතිශතයක් වශයෙන් මහින්දගේ ඡන්ද බැංකුව වන සිංහල සමාජය තුළ එය 60-70% ක් විය හැකිය.)
එහෙත් මහින්දගේ දරුණුතම විවේචකයාට පවා පිළිගැනීමට සිදුවන සත්‍යයන් කීපයක් ඇත. (කාට තිත්ත වුවත් මේ ඇත්තය.)
එක – කොයි තරම් ආත්මාර්ථකාමී අරමුණින් කෙරුණද යුද්ධය නිමා කිරීම නිසා පොදුවේ රටට යහපතක් සිදුවී ඇති බව: මෙයින් අදහස් වන්නේ රටේ සියළුම ප්‍රශ්න විසඳී ඇති බව නොවේ. “කෙටි කාලීනව හෝ” යුද්ධය නැවතීම කාටත් හොඳ බවය. (සියළු ප්‍රායෝගික කාරණා සඳහා යුද්ධය නිමා වී ඇති බව ලේඛකයා පිළිගනී. ඒ සඳහා ප්‍රභාකරන්ගේ පිළිස්සුණු මළසිරුර සොයා ගැනීමට අවශ්‍ය නැත.)
දෙක – යුද්ධයේ නිමාවට මහින්දගේ නොසැළෙන දේශපාලන නායකත්වය ඍජුව බලපෑ බව (යුද ජයග්‍රහණ වල පූර්ණ ගෞරවය හමුදාවන්ට ලබා දෙමින් UNP හෝ JVP කාරයින් මෙන් උගුරට හොරා බෙහෙත් කන්නට ලේඛකයාට අවශ්‍යතාවයක් නැත. මෑත භාගයේ හමුදා නායකත්වයේ සිදුවූ වෙනස්කම් යුද ජයග්‍රහණයන්ට අති විශාල බලපෑමක් කළ බව සබැවි. එහෙත් නිවැරදි දේශපාලන නායකත්වයකින් තොරව මේ යුද්ධය දින්නා යැයි කීම විහිළුවකි.)
තුන – වෙන විකල්පයන් නොතිබූ බව සැබෑ මුත්, යුද්ධය නිමා කිරීම වෙනුවෙන් ඉතාම අවදානම් තීරණ කිහිපයක් ඔහු විසින් නිර්භීතව ගනු ලැබූ බව (අවදානමක් ගැනීමට බිය නැතිවීම නායකත්වයේ ඉතා හොඳ ලක්ෂණයකි. අවදානම් තීරණයක් ගන්නට බැරි නායකයකු පොල් පිත්තක් බඳුය. දෙවන ලෝක යුද්ධ සමයේ වින්ස්ටන්ට් චර්චිල් සියල්ලන්ගේ විරුද්ධතා මධ්‍යයේ මීට වඩා අවදානම් තීරණ ගත්තේය.)
හතර – යුද්ධය නිමා කිරීම වෙනුවෙන් එතෙක් තමන්ගේ විරුද්ධවාදීන් වූ අයගේ සහාය ලබා ගැනීමට පවා ඔහු කිසිම පැකිලීමක් නොදැක්වූ බව (වෙනත් වචන වලින් කිව්වොත් යුද්ධය නිමා කිරීම යන අරමුණ උදෙසා ඔහු පෞද්ගලිකත්වය හරස් කොට ගෙන නැත. තම මතය පෝෂණය කරන චම්පික රණවක සේම කලාතුරකින් එම මතයට විරුද්ධ වන තිස්ස විතාරණද, චන්ද්‍රසේකරන්ද ඔහුගේ කැබිනෙට්ටුවේ වෙති. හරි වැරැද්ද කෙසේ වෙතත් සුසන්ත පුංචි නිලමේට ඇමති කමක් දී ඇත්තේ කිට්ටු හිතවතකු වන ඩලස් අලහප්පෙරුමගේ විරුද්ධතා මැදය. තම දීර්ඝ කාලීන අරමුණ ඉටු කර ගැනීම උදෙසා මේ කෙටි කාලීන කැපකිරීම කළ යුතු බව ඔහු දනී.)
පහ – කොටි සංවිධානය යනු පරාජය නොකළ හැකි රකුසෙකිය යන මිත්‍යාව ඔහු විසින් බිඳ හෙළනු ලැබූ වග (අන්තර්ජාතික වශයෙන් මේ නිසා ලැබෙන කීර්තිය ඉමහත්ය. මහින්දගේ බොහෝ වැරදි මේ නිසා වසා ගත හැකිය.ත්‍රස්තවාදය අද කාගේත් පොදු හතුරෙකි.)
ඉන් පෙර ජනපතිවරුන්/වරියන් සිව් දෙනකුටත් වසර තිහක් තිස්සේ මෙල්ල කළ නොහැකි වූ LTTEය මහින්ද මෙල්ල කළේ කවර අරුමයකින්දැයි සිතසිතා ඉන්නා විටය ‘කුඩුලාල්’ නමින් කමෙන්ටු පළ කරන බජාර් වැසි ප්‍රතිරූපකයා වෙනත් බ්ලොග් එකක ලියූ මේ සටහන දුටුවේ. ඒ සටහන එලෙසම උපුටා දැක්වීම ගැන අදාළ බ්ලොගයෙහි හිමිකරුවාත්, ප්‍රතිරූපකයාත් අමනාප නොවෙතැයි සිතමි.
[උපුටනය] අපේ බජාර් එක කිට්ටුව හිටපු ලෝක බැංකුවේ සුදු මාත්තයෙක් මට සැරයක් කොන්සල්ටන්සි ප්‍රොජෙක්ට් එකක් දුන්නනේ ගෙදර බල්ල මුරණ්ඩු වැඩියි කීකරු කරන්ඩ කියලා. මේ ලාලුත් අත ඇරියෙ නෑ, බැස්සා ගේමට.
මේ වේ… බලු තඩියා හුරතල් කරල වැඩි වෙල මුරණ්ඩු වෙලා, බොස්. ඌ දවසකට කනවා ඇති අපේ සුමානේ ඩයට් එක.
ගෙනිච්චා ගෙදර. බැන්දා කනුවක. ගත්තා පොල් පිත්තක්. “හු…. බල්ලෝ තෝ පාට් දැම්මොත් තොගෙ අ….. හු…. කැ…..බල්ල” කියලා නෙළාගෙන නෙළාගෙන ගියා. ඌත් ඥෑහ් ඥෑහ් ඥෑහ් ඥෑහ් ගාගෙන කෑගහල අන්තිමේ කලන්තෙ දාල වැටුන සෑර්. මේ ලාල් දන්සැල් දෙන්න පටන් ගත්තාම ඒම තමා සෑර්. කන්ඩ පුළුවන් කෙනෙක් නෑ.
කිව්වට විස්වාස කරන්ඩ සෑර් එදා ඉඳන් බල්ල පුල් සරෙන්ඩර්. හරිම කීකරුයි. සුදු මාත්තය මාර ඇපි. මොනරු පස් දෙනෙක්ම දුන්න සෑර් කොන්සැල්ටන්සි චාජස්. තාම අහනව කොහොමද කළේ කියාල. කියයි මම! [නුපුටනය]
අපේ අනෙක් නායකයින් කළේ බල්ලා කීකරු කර ගැනීමට ඌට මස්කටු දීමය. (සමහර අවස්ථා වලදී එය සාර්ථක විය හැකිය.) එක්කෝ බල්ලන් ගැන වඩා හොඳින් දන්නා නිසා හෝ නැත්නම් මෝඩකම නිසා මහින්ද තෝරා ගත්තේද කුඩුලාල්ගේ විසඳුමය. එහිදී මූ මේකෙන් මැරෙයිද, මූට තුවාල වෙයිද, එහෙම වුනොත් සුද්දට මොකද කියන්නේ වැනි ප්‍රශ්න කුඩුලාල්ට සේම මහින්දටද අදාළ නොවීය. සමහරුන් pragmatism කියන්නේ මේකටය. (බලන්න http://encarta.msn.com/dictionary_1861737498/pragmatism.html)
මහින්ද ‘මහා මහින්ද’ සේ බෞස්තීම කළේ කාලයක් ලේඛකයා සේම යුද විරෝධියකු වූ රාජිත සේනාරත්නය. දුටුගැමුණු, විජයබාහු, මහා පරාක්‍රමබාහු, සයවන පරාක්‍රමබාහු වැනි බොහෝ පාලකයන් සේම මහින්දද බාරගත්තේ බිඳුනු දේශයකි. වෙනෙකක් තියා 2005 දී Lonely Planet සංචාරක අත්පොතෙහි ලංකාවේ සිතියම දැක්වුනේ පාට දෙකකිනි. දැන් ඔවුන්ට ඒ සඳහා තනි පාටක් යොදා ගත හැක. ඉහත සියලු පාලකයින් සේම මහින්දද නැවත රට ඒකඡත්‍ර කළේය. ඒ ඉහත සියළු දෙනාට අඩු කාලයකිනි. රාජිතට අනුව ඉහත සියළු පාලකයින් ඒ සඳහා වසර 10-15 අතර කාලයක් ගෙන ඇත. ඉතින් ඒ කාර්‍යයම වසර දෙකහමාරකදී ඉටුකළ මහින්ද ‘මහා’ ආඛ්‍යානය ලැබීමට සුදුසු නොවන්නේ මන්ද?
පවත්නා වැඩ වසම් සංදර්භය තුළ ඊට එකඟ වෙනවා හැරෙන්නට විකල්පයක් ලේඛකයාට නැත. ඔහු ඒ අර්ථයෙන් නම් මහින්ද, සමහරවිට සවැනි පැරකුම්බාවන්ගෙන් පසුව (රට බ්‍රිතාන්‍යයන්ට කලින් අන්තිමට එක්සේසත් කළ පාලකයා) ශ්‍රී ලංකාද්වීපයෙහි පහළ වූ දක්ෂතම රාජ්‍යතාන්ත්‍රිකයාය යන මතය හා සුපුන් සුදාරක සමඟ එකඟ වන්නේය.
Posted in Uncategorized | Tagged: අලිමංකඩ, කිලිනොච්චි, ජන වාර්ගික ගැටළුව, ත්‍රස්තවාදය, පුනරීන්, මහින්ද රාජපක්ෂ, මුතූර්, යුද විරෝධි, ෆැසිස්ට්වාදය, Elephant Pass, Ethnic war in Sri Lanka, Facism, Mahinda Rajapaksha, terrorism | 48 Comments »
Posted by Taboo on March 29, 2009

මම සිංහල බ්ලොග් සංසදයේ කිසිවකු පුද්ගලිකව නොහඳුනමි. එහෙත් මගේ බ්ලොග් එක සිංහල බ්ලොග් කියවනයට එකතු කිරීමට තරම් ඔව්හු කාරුණික වූහ. ඒ මේ බ්ලොග් එක Taboo Subjects ලෙස නම් කර තිබියදීය. එය අවදානම් කටයුත්තකි. එහෙත් ඔව්හු ඒ අවදානම භාර ගත්හ.
සිංහල බ්ලොග් කියවනය නිසා මට නියත පාඨක පිරිසක් හිමිවිය. එසේම මේ දක්වා මගේ ලියවිලි ගැන සංසදය කිසිම ගැටළුවක් මතු කර නැත. මේ කාරණා දෙක සම්බන්ධව මගේ ගෞරවයත්, ස්තූතියත් ඔවුනට හිමි වේ.
එහෙත් මින් අදහස් වන්නේ බ්ලොග්කරුවකු වශෙයන් මා මේ කාරණය සම්බන්ධව පහසු තැනකට පැමිණ ඇති බව නොවේ. සමහර සිංහල බ්ලොග් කරුවන් මෙන්ම මටද ජීවත් වීමට සිදුව ඇත්තේ තනි අශ්ව කෙන්දකින් එල්ලුනු කඩුවක් හිසට උඩින් රැඳී තිබුනායයි කියන ඩයොනිසියස් නම් පාලකයා ලෙසටය. (බලන්න http://en.wikipedia.org/wiki/Sword_of_Damocles) මකබාස්ද, බුමුතුරුණු ලියන ශාන්ද, බූන්දි ලියන සහෝදර පිරිසද මීට සමාන මනෝ භාවයන් අත් විඳිනු ඇතැයි සිතමි.
සිංහල බ්ලොග් සංසදය මඟින් අළුතින් සම්මත කරගත් නීති පද්ධතියකට අනුව ‘අසභ්‍ය’ හා ‘වැඩිහිටියන්ට පමණක් සීමා වූ’ තොරතුරු සහිත වෙබ් අඩවි සින්ඩියට ඇතුළු නොකිරීමට තීරණය කොට ඇත. හේතුව ලෙස දක්වා ඇත්තේ සින්ඩිය ‘සියළු වයස් සීමාවන්ට අයත් පාඨකයන්’ පිවිසෙන තැනක් වීමය.
මේ හේතු දැක්වීම හා ‘අසභ්‍ය’ හා ‘වැඩිහිටියන්ට පමණක්’ යන යෙදුම් අර්ථ නොදැක්වීම මේ බ්ලොග්කරු කිසි ලෙසකින් පහසු තත්වයකට පත් නොකරයි. මුලින්ම ඔහු ලියන්නේ 100% ක් වැඩිහිටියන්ට සීමා වූ බ්ලොග් එකකි. ළමුන්ටම උචිත යැයි බ්ලොග්කරුවන්ගේ සංසදය සිතිය හැකි ආකාරයේ ‘මගේ රට’, ‘මගේ ගුරුතුමී’, ‘අපේ වීරෝදාර හමුදාව’, ‘මගේ ප්‍රියතම ජනනායකයා’, ‘මේ සිංහල අපගෙ රටයි’ වැනි ගැදි හෝ පැදි මෙහි නැත. බ්ලොග් එකේ පැත්තකින් සිංහ කොඩියක් දැක්වීම වැනි අපෘෂ්ඨවංශික වැඩ කර නැති නිසා ගහන්නට එන විට දේශප්‍රේමී සළු පිළි වලට මුවා වීමටද ඔහුට නුපුළුවන.
එසේම ‘අසභ්‍ය’ යන යෙදුම අර්ථ දක්වා නැති පරිසරයක එය ඕනෑම ආකාරයකට අරුත් දැක්විය හැකිය. මේ නිසා ඉතාම පහසුවෙන් මේ බ්ලොග් එක සින්ඩියෙන් ගැළවිය හැකිය. එහිදී අවසාන තීරණය වනු ඇත්තේ සංසදයේ මතයය. සිරස රූපවාහිනී ආයතනය හිත් පිත් නැති ආකාරයට කුඩු කිරීම ඉවසුවා සේම එබඳු තීරණයක් ප්‍රශ්න නොනඟා ඉවසන හෝ අනුමත කරන බ්ලොග්කරුවන් රාශියක් මෙහි සිටින බැව් ලේඛකයා දනී. (සිරස විනාශය නිසා අමන්දානන්දයට පත් සිංහල බ්ලොග්කරුවෝද සිටියහ. මොවුන් මාධ්‍ය නිදහස අර්ථ දක්වන්නේ තමන්ගේ මතය පැතිරවීමට දෙන සීමා රහිත ලැයිසමක් විදියටය. එහිදී තමන් වැන්නකුගේම නිදහස අදිසි හස්තයකින් කුඩු කරලීම ඔවුන්ට ගැටළුවක් සේ නොපෙනේ.)
තිත්ත වුවත් මේ ඇත්තද ලිවිය යුතුම වෙයි. සංසදයේ නයුවන්ද බ්ලොග් ලියති. ඔවුන්ගේ බ්ලොග් කියවීමෙන් මා උගත් කාරණයක් නම් ගැඹුරු සාමාජීය දේශපාලන කාරණා පිළිබඳව ඔවුන් වැඩි දෙනෙකුට අවබෝධයක් නැති බවය. (ඔවුන් අතර එවන් අවබෝධයක් ඇති එකම පුද්ගලයා ආනන්දවර්ධන විය හැකිය.)
එහෙත් පසුගිය මාස කිහිපය තුළ මා වඩාත්ම සංවේගයට පත් කළ කාරණය මොවුන් කල්ලියක් වශයෙන් සංවිධානය වී එක් බ්ලොගයකට ‘බ්‍රහ්ම දණ්ඩය’ පැනවීමය. තමන් අකැමැති නම් යම් බ්ලොග් එකක් නොකියැවීම වෙනම දෙයකි. එහෙත් බ්ලොග්කරුවකු දඬුකඳේ ගසා කල්ලියක් වශයෙන් ඔහු වර්ජනය කිරීම නොමනාය. බ්ලොග් එකක දක්වන අදහස් කුමක් වුවත් එය බ්ලොග් අවකාශයෙහි නිදහස් සාකච්ඡාවට භාජනය විය යුතුය. එය වැළක්වීමට කල්ලිවාදය යොදාගත යුතු නැත.
කෙනෙකුට තමන් කැමතිදෙයක් බ්ලොග් එකේ ලියා ගැනීම ගැන මට ගැටළුවක් නැත. එහෙත් ළඳ බොළඳ ළාමක කතා ලියන්නන් විසින් අනෙකුන් විසින් ලියන දෙයෙහි සභ්‍යාසභයතාව නීර්ණය නොකළ යුතුය. ඔවුහු එසේ කිරීමට සැරසෙත් නම් එය මට ගැටළුවක් වේ.
‘ළමුන්ට අනුචිත’ සේ අර්ථ දක්වන්නේ නම් සින්ඩියේ ඇති බ්ලොග් වලින් 50%කට වඩා ගැලවිය යුතුය. ඒවා දේශපාලනය කතා කරන නිසාවෙනි. දේශපාලනය ළමුන්ට අයිති කාරණයක් නොවේ. නීත්‍යානුකූලව ඡන්ද අයිතිය පවා ඔවුන්ට හිමි වන්නේ වයස් අවුරුදු 18 පිරීමෙන් පසුවය. සින්ඩියේ තිබිය යුත්තේ ළමුන්ට ගැළපෙන දේ පමණක් නම් මුලින්ම කළ යුත්තේ මේ බ්ලොග් ගලවා සිංහල බ්ලොග් අවකාශය ‘පිරිසිදු’ කිරීමය.
සිනමාත්මකව ‘අක්ෂරය’ හොඳ චිත්‍රපටයකැයි ලේඛකයා නොසිතයි. එහෙත් චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරනවාද නැත්ද යන තීරණය ගත යුත්තේ සිනමාව ගැන දන්නා පුද්ගලයන් මිස මහින්ද යාපා අබේවර්ධනලා, අශෝක සේරසිංහලා වැනි නූගත් කලා විහීනයන් නොවේ. අනුන්ගේ රස වින්දන ශක්තිය සමඟ ගනුදෙනු කිරීමට මොවුන්ට ලයිසමයක් දීම වඳුරෙකුට දැළි පිහිය දෙනවාට අන්තය.
සිංහල බ්ලොග් අවකාශයේ අක්ෂරය තහනමට සමාන සිද්ධි දාමයක් නොසිදුවිය යුතුයැයි ලේඛකයා සිතයි. සින්ඩියේ තිබිය යුත්තේ මොනවාද, ඉවත් කළ යුත්තේ මොනවාද යන්න තීරණය කිරීම නොමේරූ එකොළොස් වසර පැංචන්ට භාර නොදිය යුතුය. සිංහල බ්ලොග් අවකාශයෙහි තොරතුරු පාලනය කිරීම සඳහා මෙවන් ළපටින් ගෙන එන යෝජනා අළුයම ලූ කෙළ පිඬක් සේ ඉවත හළ යුතුය. ළමයින්ට කියවීමට සුදුසු නුසුදුසු දෑ තීරණය කිරීමේ වගකීම තවත් ‘ළමයකුට’ භාරදිය යුතු නැත.
සිංහල බ්ලොග් සංසදයට මගේ ඇත්තේ ඉල්ලීම් තුනක් පමණකි.
1. කරුණාකර ‘අසභ්‍ය’ හා ‘වැඩිහිටියන්ට පමණක්’ යන්න අරුත් දක්වන්න. ඔබ අදහස් කරන්නේ ‘pornographic content’ නම් එය පැහැදිළිව කියන්න. මේ පැහැදිළි කිරීම pornographic content නැතිව වැඩිහිටියන්ට පමණක් ලියන මට පහසුවකි.
2. සින්ඩියට ඇතුළු කළයුතු හා නුසුදුසු බ්ලොග් ‘ළමයින්ට කියවීමට සුදුසු’ යන නිර්නායකය මත තෝරා නොගන්න.
3. සින්ඩියේ තිබිය යුත්තේ මොනවාද නැත්ද යන්න තීරණය කිරීම ළපටින්ට නොව පිරුණු බුද්ධියක් ඇති වැඩිහිටියන්ට භාර දෙන්න. (මේ කියන්නේ මට භාර දෙන්න කියා නොවේ. එකක් මටද ආවේණික දෘෂ්ටියක් ඇත. අනෙක අනුන් ලියන දේ පාලනය මට කිරීමට අසීරු හිරිකිත වැඩකි. මම විවෘත සමාජයන් ගැන මිස සංවෘත සමාජයන් ගැන විශ්වාසය නොතබමි. )
සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය තමන් වෙත පැවරී ඇති මේ භාරදූර වගකීම නිසි ලෙස තේරුම් ගනු ඇතැයි මම අපේක්ෂා කරමි.
Posted in Uncategorized | Tagged: බ්‍රහ්ම දණ්ඩය, සිංහල බ්ලොග් කියවනය, සිංහල බ්ලොග් සංසදය, blogging, media freedom, sinhala blog reader, Sinhala Bloggers' Union, sinhala blogs, Taboo Subjects | 24 Comments »
Posted by Taboo on March 26, 2009

බස්නාහිර පළාත් සභා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින රෝසි සේනානායක නම් රුව මිස හිස නැති මාගම ගැන මින් පෙර සටහන් කළෙමි. මේ උත්සාහය එය තුලනය කිරීමකැයි වරදවා වටහා නොගත යුතුය.
රෝසිගේ ඇති එකම දුර්වලත්වය දේශපාලන බුද්ධි හීනතාවයයි. ඊට සමාව දිය හැකි නම් රෝසි දේශපාලන වශයෙන් අහිංසක කාන්තාවකි. එහෙත් ඇය සමඟ අනෙක් පැත්තෙන් තරග වදින ඊට වඩා අතිශයින් භයානක සමාජ පිළිලයෝ කිහිපයක් වෙති. මේ සටහන ඉන් එකකු ගැනය.
මැයෙහි තමන්ට ‘බුකියා’ ලෙස ආමන්ත්‍රණය කිරීම ගැන සුමතිපාල අප හා උරණ නොවිය යුතුය. බුකී යනු ඔහුගේ පමණක් නොව ඔහුගේ සමස්ත පවුලේම ජීව රුධිරයයි. බෞද්ධයන් උදේ හවා බුදුන් වැඳින්නාක් සේ සුමතිපාල පවුල වන්දනය කළ යුත්තේ රට අස්සයන්ය; ජොකියන්ය.
තිලංග සුමතිපාලගේ පියා දකුණු පළාතේ ගමකින් අතේ සතේ නැතුව කොළඹ පැන ආ දුප්පත් කොල්ලෙකි. සුගතපාල ද සිල්වාගේ එතරම් ප්‍රකට නොවූ ‘එසේ වී නම් මිනිසුනේ මේ අසව්’ නවකතාවට පාදක වන්නේ මේ නූගත් දිළිඳු ගැටයා මහා බුකී අධිරාජ්‍යයක් ගොඩ නඟා ගැනීමේ කතාවය. බ්ලොග්කරු අත මේ අවස්ථාවෙහි අදාළ පොත නැත. එනිසා මතකින් කියන මේ කරුණු වල සුළු වැරදීම් වුවහොත් ඔහු සමාව අයැද සිටියි.
සුගතපාල ද සිල්වාගේ නව කතාවෙහි ආරොන් නැමැති ගැටයා කොළඹ එන්නේ ගමේ සිට වගතුවක් නැතිවූ තැනය. ඒ එන්නේ වරායේ සේවකයකු වූ තම දුර නෑයකු හා නතර වී ‘රස්සාවක් සොයා ගැනීම’ සඳහාය. මේ අභිමතාර්ථය එක්ෂ්ණයෙන් ඉටුවන්නේ නොවේ. බුකියක පොඩි රස්සාවක් සොයා ගන්නා තුරු තම බඩ වියත සඳහා නර දුක් විඳීමට මේ ගැටයාට සිදු වන්නේය.
දිගු කතාවක් කොටකර කියන්නේ නම් බුකියේ අත්වැඩ කරන කොලුවා ව්‍යාපාරිකයකු බවට පරිවර්තනය වන්නේ අහම්බ සිදුවීමකිනි. බුකියේ එකතුවන මුදල් රේස් චිට්ද සමඟ දිනපතා ජාලයේ ඊළඟ මට්ටමේ මව් බුකියකට ගෙනගොස් තැන්පත් කිරීම මේ ගැටයාගේ වගකීමය. මොකද්දෝ හේතුවක් නිසා දිනක ඔහු අතින් මේ කටයුත්ත ප්‍රමාද වේ. වේලාව පැන්නායින් පසු මුදල් භාර ගැනීම මව් බුකියෙන් ප්‍රතික්ෂේප වන්නේය. කොලුවාගේ ඉහ ගිණිගන්නේ තමාට බුකී මුදලාලිගෙන් හිමිවිය හැකි දඬුවම ගැන කල්පනා වීමෙනි. වහාම හිස හැරුණු අත පැණයන්නට ඔහු තීරණය කරයි. නිකමට මෙන් කලින් දින ප්‍රතිඵල බලන්නට ඔහු මඟ තවත් බුකියකට ගොඩ වදින්නේ මේ පැණ යන අතරය. පුදුමයකි. වෙනදා කප් ගැසූ අස්සයන් පැරදිලාය. කිසිම හානියක් නැත. වහාම අනෙක් පැත්තට හැරී කිසිත් නොවුනාක්මෙන් බුකියට යන ආරොන් තැන්පත් කළ නොහැකිවූ මුදල සාක්කුවේ දමා ගන්නේය.
මින්පසු ඔහු ඕනෑකමින්ම සමහර ගනුදෙණු මව් බුකියට නොදී මඟ හරින්නේය. මෙය ගණනය කළ අවදානමකි. අදාළ අස්සයන් පැරදුනොත් ඔහු ඒ සල්ලි සාක්කුවේ දමා ගන්නේය. දින්නොත් අතින් ගෙවයි. අස්සයන් ගැන දන්නා කෙනකුට මෙය එතරම් අසීරු කටයුත්තක් නොවෙයි. හිමිකරුවාද නොදැන ඔහු කරන්නේ තමාගේම බුකී ඔපරේෂන් එකකි. මේ ක්‍රියාවලිය නිමා වන්නේ ආරොන් තමාගේම බුකියක් පටන් ගැනීමෙනි. පසුව ජාතික පුවත්පත්ද ඇතුළුව ව්‍යාපාරික ජාලයක් බවට පත්වන්නේ මෙසේ ඇරඹූ බුකියය.
සුමතිපාල පවුල සැබෑ බෞද්ධයන් විය නොහැකිය. සම්මා ආජීවයට අනුව සූදු කෙළවීම බෞද්ධයන්ට අකැපය. එහෙත් යටින් හැම ජඩ වැඩක්ම කරමින් බෞද්ධ සළුපිළි පොරවා ගන්නා කපටින් සිටිනා මේ රටේ සිංහල බෞද්ධයකු ලෙස පෙනී සිටිමින් ඡන්ද ගරා ගැනීමට ලංකාවේ දෙවන විශාලතම බුකී ජාලය හිමි සුමතිපාලට කිසිම බාධාවක් නැත. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිනි ධුරය හෙබවීමට ඔහුගේ ආදරණීය මෑණියන් මිලිනා සුමතිපාලට බාධාවක්ද නැත. අනෙක් බොහෝ ලේබල් සේම මේ රටේ සිංහල බෞද්ධ ස්ටිකරයක් ගසා ගැනීමටද අවශ්‍ය යහමින් විසි කිරීමට කාසි තිබීම පමණකි. ඒ කාසි බල්ලන් මරා හම්බ කරගත් ඒවා නොවේදැයි අපේ සුපෙක්ශාකාමී සුපටිපන්න උජුපටිපන්න මහා සංඝරත්නය අහන්නේම නැත.
තිලංග සුමතිපාලට ළඟදී අග්‍ර පුරෝහිත කෙනෙක්ද ලැබුනේය. ඒ අප මෙතෙක් උගත් මහත්මයෙකැයි සිතා සිටි මහාචාර්ය කාලෝ ෆොන්සේකාය. මහාචාර්ය ෆොන්සේකාට අනුව තිලංග සුමතිපාලගේ පියා ලංකාවේ ෆ්‍රෙඩ්‍රික් එංගලස්ය. මන්ද තම ජීවිකාව ගෙන යාමට මාක්ස්ට උදව් කළා සේ වරෙක එන්. එම් පෙරේරාට මූල්‍යමය උපකාර කර ඇත්තේ යු. ඩබ්ලිව්. සුමතිපාල නිසාය. මේ ප්‍රකාශයෙන් පසු ෆ්‍රෙඩ්‍රික් එංගලස් හා ආචාර්ය එන්. එම් පෙරේරා දෙදෙනාම තම මිනීවලවල් වල වටයක් දෙකක් කැරකැවුනා නම් අප පුදුම විය යුතු නැත. බලනකොට මහාචාර්ය ෆොන්සේකාද අද සිටින්නේ අර චීවරය දාගත් හොරුන් රැළ ඉන්නා තැනය.
රේස් බුකී නිසා සිදුවන මහා සමාජ පරිහානිය කෙතෙක් දුරට සමාජ විද්‍යාඥයින්ගේ අවධානයට බඳුන්වී ඇත්දැයි නොදනිමි. ඒ මත්පැන් තරමටම හෝ ඊටත් වඩා භයානක ප්‍රතිඵල ගෙනෙන සමාජ වියවුලක් විය යුතුය. සුමතිපාලගේ බුකී වල රේස් ඔට්ටු දමන්නේ සමාජයේ පහළම ස්ථර වල පිරිස්ය. සමහර හිඟන්නෝ පවා තමන්ට පිනට ලැබෙන මුදලින් කොටසක් ඔට්ටු දමති. මෙසේ හොර පාරෙන් ඇදීගොස් සුමතිපාලලා පෝෂණය කරන්නේ දුප්පතුන්ට කුඩා දරුවන්ට බත් වේලක්, ඉස්කෝලයකට පත පොතක් අරගෙන දෙන්නට තියෙන සල්ලිය. කර්ම විපාකය ඇත්තක් නම් මේ දුප්පතුන්ගේ බත්පතට කෙළීම ඒ ආත්මයේම පඩිසන් දෙන පාප කර්මයකි.
කසිප්පු වීදුරුවකට සොච්චමක් වැය කරන දුප්පතකු පවා යම් තාවකාලික වින්දනයක් ලබයි. රේස් දමන්නන්ට ඒකත් නැත. කලාතුරකින් ලබන දිනුම කිසිසේත් හැමදා වැය කරන මුදල් එකතුවට සාධාරණයක් කරන්නේ නැත. ඒ මදිවාට සුද්දා ගෙව්වත් ලෝකල් බුකී කරුවන් දිනන මුදල එසේම ගෙවන්නේ නැත. ලේඛකයා දන්නා පරිදි සැබැවින්ම දිනුම කොයිතරම් ලොකු වුනත්, ඔට්ටු අල්ලන්නාට ලැබෙන්නේ මුලින් තැන්පත් කළ මුදල මෙන් හය ගුණයකට නොවැඩි තෑගි මුදලකි. ඉතිරිය බුකියාගේ සාක්කුවටය. මේ පොලිසියට පැමිණිලි කළොත් දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් කළ හැකි සොරකමකි. දුප්පතුන් මේවාට පොලිසි යන්නේ නැත. ගියත් ඔවුන්ට සාධාරණයක් වන්නේද නැත.
බුකීවල පිහිටීම හා ක්‍රියාකාරිත්වය අනුව රේස් ඔට්ටු දැමීම අපේ රටේ නාගරික දරිද්‍රතාවයට මූලික සාධකයක් බවට කිසිම සැකයක් නැත. (කොළඹ නගරයේ බුකී මත්පැන්හල් වලට වඩා බහුලය.) දැන් මේ සමාජ වියවුළට මුල් වූ සුමතිපාලලාම පළාතේ ප්‍රශ්න විසඳීමට බලය ඉල්ලති. ඇතිකිරීමට තමන්ද නොමඳව දායකවී ඇති සමාජ ආර්ථික ප්‍රශ්න ඇති පරිසරයක ඒව විසඳීමට බලය ඉල්ලීමේ ඇති සදාචාරය කුමක්ද?
අපේ රටේ සාමාන්‍ය ඡන්ද දායකයා යනු දේශපාලකයන්ටද වඩා ආත්මාර්ථකාමී නරුමයෙකි. තමන්ට කීයක් හෝ ලැබෙන පාට පෙනේ නම් ඕනෑම සමාජ ද්‍රෝහියකුට කතිරය ගැසීම ඔහුගේ/ඇයගේ සිරිතය. මේ නිසා සුමතිපාලගේ ප්‍රතිපත්ති වලට කෙසේ වෙතත් (අනේ මොහුට මොන ප්‍රතිපත්තියක්ද?) ඔහුගේ බත් පැකට් එකට අරක්කු වීදුරුවට මනාප ලැබීම අපට නතර කළ නොහැකිය. සමහර විට රටටම සූදු කෙළවන මේ පුද්ගලයා තව මාසයකින් කොළඹ නගරයේ මහමැති විය හැකිය.
මේ බ්ලොග් සටහන එය නතර කරන්නට දරණ වෑයමක් නොවේ. හුදෙක් බ්ලොග්කරු තම හෘදය සාක්ෂ්‍ය සමඟ කර ගන්නා ගනුදෙණුවක් විතරය.
Posted in Uncategorized | Tagged: ආචාර්ය එන්. එම් පෙරේරා, කාලෝ ෆොන්සේකා, තිලංග සුමතිපාල, බුකියා, බුකී, රේස් බුකී, සුගතපාල ද සිල්වා, ෆ්‍රෙඩ්‍රික් එංගලස්, Dr. N. M. Perera, Prof. Carlo Fonseka, Sri Lanka politics, Thilanga Sumathipala, UPFA, Western Provincial council elections | 17 Comments »
Posted by Taboo on March 25, 2009

මේ බ්ලොග්කරු ‘වඩා විශාල ප්‍රශ්නයක් වී ඇති’ මුස්ලිම් ළමා විවාහ ගැන නොලියන්නේ ඇයි? මේ එක් සහෘදයෙකුට ඇති වී තිබෙන ගැටළුවකි. ඔහු ප්‍රශ්න කිරීමෙන් නොනැවතී තීන්දුවද දෙයි. බ්ලොග්කරු බෞද්ධයන්ට විරුද්ධය; ඉස්ලාම් භක්තිකයන්ට පක්ෂය.
හිහ්! හිහ්! හිහ්! වසර ගණනාවකට ඉහත, සියළු ආගම් සමඟ ඇති ‘එකවුන්ට් ක්ලෝස් කළ’ බ්ලොග්කරුට මේවාට හිනාවෙන එක විතරය කරන්නට ඇත්තේ. බ්ලොග්කරු පක්ෂ දේශපාලනය කිරීමට කිසිම අදහසක් නැති නිසා කාගෙවත් හිත රිදෙනවාය කියා ඇත්ත කියන්නට බයක්ද නැත.
මුලින්ම බ්ලොග්කරුට බෞද්ධයන් සමඟ කිසිම ගැටළුවක් නැත. ගැටළුව ඇත්තේ බෞද්ධ නමට මුවාවී හැම ජඩ කමක්ම කරන තක්කඩියන් සමඟය. මෙය සියළු ආගම් සම්බන්ධව අදාළය. වැරැද්ද ඇත්තේ ආගම් වල නොවේ; ඒවා තමන්ගේ වාසියට හරවා ගන්නා කපටින් ගේය.
ඉස්ලාම් ධර්මය ගැන ලේඛකයාට ලොකු අවබෝධයක් නැත. ඔහු යම් පමණකට හෝ දන්නේ දැනට ප්‍රායෝගිකව භාවිතාවන ඉස්ලාම්/මුස්ලිම් වත් පිළිවෙත් ගැන පමණය. මේවායින් කීයක් කුරාණයේ කියා ඇත්ද කියා ඔහු නොදනී. දැන ගත්තද ඔහුට එහි වෙනසක් නැත. හරි වැරැද්ද කුමක්දැයි තේරුම් ගන්නට අවබෝධයක් ඇති මිනිසා පොතක ඇති පාඨයකට යටවිය යුතු නැත. අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් ලෝකය මවන ලද්දේ නම්, මිනිසුන්ට අනෙක් සතුන්ට නැති මොළයක් ඔහු දෙන්නට ඇත්තේ එනිසා විය යුතුය. ඉහළ බුද්ධියක් ඇති මිනිසා ගාල පිටුපස යන හරකකු විය යුතු නැත.
දැනට අපේ රටේ භාවිතාවන ඉස්ලාම් සිරිත් විරිත්, වත් පිළිවෙත් වල හොඳ මෙන්ම නරකද වේ. වත්පොහොසත්කම්, කුල අනුව නොසළකා සැමට එක විදියකට සැළකීම මුස්ලිම් ජාතිකයන් අතර ඇති හොඳ ලක්ෂණයකි. මහා ධනවතාත්, අන්ත දුගියාත් පල්ලියේදී එක හා සමානය. සමාජයේ අනෙකාට උදව් දීම මුස්ලිම් ජාතිකයන් අතර ලේඛකයා දකින තවත් හොඳ ගුණයකි. (මෙතැනින් කතාව නතර කළ හැකි නම් කොයි තරම් හොඳද?)
ආගමේ නාමයෙන් ක්‍රියත්මක කෙරෙන හිංසනය අතින් මුස්ලිම් ජාතිකයන් සිටින්නේ අන් බොහෝ ජන කොටස් වලට වඩා ඉදිරියෙනි. දසවද දී හලාල් ක්‍රමයට මරන ගවයින් ගැන ලේඛකයා කලින් ලියා ඇත. ඔහුට ලියන්නට බැරිවුනේ ආගමික අවශ්‍යතාවයකැයි නිර්වචනය කොට අත දරුවන්ට මහා වේදනාවක් දී කරන නිර්වින්දනයෙන් තොර චර්මඡේදනය (circumcision) ගැනය.
ළමයින්ට ශාරීරික වධ දීම අපේ රටේ සාමාන්‍ය නීතිය අනුව දඬුවම් ලැබිය හැකි අපරාධයකි. හයියෙන් වේවැල් පාරක් ගැහුවත් ගුරුවරයා පොලීසි ගෙනයා හැකිය. එහෙත් ඒ රටේම අවුරුදු තුන හතරකට වඩා නොවයසැති දරුවන්ට ආගමේ නාමයෙන් කෙරෙන ශාරීරික හිංසනය ප්‍රශ්නයකින් තොරව පිළිගැනේ. (මෙය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ලිංගික හිංසනයකි; ළමා අපයෝජනයකි.) අඩු තරමින් එය දරුවා නිර්වින්දනය කිරීමෙන් පසු වෛද්‍යවරයකු විසින් කළ යුතු කාරියක්ය කියා යෝජනා කිරීමටවත් කෙනෙක් නැත. (ලේඛකයා දන්නා තරමින් දැන් බොහෝ විට මෙය කෙරෙන්නේ පූජකයින් අතිනි; වෛද්‍යවරුන් අතින් නොවේ.)
මුස්ලිම් ජාතිකයින් අතර අඩු වයස් විවාහ කොයිතරම් බැරෑරුම්ද යන්න ලේඛකයා නොදනී. මේවා සෙවීමට ආණ්ඩුවෙන්ද, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන වලින්ද පඩි ලබන්නන් සිටින බව නම් ඔහු දනී. ජාතික ළමාරක්ෂක අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මේ ගැටළුව ගෙඩි පිටින් දේශපාලකයන්ගේ ගිණුමට බැර කරයි. ඔහු කියන හැටියට මුස්ලිම් ගෑනු ළමයින් විවාහ වන වයස වැඩි කරන්නට බැරි දේශපාලකයින් නිසාය. මේ පුද්ගලයා ආණ්ඩුවෙන් පඩිගත්තේ හාල් ගැරුවාටදැයි අසන්නට කෙනෙකු නැතිවීම අපේ අවාසනාවය.
BBC ය කියනා හැටියට බංග්ලාදේශය හා මැලේසියාව බඳු බහුතරය මුස්ලිම් රටවලත් විවාහ වන වයස අවුරුදු දහ අටය. (http://www.bbc.co.uk/sinhala/news/story/2008/12/081221_muslim_marriage.shtml) ශ්‍රී ලංකාවේ මුස්ලිම් දැරිවියන් සඳහා එය වයස දොළහය. මේ අනුව අපේ රටේ මුස්ලිම් දැරිවියක නීතිය අනුව වැඩිවිය පැමිණෙන්ටත් පළමු විවාපත් කොට ඇය සමඟ ලිංගිකව එක් එක්වන්නට පිරිමියෙකුට නෛතික අවසරය ලබා දිය හැකිය. අප ජීවත් වන්නේ විසි එක්වැනි සියවසේ බව හොඳටම විශ්වාසද?
මේ සියළු නොපණත්කම් ආගමේ නාමයෙන් පවත්වාගෙන යාමට ලැබෙන්නේ රජයේ වක්‍ර සහයෝගයද ඇතිවය. නීතිය ඉදිරියේ හැම දෙනාම සමාන වියයුතු බව අපේ රටේ ව්‍යවස්ථාවේ කොතැනක හෝ තිබෙන බව ලේඛකයාට මතකය. කියන කොට එහෙම කිව්වත් කරන කොට මුස්ලිමුන්ට වෙනම නීතියක් ඇත. උඩරැටියන්ට වෙනම නීතියක් ඇත. බෞද්ධයකු දෙවරක් විවාහ වුවහොත් එය දඬුවම් ලැබිය හැකි වරදකි. එහෙත් ඉස්ලාම් භක්තිකයකු අතින් සිදුවූ විට එය වරදක් නොව උත්සවාකාරයෙන් සමරන්නට හේතුවකි. මේ එකම රටේ දෙපිරිසකට නීතිය ක්‍රියාත්මකවන හැටිය.
වරද ඇත්තේ කපටින් නීතියේ මේ හිල් වලින් රිංගා යන්නට පටන් ගන්නා හෙයිනි. බෞද්ධයකු ලෙස පෙනී සිටි හඩ්සන් සමරසිංහ නැමැත්තාට තම අවර ලිංගික චර්යාව හේතුකොට ගෙන ගෙදර සිටි මෙහෙකාරිය සමඟ කලින් විවාහයෙන් දික්කසාද නොවී සරණපත් වන්නට සිදුවිය. ඔහු වළෙන් ගොඩ එන්නේ ඉස්ලාම් භක්තිය වැළඳ ගැනීමෙනි. ආගම් දෙකකට කළ මේ වංචාව මේ පුද්ගලයාගේ අතිජාත මිත්‍ර ඇල්ලේ ගුනවංසලාට ප්‍රශ්නයක් නැත.
මේ සටහනින් කතා කළ සියළු ප්‍රශ්න විසඳන්නට දැනට රටේ බල පවත්නා සාමාන්‍ය නීතිය ප්‍රමාණවත්ය. එකම වාක්‍යයක් වත් අළුතෙන් එක්කළ යුතු නැත. එය සිදු නොවීමට හේතු දෙකකි. එක, ව්‍යවස්ථා විරෝධීව රටේ දෙපිරිසකට නීති දෙකක් ක්‍රියාත්මක වීමය. දෙක, ආගමේ නාමයෙන් කරන අකටයුතුකම් වලට අත දැමීමට ඇති අනවරත භීතියයි.
ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අත්තිවාරම නීතියයි. හිංසනය, අසාධාරණය ඇරඹෙන්නේ නීතිය ක්‍රියාත්මක නොවන කල්හිය. ආගම රටක නීතිය ක්‍රියාත්මක වීමට හරස් වීම ප්‍රජතන්ත්‍රවාදී සමාජයක ලක්ෂණ විය නොහැකිය.
(මේ ඡායාරූපය වෙන රටක එකකි. ලංකාවේ තත්ත්වය මීට වෙනස් වෙතැයි ලේඛකයා නොසිතයි.)
Posted in Uncategorized | Tagged: Allah, අල්ලාහ් දෙවියන් වහන්සේ, ආගම්, ඉස්ලාම් සිරිත් විරිත්, ඉස්ලාම්/මුස්ලිම්, කුරාණය, චර්මඡේදනය, බෞද්ධ, බෞද්ධයන්, මුස්ලිම් ළමා විවාහ, හලාල්, හිංසනය, Buddhism, Buddhists, circumcision, harassment, Islam, Law, Muslim, Muslim child marriages, Muslim law, Muslim marriages, Mā šāʾ Allāh, Religion, Sexual Harassment | 12 Comments »
Posted by Taboo on March 24, 2009

‘ඇය’ යන ආමන්ත්‍රණය ‘ඔහු’ සඳහා වඩා උචිතයයි මම සිතමි. මනස ශරීරයට පූර්වගාමී වෙතැයි කියවා ඇති හෙයිනි. (මනො පුබ්බං ගමා ධම්මා)
ඇය මට මුල් වරට හමුවූයේ kaputa.com හීදී අහම්බෙනි. සැලකිය යුතු කාලයකට ඉහතය. එවකට විසි දෙහැවිරිදි වියෙහි වී ඇය මට බාල වූයේ වසර කිහිපයකිනි. ඇගේ මුල්ම ඉල්ලීමක් වූයේ මා ඇයට ‘නංගී’ ලෙස ආමන්ත්‍රණය කළ යුතු බවය. මම ඇය ‘නංගී’ හෝ ‘නංගා’ ලෙස ඇමතුවෙමි.
ඇය අයත් වූයේ පිරිමි ශරීරයක්ද ගැහැණු මනසක්ද ඇතිව උපන් ඉතා සුළුතර ජන කොටසකටය. (බලන්න http://en.wikipedia.org/wiki/Transgender) නොන්ග් ටුම් ගැන අසා ‘The Beautiful Boxer’ චිත්‍රපටය දැක තිබුණු මට මේ අරුමයක් නොවතුදු අප දෙදෙනා අතර අන්තර්ක්‍රියාකාරිත්වය (interaction) දෙදෙනාටම පහසු මට්ටමකට ගෙන ඒමට හැකිවූයේ සැලකියයුතු කාලයක් තිස්සේ කරන ලද උත්සාහ වලින් පසුය. සයිබර් ලෝකයේදී එය වඩා පහසු විය. තථ්‍ය ලෝකයේදී මෙන් ශරීර කූඩුවක් සමඟ ගනුදෙනු කිරීමට සිදු නොවන නිසාය. සැබෑ ලෝකයේදී නම් එවන් කිට්ටු අවබෝධයක් ඇති වීමට ඇති ඉඩ ඊට බෙහෙවින් අඩු වෙතැයි සිතමි.
ඇයට පූර්ණ පිරිමි ශරීරයක් තිබුනාද යන්න බොහෝ කාලයක් තිස්සේ මට ගැටළුවක් විය. අප කිට්ටු මිතුරන් වු පසු ඇය මේ සැකය දුරු කළේ ජංගම දුරකථනයෙන් තම සිරුර, ඇඳුම් සේම මුහුණද ඉවත් කොට, විවිධ ඉරියව් වලින් හා කෝණයන්ගෙන් ඡායාරූප ගතකොට මා වෙත එවීමෙනි. සැකයක් නැතිව ඒ කොල්ලකුගේ සිරුරය.
මේ පූර්ණ පිරිමි ශරීරය තුළ ජීවත්වූ අහිංසක යුවතියගේ කතාව සංවේගජනකය.
ඇය තමා මිතුරන්ගෙන් වෙනස් බව අවබෝධ කර ගත්තේ ළමා කාලයේදීමය. ඇගේ කතාව බොහෝ දුරට ශ්‍යාම් සෙල්වදොරෙයිගේ The Funny Boy හි කථා නායකයා වන අර්ජුන්ට සමානය. නමුත් අර්ජුන්ටත් වඩා කෙල්ලක වීමේ දැඩි ආශාවක් ඇයට තිබිණි. කුඩා කළ ඇගේ අල්මාරිය පිරී තිබුණේ ගැහැනු ඇඳුම්, බෝනික්කන් හා අක්කලා පාවිච්චි කොට ඉවත දැමූ ලිප්ස්ටික් කියුටෙක්ස් වලිනි.
ඊනිඩ් බ්ලිටන්ගේ Famous Five හි ‘ජෝර්ජ්’ වූ ‘ජෝර්ජියානා’ ගැන කියවා තිබූ ඇගේ මධ්‍යම පාංතික දෙමාපියෝ පවුලේ බඩ පිස්සාගේ මේ හැසිරීම එක්තරා දුරකට ඉවසූහ. තත්වය තමන්ට පාලනය කරගත් නොහැකි මට්ටමකට ළඟාවී ඇති බව ඔවුන්ට වැටහුණේ ඇය අපොස සාමාන්‍යපෙළ පන්තියට පිවිසෙන කාලය වන විටදීය. මේ වන විට එක්තරා දුරකට මෙය නිවසින් පිටත්ද කතාවට ගැණුනු මාතෘකාවක් බවට පත් වී තිබිණි.
ඉන් පසු ඇති වූ සිද්ධි දාමය පහත පරිදි සාරාංශ කොට දක්වන්නේ මගේ උත්සාහය කෙටි කතාවක් රචනය කිරීම නොවන නිසාය.
ඇගේ දෙමාපියන් මුලින් වක්‍රවද පසුව ඍජුවද මේ සාකච්ඡාවට පිවිසීම; ඇගේ අල්මාරියේ පිරුණු ගැහැණු පළඳනා කඩින් කඩ ඔවුන් විසින් ඉවත් කිරීම හා ඇය ඊට විරෝධය දැක්වීම; ඇගේ මිතුරු ඇසුර කඩා කප්පල් වීම; උසස් පෙළ සමත්ව සරසවියට වරම් ලැබීමට සිටි ඇගේ අධ්‍යාපනය මඟ නැවතීම; එක් අවස්ථාවක තමාට ලිංග විපර්යාස සැත්කමක් කර ගැනීමට අවශ්‍ය බව ඇය පැවසීම (එය තායිලන්තයේදී කළ හැකි බව ඇය කොතැනින්දෝ සොයා ගෙන තිබිණි.) හා දෙමාපියන් ඊට එකහෙළා විරුද්ධ වීම; ඇය සිය දිවි නසා ගන්නා බවට තර්ජනය කිරීම හා නිවාස අඩස්සියට පත්වීම; දීර්ඝ කාලීන හුදෙකලා කාල පරිච්ඡෙදයකට පසු ඇය එක්තරා දුරකට අවට පරිසරයට අනුකූලත්වයක් දක්වා පිරිමියකු ලෙස ජීවත් වන්නට තීරණය කිරීම; දෙමාපියන් හා පවුල සමඟ වූ ගැටුම් සම්පූර්ණයෙන්ම නොවෙතත් යම් මට්ටමකට පහවීම.
මට ඇය හමුවන්නේ සංගත තැටි අලෙවි හළක රැකියාවක් සොයා ගැනීමෙන් යම් කාලයකට පසුය. නිවසට හා කාර්යාලයට ඇය පිරිමියෙකි. පිරිමි ඇඳුම් ඇඳ නිවසින් පිටවන ඇය ‘පිරිමි’ රැකියාවක් කරයි. පිරිමින් සමඟ ගැවසෙයි. ඇගේ ගැහැණු පළඳනා සියල්ල ඉවත් කොට ඇති අතර සම්පූර්ණ කාමරය දිනපතා අම්මාගේ අධීක්ෂණයට ලක්වේ. ලිප්ස්ටික් එකක්වත් ගෙදර ගෙනයාම ඇයට තහනම්ය. ඇය තම ගැහැණු බව අමතක කොට පිරිමියකු සේ ජීවත් වෙයි.
ඇයට ගැහැනියක විය හැක්කේ සයිබර් ලෝකයේදී පමණි. මේ ද්වාරය දෙමාපියන්ට රහසක් නිසා තවමත් විවෘතය.
සයිබර් ලෝකයේ මිතුරන්ව මාස කිහිපයකට හා SMS සිය ගණනකට පසුව ඇය මා හමු වීමට අකැමැත්තෙන් එකඟ වෙයි. අපි දිවා ආහාරයට MC එකේ සෙට් වෙමු.
තථ්‍ය ලෝකයේ මේ හමුව සයිබර් ලෝකයේ හමුවට වෙනස්ය. මා ඉදිරියේ ඉන්නේ කිසිම ගැහැණු පාටක් නැති කොල්ලෙකි. වෙන කෙනකුට මේ කෙල්ලකැයි හඳුන්වාදිය නොහැකි තරමට ශරීරයෙන් පිරිමි වූ කොල්ලෙකි. ප්‍රසිද්ධියේ ඔහුගේ හැසිරීම පිරිමිය. එහෙත් අප දෙදෙනා පමණක් තනි වන කල්හි ඇගේ කටහඬ පවා මෘදු වෙයි. කෙල්ලක ලෙසින් ඈ තොඳොල්වීමට පටන් ගනී. ඇගේ ආහාර මට තෝරා ගන්නට ඉඩ හරියි. (“Whatever you like, aiya”) මට අයිස්ක්‍රීම් කවන්නට තැත් කරයි.
ඇයට ඇත්තේ එකම ඉල්ලීමකි. කාන්තා ඇඳුමකින් සැරසීගත් කාලයක් ඇයට මතක නැත. දැන් අවශ්‍ය පැය කිහිපයකට හෝ ඒ දැඩි අවශ්‍යතාවය ඉටු කර ගැනීමටය. අවශ්‍යතාව කෙතෙක්ද දැඩිද යත් ඒ වෙනුවෙන් ‘ඕනෑම කැපකිරීමක්’ කිරීමට සූදානම් බව ඇය කියයි. මම ඇගේ ව්‍යංගය නොවැටහුනාක් මෙන් කල්පනා කරමි.
මේ ලෙහෙසියෙන් ගත හැකි තීරණයක් නොවේ. තව සිව් දෙනකු සමඟ මා බෙදා ගන්නා බෝඩිම සති අන්තයන්ට හිස් වන බව ඇත්තකි. මා බෝඩිමට මිතුරන් නිතර කැටුව එන බවත් ඇත්තකි. එහෙත් ‘ගැහැණු ඇඳුමින් සැරසුණු කෙනෙක්’ බෝඩිම තුළ වෙන කෙනෙකුට ඇස ගැටීම නොසිතූ ප්‍රතිඵල ගෙන දිය හැකිය. දැඩි අවදානමක් ගෙන මම ඇයට කැමැත්ත පළ කරමි. කොන්දේසි රාශියක් ඇතිවය.
“So what do you want in return?” ඇය අසයි. “Nothing” මම උරහිස් හකුළුවමි. ඇය මා වැරදි විනිශ්චයකට භාජනය කිරීම ගැන සියුම් අසතුටක් මා සිත මෝදුවෙයි.
කලකට පසු අපි එක්තරා දීර්ඝ සති අන්තයක House of Fashion ඉදිරිපිටදී නැවත මුණ ගැසෙමු. මේ ඔපරේෂන් එකට අඩුම කුඩුම මිළදී ගන්නටය. ඇය ළඟත් (පෙම්වතියක නැති ) මා ළඟත් කාන්තා ඇඳුම් පැළදුම් නැත. ඒ හැම දෙයක්ම මිළට ගත යුතුය. කොල්ලන් දෙදෙනෙකු Ladies Section එකේ පැය හතරක කාලයක් තිස්සේ ඇඳුම්, විලවුන් තේරීම කාට නිරීක්ෂණය වීදැයි මම නොදනිමි. ඇගේ ගැහැණු මනස කිසිවක් එක්වර මිළදී ගන්නට අසමත්ය. ඇය ගැහැනියකට ජීවවිද්‍යාත්මකව උරුමවී ඇති ‘එකතු කිරීමේ’ මෙහෙවර උපරිමයට අත් විඳියි. මම සැම විනාඩි පහකටම සැරයක් ඇයට කාලය ගැන මතක් කරමි. (කොල්ලකු වුවද බෝඩිමට ගෙන යා යුත්තේ දවල්ටය.) කාන්තා යට ඇඳුම්ද ඇතුළු අපේ අඩුම කුඩුම තොගය දුටු විට මිළදී ගැනීම් කවුන්ටරයේදී ඇහි බැම් ඉස්සෙතැයි මා සිත ඇත්තේ විශාල බයකි. වාසනාවකට එවැන්නක් නැත. ඇගේ එකම කනස්සල්ල, ගන්නට සිතා සිටි මොකද්දෝ ම කවදාවත් නම අසා නැති ක්‍රීම් වර්ගයක් හමු නොවීමය. MC යමුයි ඇය යෝජනා කරයි. කාලය නැතැයි මම කියමි. “You people never understand how a woman feels” ඇය මට රවයි.
බෝඩිමේදී හැසිරිය යුතු ආකාරය ගැන මට පූර්ව සැලැස්මක් ඇත. පිරිමි ශරීරයක් ඇතද ඇය ගැහැනියකි. මම ඇයට නිදහසේ ඇඳුම් මාරු කර ගැනීමට ඉඩ දී ඉවත යමි. ලජ්ජාශීලී සිනාවකින් ඇය නාන කාමරයට රිංගයි. හැම මොහොතක්ම ඇය හැකි ඉහළම මට්ටමෙන් අත් විඳින්නාක් සේය. පිරිමි පස්දෙනකු භාවිතා කරන නාන කාමරයක් ගැහැනියකට භාවිතා කිරීමට දීමට සිදුවීම ගැන මම ඇගෙන් සමාව ඉල්ලමි. “Its okay aiya, I am used to it” ඇගේ හඬ දිය පහර වැටෙන හඬ අතරින් ඇසේ.
පැයකට මඳක් අඩු කාලයක් ස්නානාගාරයේ ගතකර ඇය එළියට එන්නේ කාන්තා නිදන ඇඳුමකිනි. නුහුරු ලෙස කර ඇති හැඩ ගැන්වීම් ආභරණයක් නොවේ; කොලු ශරීරය වෙනස් කිරීමට දැරූ නිසරු වෑයම් පමණකි. ළැම ඉස්සී පෙනෙන්නේ ඇය එතැන මොනවා හෝ පුරවාගෙන ඇති නිසා විය යුතුය. “Am I beautiful?” ඇය අසයි. එසේයැයි මම බොරු කියමි. (අනෙක් අතට ගැහැණියක සේ සැරසී සිටින ‘පිරිමියකු’ මනින මිනුම් දඬු මා දන්නේ නැත.)
ඈට ලබාගත් නිදහස උපරිම ලෙස භුක්ති විඳීමට සලසා, පරිගණකය ක්‍රියා කර, දොර අගුළු දමා මා බැහැර වන්නේ දහවල් කෑම පැකට් දෙකක් ගෙනෙන මුවාවෙනි. මා ඊට ඕනෑවටත් වඩා කල් ගනිමි. මා ඇගේ නිදහසට බාධා කළ යුතු නැති නිසාය. සම්පූර්ණයෙන්ම බැහැරවී සිටීමට වුව මා කැමතිය. එහෙත් බෝඩිමේ අන්කල් නිදහසට කාරණාවක් හොයාගෙන කොයි වෙලේ හෝ කාමරයට ඇහැ දැමිය හැකිය. (“සද්දයක් ඇහුණට මම හිතුවෙ හොරෙක් කියලා”) ඊට ඉඩ නොතැබිය යුතුය.
මා නැවත එනවිට නංගී කෙනකු අයියාට කරන්නාක්සේ ඇය මගේ කාමරය අස්පස් කරමින් සිටී. මේ මට ඇය කළගුණ දක්වන ආකාරයද, කලාතුරකින් ලැබුණු ගැහැණුකම උපරිම ලෙස භුක්තිවිඳින ආකාරයද මම නොදනිමි. (ඇය ගිය විගස මේවා මා යළි අවුල් කළ බව ඈ නොදනියි.)
සවස තුනට පමණ බඩගිනි මෝරා එන විට අපි ආහාර ගනිමු. (ඇය තක්කාලි සලාදයක් හැදූ බව කියන්නට අමතක විය.) ඒ අතර මෙතෙක් නොඇසූ සංවේදී කරුණු කීපයක් මම ඇගෙන් අසමි. “No, my penis was never a problem for me. I wanted the operation just to complete the process. Not that I hated it.” කියයි.
ඇඳිරි වැටී එද්දී අපි වෙන්වෙමු. මිළට ගත් අඩුම කුඩුම ගැන මට දුක හිතෙන්නේ අප ඒවා දැන් විනාශ කළ යුතු නිසාය. ඇයට එය ගණනක් නැත. පැය කිහිපයක නිදහස ගැන ඇය ආමන්දානන්දයට පත්ව සිටී. නළලට උණුසුම් හාදුවක් දී ඇය මගෙන් වෙන්වෙයි.
අප වෙන්වූයේ නැවත හමුවන්නට වුවත් මොකද්දෝ හේතුවක් මත අපදෙදෙනාම එකිනෙකා හා සන්නිවේදනය අවම කරමු. දිනපතා යැවූ SMS සතියකට වරක් වී සම්පූර්ණයෙන් නවතී. අළුත් අවුරුද්දට සුභ පතන්නට මා උත්සාහ කළ විට ඇගේ අංකය වෙනස් වී ඇති බවට පණිවිඩයක් ලැබේ. ඇගේ gmail ලිපිනයට යවන ලියුම් වලට පිළිතුරු නැත.
මට ඉතිරි වන්නේ ජංගම දුරකථනයේ කැමරාවෙන් ගත් ඡායාරූප කිහිපයකුත්, වරෙක ඇගේ රූපයක් ඇඳ දෙන්නයි ඉල්ලු විට ඇඳ දුන් ඉහත සිතුවමත් පමණකි. මේ ඇය තමා දුටු සේය.
Posted in Uncategorized | Tagged: sissy, The Beautiful Boxer, The Funny Boy, transgender | 14 Comments »
Posted by Taboo on March 23, 2009

අපේ රට තරම් අපේම ළමයින්ගේ අනාගතය ගැන උනන්දු වන එහෙත් අනුන්ගේ ළමයින්ගේ අයිතීන් අපේ දේශපාලන අරමුණු වලට ලජ්ජාවකින් තොරව යටපත් කරන වෙනත් රටක් තිබිය නොහැකිය. පිරබාහරන් ළමා සොල්දාදුවන් බඳවා ගැනීමට අප සමාජයක් හැටියට විරුද්ධ පිරබාහරන් සමඟ ඇති ආරෝවකට විනා දෙමළ ළමයින් ගැන ඇති කැක්කුමකට නොවේ. කරුණා හා පිල්ලයාන් බුරුතු පිටින් ළමා සොල්දාදුවන් බඳවා ගනිද්දීත් සිංහල සමාජය ඒ ගැන වචනයක් කතා කළේ නැත. (බොරුවට ‘අවි’ භාර දුන්නද මේ ත්‍රස්තවාදීන් දෙදෙනාම තාමත් අවි දරති. එසේම ළමා සොල්දාදුවන්ද නඩත්තු කරති.) තම දේශපාලන පක්ෂය සඳහා විකාශනාගාරයක් ආරම්භ කිරීමට දෙන්නාගේ එක් කෙනෙකුගේ ගෝලයකු ම්ලේච්ඡ ලෙස කුඩා දැරියක් මරා දමා තිබියදීත් අපි සමාජයක් හැටියට ඒ ගැන මුනිවත රකිමු.
මේ නිසා සිංහල දරුවන් සුළු පිරිසකට සිදුවන සාපේක්ෂව අඩු අසාධාරණයක් ගැන ලියැවෙන මේ සටහන ළමා ආරක්ෂාව ගැන පඬි ටෝකයන් දෙන ජාතික ළමාරක්ෂක අධිකාරියේ අවධානයට ලක්වෙතැයි ලේඛකයාගේ බලාපොරොත්තුවක් නැත. මේ ලියන්නේ අත කහනවාටය.
ළමා මහණකරණය අබෞද්ධ, එනම් බෞද්ධ පිළිවෙතට අනුකූල නොවන ක්‍රියා පිළිවෙතකි. කටේ කිරි සුවඳ නොගිය දරුවන් මහණ කරන්නැයි ගෞතම බුදුන් කිසි තැනක උපදෙස් දී නැත. බෞද්ධ ඉතිහාසය කොයි තරම් පිරික්සා බැලුවද, ගෞතම බුදුන් විසින් කුඩා දරුවන් මහණ කරන ලද අවස්ථා අපට හමු වන්නේ අල්ප වශයෙනි. ඒද නොකරම බැරි අවස්ථා වලය. උන් වහන්සේ සිරිතක් ලෙස මහණ කළේ ගිහිගෙය කළ කිරී තමන් විසින්ම පැවිදි මාර්ගය තෝරා ගැනීමට තරම් වයසින් නුවණින් මුහුකුරා ගිය වැඩිහිටියන්ය.
දායාද ඉල්ලා තම පියා වෙත සත් ඇවිරිදි රාහුල පිටත්කර හැරි යසෝදරාවගේ මනෝ භාවයන් අපි නොදනිමු. එහෙත් තමන්ගේම ලෙයින් උපන් දරුවා පැමිණ ‘දායාද’ ඉල්ලද්දී ඔහු භාර ගන්නවා හැරෙන්නෙට කවර තත්වයන් යටතේ සිටියත් දරුවාගේ ජීව විද්‍යාත්මක පියාට වෙනත් විකල්පයක් නැත. පන්සලක කුඩා දරුවකු හදා වඩා ගත නොහැකිය. එනිසා බුදුන් මේ දරුවා මහණ කළා විය හැකිය.
සෝපාකගේ තත්ත්වයද සමානය. කුඩා දරුවා මළ මිනියකට තියා බැන්ද සුළුපියා හා ඊට විරුද්ධ වීමට හැකියාවක් නොවූ මෑණියන්ට ඔහු භාරදිය නොහැකිය. එකම ප්‍රායෝගික විකල්පය ඔහු මහණ කර ශාසනය භාරයට ගැනීමය.
වෙනත් විකල්පයක් නොමැති වීමෙන් ගන්නා ලද මෙබඳු පියවර බුදුන් ළමා මහණ කිරීම් අනු දැන වදාළ බවට සාක්ෂ්‍ය නොසපයන්නේය.
හැම ළමයකුටම ළමා කාලයක් තිබිය යුතුය. ඒ තම දෙමාපියන් නෑසියන් සෙවනෙහි අකුරු කරමින්, කෙළිදෙලෙන් නිදහසේ ගෙවා දැමීමටය. අනාගතයට මුහුණ දිය හැකි පෞරුෂයකින් තම ජීවිතය ගොඩ නංවා ගැනීමටය. ඒ ළමා කාලය දරුවකුගේන් සොරා ගෙන ඔහු ආගමික සිපිරිගෙයක සිර කරුවකු කළ යුතු නැත. සෙල්ලම් කරන්නට ඉඩ නොදී වැට කඬුළු බැඳිය යුතුද නැත. තම සම වයසේ දරුවන් ක්‍රිකට් ගසද්දී පැත්තකට වී ඒ දෙස බලා සුසුම්හෙළන තත්ත්වයකට මේ අහිංසක කුඩා දරුවන් පත් කිරීම නොහොබිනාකමකි. පුනර්භවයක් කියා දෙයක් ඇත්නම් උපෝපන් ජාති වල පඩිසන් දෙන පාපකර්මයකි.
කුඩා දරුවන් මහණ කිරීමෙන් බුද්ධ ශාසනයට අමුතුවෙන් වන යහපතක් නැත. ශාසනය පෝෂණය කිරීමට තරම් වැඩුණු නුවණක් ඔවුන්ට නැති නිසාය. සිවුර දරා ගත් පමණින් අධ්‍යාපනයට අවස්ථා ලැබ උපාධිය ගත් විගස සිවුරු හරිණ බොහොමයක් සාමනේර හිමිවරුන් සසුනට බරක් නම් වන අවස්ථා ඇත.
ඒ එක පැත්තකි. කවුරුත් කථා නොකර සඟවන්නේ මේ දරුවන් සිවුරු දැමීමෙන් පසුව ඔවුන්ට විඳින්නට වන ලිංගික අතවරය. නිවෙසකදී දරුවකු ලිංගික අතවර වලට ලක් වන්නට අවස්ථාවක් නැතැයි ලේඛකයා අදහස් නොකරයි. නමුත් ඒ අවමය. දරුවා අවිවාහක, වැඩිහිටි, සියළු පිරිමි (all male) සමාජයක සිර කිරීම මේ හැකියාව සිය ගුණයකින් වැඩි කිරීමකි. මෑතදී කොළොන්නාවේ සුමංගල නැමැත්තාද කුඩා දරුවන් හැටක් මහණ කළේය. ඔහු ගැන ප්‍රචලිත කතා අසා ඇති අපට කරන්නට පුළුවන් මේ කුඩා දරුවන්ට අනුකම්පා කිරීම පමණය. මේවා ගැන කතා කරන්නට කෙනෙක් නැත. කතා කළොත් එන්.ජී.ඕ, රාජද්‍රෝහී හා මිෂනාරි කාඩ් ගසන්නට නම් සැරසීගත් පිරිසක් සිටිති. සිංහල බෞද්ධ දරුවන්ගේ අයිතීන් සිංහල බෞද්ධ යැයි කියා ගන්නා නරුමයන් පිරිසක අතින්ම විනාශ වෙද්දී තවත් නරුමයන් පිරිසක් එය සාධාරණීකරණය කිරීම ජාතියේම අවාසනාව මිස වෙනෙකක් නොවේ.
ප්‍රශ්නයේ ලේඛකයාට කෙළින්ම පෙනෙන පැතිකඩ මෙසේ විස්තර කළ හැකිවුවද මෙය බෞද්ධයන්ට පමණක් සීමාවූ තත්වයක් නොවේ. කිතුනු සෙමනේරි සඳහා බඳවා ගන්නේද බාල වයස් කරුවන්ය. එකම වෙනස සාමනේර හිමිවරුන් මෙන් ඔවුන් සාමාන්‍ය ළමා ජීවිතයෙන් ඈත් නොකිරීමය. ඔවුන්ට ක්‍රීඩා වල නිරත වීමට පවා එක්තරා මට්ටමක නිදහසක් ඇත. එහෙත් ලිංගික අතවර වලට ලක්වීම බඳු කාරණාවලදී මේ දෙක අතර ලොකු වෙනසක් තිබිය නොහැකිය. ජාතික ළමාරක්ෂක අධිකාරියෙන්ම හෙළිවන තොරතුරු වලට අනුව අපේ රටේ ලිංගිකමය ළමා අපචාරකරුවන්ගෙන් සැලකියයුතු පිරිසක් බොදුනු/කිතුනු පැවිද්දන්ය.
අද ළමා මහණකරණයේද ආරක්ෂක හමුදාවන් අළුතින් සොල්දාදුවන් බඳවා ගැනීමේද ලොකු වෙනසක් නැත. ශ්‍රමන වෙසින් පෙනී සිටින අතුරලියේ රතන, ඕමල්පේ සෝභිත, එල්ලාවල මේධානන්ද, ඇල්ලේ ගුණවංශ, බෙංගමුවේ නාලක, මිස්සක කමලසිරි ආදී දුසිලුන්ගේ හැසිරීම ඉටු කරන්නේ ආගමික අවශ්‍යතාවයක් නොව දේශපාලනමය හා මිලිටරි අවශ්‍යතාය. මේ මිලිටරි වගකීම් දරන්නට අදේශපාලනික, තමන්ගේ වැඩක් බලාගෙන පන්සලට වී සිටින සිල්වත් හිමිවරුන් කැමති නැත. මේ නිසා මේ යුධ ප්‍රචාරක වගකීම් භාර ගන්නට අළුතින් නඩයක් බිහි කළ යුතුය. ළමා වියේ පටන් මොළ සේදූ කල්හි ඊළඟ පරම්පරාව ඊට යෙදවීම පහසුය. යටපත් කළ දෙමළ ජාතිවාදය වසර ගණනකට පසු යළි හිස එසවුවද ‘රිටර්න් එක’ දෙන්නට කවුරුන් හෝ සිටිතැයි වර්තමාන වර්ගවාදීන්ට එවිට සිත හදාගත හැකිය.
අවාසනාව යුද්ධයේදී සේම මෙහිදීද බිල්ලට දෙන්නේ මෙරට ඉතාම දුප්පත් පංතියට අයත් දෙමාපියන්ගේ දරුවන් වීමය. ධනවත් හෝ අඩු තරමින් මධ්‍යම පාංතික දෙමාපියන්ගේ දරුවෝ යුදයට සේම පැවිදිබිමටද නොයති. ඔවුන් වෛද්‍යවරුන්, පරිගණක ඉංජිනේරුවන්, නීතිඥයන්, බ්ලොග් ලියන්නන් වෙද්දී දුප්පත්කම හිසින් දරාගත් ගැමි දරුවන්ට අවි දරා රණ බිමට ගොස් මරණයට හා අතපය අහිමි වීමටද, සිවුරුදරා පන්සලට ගොස් ළමා කාලය අහිමි කොට ගෙන ලිංගික අතවර වලට ලක්වීමටද සිදුව ඇත. මේ අර වරප්‍රසාද ලත් ධනවත් හෝ මධ්‍යම පාංතික දරුවන්ගේ දෙමාපියන්ගේ දේශපාලන අරමුණු ඉටු කිරීමටය. කොටින් කිව්වොත් ජාතිය ගැන මහඉහළින් කෑගහන එකම ‘විද්වතකු’ වත් තම දරුවකු හමුදාවට හෝ ශාසනයට භාරදී නැත.
මේ අබෞද්ධ පිළිවෙත් ගැන සැබෑ බෞද්ධයන් මේතරම් නිහඬ ඇයි? ඔවුන්ද සියළුම දෑ ‘යුද්ධය ඉවර වූ පසු කරන්නට’ බලා සිටිනවා වත්ද?
Posted in Uncategorized | Tagged: අතුරලියේ රතන, ඇල්ලේ ගුණවංශ, එල්ලාවල මේධානන්ද, ඕමල්පේ සෝභිත, කිතුනු සෙමනේරි, කොළොන්නාවේ සුමංගල, ගෞතම බුදුන්, ජාතික ළමාරක්ෂක අධිකාරිය, දෙමළ, බුද්ධ ශාසනය, බෙංගමුවේ නාලක, මහණකරණය, මිස්සක කමලසිරි, ලිංගික අතවර, සාමනේර, සිංහල බෞද්ධ, සිවුර, Buddhism, Buddhist traditions, Buddhists, child ordination, Christians, Gauthama Buddha, Karuna, National Child Protection Agency, Pillayan, Rahula sopaka, Sexual Harassment, Tamil | 25 Comments »
Posted by Taboo on March 20, 2009

සදාකාලික නොවන ලෝකයේ සදාකාලික එකම ප්‍රපංචය රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය පමණක් විය හැකිය. මා කලින් පෙන්නා දුන් පරිදි මීට ඔහුගේ ගැටවරාදරය (boy love) ඓන්ද්‍රීයව සම්බන්ධය. මේ වන විට, පෙරේදාත් ඇතුළුව, විසි තිස් වතාවක් රනිල් පක්ෂ නායකත්වයෙන් සමු ගැනීමට තීරණය කොට ඇත. ඔහු මේ තීරණය ක්‍රියාත්මක නොකරන්නේ හේතුවක් ඇතිවය. වැහැරී ගිය, තට්ටය පෑදෙන්නට ඉතා ආසන්න, බඩ නෙරා ආ, තම මහළු ශරීර කූඩුවට හැඩකාර ගැටවුන් ආකර්ශනය කරගත හැකි එකම සාධකය ‘බලය’ පමණක් බව ඔහු දනී. ඒ එකම තුරුම්පුව නැති කර ගැනීමට ඔහු සූදානම් නැත. මේ නිසා ‘ගැට ලව’ ශ්‍රී ලංකා දේශපාලනයෙහි තීරණාත්මක ෆිනෝමිනාවක් වන්නේය.
මේ ගැඹුරු විශ්ලේෂණයක් නොවේ. අතුරු ඕපාදූප කතාවකි. ගොසිපයට අකැමැත්තෝ කමත්වා! නොකියවත්වා!
වසර හය හතකට ඉහතදී, මේ බ්ලොග් කරුගේ විෂය පථයට (එවකට රටේ අග්‍රාමාත්‍යවරයා වූ) රනිල් වික්‍රමසිංහ අවතීර්ණ වන්නේ අහම්බෙනි. එසේම දේශපාලනික නොවන හේතුවක් නිසාය. මෙහි පුදුමයකුත් නැත. රටේ දේශපාලනයෙහි කෙසේ වෙතත් සරසවි දේශපාලනයෙහි යූ. එන්. පිය සමසමාජ කොමියුනිස්ට් ධාරා සේම අවැදගත් සාධකයකි. සරසවියේදී ‘අලයකු’ වන ලේඛකයාගේ පොදු සතුරා එජාපය නොව ජෙප්පන්ය. මේ නිසා රනිල් ඔහුට දේශපාලනිකව විෂය නොවීමේ අරුමයක් නොවෙයි.
එක් දේශපාලන සත්වයකුට තවත් දේශපාලන සත්වයකු අදේශපාලනිකව විෂය වීමේ දුර්ලභ හා දීර්ඝ කතාවේ සාරාංශය මේය.
බ්ලොග්කරුගේ කිට්ටු බැචෙක් සමරිසියෙකි. (gay) ඔහු තමන්ට වසර දහයක් පමණ වයසින් වැඩි, ගුවන් සේවයක CSD කෙනකු පිළිබඳව සිත් පහළ කරගෙන සිටී. Cabin Service Director හෙවත් CSD යනු ඒ පරිසරයෙහි ඉහළ මට්ටමේ පදවියකි. මෙවැන්නන් නාඹර ගැටවුන්, විශේෂයෙන් විශ්වවිද්‍යාල සිසුන්, දැළේ දාගන්නේ දීර්ඝකාලීන බලාපොරොත්තු ඇතිව නොවේ. තාවකාලික සොමියටය. කොළඹට සේම සමරිසි සම්බන්ධතා වලටද අළුත් මා බැචා මේ සම්බන්ධය සිරාවට ගනී. ඔහුට එය ඉතාම ගැඹුරු, පෙම්කවි ලියැවෙන මට්ටමේ ආදරයකි. දිවගොස් ඇත්තේ මිරිඟුවක් පසුපස යැයි වටහා ගන්නා විට ඔහු ප්‍රමාද වී වැඩිය. කඳුළු වලින් සෝදාහළ නොහැකි තරමේ දැඩි වේදනාව ඊළඟට පරිවර්තනය වන්නේ වෛරයටය. ඒ තම පැරණි මිතුරා පමණක් නොව ඔහු දන්නා කියන හැම දෙනාම සුන්නද්දූලි කර දමන තරමේ වෛරයකටය. රනිල්ගේ කරුමයකට මේ CSD ඔහුගේ මිතුරෙකි; අඩු තරමින් CSD එසේ කියා ඇත. තමාට ආදරය අහිමි වූයේ රනිල් නිසාය යන මෝඩ අතාර්කික නිගමනයට මා බැචා පොළඹවන්නේ සමහරවිට කිසිදා නොතියෙන්නටත් හොඳටම ඉඩ ඇති මේ සම්බන්ධකම ගැන ඇසූ සඳහනය.
සරසවි ශිෂ්‍යයකුට රටේ අගමැතිවරයාට එරෙහිව කළ හැකි කෙංගෙඩියක් නැත. එහෙත් තරුණ මදය නිහඬව පරාජය බාර ගැනීමට ඔහුට ඉඩ දෙන්නේද නැත. ඔහුගේ මානසිකත්වය තම දරුවන් උදුරා ගැනීම නිසා මුහුද සිඳන්නට ගිය ලේනියගේ මානසිකත්වයට සමාන වේ. පසුව ප්‍රයෝජනයට ගැනීමේ අදහස ඇතිව රනිල්ගේ පුද්ගලික ජීවිතය පිළිබඳ හැම කුණුකන්දලක්ම එකතු කිරීම ඔහුගේ ජීවිත අරමුණ (mission) වන අතර අතිශය සංවේදී මිතුරකුගේ දුක බෙදා ගැනීමට යන ලේඛකයාද මේ නිශ්ඵල ව්‍යායාමයේ කොටස් කරුවෙක් වන්නේය. (අනුන්ගේ දුක් බෙදා හදා ගැනීමට ඉදිරිපත් වීම මේ බ්ලොග් කරු සරසවියේ සිටිද්දී තිබුණු දුර්වල පුරුද්දකි. මේ පුරුද්ද නිසා ඔහු තමන්ට බොහෝ දේ අහිමි කරගෙන ඇත.)
තථ්‍ය හා සයිබර් සමරිසි කව තුළ මේ තොරතුරු සොයා ගැනීමේ අපහසුවක් නැත. අවශ්‍ය වන්නේ kaputa.com බඳු චැට් රූම් වල ගත කරන්නට කාලයක් හා ඉවසීමක් තිබීමය. එකම අපහසුව කරුණු තහවුරු කරගැනීමය.
පසුකලෙක දෙදෙනාම මේ නිරර්ථක උත්සාහය අත හරිති. එහෙත් ඒ ඇතිතරම් තොරතුරු සොයා ගත්තායින් පසුවය. මේ කිසිවක් බ්ලොග් එක තුළින් ඉදිරිපත් කරන්නට ලේඛකයාගේ අදහසක් නැත. බයට නොවේ. (රනිල්ට බය වන්නට කිසිම හේතුවක් නැත. ඔහු පුද්ගලයකු හැටියට මේ වන විට සෝමවංශ අමරසිංහටත් වඩා දුර්වලයෙකි.) වෙනත් හේතු දෙකක් නිසාය. එකක්, ඒ වැඩි හරියක් තහවුරු නොකළ ඕපාදූප වලට වඩා වැඩි වටිනාකමක් නැති දේය. අනෙක ඒ කෙනකුගේ පෞද්ගලික ජීවිතයයි. රනිල් අපේ අයිතීන් ගැන නොසිතුවත් අප රනිල්ගේ අයිතීන් වලට ගරු කළ යුතු බැව් ලේඛකයාගේ මතයයි.
එහෙත් ඔහු එදා රනිල් ගැන ඇසූ කතා හා අද අසන කතාවල ඇති සමාන්තරතාවය පුදුම සහගතය.
මේ ළඟදී ඇසූ කතාවකි.
මාස කිහිපයකට පෙර වයඹ පළාත් මැතිවරණ සමයෙහි ජොන්ස්ටන් ප්‍රනාන්දු කුරුණෑගල නගර මධ්‍යයෙහි මහා රැලියක් සංවිධානය කරයි. ප්‍රධාන කථිකයා පක්ෂ නායක රනිල්ය. ඔහු වේදිකාවට සම්ප්‍රාප්ත වන්නේ අතර මඟදී හවස් වරුවේය. ඉදිරි පෙළෙහි තමා දෙපස සිටින ජොන්ස්ටන් ඇතුළු නායකයන් සමඟ වචනයක් වත් හුවමාරු කර නොගන්නා ඔහුගේ ඇසට විෂය වන්නේ දෙවන පේළියේ සිටින අකිල විරාජ් කාරියවසම්ය.
“අකීකීකීලලල, ඔයා ලන්ච් ගත්තද අනේ?” මේ රටේ ජනාධිපති වන්නට පෙරුම් පුරන නායකයකුගේ අයිසිං ස්වරයකින් පිටවන ළයාන්විත වචනය. (ඕනෑම මොහොතක ‘ගැටලව්’ මෝඩ් එකට පිවිසීමට රනිල්ට අපූරු හැකියාවක් ඇත. එහිදී ඔහුගේ සාමාන්‍ය චර්යාවන් සිතාගත නොහැකි ලෙසින් වෙනස් වීඅමුතුම සෞම්‍ය මිනිසකු උපදින්නේය.)
“මේ හු…..ට මේක ඔර්ගනයිස් කරපු අපි ඉන්නවද මළාද නෑ, අරූ කාලද නැත්ද කියන එක තමා තමයි වැදගත්!” මේ ජොන්ස්ටන් මිතුරන්ට පසුව කීවායැයි කියන වචනය.
අනෙක් ඕපාදූප පසුවට ඉතිරි කර ගනිමු. මොන ජංජාල කළත් මේ සම්ම ජාතියකට රනිල් පදවිය දමා නොයතැයි සිතන නිසා ඊට ඕනෑ තරම් කල් ඇත්තේය. මේ කතා බොරු නම් කමෙන්ට් දමා නිවැරදි කරන්නට ඕනෑම කෙනෙකුට අවසර ඇත.
Posted in Uncategorized | Tagged: එක්සත් ජාතික පක්ෂය, ගැටාදරය, රනිල් වික්‍රමසිංහ, boy love, kaputa.com, Ranil Wickramasinghe, Ranil Wickremasinghe, Sri Lanka politics, United National Party, UNP | 14 Comments »
Posted by Taboo on March 18, 2009

“මේ චිත්‍රපටයෙහි ස්වර්ණා මල්ලවාරච්චි රඟපෑ චරිතයෙහි නිරුවත් ජවනිකා සඳහා වෙනත් නිළියක යොදා ගන්නා ලදී.”
මෙබඳු සටහනක් දිස් වන්නේ වසන්ත ඔබේසේකරගේ ‘කැඩපතක ඡායා’ චිත්‍රපටය අවසානයේය. මේ එක්තරා දුරකට හෝ ලිබරල් වූ ස්වර්ණාද නිරුවතට බිය වූ තරම්ය. (මේ චිත්‍රපටයේ ‘නිරුවත’ කියා අදහස් කරන්නේ කවර හෝ නිළියකගේ කලවා පෙන්වීමය.)
රංගනය සඳහා නිරුවත් වීම බටහිර රට වලට අමුතු දේවල් නොවේ. එය චිත්‍රපට වලදී පමණක් නොව වේදිකා නාට්‍ය වලදීද සිදු වන්නේය. Equus නම් වේදිකා නාට්‍යය වෙනුවෙන් වසර කිහිපයකට පෙර මුළුමනින්ම නිරුවත් වූයේ හැරි පෝටර් චරිතයෙන් ප්‍රේක්ෂක ජනාදරයට පත් එවකට දහහත් හැවිරිදි ඩැනියෙල් රැඩ්ක්ලිෆ්ය. මෙවර ඔස්කාර් හොඳම නිළිය සම්මානය දිනාගත් කේට් වින්ස්ලෙට් තම තඹවන් රති රෝම පඳුර මුළුමනින්ම නිරාවරණය වනසේ උඩුබැළිව වැතිර සිටිනා දර්ශන ඇතුළත් චිත්‍රපට කොටස් You Tube වල දක්නා ලැබේ. එහෙත් අනුන්ගෙන් ණයට ගත් වික්ටෝරියානු සංස්කෘතියෙන් මඬනා ලද සිංහල සිනමා තිරයට තවමත් නිරුවත ගොඩයට මැජික් එකකි.
පෙම්බර මධු චිත්‍රපටය සඳහා නිරුවතින් තේ වත්තක් මැදින් දිව යන දර්ශනයකට පෙනී සිටියේයැයි එය තිරගත වූ සමයේ ගීතා කුමාරසිංහට ‘චෝදනා’ එල්ල විය. ඇය බොහෝ කලකට පසුව කියා සිටියේ දුර සිට තිර ගත කරන ලද ඒ දර්ශනය වෙනුවෙන් පෙනී සිටියේ චිත්‍රපටයේ සුළු වැඩ කිරීමට පැමිණි කොල්ලන් දෙදනකු බවය.
ධර්මසේන පතිරාජගේ ‘බඹරු ඇවිත්’ නිරුවත කලාත්මක ලෙස භාවිතා කළ තවත් චිත්‍රපටයකි. එහි විජය කුමාරතුංග, අමරසිරි කලංසූරිය හා විමල් කුමර් ද කොස්තා රඟපාන ප්‍රධාන චරිත තුන නිරුවතින් මුහුදු වෙරළෙහි නාන දර්ශනය සඳහාද සමහරවිට යොදා ගන්නට ඇත්තේ අතිරේක නළු නිළියන් විය හැකිය. එහෙත් කථාව අවසානයේ මාරාන්තික තුවාල ලැබ, මුහුද දෙසට ඇවිද යද්දී සරම ගිලිහී අමු නිරුවත් වන ධීවරයාගේ චරිතය සඳහා පෙනී සිටින්නේ ජෝ අබේවික්‍රමමය. මුහුද හා වෙරළ පරස්පරය පසුබිම් කොට නැඟෙන නිරුවත් මිනිසකුගේ මේ රූපරාමු පෙළ සිංහල සිනමා වංශ කතාවෙහි අනභිභවනීය රූපරාමු පෙළකි.
මහගමසේකරගේ තුංමංහන්දියෙහි ගැටවුන් පිරිසක් නිරුවතින් ඇළට පැන දියනාන දර්ශනයද ධර්මසිරි බණ්ඩාරනායකගේ තුන්වෙනි යාමයෙහි ප්‍රධාන නිළිය (ඉන්දිරා ජොන්කලස්) දියනාන දර්ශනයද කළුසුදු යුගයේ සිංහල සිනමාව නිරුවත් වූ මතකයේ රඳන අවස්ථා දෙකකි.
කළුදියදහර චිත්‍රපටයෙහි නිරුවත් දර්ශන ප්‍රේක්ෂකයා හමුවට නොපැමිණියේ එවකට අග්‍රාමාත්‍ය සිරිමා බණ්ඩාරනායකගේ කතුරට හසුවූ නිසාය. චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඇගේ සහෝදරයකු බැවින් ඇයට මේ දැඩි තීරණය ගන්නට සිදුවිය. නැතිව ඇය වත්මන් සංස්කෘතික ඇමති මහින්ද යාපා අබේවර්ධන සේ කලා විහීනයකු නොවූවාය.
වර්ණ යුගයට අවතීර්ණ වීමෙන් පසු නිරුවත් දර්ශන සිංහල සිනමාවට එක්තරා මට්ටමකට ආගන්තුක විය. ඒ කළුසුදු රූපරාමු වල මෙන් නොව වර්ණ හරඹයේදී නිරුවතට කලාත්මක වටිනාකමක් ලබා දීම අසීරු වූ නිසාය. වර්ණ සිනමාකරණයේදී ඉතා සුළු වැරැද්දකින් පවා නිරුවත් රූප රාමු ශෘංගාරාත්මක (erotic) විය හැකිය. මේ දුෂ්කරතාව වර්ණවත් වූ සිංහල සිනමාව තුළ බොහෝ අධ්‍යක්ෂකවරුන් තේරුම් ගත්තාක් සේ පෙනේ. වර්ණ යුගයේ නිරුවත් හරඹ කිරීමට ඔවුන් පෙළඹී නැත්තේ එනිසා විය යුතුය.
මේ අභියෝගය ජයගැනීමට උත්සාහයක් හෝ දැරූ අධ්‍යක්ෂක වරුන් අප රටෙහි සිටීනම් ඒ අතළොස්සක් පමණකි.
අශෝක හඳගම කෙතෙක් නිර්භීත වුවද ඔහුගේ නිර්භීතභාවයම සිනමාවට අරුතක් එක් කළේ නැත. හඳගම කළ එකම ප්‍රබල නිරුවත් දර්ශනය ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයෙහි තරුණයකුමෙන් වෙස්වළා සිටින කථා නායිකාවගේ ලිංගිකත්වය තීරණය කිරීම සඳහා වැඩපළෙහි ලොක්කාගේ අනුදැනුම මත ඇය බලෙන් නිරුවත් කරන දර්ශනයයි. මේ හැරුණු විට කතාව අවසානයේ එන ඉදිරි නිරුවත් (frontal nude) දර්ශනය චිත්‍රපටයට අමුතු වටිනාකමක් එක් කරන්නේ නැත. ප්‍රසිද්ධියේ තිරගත නොවූ අක්ෂරය චිතරපටයේ නිරුවත් දර්ශන ඒ තරම් වත් වටිනාකමක් නැති ඒවාය. ඒවායේ කලාත්මක තියා ශෘංගාරාත්මක අගයක්වත් නැත. මේවා ශෘංගාරාත්මකව දුටු මහින්ද යාපා අබේවර්ධන නම් දේශපාලකයා සෑහෙන කලකින් ගැහනියකගෙන් තෘප්තිමත් නොවූ ලිංගික පිපාසිතයකු විය යුතුය.
විමුක්ති ජයසුන්දර ගැන අදහස් පළකළ නොහැක්කේ ලේඛකයා ‘සුළඟ එනු පිණිස’ මුළුමනින් නරඹා නැති හෙයිනි. ඇගේ වෛරය බඳු ‘සෙක්ස්’ චිත්‍රපට ඔහු නරඹා නැතුවාසේම ඒවා ගැන අදහස් දැක්වීමටද අවශ්‍යතාවයක් නොවේ.
සිංහල සිනමාවෙහි පුරෝගාමියාය කියන ලෙස්ටර් ජේම්ස් පීරිස් (මේ හැඳින්වීම ගැන ලේඛකයාට ප්‍රශ්න ඇත. එහෙත් ඒවා මෙතනට අනදාළය.) නිරුවත් දර්ශනයක අභියෝගය භාරගත්තේ එක් අවස්ථාවක පමණය. ඒ ‘බැද්දේගම’ චිත්‍රපටයේ බබුන් පුංචිමැණිකා ‘බැද්දට උහා යන’ දර්ශනය සඳහාය. ලෙස්ටර්ගේ අදහස වූයේ එය සාමාන්‍යයෙන් හැඟෙන පරිදි දූෂණයක් නොව එවක ප්‍රාථමික ජන කොටස් අතර පැවති ලිංගික වාරිත්‍රයක් (sex ritual) බවය. එය දෙදෙනාගේම කැමැත්තෙන් සිදුවන ගැමි තරුණයකු තරුණියක හා එක් වීමේ පළමු අවස්ථාවය. විනාඩි පහකින් යුතු මේ දර්ශනය සඳහා විජය කුමාරතුංග හා මාලිනි ෆොන්සේකා පෙනී සිටියේ අමු නිරුවතිනි. අවාසනාවකට එය කපන මණ්ඩලයේ කුහකයන්ගේ කතුරට හසුවිය.
ලේඛකයාට මේ උදාහරණ මතක් වන්නේ කේට් වින්ස්ලෙට් 2008 ඔස්කා හොඳම නිළියට හිමි සම්මානය දිනු The Reader චිත්‍රපටය නරඹා අවසානයේය. (ඉහළින් ඇති ඡායාරූපය මේ චිත්‍රපටයෙනි.) The Reader ඉතා කලාත්මක ලෙස නිරුවත් රූප රාමු යොදාගනී. මෙහි දහහත් හැවිරිදි ප්‍රධාන නළුවා (ළමා කාලය) වැඩිමහල් නිළිය (කේට් වින්ස්ලෙට්) විසින් නාවන දර්ශනයකදී, සිට ගෙන සිටින ඔහුගේ සම්පූර්ණ නිරුවත් සිරුර පාදයේ සිට හිස දක්වා දැඩි සංයමයකින් යුතුව කැමරාවට හසු කර ගනී. මේ කිසිම ලාංකීය අධ්‍යක්ෂකවරයකු විසින් මෙතෙක් දක්වා නැති පෙළහරකි.
නිරුවත අපේ සිනමාකරුවන්ට මීට වඩා ප්‍රශස්ත මට්ටමින් විෂය වන දිනක් ඒද? නැතිනම් අප තවදුරටත් සුද්දාගේ වික්ටෝරියනු කුහක සදාචාරය තුළ සිරවී තවදුරටත් කලාවට වැට කඩුළු බඳිමුද?
Posted in Uncategorized | Tagged: Ashoka Handagama, අක්ෂරය, අමරසිරි කලංසූරිය, අශෝක හඳගම, කැඩපතක ඡායා, කේට් වින්ස්ලෙට්, ගීතා කුමාරසිංහ, ජෝ අබේවික්‍රම, ඩැනියෙල් රැඩ්ක්ලිෆ්, තනි තටුවෙන් පියාඹන්න, තුංමංහන්දිය, තුන්වෙනි යාමය, ධර්මසිරි බණ්ඩාරනායක, ධර්මසේන පතිරාජ, නිරුවත, පෙම්බර මධු, බඹරු ඇවිත්, බැද්දේගම, මහගමසේකර, මාලිනි ෆොන්සේකා, ලෙස්ටර් ජේම්ස් පීරිස්, වසන්ත ඔබේසේකර, වික්ටෝරියනු කුහක සදාචාරය, විජය කුමාරතුංග, විමල් කුමර් ද කොස්තා, විමුක්ති ජයසුන්දර, ස්වර්ණා මල්ලවාරච්චි, සිංහල සිනමාව, සුළඟ එනු පිණිස, Dharmasiri Bandaranaike, Joe Abeywickrama, Kate Winslet, Lester James Pieris, Nudity, Sinhala Cinema, Sinhala movies, Vijaya Kumaratunga | 22 Comments »
Posted by Taboo on March 16, 2009


චේ-ගෙවාරා වරක කී හැටියටම, මේ බ්ලොග් කරුගේද සටන ඇත්තේ පුද්ගලයන් සමඟ නොව මතවාද සමඟය. එහෙත් පුද්ගලයන් දේශපාලන ප්‍රපංච බවට පරිවර්තනය වන කල්හි, ලෙනින්ගේ උවදෙසක් මඟහැර පුද්ගලයන් ගැන කතා කිරීම වඩා පහසු හා තාර්කික කාර්යයක් බවට පත්වෙයි. මේද ප්‍රපංචයක් බවට පත්වූ අවාසනාවන්ත මිනිසකු පිළිබඳ සටහනකි. ඔහුගේ නම තිස්ස අත්තනායකය. තනතුර ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම පක්ෂයේ මහලේකම් ධුරයයි.
සිංහල භාෂාවට අළුත් වචනයක් එක් කිරීමේ ගෞරවය ගැනීමට අකැමැති නැතද, ‘ගොන්කාට්’ යනු බ්ලොග්කරුගේ නිර්මාණයක් නොවේ. එය අපගේ කතා නායකයා වන අත්තනායකගේම නිර්මාණයකි. ගොන් කරත්තයක නැඟී ඔහු විසින් කරන ලද මොකද්දෝ විරෝධයක ඡායාරූප ඔහුගේම වෙබ් අඩවියේ පළකර ඇත්තේ ‘Goncart Protest’ විදියටය. සිංහල ‘ගොනා’ ඉංගිරිසියටද වලංගු බව ඔහු සිතුවා විය හැකිය.
අත්තනායකගේ වෙබ් අඩවිය වැරදි ඉංගිරිසි ආකරයකි. (තවත් උදාහරණ: පහත “written book democrasy” බලන්න. මේ කියන්නේ ඔහු ප්‍රජාතන්ත්‍රවාදය ගැන පොතක් ලියුවා කියා විය යුතුය.) තමන්ගේ පසුබිම අනුව ඔහු මේ වැරදි ඉංගිරිසි ලිවීම ගැන අප පුදුම වියයුතු නැත. මේවා රනිල් වික්‍රමසිංහද ඔහුගේ රෝයල් ක්ලාස් මැට්ටන්ද නොදකිනවා විය නොහැකිය. එහෙත් ඒවා නිවැරදි කිරීමට අත්තනායකට උවදෙස්/උපකාර ලබා දීමට ඔවුන්ට ඕනෑකමක් නැත. ඔවුන්ට අවශ්‍ය ගමේ බයියා, ගමේ බයියා හැටියට තබා ගැනීම මිස ඔහුට ඉංගිරිසි උගන්නා ජෙන්ට්ල්මන් කෙනෙක් කර තමන්ට අභියෝගයක් කර ගැනීම නොවන හෙයිනි. නැති තැන රනිල් තම රෝයල් ක්ලාස් මැට්ටන් සමඟ අත්තනායකගේ රජා මැරීමට ඇති තරම් හිනා වෙනවාද විය හැකිය.
මීට අමතරව තමන්ට හිනා වෙන්නට අවශ්‍ය කෙනෙකුට ඕනෑ තරම් අමුද්‍රව්‍ය ‘ගොන්කාට්’ විසින් තම වෙබ් අඩවියෙන් කිසිම ලෝබ කමක් නැතුව නොමිළේම ලබා දෙයි. http://www.tissaattanayake.lk වැඩක් නැති වෙලාවට ගිහින් බැලිය යුතුම වෙබ් අඩවියකි. විශේෂයෙන්ම ගැලරිය මඟ නොහැරිය යුතුය. එක පින්තූරයක ඇත්තේ ඔහු තම සදාදරණීය නායකයා රනිල් වික්‍රමසිංහ සමඟ ‘මිහින්තලා සායේ’ සායම් ගාන දර්ශනයකි. බුරුසුව අල්ලා ගෙන සිටින සැටියෙන්ම පෙනෙන්නේ බවලත් පළඳනාවක තියා බිත්තියකවත් මොවුන් දෙදෙනාගෙන් එකකු වත් ජීවිතයට සායම් ගා නැති බව විතරය.
මොහු ළඟදී සිරසෙහි ‘පුංචි පහේ මං’ වැඩසටහනටද සහභාගි වුනාලු.(නැතුව වෙන මොකට සහභාගි වන්නද?) වලවේ ගඟ මුහුදට වැටෙන තැන නොදැන, ඔහු තරගයෙන් ඉවත් වී ඇත්තේ “මම පහේ පංතියේ සිසුවකු තරම් හපනෙක් නොවෙමි” කියමිනි. මේ කියන්නේ අඩු තරමින් තියරියට හෝ අපේ රටේ මීළඟට බලයට පත් විය හැකි පක්ෂයක මහ ලේකම් වරයාය. අනේ කාටවත් අප ගැන පව් කියා හිතෙන්නේ නැත්ද?
එහෙත් තිස්ස අත්තනායක යනු සිනාසී අමතක කළ යුතු සංසිද්ධියක් නොවේ. මේ බුද්ධිහීන මිනිසා යනු අපේ රටේ කුහක දේශපාලනයේ එක් පැතිකඩක් පමණකි.
තිස්ස අත්තනායක උපදින්නේ වෙනත් වාසගමක් ඇතිවය. පිය පරපුරින් උරුම වූ ඒ හීන වටිනාකමකින් යුත් වාසගම තම ඉදිරි ගමනට බාධාවක්සේ හඳුනා ගන්නා ඔහු ජීවිතයේ යම් අවස්ථාවක රුපියල් දෙකක් ගෙවා ‘අත්තනායක’ යන වඩා ‘නම්බුකාර’ වාසගම මිළයට ගනී. එහි වරදක් ඇතැයි බ්ලොග්කරු නොදකියි. උපතින් මිනිසුන් බැඳ දමන යදම් හැමදාම එසේ තිබිය යුතු නැත. ඒවා බිඳ දැමිය යුතුය. එහෙත් ගැටළුව පැණ නඟින්නේ මෙසේ ඉවත් කරන ලද පැරණි වාසගම හැම ඡන්දයකදීම ඔහුට යළි උවමනාවීම නිසාය. පුද්ගලයකුගේ කුලය දේශපාලනයේ තීරණාත්මක සාධකයක් වන රටක අත්තනායක චන්දය ඇති හා නැති අවස්ථා වශයෙන් වාසගම් දෙකක් අතර දෝලනය වෙයි.
සුවච කීකරු බල්ලකු තම ස්වාමියාට දක්වන බයාදු ඇඟෑළුම්කම වර්තමාන පක්ෂ නායකයා කෙරෙහි දක්වන අත්තනායක පාරේ බුරා එන වෙනත් සුනඛයන්ගෙන් ඔහු ආරක්ෂා කිරීමේ කොන්තරාත්තුවද බාරගෙන ඇත. පැරැණි වලව්වක ප්‍රවේණි දාසයකුගේ භූමිකාවට වැඩි වෙනසක් නැති මෙය ඔවුන් දෙදෙනාටම වාසි දායකය. එක අතකින් වලව්වේ හාමු ඇඟ තලා නොගෙන ගණුදෙණු ගොඩින් බේරා ගන්නා අතර, අනෙක් පැත්තෙන් දාසයා වලව්වේ දංකුඩ ටිකක් රස බැලීමේ අවස්ථාව ලබාගනී. මේ සම්බන්ධතාවයේ ඊට වඩා දෙයක් නැත.
මේ දාසයා විසින් තම ස්වාමියා වෙනුවෙන් දින කිහිපයකට ඉහත නිකුත් කරන ලද පුවත්පත් නිවේදනයකි.
එජාපයට විරුද්ධව අලූත් කැරැල්ලක් රජය නිර්මාණය කරන්නේ එජාපයට වඩා වාසිදායක අනාගතයක් උදාවන අවස්ථාවකය. සාමකාමීව, බෞද්ධ දර්ශනය අනුව ක්‍රීයාකළ හැකි නායකයා වන්නේ රනිල් ව්ක්‍රමසිංහ මහතාය. නායකත්වය දුර්වල නම් පහර දෙන්නේ නැත. රජය එජාප නායකත්වයට එරෙහිව එළව එළවා පහර දෙන්නේ එහි තිබෙන ශක්තිමත් භාවය නිසාය. මේ නායකත්වය පැවතියහොත් රජයේ දේශපාලනය අනතුරකට පත්වන සේයාවක් ඇති බව රජය වටහාගෙන තිබේ. මේ නායකත්වයට එරෙහිව කටයුතු කිරීමේ කොන්තරාර ත්කරුවන් වීමට එ.ජා.ප.යේ අය කැමති නැත. අපේ පක්ෂය අද කරන්නේ රාජ්යට මාධ්යො ගෙන යන මතවාදය පරාජය කිරීමටය..පක්ෂය තුළ කැරැල්ලක් නැත. විවිධ අදහස් මතුවී තිබේ. රනිල් විකරේ මසිංහගේ නායකත්වය වෙනස් කිරීමට කිසිසේත් ඉඩ තබන්නේ නැත. එවැනි උත්සාහයක් ගතහොත් සියලූ මතවාද එ.ජා.ප. පාක්ෂිකයන් පරාජය කරන බව ස්ථීරය. නායකයා ආරක්ෂා කළ යුතුය.
(http://tissaattanayake.lk)
ගිරුවායේ ගොවිගම සිංහල බෞද්ධ වලව්වක උපන් ශ්‍රී රෝහන ජනරංජනතුමාට වලව්වල ප්‍රවේණි දාසයන්ගේ හැසිරීම ගැන අන් කිසිවකුට නැති අවබෝධයක් ඇත. මෙවැන්නන් අනෙක් පැත්තේ සිටින තුරු වලව් හටනේ ජය තමන් සතු බව ඔහු සක්සුදක් සේ දනී. මේ නිසා සේවකයාගේ ඉදිරි පැවැත්ම ගැන රනිල්ටත් නැති ඕනෑකමක් ඔහුට ඇත. සේවකයාගේ උපන් දිනයටත් හැමදාම ඔහු කතාකර සුබ පතන්නේ එනිසාය. මේ දුරකථන පණිවිඩ වලට උත්තර දෙන්නට අත්තනායක ඉද්ද ගසුවාක්මෙන් පුටුවෙන් නැඟිටින බව කියන්නේ අප නොව සිරිකොතේ සේවකයන්ය.
ධර්මසේන පතිරාජගේ ‘ඇල්ල ළඟ වලව්ව’ ටෙලි නාට්‍යයේ වලව් සේවකයා (සිරිල් වික්‍රමගේ) තම ස්වාමියා ආරක්ෂා කිරීමට තමන්ටත් ලාදුරු හදාගෙන වලව්වෙන් නික්ම යයි. ඔහු යන්නේ ආරමයකට යන බව කියමිනි. එහෙත් ඔහු පිළිගැනෙන්නේ ලාදුරු කොලනියකින් පමණක් විය හැකිය. අත්තනායකගේ අනාගතයද මෙබඳු විය හැකිය. එහෙත් ඒ සත්‍යය පිළිගෙන ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තමා විසින් කළ යුතු කැප කිරීම කරන්නට ඔහු සූදානම් නැත. කිසිම දවසක මෙරට පොදු ජනතාව විසින් පිළි ගැනෙන නායකයකු වීමට ඔහුට නොලැබෙන්නේ එනිසාය.

Posted in Uncategorized | Tagged: එක්සත් ජාතික පක්ෂය, තිස්ස අත්තනායක, රනිල් වික්‍රමසිංහ, Goncart Protest, http://tissaattanayake.lk, Ranil Wickremasinghe, Tissa Attanayake, UNP | 3 Comments »
Posted by Taboo on March 13, 2009

මහනුවර දළදා මන්දිරයෙහි කරඬුවක් තුළ බහා ගෞතම බුදුන්ගේ උඩු හනුවේ දඩයම් (රදනක) දත කැයි හුදු අන්ධ විශ්වාසය මිස අන් කිසි සාක්ෂ්‍යයක් නැති, කිසිදා කාබන් කාල නීර්ණයකට බඳුන් කොට නැති, අඩු තරමින් කාබනික හෝ අකාබනිකද යන වග වත් නොදන්නා කුඩා වස්තුවක් ඇතැයි මම අසා ඇත්තෙමි. මේ කුඩා වස්තුව මහජන ප්‍රදර්ශනයට තැබූ කල්හි මහා වැසි වසිතැයි මෙරට යම් ජන පිරිසක් මිථ්‍යා විශ්වාසයක එල්බ ගෙන සිටිති.
මේ මිථ්‍යා විශ්වාසය ඇරැඹුනු හැටි රජයේ සිළුමිණ පුවත්පත වාර්තා කරන්නේ මෙසේය:
වර්ෂ 1818 – 1827 යන කාල වකවානුවේ ඉංගී‍්‍රසි ආණ්ඩුව දළදා පෙරහර හෝ දළදා ප‍්‍රදර්ශන පැවැත්වීම සම්පූර්ණයෙන් ම තහනම් කොට නියෝග පනවා තිබුණි.
වර්ෂ 1827 – 1828 යන කාල වකවානුවේ දිවයින පුරා දැඩි නියඟයක් පැවැතුණි. මේ නියඟයෙන් ඇළ දොළ ගංගා සිඳී භවභෝග විනාශ වී වසංගත රෝග දසත පැතිර ගියේය. මෙයට මූලික සැලැකිය යුතු කාලයක් දළදා පෙරහරක් හෝ දළදා ප‍්‍රදර්ශනයක් (දළදා පින්කම) නොපැවැත්වීම යන අදහස ගිහි පැවිදි සියලු දනන් අතර මුල් බැසගෙන තිබුණි. එබැවින් භික්ෂුන් වහන්සේලා හා උඩරට නායකයන් විසින් මේ වග ඉංගී‍්‍රසි ආණ්ඩුකාරවරයා හට දන්වා සිටින ලදී. ඒ අනුව ශී‍්‍රමත් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා විසින් වර්ෂ 1828 මැයි මස 29 දින යෙදුණු වෙසක් පුන් පොහො දින දළදා ප‍්‍රදර්ශනයක් සහිත දළදා පෙරහරක් පැවැත්වීමට නිල අවසරය ලබා දුන්නේය.
ඒ අනුව වර්ෂ 1828 මැයි මස 29 වන දිනට යෙදුණු වෙසක් පුන් පොහෝ දින පවත්වන ලද දළදා පෙරහර හා දළදා ප‍්‍රදර්ශනය (මෙය වූ කලි ඉංගී‍්‍රසි ආණ්ඩුව යටතේ පවත්වන ලද පළමු දළදා ප‍්‍රදර්ශනය ලෙස ඉතිහාසගත වේ.) අවසානයේදී මහනුවර ප‍්‍රදේශයට ඇදහැලුණු මහා ධාරානිපාත වර්ෂාවෙන් මුළුමහත් නගරයම ජලයෙන් යටවූ බව කියැවේ. මේ මහා ධාරානිපාත වර්ෂාව මින් පෙර නොවූ විරූ එකක් වූ අතර දිගු නියඟය අවසන් කිරීමේ දළදා ප‍්‍රාතිහාර්ය මහජනතාව විසින් හඳුන්වන ලද්දේ ‘දළදා වතුර’ යන නමිනි. (වර්ෂ 1925 දී දළදා වතුර යන නමින් කවි 158 කින් යුතු වූ පද්‍ය සංග‍්‍රහයක් ද රචනා විය.)
(http://www.silumina.lk/punkalasa/20090308/_art.asp?fn=ar09030811)
පෙරහැරේ ඇති සහ-සම්බන්ධතාවය කෙසේ වෙතත් මේ වර්ෂාව සිද්ධියක් හැටියට බොරුවක් නොවෙතැයි සිතමි. නුවර වැව උතුරා පිටාර යන කළු සුදු ඡායාරූපයක් උඩරට හෝටලයකදී ලේඛකයා දැක ඇත. මේ සත්‍ය සිද්ධිය මිථ්‍යාවක් බවට වර්ධනය වීම කණගාටුදායකය. (දැඩි නියඟයකින් පසු කොහොමත් දැඩි වැහි වහින්නේ ගොරවාගෙනය. දීර්ඝ නියං සමය තුළ වායුගෝලයට එක්වූ මහා ජල වාෂ්ප ප්‍රමාණය යළි පොළොවට පතිත විය යුතු නිසාය. එහි කිසිම අරුමයක් නැත.)
ගෞතම බුදුන් දශක අටක තම ජීවිත කාලයෙන් වැඩි හරියක් මිථ්‍යාවට එරෙහිව සටන් කළ ශාස්තෲවරයෙකි. එවැනි දාර්ශනිකයකුට අපට අද කළ හැකි ලොකුම ගෞරවය තවදුරටත් ඔහුගේ නමින් මිථ්‍යාවන් ගොඩ නැඟීම වළක්වා ලීමය. වාසනාවකට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ කාර්යයෙහිලා අපේ සහයට පැමිණ ඇත්තේය.
මෙහි පහත පැනෙනුයේ (රූපය 1) 2009 මාර්තු මාසයේ දළදා ප්‍රදර්ශනය ආරම්භ කළ මුල් සතියේ දිවයිනේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක වර්ෂාපතන අගයන්ය. මහනුවර එහි සඳහන් නොවතුදු ඊට ආසන්න කටුගස්තොටට මිලිමීටර් 19.5 ක වර්ෂාපතනයක් ලැබී ඇත. මේ කිසිම දළදා ප්‍රදර්ශනයක් නොපැවැත්වුනු අනුරාධපුරයට මිලිමීටර් 48.5 කත්, මහඉලුප්පල්ලමට මිලිමීටර් 44.4 කත්, නුවර එළියට මිලිමීටර් 33.3 කත්, ත්‍රිකුණාමලයට මිලිමීටර් 77.5 කත් වර්ෂාපතනයක් ලැබෙද්දීය.
ඉන්පසු අප සලකා බැලිය යුතු එකම කාරණය මිලිමීටර් 19.5 ක වර්ෂාපතනයක් මාර්තු මාසයේදී මහනුවරට අසාමාන්‍යද යන්නය. මාර්තු මාසයේ මහනුවර වර්ෂාපතන අගයන් සංචාරක වෙබ් අඩවි වලින් සොයා ගත හැකිය. ඉන් එකක දැක්වෙන හැටියට එය මිලිමීටර් 89.5 කි. (රූපය 2 බලන්න.) මේ අනුව සතියක සාමාන්‍ය වර්ෂාපතනය (89/31*7) මිලිමීටර් 20 කි.
තවත් මොන කතාද? ලැබී ඇත්තේ සාමාන්‍යයෙන් ලැබිය යුතු මිලිමීටර් විස්සකට කිට්ටු වර්ෂාපතනය විතරය. එය දශමයකින් හෝ වැඩි කිරීමට දළදා ප්‍රදර්ශනයට හැකිවී නැත.
මේ හරයක් පදනමක් නැති මිථ්‍යා වලින් සිදුවන්නේ විසි එක වන සියවසෙහි බුදු දහමට ලැබිය යුතු ගෞරවය නොලැබීයාම විතරය.
බුදු දහමට හිතැතියෝ මේ මුග්ධ මිථ්‍යා විශ්වාස වලින් එය නිදහස් කරත්වා!

රූපය 1

රූපය 2
Posted in Uncategorized | Tagged: Buddhism, Myth, Kandy, Temple of Tooth Relic, Tooth Relic, Rainfall, Dalada Vathura, දළදා වතුර, දළදා මන්දිරය, මිථ්‍යා විශ්වාස, සිළුමිණ, දළදා පෙරහර, දළදා ප්රරදර්ශන, වර්ෂාපතන | 32 Comments »