සාමාන්‍යයෙන් නොකියන කතා | Taboo Subjects

ඔබද මාද කොටස් කරුවන් වන ලාංකික සමාජය අනුකම්පාවිරහිතව නිරුවත් කරන වියමනකි.

මංගල සමරවීර නම් වූ යෑංකි මැට්ටා | Mangala Samaraweera – the Yankee Idiot

Posted by Taboo on June 28, 2009

Mangala

ලේඛකයාගේ අදහස අනුව වර්තමාන ලාංකීය සමාජය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වන්නේ බටහිර ශිෂ්ටාචාරය හෙළා දකිමින් සිංහල බෞද්ධ ගැමිකම උච්ඡාවස්ථානය කරන්නාවූ පිරිසකුත්, එහි විලෝමය අපේක්ෂා කරන්නා වූ පිරිසකුත් නොව, බටහිර ශිෂ්ටාචාරයේත්, බුදුදහමින් පෝෂණය වූ දේශීය ශිෂ්ටාචාරයේත් ඡේදන ලක්ෂ්‍යයෙහි සමතුලිතව, නොවැටී සිට ගැනීමට ශක්‍යතාව ඇත්තාවු බුද්ධිමතුන් පිරිසකි.

මොවුන් ඉංගිරිසියෙහි සේම සිංහලයෙහිද එකසේ හසළ විය යුතුය. වොෂින්ටනය සේම අඟුනකොළපැලැස්සද පිටි අත්ළ සේ දත යුතුය. ලෝකයේ අනෙකුත් ශිෂ්ටාචාරයන්ගෙන් පෙරා ගන්නා ලද දැනුම (මෝඩ ලෙස ගෙඩි පිටින් නොව) අපට ගැළපෙන ආකාරයට අඹරා වැඩක් ගන්නා ආකාරය පසක් කොට තිබිය යුතුය. ඒ සඳහා ඔවුන් Newsweek, The Economist හා TIME සේම ‘රාවය’ද කියවිය යුතුය. තරුපහේ හෝටලයක අංගනයේදී Black and White බෝතලයකට සේම හද්දා පිටිසර ගමක කමතකදී රා කළයකටද ‘සෙට් වෙන හැටි’ එක සේ දත යුතුය.

අවාසනාවකට අපේ පොලිතීසියන් අතර මෙවැන්නෝ අති දුර්ලභය.

එක අන්තයක ඉන්නේ නූතනත්වය වහ කදුරු වූ, රට පැසුළු අනුරාධපුර යුගයටත් එහා ප්‍රාථමික වැඩවසම් යුගයකට ගෙන යන්නට දත කන අපේ මහ රජ්ජුරුවන් වහන්සේ, ජොලි සීයා (ව්‍යවහාර නාමය: රත්නසිරි වික්‍රමනායක), විමල් වීරවංශ, චම්පික රණවක, එල්ලාවල මේධානන්ද වැනි ‘ගම් මැට්ටන්’ පිරිසකි. චින්තනයෙන් ඌරුවරිගේ වන්නියාද මොවුන්ට වඩා නූතනත්වයට සමීපය.

අනෙක් අන්තයේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර බඳු, දශක ගණනාවක දේශපාලන අත්දැකීම් වලින් පසුව පවා දේශීය ආධ්‍යාත්මය හඳුනා ගැනීමේ අසමත් ඔරිජිනල් ‘යෑංකි-මැට්ටන්’ පිරිසකි. (මෙහි ‘යෑංකි’ යන යෙදුම භාවිතා කර ඇත්තේ උතුරු ඇමෙරිකානු යන අරුතින් නොව ඊට වඩා පුළුල් අර්ථයකිනි.)

ලන්ඩනයේ ශාන්ත මාටින් කලා විදුහලින් ලද රූපලාවන්‍ය උපාධියක් හා වසර කිහිපයක රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇතිව මංගල පින්සිරි සමරවීර දේශපාලනයට එක්වන්නේ එවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලවතකු වූ අනුර බණ්ඩාරනායක හරහාය. බණ්ඩාරනායක පසුව කී හැටියට මේ වෙනුවෙන් සමරවීරට ඒ වන විට පෝනි වලිගයක්සේ දිගට වවා තිබූ කේශ කලාපය බිලි දීමට සිදුවේ. එහෙත් අප මහ රජ්ජුරුවන් වහන්සේට වඩා අවංක භාවයක් පෙන්වමින් ඔහු ‘ජාතික ඇඳුමට’ මාරු නොවේ.

අද්‍යතන ලංකාවේ ජාතික මට්ටමේ පොලිතීසියකු වීමට අවශ්‍ය කිසිම මූලික සුදුසුකමක් නැතිව මංගල සමරවීර ඒ තත්ත්වයට ළඟා වන්නේ කෙසේද යන්න වැදගත් ප්‍රශ්නයකි. ඔහුට තිලංග සුමතිපාලට තරම් ධන සම්භාරයක් නැත; විමල් වීරවංශට සේ රැළියකට සෙනඟ අද්දවන්නට හැකි ආකාරයේ බෝක්කු කටක්ද නැත; චම්පික රණවකට සේ, කොයි තරම් අප්‍රායෝගික වුවද, අඩු තරමින් එක් ජන කොටසකට හෝ ස්වයං වින්දනයක් ලැබීමට මූලද්‍රව්‍ය සපයන ආකර්ෂණීය දේශපාලන ස්වප්නයක්ද නැත; මර්වින් සිල්වාට සේ චණ්ඩි පිරිසක්ද නැත; සජිත් ප්‍රේමදාසට සේ මැතිවරණයකදී විකුණා ගන්නට තරම් වටිනා පිය උරුමයක්ද නැත.

සමරවීරට ඇති එකම සරණ එක චරිතයකට පක්ෂපාතීවීමය. ඔහු විසින් තම පක්ෂපාතීත්වය (loyalty) චන්ද්‍රිකා බණ්ඩාරනායකට කොන්දේසි විරහිතව විකුණන්නේ මේ අනුවය. (මෙසේ කළ අනිකා එස්.බී.දිසානායකය. එහෙත් ඒ තාවකාලිකව සිරිමා බණ්ඩාරනායක කරළියෙන් ඉවත් කර ගන්නා තුරු පමණකි.) මේ පක්ෂපාතීත්වයට තුටු පඬුරු සේ සමරවීරද, දිසානායකද පක්ෂ ජ්‍යෙෂ්ටයන්ගේ අකැමැත්ත මත වුව චන්ද්‍රිකා රජයේ කැබිනට් ඇමති තනතුරු ලබති. එතැන් පටන් ඔවුන්ට ඉහළ නැඟීමට අවශ්‍ය වන්නේ ජනතා කැමැත්ත නොව තනි කාන්තාවකගේ කැමැත්තය. මේ වෙනුවෙන් සමරවීර කිසිම ලැජ්ජාවකින් තොරව ඇගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටී. එස්.බී. දිසානායක රජයෙන් පැණගිය පසු, ඔහුගේ ‘හඟුරන්කෙත මාළිගය’ ආඪ්‍යයෙන් දළදා මාළිගයට සම කරමින් තම පැරණි සගයා අපහාසයට පත් කරන්නේ සමරවීරය. තමාද සමරිසියකු (gay person) වෙමින්, එවැනිම සමරිසියකු වන රනිල් වික්‍රමසිංහගේ දේශපාලන දුබලතා ඔහුගේ ලිංගිකත්වයට ඈඳමින් ඉඟි කරන්නේ සමරවීරය.

සමහරවිට සමරවීර කල්පනා කරන්නට ඇත්තේ තමා චන්ද්‍රිකා බණ්ඩාරනායකට පෙන්වූ පක්ෂපාතීත්වය දකින ‘මහින්ද අයියා’ද තමන්ව එවැනිම සුවච කීකරු අතවැස්සකු සේ තබා ගැනීමට ඉඩ ඇති බවය. මේ පිරබාහරන් ලොක්කා මහ රජාණන් ගැන කළ තක්සේරුවටද වඩා අවතක්සේරුවකි. චන්ද්‍රිකාගේ ඇසින් දකින පක්ෂපාතීත්වය නොවේ මහින්දගේ ඇසට ගෝචර වන්නේ. වැඩවසම් පවුලක උපත ලැබුවත් ඊට ඉහළින් සෝබෝන් අධ්‍යාපනය තියාගත් චන්ද්‍රිකා ඇගේ අතවැස්සන්ගෙන් බලපොරොත්තු වූයේ ඕනෑම මෝඩ තීරණයකට ‘යේස් මැඩම්’ කීම විතරය. මහරජාණෝ තම ඇතවැස්සන්ගෙන් මීට වැඩිදෙයක් බලාපොරොත්තු වෙති. ඔවුන්ට මයන්ත දිසානායක, තිලංග සුමතිපාල, දුමින්ද සිල්වා සේ දණින් වැටී කෘතගුණ පළ කරන්නට පුළුවන් විය යුතුය. මහරජාණන්ගේ අසුචි බඳුනකට දමා දුන්නොත් “කොයිතරම් රහද, දේවයන් වහන්ස” කියමින් වළඳන්නටත් බැරිනොවිය යුතුය. මේ ගැන මහරජාණන්ට බැණ අඬගසා ඵලක් නොවේ. එතුමානන් පිළි පදින්නේද ලෝකයේ හැම වැඩවසම් පාලකයකුම අනුගමනය කළ රීති සමුදායයි.

ඩිලාන් පෙරේරලා මෙන් පෙරළුණු පිට හොඳයි නොකියා, වරප්‍රසාද වෙනුවෙන් වැඩවසම් පාලකයකුගේ ඉඳුල් අනුභවය අළුයම ලූ කෙළ පිඬක් සේ ප්‍රතික්ෂේපකොට සාමාන්‍ය මන්ත්‍රීවරයකු සේ එළියට බහින මංගල සමරවීර අපේ ගෞරවයට පාත්‍ර විය යුතු බවට සැක නැත. එහෙත් ඒ ගෞරවය පවතින්නේද, එය දේශපාලන බලයකට පරිවර්තනය වන්නේද ඊට වඩා හොඳ විකල්පයක් ඉදිරිපත් කිරීමට ඔහු සමත් වන්නේ නම් පමණකි. වැඩවසම් රාජ්‍යයක් පෙරළා දැමීම කෙතෙක් අත්‍යාවශ්‍ය වුවද කබලෙන් ලිපට පනින්නට තරම් අපේ චන්දදායකයින් මෝඩ නැති බව තාමත් මේ යෑකිං මැට්ටා තේරුම් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත.

සමරවීර පරිපාලනයෙහි අසමතෙකැයි ලේඛකයා නොකියයි. කොළඹ නගරයෙහි අවලස්සනම මුහුණතක් ප්‍රදර්ශනය කළ, කිසිදා පිරිසිදු කළ නොහැකැයි බොහෝදෙනකු උපකල්පනය කොට තිබූ පූතිපාදප බේරේ වැව සියොත් කැල නිති සරණ රමණීය ජල තඩාගයක් බවට පරිවර්තනය කළේ ඔහුය. සමරවීර දූෂිතයෙකැයිද ලේඛකයා නොකියයි. මෑණියන් ඉහළ මාලයට ගැනීමට අමාත්‍යාංශයේ වියදමින් විදුලි සෝපානයක් සවි කර ගැනීම වැනි අනෙකුන් කරන දෙවල් වලට සාපේක්ෂව නොගිණිය හැකි තරමේ සුළු හොරකම් ගැන මිස ලොකු හොරකම් ගැන ඔහුට තවමත් චෝදනාවක් එල්ල වී නැත.

එසේ වුව තමාද කොටස්කරුවකු වී සිටි රජයන් විසින් කරන ලද බරපතළ වැරදි වලින් සමරවීරට ගැළවීමක් නොවන්නේය. යුද්ධයේ පාපයෙන් ඔහුට අත සෝදා ගත නොහැක්කේ ඔහුද එහි මුල් හවුල්කරුවකු බැවිනි. මාධ්‍ය මර්ධනයට එරෙහි පුවරු ඔසවාගෙන යන සමරවීර අපේ සිනාවට ලක්වන්නේ ‘ත්‍රීශූලය’ සංස්කාරක රෝහණ ගමගේ තමාගේ මාධ්‍ය භාවිතාව නිසා මියයන්නේ ඔහුද බලගතු අමාත්‍යධුරයක් දෑරූ ආණ්ඩුවක් බලයේ සිටියදී බැවිනි.

තම මාමාට පිංසිද්ද වෙන්නට රනිල් වික්‍රමසිංහට නමට හෝ දේශපාලන දර්ශනයක් ඇත. සමරවීරට ඒකත් නැත. ඔහු විසින් ආමන්ත්‍රණය කරනු ලබන ජන කොට්ඨාශයක්ද නැත. (අඩු තරමින් රනිල් මනෝ ගනේෂන් හා රෞෆ් හකීම් හරහා සුළු ජාතික ඡන්ද අතළොස්සක් හෝ ලබා ගනී.) සමරවීර තමාද එකකු වන සමරිසියන් වෙනුවෙන් වත් පෙනී නොසිටී. මතු දිනයක තමන් කවුරුන් විසින් බලයට පත් කරනු ඇතැයි මොහු සිතා සිටින්නේද?

දේශපාලන වශයෙන් තමාට අනාගතයක් නැති බව තවමත් මංගල පින්සිරි සමරවීර අවබෝධ නොකර ගන්නේ මන්ද? දේශයේ හද ගැසෙන රිද්මය ඔහුගේ යෑංකි ස්ටෙතස්කෝපයට ගෝචර නොවන නිසාද? චන්ද්‍රිකා බණ්ඩාරනායක කළාක් සේම රනිල් වික්‍රමසිංහද තමා මතු මහලට තල්ලු කරනු ඇතැයි අන්ධ විශ්වාසයෙන්ද? නැතිනම් අර ජන කතාවලට අනුව වැඩවසම් සමාජයන්හි සිදුවන්නාක් සේ අනුප්‍රාප්තිකයෙක් නැතිව මහරජාණන් මළ පසුව, මුදාහරින මඟුලැතු තමා ඉදිරියට විත් දණ ගසන තුරු ඔහු බලා සිටිනවා වත්ද?

6 Responses to “මංගල සමරවීර නම් වූ යෑංකි මැට්ටා | Mangala Samaraweera – the Yankee Idiot”

  1. Munidasa said

    After read your artical I like to remind you following verse in Dhammapadaya.
    nachahu nacha bavissathi-nache’tharahi vijjathi
    ekanthan ninditho poso-e kanthan wa pasansitho

    There never was ,there never will be ,nor is there now ,a person who is wholly blamed or wholly praised.

  2. someone said

    yes the shirt collar does mak him look yankee i guess. Sorry did i miss something? The funny thing is i have friends who smoke but no friends who take guns in to national tv stations:)

  3. Nirmali said

    The writer or readers,

    Can somebody please tell me which font has to be installed to read this blog. I can read Lankadeepa, Lakbima, Lankaenews, Lankatruth well but Sinhala letters on this are not displaying properly for me. I have emailed to swimfanlk@gmail.com but have not got a reply.

    Please help. Thanks.

  4. Anonymous said

    @Nirmali
    http://siyabas.lk/sinhala_how_to_install.html

  5. Nirmali said

    Thank you very much!

  6. Why the hell he wear sarong when he went to CID, he is also yet another politician trying to fool innocent sri lankans, he tries to get the attraction of people who dislike Mahinda. But Mahinda did one thing that all other presidents from JR failed to do. Wickramabahu was some one who did PHD in I guess maths and then kade giye LTTE ekata. If he is your role model, I could guess you are yet another politician, who thinks you are the only right person

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>