සාමාන්‍යයෙන් නොකියන කතා | Taboo Subjects

ඔබද මාද කොටස් කරුවන් වන ලාංකික සමාජය අනුකම්පාවිරහිතව නිරුවත් කරන වියමනකි.

Archive for September, 2009

බූන්දි තිත්ත වීම | The Bitter Boondi

Posted by Taboo on September 30, 2009

ugunasekara

ළමායි, බූන්දි හෙම කාල අහුවෙනව නෙවෙයි!


කාට හෝ බූන්දි තිත්ත වී ඇත්තේය. ඒ මල් කුමාරයාටද, රාජකීය විද්‍යාලයේ විද්‍යාලාධිපති උපාලි ගුණසේකරටද අපි නොදනිමු. එහි අරුමයක් නැත. මෙතරම් ඉක්මනින් ප්‍රතිඵල දකින්නට අපේක්ෂා නොකළද අපි මෙවැන්නක් සිදුවන්නට ඉඩ ඇති බැව් නම් කල්තියා දුටිමු. ජාතික නාලිකාවන්හි මැදිරි විනාශකර දමනු ලබන, ජාතික පුවත්පත්වල කතුවරයන් අමු අමුවේ බල්ලන් බළලුන් සේ මහමඟ මරා දැමෙන, කිසිවකු අසා නැති, තව දුරටත් පළ නොවන, පළවූ කාලයේද ඉතා අඩු අළෙවියක් වූ ප්‍රාදේශීය පුවත්පතකට ලිපි දෙකක් ලිවීම රාජ්‍යාපරාධයක් සේ සලකා දරුණු රාජ්‍යාපරාධකරුවන්ට පමණක් සාමාන්‍යයෙන් උරුම බරපතළ වැඩ සහිත විසි වසක සිර දඬුවම් මාධ්‍යවේදීන්ට උරුම කොට දෙන දුර්දාන්ත රාජ්‍යතන්ත්‍රයක අනුග්‍රහයෙන් පවත්වනු ලබන ‘සම්මාන’ ප්‍රදානයන් ගැන කිසිවකුට අමුතුවෙන් කියා දෙන්නට අවශ්‍ය නොවේ.

එහෙත් අපේ රටේ සාහිත්‍යකරුවන් සේම බ්ලොග්කරුවෝද සිය කැමැත්තෙන්ම ලෙහෙසියෙන් රැවටෙති. එයද පුදුමයක් නොවේ. තමන් කරන කවර හෝ කටයුත්තක් තවකෙකු විසින් අගය කරනු ලැබීම දැකීමට මනුෂ්‍යයෝ ආසා කරති. රාජ්‍යතන්ත්‍රය විසින් කලාකරුවන් සාහිත්‍යකරුවන් ගොනාට අන්දනු ලබන්නේ මේ දුර්වලතාවය නිසාය. රාජ්‍යතන්ත්‍රය නිර්දය ලෙස විවේචනය කරන බ්ලොග්කරුවන් පවා ජංගිය ගලවා අතට ගෙන “අනේ දෙයියෝ, අපටත් සම්මාන පොජ්ජක් දෙන්න බැරිද?” යි ‘සම්මාන’ හිඟා ගිය සැටි අපි පිළිකුලෙන් නොව සංවේගයෙන් බලා සිටියෙමු. මින් ටිකක් ලජ්ජාවක් ඇති පිරිස දැන් ‘සම්මාන ලෝභයෙන්’ මිදී , තරගයෙන් ඉවත්වන්නට ඉල්ලා ඇති මුත් තවත් කොටසක් දිගටම ‘සම්මාන’ පෝළිමේ රැඳී සිටිනු ඇත්තේය. ‘බූන්දි’ වැනි බ්ලොග් අඩවියක් තරගයෙන් ඉවත්කිරීම ඔවුන්ගේ අමන්දානන්දයටද හේතුවනු ඇත්තේ තම බොල් බ්ලොග් අඩවි වලට ‘සම්මාන’ ලබා ගැනීම දැන් වඩා පහසු හෙයිනි.

තවදුරටත් ‘සම්මාන’ ගැන තණ්හා උපදවා දිගටම මේ කොමඩියේ කොටස්කරුවන් වීමට අපේක්ෂා කරන්නන්ගේද, සියල්ලගේද දැනුම සඳහා මෙසේ සටහන් කරමු.

මේ තරගය සඳහා මූල්‍යාධාර සපයනු ලබන්නේ රාජ්‍යතන්ත්‍රයේ ඍජු පාලනය යටතේ පවත්නා ආයතනයකිනි. එහි මූලික කාර්යභාරයක් ඉටු කරනු ලබන්නේ මහරජාණන් විසින්ම පසුපස දොරින් පත්වීමක් ලබාදුන්, ලජ්ජාවක් නැතිව ප්‍රසිද්ධියේ මහ රජාණන් වෙනුවෙන් කඩේ යෑමට සැදී පැහැදී සිටින පුද්ගලයෙකි. (සාධනය අවශ්‍ය නම් ඔහුගේ නමින් සතිපතා රාවයේ පළවන කොලමක් කියවන්න.) තරගය පවත්වනු ලබන්නේ රජයේ පාලනය යටතේ පවතින පාසලකිනි. එහිද, විනිශ්චය මණඩලයක් තිබුණද නැතද, අවසාන තීරණ ගැනීමේ නිෂේධ බලය ඇත්තේ විදුහල්පතිවරයාටය.

අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුව රෝයල් කොලීජියේ පින්සිබොල් විද්‍යාලාධිපතිවරයකු නොව අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකි. අධ්‍යාපනඥයකු නොව පරිපාලකයෙකි. දෙපාර්තමේන්තුව තුළ ඔහුගේ තලය සමහර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ තලයට වඩා වැටුපෙන්ද, බලයෙන්ද ඉහළය. (ලේඛකයා මේ කතාව අසන්නේ හිටපු රාජකීය විද්‍යාලාධිපති ලක්ෂ්මන් ගෝමසුවන්ගේම මුවිනි.) යටත් විජිත යුගයේ රාජකීය විද්‍යාලය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම රාජකීයයන්ගේ විද්‍යායතනය වූ සමයේ කරන ලද මේ වෙනස අපි තවදුරටත් පවත්වාගෙන යමු. කොටින්ම උපාලි ගුණසේකර රාජකීය විද්‍යාලයෙන් සමුගන්නා දා ඔහු යනු ඇත්තේ විද්‍යාලාධිපතිවරයකු ලෙස තවත් පාසලකට නොව අධ්‍යාපන අධ්‍යක්ෂකවරයකු සේ දෙපාර්තමේන්තුවටය. අප නිදහස් ‘සම්මාන’ ප්‍රදානයක් බලාපොරොත්තුවන්නේ මෙවැනි රාජපාක්ෂික නිලධරයකුගෙන්ද?

කවදා සිදුවේද කියන්නට බැරිමුත්, අපේ රටේ සැබෑ බ්ලොග්කරුවන්ට රාජ්‍යතන්ත්‍රය විසින් යම් දිනෙක ‘පුද කිරීමට’ නියමිත සම්මාන දෙකක් පමණකි. එකක් ලසන්ත වික්‍රමතුංගට දුන් ආකාරයේ සම්මානයකි; අනෙක ජයප්‍රකාශ් තිස්සනායගම්ට දුන් ආකාරයේ සම්මානයකි. සැබෑ බ්ලොග්කරුවන් වෙනත් සම්මාන බලාපොරොත්තු වීම මිරිඟුවකි. රාජ්‍යතන්ත්‍රය වෙතින් ලබන වෙනත් කවර හෝ ‘සම්මානයක්’ ඔවුන්ට සම්මානයක් නොව අවමානයකි.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 67 Comments »

කොත්ත නෝනාගේ පස්ස | Kotta Nona’s Buttocks

Posted by Taboo on September 28, 2009

nude-2-natalia-tejera

දේශපාලනයෙන් හෝ ආගමෙන් බැහැරව කතා කරන්නට taboo subject එකක් හිතට එන්නේ කලාතුරෙකින්. සාමාන්‍යයෙන් කතා නොකළ යුතු ගණයට ලා ඇති මිනිස් සිරුරෙහි සුන්දර කලාපයක් ගැන කතා කරන්නට හිතුනේ ඩෙස්මන්ඩ් මොරිස්ගේ The Naked Woman කියවන අතරතුරයි.

කාන්තාවන්ගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා සියළු අවයව පැල් බැඳගෙන වර්ණනා කළ අපේ සන්දේශ කාව්‍යක්කාරයින් පවා මේ සුන්දර කලාපය ගැන ලියු යමක් තවමත් ලේඛකයාගේ ඇස ගැටී නැහැ. ඒ නිසා වැඩි හරියක් නව යොවුන් වියේ පසුවන අපේ බ්ලොග් කියවන්නන් සේම කියවන්නියන්ගේද පහන් සංවේගය උදෙසා බ්ලොග් පෝස්ටයක් ඒ වෙනුවෙන් වැයකළ යුතුයි ලේඛකයා සිතනවා.

Buttocks ලෙස ඉංගිරිසියෙන් හඳුන්වන මේ ශෘංගාර කලාපය පිණිස නිසි සිංහල පදයක් දින කිහිපයක කල්පනාවෙනුත් ලේඛකයාගේ සිතට ආවේ නැහැ. මේ සඳහා දිවයිනේ බොහෝ පළාත්වල සේම උප සංස්කෘතීන් තුළද ‘පුක’ කියා භාවිතා වුවත් මේ ග්‍රාම්‍ය දළදඬු වචනය එහි සුන්දරත්වයට සාධාරණය ඉටු කරන්නේ නැහැ. මාර්ටින් වික්‍රමසිංහ පවා තම පොත් වල සුලබව භාවිතා කොට ඇති ‘පුක’ කුණුහරුපයකැයි සිතන්නන් උගුරට හොරා බෙහෙත් කමින් ‘පස්ස’ හෝ ‘පශ්චාත් භාගය’ කියනවා. මධුර සිංහල ශබ්ද කෝෂය ඊට රිඹ, වනුව හා සට්ටම යන වචන යෝජනා කරනවා. පොදු ව්‍යවහාරයට ‘තට්ටම’ සේ එක් වන්නේ මේ ‘සට්ටම’ විය හැකියි. මින් එක්තරා මට්ටමකට හෝ සුදුසු යැයි ලේඛකයාට සිතෙන්නේ ‘වනුව’ යන යෙදුම.

මේ අවුල ඉංගිරිසියෙහිද මෙලෙසම දකින්නට පුළුවන් බවයි මොරිස් කියන්නේ. එය හැඳින්වීමට ඉංගිරිසියෙහි හාවිතා කළ පද අතර 11වැනි සියවසේදී නිපන් arse, bum හා tail (14වන සියවස), butt හා rump (15වන සියවස), backside (16වන සියවස) , posterior හා seat (17වන සියවස), behind හා bottom (18වන සියවස), sit upon (19වන සියවස), buns, fanny හා keester (20වන සියවස ) ප්‍රධානයි. එක් එක් යුගයන්හි පිළිගත් සදාචාරාත්මක රටාවන් අනුව මේ වදන් වෙනස් වී ඇති බව පෙනෙනවා. විශේෂයෙන්ම වික්ටෝරියානු යුගයේ හා ඊට පෙර සියවස් දෙක තුළ භාවිතාවූ පද මීට උදාහරණ.

මොන වචන භාවිතා කළත් මේ කලාපය සම්බන්ධව සැඟවිය නොහැකි කරුණු කිහිපයක් තිබෙනවා. එකක් එහි ශෘංගාරාත්මක භාවය. පිරිමි ඇසෙකින් ගැහැණුන් දෙස බැලීමේදී නම් මෙහි කිසිම සැකයක් නෑ. ළිඳෙන් දිය ගෙන ලැසි ගමනින් යන නාරිලතාවන්ගේ ‘ගැස්සෙන පස්ස’ අපේ පැරැන්නන්ගේ ඇස් සොරාගත්තේ අද ඊයේ නෙවෙයි. පුදුමයකට මෙන් පිරිමි සිරුරක වඩාත්ම ශෘංගාරාත්මක අංගය කුමක්දැයි ඇසූ කල්හි ගැහැණුන් සාම්පලයක්ද වනුව තොරා ගත්තේ දෙවැනියට. ඊට වඩා ප්‍රමුඛතාවක් ගත්තේ ඇස් පමණයි.

වනුව සම්බන්ධව දෙවන වැදගත් කරුණ තමා එහි ඇති මානුෂික ස්වරූපය. අර්ධ ගෝලාකාරව කොමඩු ගෙඩියන් සේ අපූරුවට වර්ධනය වූ වනුවක් ඇති එකම සත්ත්වයායි, මානවයා. කිසිම ප්‍රෛමෛටාවකුටවත් මානවයාට සේ වටකුරු වනුවක් නැහැ. ක්‍රිස්තියානි රටවල යක්ෂයාටද වනුවක් නැතැයි යන විශ්වාසය ගොඩ නැඟෙන්නේ මේ අනුව විය හැකි බවයි මොරිස්ගේ අදහස. මේ නිසා සමහර ක්‍රිස්තියානි සමාජයන්හි ‘යක්ෂයා එළවීම’ සඳහා වනුව නිරාවරණය කර පෙන්නුවාලු. විශේෂයෙන් දැඩි කුණාටු හා වර්ෂාපතනයන් සහිත යක්ෂයාගේ රාත්‍රීන් ලෙස නම් කරන ලද රාත්‍රීන්හීදී නිවෙස් වල ගැහැණු ඉදිරි දොර විවර කොට එළිපත්තට පිටුපා තම ගවුම්, සාය උස්සා නිරාවරණ යටිකය එළියට පෙන්නීමේ සිරිතක් තිබූ බව කියැවෙනවා.

බඳ ලෙළවා යන ලැසි ගමන ගැනත් මොරිස් සඳහන් කරන කරුණු අපූරුයි. මේ රිද්මයානුකූල චලනය (ග්‍රාම්‍ය ව්‍යවහාරයට අනුව ‘පුක නැටවීම’) විරුද්ධ ලිංගිකයන්ගේ අවධානය තමන් වෙත යොමු කරගනු වස් මානවිකාවියන් දරණ ලිංගික උපායක්. මේ සුවිශේෂී චලනය සඳහා කාන්තා සිරුර පිරිමි සිරුරට සාපේක්ෂව තෙයාකාරයකින් හැඩ ගැසී තිබෙනවා. එකක් පිරිමින්ගේ ඇතිවාට වඩා විශාල ලෙස නිර්මාණය වී ඇති වනුව. කාන්තාවන්ගේ වනුව වඩා විශාල දිය කොමඩු දෙකක්ව ඇත්තේ අමතර මාංශපේශී නිසා නොව ඒ තුළ තැන්පත්ව ඇති මේදය නිසා. දෙවන පරිනාමනය පිරිමින්ගේ ඇතිවාට වඩා දුන්නක් සේ වක ගැසී ඇති කොඳු නාරටිය. තෙවැන්න කාන්තාවන්ට පමණක් ආවේණික ශ්‍රෝණියේ (pelvis) සුවිශේෂී චලිතය. මේ ස්වභාවික ලක්ෂණ තුනෙන් ඇතිකරන්නා වූ ලැසි ගමනෙහි ආකර්ෂණීයභාවය තවත් ඉස්මතු කිරීම සඳහා නූතන මානවිකාවන් විසින් අවිඥානකව යොදා ගන්නා ලද සාපේක්ෂව අළුත් උපාය මාර්ගය අඩි උස සපත්තු (high heels) පැළඳීමයි.

අපේ සමාජයේ ග්‍රාම්‍ය ව්‍යවහාරයේ බහුල ලෙස භාවිතාවන ‘පුක දෙනවා’, ‘පුක දීම’ වැනි යෙදුම්වල සෑබෑ අරුත සොයා යාමටත් මොරිස්ගේ සටහන් වලින් රුකුලක් ලැබෙනවා. මේවායේ යම් ලිංගික අරුතක් ඇති මුත් ඒ බොහෝ දෙනකු සිතන්නාක් සේ සරලව නොව සංකීර්ණ අර්ථයකින්.

මානවයා අද භාවිතා කරන සුලභම ලිංගික ඉරියව්ව වන මුහුණට මුහුණ ලෑම (face-to-face) පරිනාමිකව විකාශනය වීමට මත්තෙන් අනෙකුත් වානරයන් සේම හැම අවස්ථාවකදීම භාවිතා කලේ අද අප rear entry ලෙස හඳුනා ගනු ලබන ඉරියව්ව. මෙහිදී ලිංගික ඇසුරකට මානවිකාවියක මානවයකුට ඇරැයුම් කරන්නේ තම වනුව ඉහළට එසවීම හා ඔහු දෙසට දිගු කරමිනුයි. අනෙකුත් ප්‍රෛමෛටාවන්සේ ලිංගික උත්තේජනය උදෙසා වනුව රත් පැහැ ගැන්වීමේ හෝ ප්‍රමාණයෙන් විශාල කර ගැනීමේ හැකියාවක් මානවිකාවන්ට නැති නිසා මේ සංඥාවේ ලොකු වැදගත්කමක් තිබෙනවා. වානර-මානවයන්, වෙනත් දියුණු සන්න්නිවේදන ක්‍රම භාවිතයට මත්තෙන් මේ ඉරියව්වම තමන්ගේ පක්ෂපාතීභාවය, කීකරුකම (submissiveness, obedience) බලවතකුට දැක්වීම සඳහා මේ ඉරියව්වම යොදා ගත්තා විය හැකියි. වඳුරන් අතර තවමත් මේ සිරිත ඇති බවත්, මෙසේ වනු ඉරියව්වෙන් (rump position) පක්ෂපාතීත්වය දක්වන වඳුරකු බලවතකුගේ පහර කෑමෙන් වලකින බවත් කියැවෙනවා.

ඒත් ඇයි මෙතරම් සුන්දර, වැදගත් වනුව taboo subject එකක් වන්නේ? අප ඒ ගැන කතා කිරීමට මැළිවන්නේ? මොරිස්ගේ අදහස කසළ බැහැර කිරීමේ මාර්ගයක් අසල නොපිහිටියා නම් අප මේ ගැන මීට වඩා කතා කරන්නට ඉඩ තිබුණු බවයි. කොයිතරම් ලස්සන ගිරි ශිඛර දෙකක් වුනත්, දුගඳ හමන කසල මාර්ගයක් ඒ මැදින් ගලයි නම් ඒක සංචාරක ආකර්ෂණයක් වෙන්නේ නැහැනේ?

ඒ වුනත් සිංහල ගැමි සමාජයට නම් වනුව දරුණු taboo subject එකක් වූ බව පෙනෙන්නට නෑ. ‘කොත්ත නෝනාගේ පස්ස කොත්ත නෝනාට ඕනෑ විදියටලු’ යන පිරුළම ගැමියන්ට මේ විෂය අවිෂය නොවූ බවට හොඳ උදාහරණයක්.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 23 Comments »

ජවිපෙ තුන්වන කැරැල්ලේ ආරම්භයද මේ? | Is this the beginning of JVP’s third insurrection?

Posted by Taboo on September 25, 2009

apr1971

විජේවීර, 1970


ඉතිහාසය පුනරාවර්තනය වේ. පළමුව ශෝකාන්තයක් ලෙසිනි; ඉන්පසු ප්‍රහසනයක් ලෙසිනි.
– කාල් මාක්ස්

ජනතා විමුක්ති පෙරමුණ යනු ලංකා දේශපාලනයේ සුරූපී ගණිකාවයි. ඇය සමඟ යහන්ගතවන්නෝ බොහෝය; එහෙත් වැඩ වැරදුණු පසු වගකීම බාර ගන්නට කිසිවකු නැත.
– වාසුදේව නානායක්කාර (ජනාධිපති උපදේශක වීමට බොහෝ කාලයකට පෙර කියන ලද්දකි.)

‘පීඩකයා’ හා ‘පීඩිතයා’ යනු මාක්ස්වාදී සාහිත්‍යයේ නිතර භාවිතා වන යෙදුම් දෙකකි. තමන් මාක්ස්වාදීන්යැයි කියාගන්නා, එහෙත් මාක්ස්වාදයේ ඉතා සරල සිද්ධාන්තවත් අනුගමනය කරන බවක් නොපෙනෙන ජනතා විමුක්ති පෙරමුණ 2004 සිට මෑතක් වන තුරු සිටියේ මින් පළමු කඳවුරෙහිය. රාජපක්ෂ රෙජීමය වෙනත් ජන කොටස් මත ඇති කරන ලද පීඩනය ජවිපෙට ප්‍රශ්නයක් නොවූවා පමණක් නොව එයට ඔවුන් ඉත සිතින් සහය පළ කරන සෙයක්ද දකින්නට තිබුණේය.

කුඩා කිතුණු කණ්ඩායම් ඉලක්ක කොට ගත් ‘දේශප්‍රේමීන්’ විසින් දිවයින පුරා ඔවුන්ගේ ආගමික ස්ථාන දෙසියයකට අධික සංඛ්‍යාවක් බිඳ දමා දැඩි මර්දනයක් එල්ල කළ අවස්ථාවන්හීදී ජවිපෙ සිටියේ පීඩකයාගේ පැත්තේය. කොළඹ දෙමළුන් ඉලක්ක කොට ගත් සුදු වෑන් රථ ජවිපෙට නොපෙනුණා පමණක් නොව, ඒ මර්දනය ගෙන යෑම පිණිස අවශ්‍ය වාතාවරණයද හදිසි නීතියට කොන්දේසි විරහිතව සහය දීම මඟින් ගොඩ නඟා දුන්නේ ඔවුන් විසිනි. උතුරේදී හමුදාව පවා සිවිල් වැසියන් ගැන සිතා බර අවි වලින් පහරදීම නතර කළ කල්හි එතැනින්ද එපිටට ගොස් අමානුෂික ලෙස එසේ කළේ මන්දැයි ප්‍රශ්න කළේ ජවිපෙය. එනයින් ජවිපෙ පීඩකයාගේ පමණක් නොව පීඩකයාගේ අප්පොච්චිගේ භූමිකාවද රඟපෑවේය.

දැන් ජවිපෙට රිදී ඇත්තේ තමන් විසින්ම සහය පළකොට ගොඩ නඟන ලද ඒ මර්දනයට තමන්වම ඉලක්ක වී ඇති විටය. “අනේ අපේ රත්තරන් අයියා දැන් අපටම අරිනවෝ! බේරාගනියෝ” යි ඔවුන් මොර දීමට පටන් ගෙන ඇත්තේ එනිසාය. ඔවුන්ගේ සහයට කිසිවකු නොපැමිණෙන්නේ මන්ද යන්න මාටින් නිමලර් විසින් දෙවන ලෝක යුද්ධ සමයේ ලියා 1955 දී පළකරන ලද First they came for the communists පැදියෙන් පැහැදිළි කොට ඇත්තේය.

එක අතකට ජවිපෙ මේ දෙබිඩි භූමිකාවද බලාපොරොත්තු විය යුත්තකි. ජවිපෙ කතාකරන මාක්ස්වාදය හුදෙක් තුනී ආලේපනයක් පමණකි. කිසිම ගැඹුරු දේශපාලන දර්ශනයක් මත පදනම් නොවන ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාත්මක වන්නේ ජවිපෙ=ඉරිසියාව+වෛරය+හීන මානය යන සමීකරණය මතය.

ජවිපෙ සමන්විත වන්නේ ගම්වල එක්කෝ දුප්පත්කම නිසා නැතිනම් කුල පීඩනය නිසා සමාජයෙන් කොන්වන සිංහල, ගැමි, තරුණ පිරිමි කොටස් වලිනි. (වත්මන් ජවිපෙ 100% ක් සිංහල 100% ක් පිරිමි අති බහුතරය ගැමි, කරාව පක්ෂයකි. මෙවන් ධ්‍රැවීකරණයක් මහරජාණන් ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවා දක්නා නොලැබේ.) මොවුන්ට මාක්ස් විස්තර කළ ආකාරයේ පන්ති විඥානයක් නැත. ඇත්තේ ඉරිසියාවක්, වෛරයක් හා හීන මානයකි. මොවුන්ගේ දෙමාපියන් එක්කෝ ගමේ ධනපතියන්ට අඳේට කුඹුරු වැඩ කළා විය හැකිය. නැතිනම් වලව්වේ සුළු වැඩපළ කොට කීයක් හෝ බතට සරි කර ගත්තා විය හැකිය. මේ නිසා එක අතකින් ඔව්හු වලව්වලට ඉරිසියා කොට වෛර බඳිති. (රෝහණ විජේවීර සහෝදරයා තම දේශනයන්හි වඩාත්ම බහුල ලෙස භාවිතා කළ වචනයක් වූයේ ‘වලව්’ය.) අනෙක් අතට දැඩි හීන මානයෙන් මඬනා ලද්දේ ඒ වලව් වලින්ම බත් දංකුඩ ටිකක් ලැබුණු කල්හි එය මහා පරිත්‍යාගයක් සේ සලකා වලව් වලට පක්කිලි සර්විස් කිරීමට යති.

“අනේ මේ වළං ටික හෝද දාල, ඔය තියෙන හැටියට මොකක් හරි කාල පලයං බං” කියා මැදමුලන වලව්වෙන් හා ඉන්පෙර හොරගොල්ල වලව්වෙන් ආරාධනා ලැබුණු කල්හි ජවිපෙ ඒ ආරාධනා ඉතසිතින් බාර ගත්තේ බඩජාරිකමට නොව “ඕකුන්ටත් අපෙන් උදව් ඉල්ලන්ඩ වුනා එහෙනං” කියන ගර්වයෙන් විය යුතුය. පහේ ශිෂ්‍යත්වයෙන් අඩු ලකුණු ලබා ගත් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ ගේ පුත්‍රයා හොර පාරෙන් රාහුලයට ඇතුළත් කිරීම වැනි පුංචි මස් කටුවක් දෙකක් අසුරු ගසා සාදකොට ගත් බලු නට්ටෙකුට විසි කරන්නාක් සේ ඔවුන් වෙතද විසි නොවුනාම නොවේ. එහෙත් වලව්වේ හාමු හා එක මේසයේ බැරිනම් එතැන බංකුවේ වත් වාඩිවී සිටීම ඔවුන්ට ඊට වඩා මානසික අල්ලසක් විය. එහෙත් මේ හාදකමද නිහාල්සිංහගේ ‘වැලිකතරේ’ පුංචි හාමු (ගාමිණි ෆොන්සේකා) ගෝරිංට අරක්කු දී ගෝරිංගේ නැඟණිය හා යහන් ගත වීමේ ගනුදෙනුවට වඩා වැඩි දෙයක් වූයේ නොවේ. රාජපක්ෂ රෙජීමයට ජවිපෙ අවශ්‍ය වූයේ වංළ පිඟන් සෝදා ගැනීම සඳහාය. ටික කලෙකින් මේ කටයුත්ත එක්සත් ජාතික පක්ෂයෙන් පැන ආ පිරිස් හා කරුණාගෙන් ඊට වඩා හොඳින් ඉටුවන බැව් පෙනීගියේය. ජවිපෙ වලව්වේ පිළිකන්නෙන් විසි වූයේ ඒ අනුවය.

දේශපාලන වෛරය පිරි මසා ගැනීම සඳහා ජවිපෙ කටයුතු කිරීමේ වරදක් නැත. එහෙත් ඒ සඳහා ඔවුන් තෝරාගෙන ඇති ආයුධය වැරදිය.

වැඩ වර්ජනයක් යනු කෝකටත් තෛලයක් නොව වැඩ කරන ජනතාව ස්වකීය වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් අන් සියළු මාර්ග අත්හදා බලා සාර්ථක නොවූ කළ යොදා ගත යුතු බලසම්පන්න වජ්‍රායුධයකි. මේ අරුතින් ජවිපෙ ඉතිහාසයේ කිසිම දවසක වැඩ වර්ජනයක් යොදාගෙන නැත. වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් කෙරෙන වැඩ වර්ජනයන්හි නිශ්චිත, ප්‍රායෝගික, දිනා ගත හැකි ඉල්ලීම් වේ. දවසක අවම වැටුප සඳහා වර්ජනය කළ තේ දළු නෙළන්නියෝ එය දිනා ගත්තෝය. ජවිපෙ විසින් කරන්නට නියමිත වැඩ වර්ජනයට මෙවන් වෘත්තීය අරමුණු නැත. මතුපිටින් පෙන්වන වෘත්තීය අරමුණු දේශපාලන අරමුණු වසා ගැනීමට පමණක් භාවිතා කරන ඒවා වේ. ඇත්තටම මේ දේශපාලන අරමුණු පවා විවාදාපන්නය. මෙයින් වාසියක් ලදොත් ඒ පැත්තක ඉන්නා යූඑන්පිය පමණක් වනු ඇත. (1975-6 කාලයේ සමසමාජ පක්ෂය ගෙනගිය සමාන වර්ජන මාලවක වාසිය ලද්දේද ජේ. ආර්ගේ යූඑන්පියයි. සමසමාජයද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සේම 1977දී සේදී ගියේය.)

වැඩ වර්ජනයන් හා අදාළව භාවිතා කරන අරුතින් මේ වැඩ වර්ජනයට සහභාගි වන්නට නියමිත වන්නේද වැඩි කොටසක් වැඩ කරන ජනතාව නොවේ. මෙහිදී වැඩ කරන ජනතාව යනු ආර්ථික භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියට ඍජුව සම්බන්ධ වන්නන්ය. ධනවාදී ආර්ථික යෝධයාගේ හොම්බ බිම ඇණෙන තාලයේ ගේමක් දෙන්නට පිළිවන් එසේ වුවහොත්ය. ජවිපෙ සාමාජික බහුතරය වන විශ්ව විද්‍යාල සිසුන්, ගුරුවරුන්, රජයේ කාර්යාල සේවකයන් මාසයක් වැඩ වර්ජනය කළත්, පුද්ගලික බස් රථ වල රියැදුරන්ගේ දවසක වර්ජනයේ ගම්‍යතාව නැත. එන්. එම්. පෙරේරලා පණස්, හැට ගණන් වල පෙන්වූ හපන්කම් පෙන්නන්නටනම් ලාල්කාන්තලා මැරී ඉපැදී ආයුතුය. මෝඩ පාක්ෂිකයන් බුරුත්තකට රෝමෑන්තික ආස්වාදයක් හා කඳුළු ගෑස් පහරක් ලබාදීම මිස ජවිපෙ වැඩ වර්ජන ගෙන එන වෙනත් ප්‍රතිඵලයන් නොවේ.

අනිවාර්යයෙන්ම අසාර්ථක වීමට නියමිත මේ ‘මහා වැඩ වර්ජනය’ එක අතකින් පමණක් වැදගත් විය හැකිය. එය පාලනය කිරීමට රාජපක්ෂ රෙජීමය දරණ මර්දනයේ ප්‍රමාණය අනුව මේ ජවිපෙ තුන්වන කැරැල්ලේ ආරම්භය විය හැකිය. පූර්ව 1971 සේම පූර්ව 1988-9 යුග වලදීද අප දකින එක් මූලික කාරණාවක් වන්නේ ජවිපෙ හැම විටම මුලින් ප්‍රචණ්ඩකාරී නොවන ක්‍රම අත්හදා බලන බවයි. ඔවුන් ප්‍රචණ්ඩත්වයට තල්ලු වන්නේ එක්කෝ තමන්ට එය එසේ කර ගැනීමට නොහැකි බව ස්ව‍යංවබෝධය ලත් විටය; නැතිනම් ඉතා දරුණු මර්දනයක ප්‍රතිඵලයක් හැටියටය. මේ දෙකම මෙවර සිදුවිය නොවිය හැකිවා නොවේ.

කාල් මාක්ස් නිවැරදිය. ඉතිහාසය පුනරාවර්තනය වනු ඇත. මහරජතුමනි, පරණ ටයර් මතු ප්‍රයෝජනය තකා සංරක්ෂණය කිරීමට කාලයයි මේ.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 19 Comments »

හිනැහෙන බුදුන්ට හිනැහීම | Laughing at Laughing Buddha

Posted by Taboo on September 24, 2009

Laughing Buddha

බහුවෙ සරණං යන්ති – ආරාම රුක්ඛ චෙතියානි
පබ්බතානිච වනානිච – මනුස්සා බය තජ්ඣිතා

බියෙන් තැතිගත් බොහෝ මනුෂ්‍යයෝ, ආරාමද, වෘක්ෂද, චෛත්‍යද, පර්වතද, වනයන්ද සරණ යති.

මේ බියන් තැතිගත් මනුෂ්‍යයින්ගේ අළුත්ම සරණව ඇත්තේ බුදායි (Budai), හොතේයි, Laughing Buddha හා Fat Buddha ලෙස හඳුන්වනු ලබන හිනැහෙන බුදුන්ය. අගනුවර හතු පිපෙන්නාක්සේ බිහිව ඇති චීන ෆෙං ෂුයි වෙළඳසල්වලින් මිළට ගත හැකි හිනැහෙන බුදුරුවක් නිවසකට සෞභාග්‍යය ගෙනෙන්නේයි විශ්වාසයක් වේ.

එක අතකට මේ අළුත් ප්‍රවණතාවක් නොවේ. බුදු සරණට අමතරව තවත් සරණක් සොයා යන්නට බෞද්ධයන් පෙළඹුනේ සියවස් ගණනකට එපිටදීය. ඉහළ තලයක ඉන්නා තථාගතයන් වහන්සේද ඊට ඉතා පහළ තලයක ඉන්නා අනුගාමිකයන්ද අතර වූ රික්ත තීරුව මුලින්ම පිරවූයේ විෂ්ණු, මුරුගන්, ගනේෂ ඈ හින්දු දෙවිවරුන්ය. තව විටෙක එය නාථ, සුමන සමන් ඈ ‘බොදුනු දෙවි’ වන්දනාවක් විය. සිංහල බෞද්ධ මධ්‍යම පාංතිකයන්ගේ නිවෙස්වලට සායි භාභා අවතාරය රිංගා ගන්නේ ඉන්පසුය. කෙටිකලෙකට එය විශ්වශක්තිය මුදා හරිනවාය කියන ප්‍රෝඩා කාරයකුද ඩැහැ ගත්තේය. දැන් එක්තරා මට්ටමකට මින් පිරිසක් හිනැහෙන බුදුන් විසින් අවනත කොට ගෙන ඇත්තේය. මේ ෆැෂන් එක තව ටික කාලයක් පවතීය සිතිය හැකිය. ඉන්පසු මිනිස්සු අළුත් ගැලවුම්කාරයකු සොයා යති.

මේ ප්‍රවණතාවයන් සාම්ප්‍රදායික ථෙරවාද බුදු දහමේ නිත්‍ය නියෝජිතයන්ට ගැටළුවක්ද තරගයක්ද වේ. මේ නිසා ඒ සම්බන්ධව ඔවුන්ගේ මුල් ප්‍රතික්‍රියාවම ‘දෙඤ්ඤං බැටේ’ ප්‍රතිපත්තියයි. දැනටම ඉරිදා පුවත්පත් හරහා මේ හෙළාදැකීම, හිනැහීම සිදුවේ. මේ අවබෝධයකින් යුතුව කෙරෙන්නක් නොවේ. සමාජයක් හැටියට අපේ මනසට කවා ඇත්තේ බැහැරින් එන ඕනෑමදෙයකට හිනැහීමය; හෙළා දැකීමය. අවිඥානකව ඔවුන් දක්වන්නේ මේ අන්ධ ප්‍රතිචාරයයි.

අනුන් සම්බන්ධයෙන් කෙසේවෙතත් හිනැහෙන බුදුන් සම්බන්ධයෙන් නම් මේ එක්තරා අන්දමක වැරදි ප්‍රතිචාරයක්ද වේ. මන්ද මේ දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ බෞද්ධයින්ගේ වන්දනාමානයට පත්වූ චරිතයක් වන්නට බැරිකමක් නැති හෙයිනි. සමහර මහායානික නිකායන්ට අනුව හිනැහෙන බුදුන් යනු මෛත්‍රී (මෙත්තෙයිය) බෝධිසත්තයන්ය. (http://en.wikipedia.org/wiki/Maitreya) බෝධිසත්ත වන්දනාව කෙසේ වුවද මෛත්‍රී බෝධිසත්ත වන්දනාව ලාංකේය ථෙරවාද බෞද්ධයින්ට ආගන්තුක නොවේ. එය බොහෝකාලයක් පැවතියාද විය හැකිය. රුවන්වැලි සෑ මළුවේ භාතිකාභය නිරිඳුන්ගේයයි වරදවා හඳුනාගෙන ඇත්තේද මෛත්‍රී බෝධිසත්ත පිළිරුවක් වන්නට ඉඩ තිබේ. මේ හැරුණු විට කුරුණෑගල රිදී විහාරය ඇතුළු තවත් ස්ථාන ගණනාවක මෛත්‍රී බෝධිසත්ත පිළිරූ දක්නා ලැබේ. එකම වෙනස ලාංකේය ප්‍රතිමා ශිල්පියා චීන හෝ ජපන් ප්‍රතිමා ශිල්පීන්ට ඉඳුරා වෙනස් ආකාරයකට මෛත්‍රී බෝධිසත්තයින් නිරූපනය කිරීමය. මෙයද අමුතු දෙයක් නොවේ. එය ඕනෑම බෝධ්සත්තයකු සම්බන්ධව සත්‍ය වේ. අවලෝකිතේශ්වර බෝධිසත්තයින් රටවල් සතක නිරූපනය වන්නේ සත් විදියකටය.

අනෙක් අතට අද ‘බොදුනු දෙවිවරුන්’ වී ඇත්තේද මහායානික බෝධිසත්තයින් බව අපට පිළිගන්නට සිදුවේ. ලාංකේය බෞද්ධයින් පසුගිය සියවස් දෙක තුනක හෝ සමහරවිට ඊටත් වඩා කාලයක් තිස්සේ නාථ හෝ උපුල්වන් දෙවිඳුන් සේ හඳුනාගෙන ඇත්තේ මහායානයෙහි ප්‍රමුඛ බෝධිසත්තයින් දෙදෙනාගෙන් කෙනකු වන අවලෝකිතේශ්වරය. සුමන සමන් දෙවියන් වී ඇත්තේ මහායානයෙහි එන සමන්ත භද්‍ර බෝසතුන්ය.මේ වන්දනාවන්ට එරෙහි නොවන ථෙරවාදී කඳවුර Laughing Buddha වේශයෙන් එන මෛත්‍රී බෝධිසත්ත වන්දනාවට එරෙහි වීම තර්ක විරහිතය. මේ තව වසර දෙදහස් පන්සියයකින් බුද්ධත්වයට පත්වන බෝධිසත්තයින් බව මහායානිකයන් පමණක් නොව ථෙරවාදීහුද පිළිගනිති.

අන් කිසිදු ථෙරවාදී හෝ මහායානික බෞද්ධ රටක වර්තමානයේ දක්නා නොලැබෙන ආකාරයේ දළඳඩු, තලෙබාන් ලක්ෂණ සහිත සමාජයක් සහිත අපේ රටේ බොදු උවසු උවැසියන් කියා ගන්නන් තවම මෛත්‍රිය බෝධිසත්තයින්ට හිනැහීම පටන් ගත්තා විතරය. මෙය මෙතනින් එපිටට ගමන් කළ හැකිය. එය බෞද්ධ දර්ශනයේ වරදක් නොව අපම අර්ථ දක්වාගෙන ඇති ‘සිංහල බුද්ධාගමේ’ ලුහුඬකි. මේ කියන ‘සිංහල බුද්ධාගම’ (ගෞතම බුදුන් වදාළ, අන් මත උපේක්ෂාවෙන් ඉවසන අහිංසා දර්ශනය නොව) කිතුණු, ඉස්ලාම් ආදී වෙනත් සමයයන්ට මතු නොව තම සමයෙහිම වෙනත් නිකාය ධර්මයන්ට එරෙහිවීම අනු දකී. එසේ කිරීම මෙරට බුද්ධ ශාසනය ‘හොඳින් බැරිනම් නරකින්’ ආරක්ෂා කර ගැනීමේ අනිවාර්ය අවශ්‍යතාවයක් සේද දකී. මේ බුද්ධ ශාසනය දියුණු වීමේ ලක්ෂණ ලෙස වරදවා තේරුම් ගත යුතු නොවේ. පරාභව සූත්‍රයේ වෙසෙසින් දක්වා නැතද, මේ පිරිහීමේ ලකුණුය.

අපේ පෙර පෝස්ටයක සෘහදයකු තැබූ මේ සටහන අතිශයෝචිත නිමාවකැයි සිතමි: ඔබේ බුදුන් ඔබ ගන්න, අපේ බුදුන් අපට දෙන්න.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 14 Comments »

වෙද හෙද අතවර | Abuse by Medics

Posted by Taboo on September 22, 2009

SJMC_Hospital_Secret,_Renowned_Hospital_in_Malaysia_www_GutterUncensored_com_pic29211

ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරයකු ගැබිනි කාන්තාවකට ලිංගික අතවර කර ඇති බවට රෝහල් පරීක්ෂණයෙන් හෙළිව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අජිත් මෙන්ඩිස්ගේ ප්‍රකාශය ලංකාදීපය වාර්තා කරන්නේ සැප්තැම්බර් 21දාය. මේ සිද්ධිය පාදක කොට දේශපාලනය පොඩියක් අමතක කොට සාමාන්‍යයෙන් තියා කොහොමටවත් කතා නොකරන ආකාරයේ Taboo Subject එකක් ගැන කතා කරන්නට අවස්ථාවක් පාදා ගන්නට ලේඛකයා අදහස් කරයි.

වෛද්‍යවරයකු වෘත්තිකයකු හැටියට සමාජයේ සුවිශේෂී පුද්ගලයෙකි. මේ නිසා සමාජයේ අන් සියළුදෙනාට වඩා සමාජ තහංචි ඉක්මවා යාමේ හැකියාව වෛද්‍යවරයකුට හිමිවේ. මීට ගෞරවය (respect) හා විශ්වාසයද (trust) හේතුවිය හැකිවුව සමාජ තහංචි බිඳීමට වෛද්‍යවරයකු ලබන ලැයිසමය එනිසාම ලබන්නක් නොවේ. “උපාසක අම්මේ හැට්ටෙ ගලවන්න”යි පන්සලේ හාමුදුරුවන් අණ කළොත් ගෞරවය පසෙක තියා උපාසක අම්මා හාමුදුරුවන්ට කණ හරහා පාරක් දෙනු ඇත. එහෙත් මේ විධානයම වෛද්‍යවරයකුගෙන් ලබද්දී ඕනෑම සාම්ප්‍රදායික ගැහැණියක ඊට එකහෙළා අවනත වේ. ඒ වෛද්‍යවරයකුට ප්‍රශ්නයක් නැතිව හැසිරිය හැකි වෘත්තීය වපසරියයි. ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ හැසිරීමට වඩා වෛද්‍යවරයකුගේ හැසිරීම අන්වික්ෂීය නිරීක්ෂණයකට බඳුන් විය යුත්තේ එනිසාය.

හේතු කිහිපයක් නිසා ලාංකේය රෝගීහු වෛද්‍යවරුන්ගේ ලිංගික අතවර වලට ලක්වීමේ වැඩි අවදානමක් ගනිති.

වෙනත් රටවල බොහෝවිට රෙගියාගේ සම්බන්ධතාව ගොඩ නැඟෙන්නේ රෝහල සමඟය. වෛද්‍යවරයා අතුරු චරිතයකි. එහෙත් ව්‍යාප්ත වූ වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් කියා දෙයක් නැති, රෝහල සමඟ මූල්‍යමය ගනුදෙනුවක් නැති ලංකාවේ රෝගියාගේ සම්බන්ධතාවය ඍජුව වෛද්‍යවරයා සමඟ වේ. එසේම අපේ රටේ රෝහල තුළ වෛද්‍යවරයාට නිතැතින්ම අධිකාරී බලයක් හිමිවේ. (වෙන රටවල හෙදියකට වෛද්‍යවරයකු ‘ඩොක්ටර්’ ය. අපේ රටේ ‘සර්’ය.) වෘත්තිය නිසා හිමිවන මේ අධිකාරී බලය වෛද්‍යවරුන් අත පමණක් නොව නීතිඥයන්, ඉංජිනේරුවන්, හමුදා හා පොලිස් භටයන් අතද මතු නොව ගුරුවරුන් අතද ‍ප්‍රස්තිතියුතනය වී සමාජය පීඩාවට ලක් වන අවස්ථා ඕනෑ තරම් දැකගත හැකිය.

රෝගීන් මුහුණ දෙන අවදානම වැඩිකරන දෙවන හේතුව පූර්ව-වෛවාහික ලිංගික හැසිරීම් අනුමත නොකරන අපේ සමාජ ක්‍රමය තුළ බොහෝ තරුණ වෛද්‍යවරුන් ප්‍රාථමික ලිංගික අත්දැකීම් වලට ඔබ්බෙන් කිසිවක් අත්විඳ නොතිබීමය. (මේ ගැන කවුරුන් හෝ සමීක්ෂණයක් කර ඇත්දැයි නොදනිමි. එහෙත් විවාහවනතුරුම බඹසර රැකි වෛද්‍යවරුන් දෙදෙනකු ගැනවත් ලේඛකයා දනී. හැදියාව නිසාම නොව අවස්ථාවක් නොලැබීමද නිසාය.) ආර්ථික හේතූන් මත විවාහය කල් දමන විශාල පිරිසට ශක්තිමත් පවුල් අඩිතාලමක් නැති වෛද්‍යවරුන්ද අයත් වන්නේය. රති සුව ඉල්ලා හඬ නඟන යව්වන සිරුරු අවසර ලද රහස් තැන හොර්මෝනයට වෘත්තීය සදාචාරය නතු කරන්නෝය.

මින් අදහස් කෙරෙන්නේ හැම කාන්තා රෝගියකුම මේ අප්‍රසන්න අත්දැකීම් වලට ගොදුරුවන බැව් නොවේ. ඒ අත්විඳින්නේ රෝගීන්ගෙන් ඉතා කුඩා ප්‍රතිශතයක් විය හැකිය. එසේම පීඩකයා අනිවාර්යයෙන්ම වෛද්‍යවරයකුද වියයුතු නොවේ. සෞඛ්‍ය සේවයේ ඉහළ සිට පහළට අවස්ථාවක් ලද තැන ආචාරියෝ යකඩය තලති.

රජයේ රෝහලකදී අන්ත අසරණ තත්ත්වයට පත් වන්නේ ස්වනාශක ප්‍රයත්න කරුවෝය/කාරියෝය. (Suicide attempters යනු බොහෝ විට සෑබෑලෙස දිවි නසා ගැනීමේ අවශ්‍යතාවයක් නැති අවධානය සඳහා ස්වනාශක ප්‍රයත්නයක නිරතවන්නෝය.) හේතුව කුමක් වුවද මෙවන් රෝගියකුට කිසිවකුගෙන් අනුකම්පාවක් නැත. තමන්ට සිදුවන අසාධාරණයක් පෙරළා වාර්තා කිරීමට මානසික තත්ත්වයක් හෝ ධෛර්‍යයක් ඔවුන්ට නොවේ. මේ තල ගණනක වෛද්‍ය සේවකයින්ට සිය සිතැඟි සපුරා ගැන්මට අවස්ථාවකි. වස පානය කළ ස්වනාශක ප්‍රයත්න කරුවකු/කාරියක නාවා පිරිසුදුකොට රෝහලට ඇතුළු කර ගැනීමේදී පුද්ගලිකත්වය උදෙසා කෙරෙන සාමාන්‍ය වත් පිළිවෙත්වත් නොකෙරෙන අවස්ථා ඇත්තේය. ඒ කාරියට වෛද්‍යවරයකු සහභාගිවීම අත්‍යාවශ්‍ය නුවූවත් එය මඟ නොහරින වෛද්‍යවරුද වෙති. අවස්ථාව අනුව ඊට අමතරව බොහෝ ක්‍රියාවන් සඳහා පරිසරය සැකසේ. මේ අයිස් කන්දේ අප දකින කොටස පමණකි.

ලිංගික අතවර සඳහා ඉතා ලෙහෙසියෙන් ඉඩ ලැබෙන දෙවන අවස්ථාව රෝගියකු මියගිය කල්හිය. මෘතශරීරයකට ලිංගිකව ආකර්ශනය වීමේ විශේෂ තත්ත්වය හඳුන්වන්නේ Necrophilia හෝ thanatophilia ලෙසිනි (http://en.wikipedia.org/wiki/Necrophilia) එහත් ලේඛකයා අසා ඇති අන්දමට බොහෝ මෝචරි සේවකයන් උනුසුම නොගිය මළසිරුරු සමඟ රමණයෙහි යෙදෙන්නේ මේ නිසාම නොව ලිංගිකාශා කතරක එයද දිය පොදක් සේ දකින නිසාය. බොහෝ රටවල මෙය දඬුවම් ලැබිය යුතු වරදකි. කෙනකු මියගිය පමණින් ඔහුගේ හෝ ඇයගේ අයිතීන්ද මිය යායුතු නොවේ. මිනිසුන්ගේද අයිතීන් ගැන කතා කරන්නට සිදුවන රටවල නම් මෘත ශරීරයන්හි අයිතීන් ගැන කතා කිරීම විහිළුවකි.

උදාහරණ සහිතව මේ සියල්ල ලියන්නට තිබිණි නම් යහපත්ය. එහෙත් ආගමික ස්ථානයන්හි සිදුවන ලිංගික අතවර සේම මේවාද වැඩි කොටසක් සමාජයට හෙළි නොවී සදහටම සැඟව යයි. එසේම මේ සම්බන්ධ සත්‍ය තොරතුරු කිසිදිනෙක සමීක්ෂණයකින් හෙළිවෙතැයි සිතිය නොහැකිය. තොරතුරු වසං වීමට තවත් හේතුවක් වන්නේ කිසිවිටෙක එක් වෛද්‍යවරයකු තවත් වෛද්‍යවරයකුට එරෙහිව උසාවියක සාක්ෂ්‍ය දීමට දක්වන මැළිකමයි. (මෙය වෛද්‍ය වෘත්තියේ පමණක් නොව අන් වෘත්තීන්වලද දක්නා ලැබෙන්නකි.)

වෙනත් බොහොමයක් අවස්ථා සේම මේ තත්ත්වයටද හේතුව රජයේ ආයතන වල වෘත්තිකයන්/නිලධරයන් ලබන කිසිවකුට ප්‍රශ්න නොනැඟිය හැකි අධිකාරී බලයයි. (මෙය රෝහලක පමණක් නොව විශ්ව විද්‍යාල වල පවා දැකිය හැකිය. නවක ශිෂ්‍යයන්ට එරෙහිව ජ්‍යෙෂ්ට ශිෂ්‍යයන් විසින් භාවිතා කරනු ලබන්නේ එයයි. එහෙත් රෝහලකදී එය නීතියෙන්ද තහවුරු කරනු කොට ඊට ඉහළ තලයකට ඔසවනු ලබයි.) පොලීසියේ වේවා රෝහලේ වේවා එය නතර කළ හැක්කේ ඒ අධිකාරී බලය තුලනය කරන checks and balances ක්‍රමයක් මඟිනි. පුද්ගලික ව්‍යවසාය තුළ වෙළඳපළ විසින් එවැන්නකට බල කරනු ලබයි. එහෙත් රාජ්‍ය ඒකාධිකාරියක් පවත්නා සෞඛ්‍ය සේවාවක (කොළඹ හා තදාසන්න පළාත්වල පෞද්ගලික රෝහල් කිහිපයක් හැරුණු විට ) එවැන්නක් ඉබේ ඇතිවීමේ ඉඩක් නොවේ.

අවශ්‍යනම් වෛද්‍යවරුන් නොවන ව්‍යවසායකයන් රොහල් පාලනයට පත්කිරීම තුළින් මේ ගැටළුව එක්තරා මට්ටමකට විසඳාගත හැකිය. පරිපාලනමය පුහුණුවක් ලබා නැති වෛද්‍යවරුන් පරිපාලනයේ යෙදවීම කිසිසේත් අවශ්‍ය නොවේ. පරිපාලනමය හැකියාව ඇති වෘත්තිකයන් (දේශපාලකයන් නොව) රෝහල් කළමනාකරණ කටයුතුවල යෙදවීම තුළින් වෛද්‍යවරයකු ලබන අනවශ්‍ය අධිකාරී බලය බිඳිය හැකිය. නමුත් එය නොකළ හැක්කේ රෝහල් තම පුද්ගලික වපසරිය සේ සිතන අධිකාරී බලයක් වෛද්‍යවරුන් විසින් රජයේ රෝහල්වල ස්ථාපිත කොට ගෙන ඇති හෙයිනි. පොලිසියේ සේම මේ අධිකාරී බලය රෝහල් තුළද පවත්නා තුරු සදාකාලික පීඩිතයකු බවට පත්වීම හැර අන් විකල්පයක් රෝගියාට නොවේ.

(තොරතුරු සැපයීම වෙනුවෙන් සෞඛ්‍ය සේවාවේ විවිධ තලයන්හි මිතුරනට තුති. මේ විස්තර සැපයීමේදී ඒවා විවෘත බ්ලොග් සටහනක පළ වන බැව් ඔවුන් නොදැනසිටි හෙයින් වැඩි විස්තර ඕනෑකමින්ම අවුරා ඇත.)

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , | 33 Comments »

වකුගඩු, පොහොර සහ ගොවියා | Kidneys, Fertilizer and the Farmer

Posted by Taboo on September 20, 2009

kidney

කොළඹ කේන්ද්‍රාපසාරී මනසකට ආගන්තුක විය හැකිමුත්, අද්‍යතන ලංකාවේ දරුණුතම සෞඛ්‍ය ප්‍රශ්නයක් වන්නේ ‘රජරට’ වකුගඩු රෝගයයි. මෙය ‘රජරට’ ලෙස නම් ලබන්නේ එහි ව්‍යාප්තිය වැඩිම වන්නේ උතුරුමැද පළාතේ නිසාය. (කෙසේවෙතත් දැන් එය යාබද ඌව හා නැඟෙනහිර පළාත් වලද ශීඝ්‍රලෙස පැතිර යාමේ අවදානමක් පවතී.)

2002දී මුල් වරට නිරීක්ෂණය කරන ලද මේ රෝගයට හේතුව ඉන්පසු වසර ගණනාවක් යනතුරුම රහසක් විය. තමන් වෛද්‍යවරයකු යැයි කියාගන්නා චන්න සුදත් ජයසුමන මේ කොටින්ගේ ජීව-ත්‍රස්තවාදී ක්‍රියාවකැයි ඊට ‘සිංහල-බෞද්ධ’ අර්ථ කථනයක් සපයමින් ‘අපේ ප්‍රවාදයක්’ ගොඩ නඟන්නේ මේ පරිසරය තුළය. (‘අපේ ප්‍රවාද’ ගොඩ නඟන නලින් ද සිල්වා සිරිමතුන්ගේ වර්ගවාදී බාල ගෝලයින්ගේ ක්‍රමවේදයන්හි බංකොළොත් භාවය වෙනම සාකච්ඡා කළ යුත්තකි. ඉතා සරල නිරීක්ෂණ මත ගොඩ නැඟෙන මේ හිතළු වලට අඩු තරමින් දූෂ්‍ය වාතය මඟින් මැලේරියාව හටගන්නේ යැයි සිතූ පැරැන්නන්ගේ මිත්‍යාවන්හි දක්නා ලැබෙන අල්ප විද්‍යාත්මක ස්වරූපය වත් දක්නා නොලැබේ.)

මේ වනවිට දහසකට අධික සංඛ්‍යාවකට මරු කැඳවා ඇති වකුගඩු රෝගයේ සැබෑ මුල් ඊයේ පෙරඹර සටහනකින් හෙළිකෙරේ.

[උපුටනය] මේ සම්බන්ධව විවිධ මත අදහස් ප‍්‍රකාශ වුවද වකුගඩු රෝගය වැළදීම කෙරෙහි ගොවිතැන් කටයුතු සදහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය මූලික වන බව මේ වනවිට තහවුරු වී ඇතැයි මහාචාර්ය සරත් බණ්ඩාර පවසයි.

‘‘වියළි කලාපයේ ගොවීන් වැඩි වශයෙන් සිය ගොවිතැන් කටයුතු සදහා යොදා ගන්නෙ පොස්පේට් අඩංගු ටී එස් පී පොහොර. මේ පොහොර ඉතා අඩු මිලට විදේශ රටවලින් මෙරටට ගෙන්වන්නෙ. මේ පොහොර නියමිත ප‍්‍රමිතියකට නිපදවූ ඒවා නොවෙයි. එ නිසා එවායේ බැර ලෝහ ඉතා විශාල ප‍්‍රමාණයක් අඩංගු වෙනවා. බොහොමයක් බැර ලෝහ මිනිස් සිරුරට අහිතකරයි. ටී එස් පී පොහොර වල කැඩ්මියම් ඉතා විශාල ප‍්‍රමාණයක් අඩංගු වෙනවා’’ යැයි මහාචාර්ය බණ්ඩාර පැවසුවේය .

ටී එස් පී පොහොර භාවිතය හේතුවෙන් වගා බිම් වලට විශාල වශයෙන් කැඩ්මියම් රසායනය එකතු වේ. එහි අවසාන ප‍්‍රතිඵලය වනුයේ එම වගා බිම් වල කැඩ්මියම් අඩංගු ජලය වාරි මාර්ග හරහා වැව් වලට එකතු වීමයි. වියළි කලාපයේ වර්ෂාපතනය අඩු බැවින් නැවත නැවතත් වාරි ජලය ගොවිතැන් කටයුතු යෙදීමට සිදුවේ. විශේෂයෙන් අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ එකිනෙකට සම්බන්ධ වන කුඩා වැව් විශාල ප‍්‍රමාණයක් පිහිටා ඇති බැවින් මේ වැව් වල කැඩ්මියම් සංයුතිය ඉහළ අගයක් ගෙන තිබේ. [නුපුටනය]

කොළඹ සීත කාමරයන්හි සිට ගම ගැන තීරණ ගන්නා ප්‍රතිපත්ති සම්පාදකයින්ට නම් දැන් ප්‍රශ්නයට ඉතා සරල විසඳුමක් ලැබී ඇත්තේය. හේතුව මිළ අඩු රසායනික පොහොර නම් විසඳුම එය යෙදීම නතර කිරීමය. මේ කෙතෙක් ප්‍රායෝගික විසඳුමක්ද?

මේ උභතකෝටිකය වටහා ගැනීමට නම් රජරට ගොවීන්ගේ ජීවන රටාව අවබෝධකර ගැනීම අත්‍යාවශ්‍ය වේ.

අකිර කුරසෝවාගේ Seven Samurai සිතුවම්පටයට පාදක වන වැඩවසම් ජපන් ගොවීන් හෝ මෙභූබ් ඛාන්ගේ Mother India සිතුවම්පටයට පාදක වන භාරත ගොවීන් තරමටම නොවෙතුදු අපට බත සපයනවායැයි කියන රජරට ගොවියාද ගෙවන්නේ අන්ත අසරණ ජීවිතයකි. ඔවුන් කිසිවෙකුට ස්ථිර මාසික ආදායම් නොවේ. ආදායම සේම එය අතට ලැබීමේ සංඛ්‍යාතයද අක්‍රමානුකූලය. මූල්‍ය කළමණාකරණය භායනක සිහිනයකි. අඩුතරමින් ආදායමින් අඩක් ණය පොළී සඳහා වෙන් වෙයි. රක්ෂණයක් කියා දෙයක් නැත. නියඟය නොසිතූ මොහොතක බැට දෙයි. (ආචාර්ය එම්.ඒ.යූ. තෙන්නකෝන්ගේ ‘නියඟය හා ගොවියා’ බලන්න.)

වී ගොවීන්ට නම් අතට මුදල් ලැබෙන්නේ කන්නයක අස්වනු නෙළන සමයටය. මේ ඔවුන් නිවසට කැසට් රෙකෝඩර්, ඇඹෙනියන්ට රත්තරන් බඩු, දරුවන්ට බයිසිකල් යනාදී මෙකී නොකී වෛවාරන්න ආම්පන්න මිළදී ගන්නා කාලයයි. ඉන්පසු එළඹෙන මාස කිහිපය තුළ ආර්ථික තත්වය ක්‍රමයෙන් අයහපත් අතට හැරෙද්දී මෙසේ මිළදී ගත් සියල්ල එක්කෝ කුණු කොල්ලයට විකිණීමට හෝ උකස් කිරීමට ඔවුන්ට සිදුවේ. ඉන්පසු ණය වීම ඇරැඹේ. ඊළඟ අස්වැන්න විකුණන්නේද ඉන් කොටසකින් ණය පොළී ගෙවීම බලාගෙනය. මේ අධම චක්‍රය හැමදා සිදුවේ. ඉන් එළියට ඒමක් නැත.

ආර්ථික ක්‍රමය නිදහස්ව ගොඩ නැඟෙන්නට දුන්නේ නම්, තම ව්‍යායාමයේ නිරර්ථකභාවය වටහා ගන්නා ගොවීන් ඵලදායිකත්වය ඉහළ නංවා ගැනීමට යොමුවීම තුළින් අද පවතින ‘එදාවේල ගොවිතැන’ (subsistence agriculture) වාණිජමය ගොවිතැනකට (commercial agriculture) හැරෙන්නට ඉඩ තිබුණේය. වෙනත් රටවල සිදුවූයේ එයයි. නමුත් ලංකාවේ අදූරදර්ශී දේශපාලනය විසින් වගා ණය පහසුකම්, පොහොර සහනාධාර, අවම මිළ ගණන් වැනි සීනිබෝල දීම තුළින් තවදුරටත් ගොවීන් මේ මර උගුලෙහිම සිරකර තැබීම සිදුවේ. මේ සහනාධාර සැපැයීම් කිසිසේත් ගොවීන්ගේ ගැටළුවටල දීර්ඝකාලීන විසඳුම් නොවේ. එසේම ඒවා නිසා ගොවිතැන ආර්ථික වශයෙන් ඵලදායක කර්මාන්තයක් වීම නතර වී, ගොවීන් තම පුරුදු එදාවේල ගොවිතැනටම සීමා වීම වේ. ‘අපේ ගම’ වැනි හානිකර වැඩ සටහන් ගොවියා දැවැන්තයකු කොට මවාපා රෝමෑන්තීකරණය කිරීම තුළින් ගොවීන් තුළ ඊට ගැළපෙන මානසික යටිතලයද සකසනු ලබයි.

මේ දීර්ඝ අටුවාව ‘පොහොර’ මේ දිළිඳු ගොවියාගේ වගා චක්‍රයෙහි රඟපාන ප්‍රමුඛ භූමිකාව පැහැදිළි කිරීමට පසුබිම සකසනු සඳහාය.

පොහොර සඳහා කෙරෙන වියදම එදාවේළ ගොවියකු සමස්ත වගා චක්‍රය තුළ දැවැන්තම ආයෝජනයයි. වෙනත් ආයෝජනයන් කඩින් කඩ කළ හැකි වුවද පොහොර එසේ නොවේ. නියමාවස්ථාවේදී නියමාකාරයෙන් යෙදිය යුතුය. එසේ නොකරන්නේ නම් අස්වනු බාල වී ගොවියා ඒ විකුණාගත නොහී තවත් අසරණ තත්ත්වයට පත්වේ. කෘෂිකාර්මික වශයෙන් කෙසේ වෙතත් ආර්ථික වශයෙන් පොහොර භාවිතා නොකිරීම සිය දිවි නසා ගැනීමකට සමානය. එහෙත් දරිද්‍රතාවයේ පතුළේම එරී ඉන්නා ගොවියාට ඒ දරාගත නොහෙන ආයෝජනයකි.

මෙ නිසා දේශපාලන ලෝකයේ පොහොර සහනාධාරය ආකර්ෂණීය ඇමක් වේ. 2005 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය රුපියල් 550කට කිලෝ 50ක රසායනික පොහොර ලබාදීමේ සහනාධාර ඇමක් දුන්නේය. ඉන් දින කිහිපයකට පසුව මහරජතුමාගේ චින්තනයට පැණසර වූයේ එම කිලෝ පනහම රුපියල් 350කට අඩු විය යුතු බවයි. ආර්ථික වශයෙන් තර්කාණුකූල තීරණයක් ගත් රජරට ගොවියෝ රුපියල් දෙසීයක දේශප්‍රේමී වාසිය තෝරාගෙන රුපියල් 350ක් ගෙවා පොහොර උරයක්ද වකුගඩු රෝගයද ගෙදර ගෙනාවෝය. (මින් අදහස් කරන්නේ වකුගඩු රෝගය මහින්ද චින්තනයෙහි සුපසන් නිර්මාණයක් බව නොවේ. එහෙත් මහින්ද චින්තනය එහි ව්‍යාප්තිය කෙරෙහි බලපා ඇති ආකාරය පැහැදිළිය.)

වකුගඩු රෝග අවදානම නිසා ප්‍රමිතියෙන් ඉහළ එහෙත් මිළ වැඩි පොහොර භාවිතා කරන ලෙස එදාවේළ ගොවීන්ට කෙරෙන බලපෑම මේ සංදර්භය තුළ සාර්ථක විය හැකිද? දැනටමත් ගොවීන් පොහොර සඳහා යැපෙන්නේ රජයෙන් නම් ප්‍රමිතියෙන් ඉහළ පොහොර සඳහා දැරිය යුතු අමතර මිළ ඔවුන් විසින් දරණු ලැබේ යැයි සිතීම අතාර්කිකය. රජයට කෙටිකාලීනව වඩා වාසිදායක වන්නේ කැඩ්මියම් ඇතුවා හෝ නැතුවා මිළ අවම පොහොරක් ගොවීන් මත පැටවීමය. පරිසරය විනාශ නොකළ යුතු යැයි රජය කියන්නේ අපටය. මිනීමැරීමේ සේම පරිසරය විනාශ කිරීමේද ඒකාධිකාරය රජය පවත්වා ගැනීම හිටපු මධ්‍යම පරිසර අධිකාරියේ මහතැන වූ උදය ගම්මන්පිළ වුව අනුමත කරනු ඇතැයි සිතිය හැකිය.

වකුගඩු, පොහොර හා ගොවියා පිළිබඳ මේ ප්‍රශ්නය එළුවා, කොටියා හා තම්පලා මිටිය පිළිබඳ ප්‍රශ්නයට වඩා බෙහෙවින් සංකීර්ණ වන්නේ එනිසාය. වකුගඩු ආරක්ෂා කිරීමට ගියොත් ගොවියා පරදී. වකුගඩුද ගොවියාද ආරක්ෂා කරගැනීමට ගියොත් පාරිභෝගිකයා පරදී. අනෙක් අතට මේ සියළු දෙනා ආරක්ෂාකර කර ගැනීමට ගියොත් ආර්ථිකය බරක් වී මහරජතෝත්තමයානන් වහන්සේ මැතිවරණයෙන් පරදී. (වෙන මොනවා වුවත් උන්වහන්සේ ඊට නම් ඉඩ දෙතැයි සිතිය නොහැකිය.)

වකුගඩු රෝගයෙන් රජරට ගොවියා ආරක්ෂා කරදීම උදෙසා අපට මහෞෂධ පණ්ඩිතයකු අවශ්‍ය වන්නේ එනිසාය.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 14 Comments »

බලාපල්ලා, අසිංහලයො මට මල්මාලා දානවා | The Irony

Posted by Taboo on September 18, 2009

IMG_8170

අද මගේ එකසිය හතළිස් පස් වැනි උපන්දිනේ. හොඳට ඇස් ඇරලා බලාපල්ලා. කවුද මට මල්මාලා දාන්නේ? ආරිය සිංහල ඇඳුම ඇඳගත්තු, මේ මං වගේ ආරිය සිංහල නමක් ගත්තු සිංහල බෞද්ධයෙක්ද? නෑ. පරසුද්දගෙ කලිසමයි ටයි එකයි දාගත්තු මරක්කලයෙක්. ඒ මොකද? උඹලගෙ මහ රජාටයි හැට හුටහමාරක් ඇමති මණ්ඩලේටයි මට මල්මාලා දාන්ඩ එන්ඩ වෙලාවක් නැති නිසා. ජාතික හෙළ උරුමයට මාවයි කැප්පෙටිපොළවයි, සෝම හාමුදුරුවන්වයි මතක් වෙන්නෙ මැතිවරණයකට ඉස්සෙල්ලා විතරයි. චන්දෙදි ලැජ්ජා නැතුව මාව විකුණන චම්පික රණවක, විමල් වීරවංශ ගොන් තඩියන්ට වත් අද මාව මතක නෑ. උන් යන්ඩ ඇති අනර්කලී කෙල්ලට කැන්වසිං පාරක් දාන්ඩ. අල වගේද ගෝවා.

එක අතකට තම්බියෙක් ඇවිල්ලා මට මල්මාලා දාන එකෙත් පුදුමයක් නෑ. මොකද කොළඹ රටේ අද වැඩි හරියක් ඉන්නෙ අසිංහලයොනෙ. අහ ගනිල්ලා. තම්බියන්ට දෙමළුන්ට මොළේ තියෙනවා. උඹලට නෑ. ඒකයි උං කොළඹ රටට ගාල් වෙන්නේ. දියුණු වෙන්න ලේසිම පළාත ඒක. උඹල ඉතින් දේශීය ආර්තිකය, ජාතික චින්තනය රැක ගන්ඩ ඕනැ කියල රට්ටුන්ට ණය වෙවී, කාස්ටක අව්වේ වේළි වේළි, දවස පුරා ඩහදිය පෙරාගෙන, රෑට නින්දක් නැතුව මදුරුවො තල තලා හොරොව්පතානට වෙලා පොළොව කොට කොටා, සූරියප්පෙරුම ‘අපේ ගම’ වැඩසටහනේ කියන බයිලා උජාරුවෙන් අහගෙන මෝඩ චූන් එකක් අරගෙන හිටපල්ලා. කොල්ලො හමුදාවට යවලා කෙල්ලො ගාමන්ට් ෆැක්ටරි වලට යවපල්ලා. GSP+ නැති උනහම උඹලට කන්ඩ වෙන්නෙ පිදුරු තමයි. ඊට පස්සේ තව ලෝන් එකක් දාගන්ඩ පර සුද්දො පස්සෙ හරි, චීනා පස්සෙ හරි ඉරානෙ තම්බියො පස්සෙ හරි පලයල්ලා.

උඹලට දේශීය ග්‍රාමීය ආර්තිකයේ වටිනාකම කියල ඉනා බේත් දීල දරුවො ගමේ ඉස්කෝලෙට යවල ඉංගිරිස් නැතුව සිංහලෙන් විතරක් ඉගෙනගනිල්ලා කියන එවුන්ම උන්ගෙ දරුවො රෝයල් එකටයි ඕස්ට්‍රේලියාවෙ විශ්ව විද්‍යාල වලටයි යවන හැටි කට බලියාන බලාන හිටපල්ලා. සිංහල බෞද්ධකම ගැන උජාරුවෙන් කතා කරන එවුන්ම තමන්ගෙ දරුවො පර සුද්දගෙ ඇංග්ලිකන් සැන් තෝමස් එකට යවන්නෙ මොකද කියල අහපල්ලා උඹලට කොන්දක් කියල එකක් තියෙනවනම්.

උන් දන්නව උඹල රජ ගොන්නු කියලා. මොකක් හරි කලින් අහල නැති වචනයක් උඹලගෙ ගොං මොළ වලට දැම්මහම උඹලත් චතුස්කෝටිකේ, චතුස්කෝටිකේ, චතුස්කෝටිකේ කියලා මතුර මතුර ඉඳීවි රට හරක් වගේ, බත් කන්ඩ වත් සිහියක් නැතුව. උඹලට ‘අපේ ප්‍රවාද’ හදන්ඩ කියල උන් ‘උන්ගේ ගෙවල්’, ‘උන්ගේ පවුල්’ සහ ‘උන්ගේ ලෝකය’ හදාවි, උඹලගෙ ඇහැට වැලි ගහල.

පියසිරි විජේනායක උඹලට සඟිස්කෘතිය කියල දේවි. විමල් වීරවංස උඹලට සාහිත්‍යය කියලා දේවි. තිලංග සුමතිපාල සම්මා ආජීවය කියල දේවි. අනර්කලී කෙල්ල දේශපාලනය කියල දේවි. නිමල් සිරිපාල යහපත් සෞඛ්‍ය පුරුදු කියාදේවි. ඇයි මේධානන්ද ගොයියා පුරා විද්‍යාව කියල දේවි. තව මොනව හරි මදි නම් කැළණියේ ආචාර්ය ඩබල මර්වින් සිල්වගෙනුයි නලින් ද සිල්ව ගෙනුයි අහල දැනගෙන, දේශද්‍රෝහී රන්දෙපැය බලන්නෙ නැතුව දේශප්‍රේමී අයි.ටී.එන් එකේ පබා බලල, රෑට කලා වැවේ දිය රැළි නංවන්ඩ චූ පාරක් දාල බුදිය ගනින්. දැන් යුද්ධයත් දිනපු එකේ හෙට අනිද්දම කේතුමතී රාජ්‍යය පහළ වෙනවා ස්ථිරයි.

බලාපල්ලා දෙමළු දිහා. බලාපල්ලා තම්බියො දිහා. උන් ජීවිකාව ගෙනියන්ඩ පුළුවන් කරුමාන්තයක් පුරුදු පුහුණු වෙනවා, කාලෙ නාස්ති නොකර. ඊට පස්සෙ උන් ලේසියෙන්ම පෞද්ගලික අංශෙ රස්සා හොයා ගනීවි. උඹලා ඉංගිරිස් ටිකක් ඉගෙන ගන්නෙත් නෑ, වැඩකට ඇති කරුමාන්තයක් ඉගෙන ගන්නෙත් නෑ. උඹලට තියා උඹලගෙ අප්පොච්චිලාටවත් නොතේරෙන ජාතික චින්තනය ගැනයි, චතුස්කෝටිකය ගැනයි, දඬු මොණර ගැනයි බයිලා කිය කියා හිටපල්ලා දියසේන කුමාරයා පහළ වෙනකල්.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 30 Comments »

දේවදත්ත | Devadatta

Posted by Taboo on September 16, 2009

z_p38-aaho0

සතුරකුට වුව වෛර කිරීම සැබෑ බෞද්ධයාට අකැපය. බෞද්ධයකු ‘සබ්බේ සත්තා භවන්තු සුඛි තත්ථා’ කියන්නේ සතුරන් අතැර නොවේ. සතුරන්ට මෙත් නොවඩන්නකුට බෞද්ධයකු සේ මෛත්‍රී භාවනාවෙහි නියැළිය නොහැකිය.

අද මේ රටේ පොදුජන බහුතරය විසින් ‘බුද්ධාගම’ හැටියට හඳුන්වනු ලබන, නලින් ද සිල්වා සිරිමතුන් විසින් ‘සිංහල බුද්ධාගම’ ලෙසින් අර්ථ දක්වා ඇති මෙරට අදහනු ලබන යම් ආගමක් වේද එය ගෞතම බුදුන් විසින් වදාළ තම තම නැණ පමණින් දත යුතු සද්ධර්මයෙන් වෙනස් වීමට එක් හේතුවක් නම් වෛර කිරීමේ නිදහසය. ද සිල්වාගේ ‘සිංහල බුද්ධාගමට’ අනුව සතුරකුට වෛර කිරීම කැපය. සතුරන් තිරිසනුන් සේ ගාල් කොට තැබීමද කැපය. කවර හෝ තමන් රිසි ආකාරයකින් මරාදැමීමද, මියගිය සතුරාගේ හිස පොරොවෙන් ගසා දෙපළු කොට මොළ කැබළිති එළියට ගෙන එදෙස බලා තුටු වීමද කැපය. සතුරාගේ හය හතර නොදන්නා නොදරුවා මරා දැමීමද කැපය. තම අදහස් පළ කිරීම වෙනුවෙන් අහිංසකයකු දඟගෙට යැවීමද කැපය. උදය ගම්මන්පිළ මෑතකදී ලංකාදීපයට ලියූ පරිදි මිනී මැරීම කෙරෙන්නේ රජයෙන් නම් එය ඉවසා වැදෑරීමද පමණක් නොව අනුමත කිරීමද කැපය.

සැබෑ බෞද්ධයින්ට සතුරන් නොසිටියත් ‘සිංහල බෞද්ධයින්ට’ හැමදාම සතුරන් සිටියේ එනිසාය. මේ ලැයිස්තුවේ ආදිමතමයා දේවදත්තය.

දේවදත්ත කෙරෙහි ‘සිංහල බෞද්ධයා’ගේ චිත්ත සන්තානයෙහි ඇති වෛරය අනුපමේයය. “… ඔන්න එතකොටම දේවදත්තයා පොළොව පළාගෙන අපායට ගියා…” යි ගමේ පන්සලේ හාමුදුරුවන් බණට කියන විට, එතෙක් නිදි කිරමින් සිටි නාකි උපාසක අම්මලා ඉද්ද ගැසුවාක් මෙන් අවදි වී “සාදු, සාදු, සාසාසාසාදු” යි චිත්ත ප්‍රීතියෙන් තරගයට මොර දෙන්නේ එනිසාය. හරියටම තිස්සනායගම් වසර විස්සකට බරපතළ වැඩ ඇතිව සිපිරිගෙයට යද්දී වර්ගවාදීන් ලද ආතල් එක වගේමය.

දේවදත්ත කෙරෙහි වන මේ වෛරය එක ආත්ම භවයකට සීමා වූ එකක්ද නොවේ. ගුත්තිල ජාතක කතාවේ දේවදත්ත මූසිල වේ. කතාවසානයේ මූසිල ලබන දඬුවම අනුවේදනීයය. වෑත්තෑවේ හාමුදුරුවන් එය කවියට නඟන්නේ මෙලෙසිනි.

මූසිල මෙපුර තට
නුවරක් නෙවෙයි ඉඳිනට
ඉන් තෝ මෙහි නොසිට
යවයි නෙරපූය යම පුරයට

නිරයට ගියා හෝ නොගියා හෝ වේවා, කැට මුගුරු පහර කා අවාසනාවන්ත මරණයකට ලක් වන්නට මූසිල කළ වරද කුමක්ද? මිනී මැරීමද? සොරකමද? ත්‍රස්තවාදයද? නැත. තම හැකියාවට සරිලන වැටුප් ඉල්ලීමය. (“සිල්ප එක සරියේ-වැටුප් දුන මැනවි එක සරියේ”) මීට සැදැහැවත් බරණැස් නුවර වාසීන් අනුදන්නා දඬුවම මරණ දණ්ඩනයයි. සාමාන්‍ය මරණ දඬුවම නොව, ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමීමය. මේ සුළු ‘වරදට’ (එය වරදක් නම්) දඬුවම සැසඳේද කියා කිසිවකු ප්‍රශ්න කරන්නේ නැත. මන්ද ඒ දේවදත්තයා බැවිනි. ඌට මොක උනාම මොකද?

කවුද මේ දේවදත්ත?

‘සිංහල බෞද්ධයින්’ ලෙහෙසියෙන්ම අමතක කර දමන කාරණාව නම් මොහු අනෙකෙකු නොව, බුද්ධෝපස්ථායක, ධර්ම භාණ්ඩාගාරික, ආනන්ද හාමුදුරුවන් සමඟ එකම දවසේ පැවිදිබව ලත්, ගෞතම බුදුන්ගේම ගිහිකළ භාර්යාවගේ එක කුස ඔත් සොහොයුරා බවය.

ලේඛකයා දකින හැටියට දේවදත්තගේ ඇති එකම වරද ඔහු ආගමික අන්තවාදියකු වීමය. මේ අභූත හැසිරීම එක්තරා අන්දමකට වර්තමානයේ ජාතික හෙළ උරුමයේ චර්යා රටාවට සමානය. හෙළ උරුමයට සේම දේවදත්තටද අවශ්‍ය වන්නේ දැඩි ආගමික නීතිරීති සමූහයක් (තමන් පිළිපදිනවා වෙනුවට) අනුන්ගේ හිස මත පැටවීමය. ඒ මේය.

1. සියළු භික්ෂූන් සදාකාලිකව ආරණ්‍යගත විය යුතුය.
2. සියළු භික්ෂූන් සදාකාලිකව පිණ්ඩපාතික විය යුතුය. (දනට ලැබෙන ආරාධනා පිළි නොගත යුතුය.)
3. සියළු භික්ෂූන් සදාකාලිකව ඉවත දැමූ පිළියෙන් කළ සිවුරු හැඳිය යුතුය. (සිවුරු පිරිකර භාර නොගත යුතුය.)
4. සියළු භික්ෂූන් සදාකාලිකව රුක් සෙවනෙහි සැතපිය යුතුය.
5. සියළු භික්ෂූන් සදාකාලිකව නිර්මාංශී විය යුතුය.

ගෞතම මීට දෙන්නේ ඉතාම යථාර්ථවාදී පිළිතුරකි. “ඕනෑම භික්ෂුවක් ස්ව-කැමැත්තෙන් මේවා පිළිපදිනවාට මගේ විරුද්ධත්වයක් නෑ. නමුත් අනිවාර්යයෙන්ම පිළි පැදිය යුතු වත් පිළිවෙත් ලෙස මේවා අනුමත කරන්නට බැහැ.”

මේ සද්ධර්මයයි. බමුණු කුලය සිඳ බිඳ ගොඩ නැඟූ නිදහස් දර්ශනයකට පෙරළා බමුණු කුලයේ දැඩි වත් පිළිවෙත් එක් කිරීම ගෞතමගේ අභිප්‍රාය නොවේ. ගිහි ගෙට ඇති බැඳුම් වලින් මිදුනද, පහසුව ප්‍රිය කිරීම මනුෂ්‍ය ස්වභාවය බව ඔහු දනී. කෙනකු සතුටු සිතින් පිරිනමන දනක්, සිවුරක් පිළි ගැනීම වරදක් සේ ගෞතම නොදකී. සත්‍යාවබෝධයට මඟ වැටී ඇත්තේ අත්ථකිලමතානුයෝගය හරහා නොවන බව ඔහු පසක් කොට ඇත. දැඩි නීතිරීති වලින් භික්ෂූන් පාලනය කිරීම අනවශ්‍ය වනුයේ අවබෝධයෙන් මිස කරන්නන් වාලේ අන්ධාණුකරණයෙන් වත් පිළිවෙත්හි නියැලීම ගෞතම අනුදත් දර්ශනය නොවන හෙයිනි.

බෞද්ධ සාහිත්‍යය කියන්නේ දේවදත්ත ගෞතමයන්ගේ අනුදැන්ම නොලද නිසා උරණ වූ බවය. ඉන්පසු ඔහු කළ කී බවට අප අසා ඇති දෑ සත්‍යය හෝ ප්‍රබන්ධය විය හැකිය. දේශපාලන පක්ෂයකින් කඩාගෙන ගියත් රටේ නැති අභූත චෝදනා එල්ල වීම සාමාන්‍ය ස්වභාවයයි. අනෙක් අතට අපි දේවදත්තගේ ඇසින් කතාව දැක නැත්තෙමු. මේ නිසා මෙකී පසුකාලීන සිද්ධිවලට වඩා වැදගත් වන්නේ දේවදත්ත හා ගෞතම අතර ඇතිවූ මතවාදී අරගලයයි. හරි හෝ වැරදි වේවා, මතවාදී ලෙස ගෞතමට එරෙහි වීමේ ප්‍රතිඵලය දරුණුය. ඔහු ගෞතමගේ ශ්‍රාවක කොටසකගේ හෝ සදාකාලික වෛරයට බඳුන් වන්නේ ඒ අනුවය.

‘සිංහල බෞද්ධයන්’ දකින දේවදත්තගේ චරිතය, දුර්වල ප්‍රබන්ධයකදීවත් හමු නොවන ආකාරයේ සම්පූර්ණ කළු එකකි. ඉන් කිසිවකුට ගත හැකි ආදර්ශයක් නැත. පියා මරා ආනන්තරිය පාපකර්මයක් කළ අජාසත්ත පවා පසුකළෙක බෞද්ධ ශ්‍රාවකයකු වෙද්දී දේවදත්ත ජේතවනාරාම භූමියෙහිදීම බුදුන් දකින්නටවත් වරම් නොලැබ අවාසනාවන්ත ලෙස මිය යයි. ‘සිංහල බෞද්ධයෝ’ ඊට සාධුකාර දෙති.

පුදුමයකට මෙන්, දේවදත්ත කෙරෙහි වූ මේ වෛරය පවතින්නේ ථෙරවාදීන් අතර පමණකි. මහායානිකයෝ දේවදත්තට වෛර නොකරති. මහායාන බෞද්ධයන්ගේ ප්‍රමුඛ සූත්‍රයක් වන පදුම සූත්‍රයේ කියැවෙන්නේ දේවදත්ත මතු දිනෙක පච්ඡෙක බුද්ධත්වය ලබන බවය.

දේවදත්ත මියගියද ඔහු සංකේතාත්මකව ‘සිංහල බෞද්ධයාගේ’ මනසෙහි ජීවත් වේ. විටින් විට ඔහු විවිධ අවතාරයන්ට ආරූඪ වේ. මෙසේ වූ කල්හි ‘සිංහල බෞද්ධයෝ’ද දේවදත්ත කෙරෙහි වූවෛරය මේ අවතාරයන්ට මුදාහරිති. කළු සුදු ලෝකයක මේ අවතාර හැම විටම කළුය. කළු කුහර වලටත් කළුය. චතුස්කෝටිකය ගැන බයිලා කියන නලින් ද සිල්වා පවා මෙහිදී ද්විකෝටිකයේ සරණ යයි. මේ අවතාර පැවතිය නොහැකිය. මූසිලට ගල් ගසා මැරා දැමුවාක් සේම ඒවා මරාදැමිය යුතුය. අද සිදුවෙමින් පවතින බොහෝ දෑ මෙනයින් තේරුම් ගත හැකිය.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 61 Comments »

මේ මර්ධනය නොවේ | This is not suppression

Posted by Taboo on September 6, 2009

100406

පශ්චාත් යුද සමයේ සිදුවෙමින් පවතින බොහෝ සිද්ධින් ව්‍යාකූලය. මේ ව්‍යාකූලත්වය ඒවා එකිනෙකට වෙනස් ආකාර වලින් අර්ථදැක්වීමට නිරීක්ෂකයන් පොළඹවනු ලබයි. එක් පැහැදිළි කිරීමක් නම් සමාජ සංස්ථා බිඳ වැටීමය. තවත් පැහැදිළි කිරීමක් නම් ‘රාජ්‍ය මර්ධනය’ය. එහෙත් හිටි ගමන් සමාජ සංස්ථාවන් බිඳ වැටිය හැක්කේද? මෙතෙක් නොවූ ‘මර්ධනයක්’ මේ අවස්ථාවේ ඇති විය හැක්කේ කෙසේද? මේ ප්‍රශ්න වලට කිසිවකුට පිළිතුරු නැත.

අද අප අත් විඳින්නේ රාජ්‍ය මර්ධනයද? සමාජ සංස්ථා බිඳ වැටීමද?

නැත. නැත. අද සිදුවන්නේ මේ දෙකම නොවේයැයි ලේඛකයා සිතයි. මේ උත්ප්‍රාසයෙන් කළ කියමනක් නොවේ. සිදුවෙමින් පවතින ව්‍යාකූල තත්ත්වය පැහැදිළි කිරීමට තියරියක් ගොඩ නැඟීමේදී ඔහු එළඹෙන අතරමැදි නිගමනයකි.

මෙය තව දුරටත් පැහැදිළි කිරීම සඳහා උදාහරණ හතරක් ගනිමු.

එක – තමා ලියූ ලිපි දෙකක් වෙනුවෙන් තිස්සනායගම් මාධ්‍යවේදියා වසර විස්සකට බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් ලබයි.

දෙක – පොලිස් ස්ථානාධිපතිවරයකුගේ හිතවතියකට විසුළු කිරීම වෙනුවෙන් තරුණයන් දෙදෙනෙකු කුරිරු ලෙස වධ පමුණුවා මරා දැමේ.

තුන – මිනී මැරුමකට ප්‍රධාන විත්තිකරු වී සිටින තැනැත්තකු අමාත්‍ය ධුරයකින් පුදනු ලබනවාට අමතරව කැබිනට් ඇමතිවරුන් විවේචනය කරමින් අන්තනෝමතික ලෙස හැසිරීමේ වරමද ලබයි.

හතර – රටේ අපරාධ සංඛ්‍යාවේ වෙනසක් නැතිවත් 1976දී අවසාන වතාවට භාවිතා කරන ලද කරනු ලැබූ එල්ලුම් ගස නැවත සක්‍රිය කෙරේ.

මතුපිටින් බලන්නකුට අවශ්‍ය නම් මේ ‘සමාජ සංස්ථා බිඳ වැටීම’ ලෙස හෝ ‘රාජ්‍ය මර්ධනය’ ලෙසද අර්ථ දැක්විය හැකිය. එහෙත් මේ සිද්ධි හතරටම ඊට වඩා බෙහෙවින් සරල ඍජු පැහැදිළිකිරීමක් ඇත. මේවා මර්ධනය සේ පෙනෙන්නේ අපේ රට ප්‍රජාතන්තවාදී සමාජයකැයි වැරදි ලෙස උපකල්පනය කරන්නකුටය. ඔබාමා තිස්සනායගම් ගැන කණගාටුවෙන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදය සේම ප්‍රජාතන්ත්‍රවාදී රටකැයි සිතමිනි. රටේ පොදු ජනතාව සිතන්නේ වරදක් නොකර පොලීසියට හෝ පියසිරි විජේනායකට තමන්ට අත තැබීමට අයිතියක් නැති බවය. ඔබාමාට සේම ඔවුන්ටද වරදින්නේ එතැනය.

මේ සත්වැනි මහින්ද රාජෝත්තමයානන්ගේ විජිතය තවමත් ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳීමට තරම් හද මනස දියුණු වී නැති මනුෂ්‍ය කොට්ඨාශයක් හා උන්ටම ජාඩියට මූඩිය සේ ගැළෙපෙන පාලකයන් පිරිසක් ඇති වැඩවසම් සමාජයකි. අමුතුවෙන් බිඳ වැටෙන්නට කියා සංස්ථා මෙහි නැත. රටද, රජයද, ව්‍යවස්ථාදායකයද, විධායකයද, අධිකරණයද, හමුදාවද, පොලීසියද, පාර්ලිමේන්තුවද, පළාත්සභාවද, මහ බැංකුවද, මහජන බැංකුවද, ශ්‍රී ලංකන් එයා ලයින්ස්ද රජතුමාය. මේ සියල්ලක්ම අරලිය ගහ මන්දිරයේදී සම්පාත වන අතර මේ කිසිම ආයතනයකට රජතුමාගෙන් තොර පැවැත්මක් නොවේ. මහජනයාට පෙනෙන්නට තම මෙහෙවර ප්‍රකාශ වල (mission statements) මොනවා කියා ගත්තද මේ ආයතන හැම එකක්ම පවතින්නේ රජතුමාගේ පැවැත්ම වෙනුවෙනි. රජතුමා අණ කරන්නේ කුමක්ද මේ සියළු ආයතනයන්හි ලොක්කෝ ‘එසේය දේවයන්වහන්ස’ කියා ඒ අණ නොපිරිහෙළා ඉටු කිරීමට බැඳී සිටිති. එය අදාළ ආයතනයේ මුඛ්‍ය අරමුණු වලට එකඟවේද නොවේද යන්න ඔවුන්ට ගැටළුවක් නොවේ.

පළාත් සභා පිහිටුවීමේ අරමුණට ඉඳුරා පටහැණිව ඒවායේ නායකත්වය ලබන්නේ ප්‍රාදේශීය නායකයින් නොව රජතුමාගේ ඥාතීන් හා හිතවතුන්ය. ඉදින් තමන්ගේ හිස ඉහළින් අහස් යානා ගමන් කරනු රජතුමා නොකැමැත්තෙහි නම් තම අහස් මං වෙනස් කර ගැනීමට ශ්‍රී ලංකන් එයා ලයින්ස් නියමුවන්ට සිදුවනු ඇත. මේ ගුවන් සේවයේ කලින් ලොක්කාට සතියක් ඇතුළත අකුළාගෙන රටින්ද පිට වීමට සිදු වූයේ කලින් ආසන වෙන්කරගෙන සිටි මඟීන් කණින් අල්ලා ඉවත ඇද දමා රජතුමාගේ නෑසිය පිරිසට ඔහු ගුවන් යානාවක ආසන නොදීමේ පවටය.

තිස්සනායගම්ගේ සිද්ධිය ගනිමු. වරද කුමක් වුව දුන් දඬුවම සැර වැඩිය කියන්නෝ වෙති. මොන පිස්සුද? එසේ පෙනෙන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකැයි වරදවා සිතා ඉන්නා ඔබාමාලාටය. වැඩවසම් සමාජයක මේ ඉතා ලිහිල් දඬුවමකි. (නලින් ද සිල්වාට මේ ලිහිල් දඬුවමක් සේ පෙනෙන්නේ නම් ඒ මන්ද යන්න මින් පැහැදිළි කෙරේ.) අපේ පැරණි රජවරුන් මරණ දඬුවම දී ඇත්තේ මීට බෙහෙවින් අඩු රජතුමාට වෙන්කළ වැළ ගෙඩියක් කෑම වනි සුළු වැරදි වලටය. එනයින් වසර විස්ස නොගිණිය හැකිය. මෙවැනි සුළු දඬුවමක් ලබා ගැලවීම ගැන (විශේෂයෙන්ම මහරජතුමාගේ පිළිකුළට පාත්‍ර වූ ජන කොටසකට අයත්වූවකු ලෙස) තිස්සනායගම් මහ රජාණන්ට අනේක වාරයක් ස්තූතිවන්ත විය යුතුය.

(සමහරවිට එකම වෙනස එදා වැඩවසම් පාලකයින් අද වැඩවසම් පාලකයින් මෙන් පොල් කෝම්බ නොව සුළු හෝ බුද්ධියක් ඇතිව ක්‍රියා කළවුන් වීමය. වැළ ගෙඩියට මිනීමැරූ රජතුමා ලෙස ඉතිහාසගතවන්නට ඉඩ ඇති බව පෙන්නා දුන්විට අහිංසකයකු නිදහස් කිරීමෙන් පැරණි සිංහල රජතුමකු පෙන්නා දුන්නේ ඒ නුවණය. කවුදෝ කිව්වාක් මෙන් අද එවැන්නක් බලාපොරොත්තු වනවාට වඩා හම්බන්තොට වෙරළේ ගෝවා වගා කොට අස්වැන්න බලාපොරොත්තු වීම යෙහෙකිය.)

ඒ මදිවාට එක් බ්ලොග්කරුවකු තිස්සනායගම් ගේ ක්‍රියාව ගුණදාස අමරසේකරගේ ක්‍රියාවකට සම කරමින් තිස්සනායගම්ට දුන් දඬුවම ගුණදාස අමරසේකරට නොදෙන්නේ මන්දැයි ව්‍යංගයෙන් අසයි. මේද අප සමාජය ප්‍රජාතන්ත්‍රවාදී එකකැයි වැරදි ලෙස වටහා ගැනීම නිසා ඇති වූ ව්‍යාකූලත්වයකි. මේ ක්‍රියා දෙකෙහි සමානත්වයක් පෙනෙන්නේ ශිෂ්ට ප්‍රජාත්‍රන්ත්‍රවාදී රාමුවක් තුළය. වැඩවසම් රාමුවකදී මේ දෙදෙනාගේ ක්‍රියා ඉඳුරා වෙනස්ය. වැඩවසම් සමාජයක දරුණු වරදක් වන්නේ රජතුමා හෝ උන් වහන්සේගේ නිලමේවරුන් විවේචනයයි. රජතුමාගේ පිළිකුලට බඳුවූ ජන කොටසක් විවේචනය කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් නොව පුද පඬුරු නින්දගම්වලින් තිළිණ පිදිය යුතු මහඟු කටයුත්තකි. ගුණදාස අමරසේකරට දඬුවම් කරනවා වෙනුවට කල්තර අමාත්‍යාංශය ඔහුගේ නමින් ප්‍රත්‍යාලෝකන වසරක් නම් කොට පුදනු ලබන්නේ මන්දැයි මින් පැහැදිළි කෙරේ.

අඟුලානේ සිද්ධිය පහැදිළි කිරීම මීටත් පහසුය. ඊට හැම අතින්ම සමාන සිද්ධියක් මහාවංශයේ හමුවන හෙයිනි. ගොඨයිම්බර යෝධයා විසින් රිටිගල ජයසේනගේ හිස වෙන් කරනු ලබන්නේ තම පෙම්බරියට ජයසේන විසින් විහිළු කිරීම නුරුස්නා හෙයිනි. මේ ‘මිනීමැරුම’ වෙනුවෙන් ගොඨයිම්බර යෝධයා අත් අඩංගුවට ගත් බවක් තියා ප්‍රශ්න කළ බවක් වත් මහාවංශය නොකියන හෙයින් අප විසින් අවබෝධ කර ගත යුත්තේ ප්‍රභූවරයකුගේ පෙම්බරියට අවමන් කිරීම මරණීය දණ්ඩනය පැනවීමට තරම් දැඩි වරදක් සේ වැඩවසම් සමාජයේදී සැලකුණු බවයි. අඟුලාන පොලිස් ස්ථානාධිපති නිව්ටන් භුක්ති විඳින්නේ වැඩවසම් සමාජයේ ප්‍රභූවරයකුට අයත්නයෙන්ම හිමි මේ වරප්‍රසාදයයි. තමන් රජ වාසලට කැඳවා පඬුරු දීම ගැන අඟුලානේ මියගිය තරුණයන්ගේ දෙමාපියන් සතුටු විය යුත්තේ දුටුගැමුණු රජු රිටිගල ජයසේනගේ ඥාතීන්ට එවැනි බුහුමනක් නොකළ බැවිනි.

පියසිරි විජේනායක යනු නිව්ටන්ට වඩා බෙහෙවින් මහරජතුමන්ට සමීප බලසම්පන්න නිලමක්කාරයෙකි. වැඩවසම් සන්දර්භය තුළ එවැනි නිලමක්කාරයකුට සුවිශේෂී වරප්‍රසාද හිමිවේ. විජේනායක විසින් කරනු ලබන්නේ රාජ නීතියට අනුව ඒ වරප්‍රසාද භුක්තිවිඳීම විනා වෙනෙකක් නොවේ. නීතිය තමන් රිසි ආකාරයකින් හැසිරවීමට නිලමක්කාරයකු හැටියට ඔහු බලය ලබයි. නන්දන බාලගේගේ ඥාතීන්ට ඔහුගේ මරණය ගැන කම්පා වීමට හේතුවක් නැත්තේ එය වැඩවසම් ක්‍රමය තුළ සාමාන්‍ය සිද්ධියක් නිසාය. එය ගෞරවනීය මරණයක් වන අතර එබඳු ගෞරවණීය මරණයක් ලබා දීම වෙනුවෙන් ඔවුන් විජේනායක නිලමේ තුමන්ගේ දෙපා නැමැද කෘතඥතාව ප්‍රකාශ කළ යුතුය. වැඩවසම් ක්‍රමය තුළ සාමාන්‍ය සිරිත රජතුමාට එරෙහි වී නම් අලගිය මුලගිය තැන් සොයා මුළු සනුහරයම ඝාතනය කිරීමයි. අඩු තරමින් නන්දන බාලගේ සම්බන්ධයෙන් එවැන්නක් සිදුවී නොමැත.

එල්ලුම් ගහ අවශ්‍ය වන්නේ ඇයිදැයි දැන් පැහැදිළිය. රාජ ද්‍රෝහීවීමේ වරද වෙනුවෙන් වසර විස්සකට සිර ගත කිරීම වැනි සුළු දඬුවම් දීමෙන් මේ වැඩවසම් සමාජයේ අපේ පාලකයින් බලාපොරොත්තුවන රාජපාක්ෂිකභාවය ගොඩනැංවිය නොහැකිය. ඊට අමතරව, සිර ගතවන්නා නෙල්සන් මැන්ඩෙලා හෝ ජවහර්ලාල් නේරු සේ වීරයකු වීමේ දැඩි අවදානමක්ද පවතී. සමස්ත සමාජය තුළ ප්‍රශ්න නොකෙරෙන රාජපක්ෂිකභාවයක් ගොඩ නැඟිය හැක්කේ ප්‍රසිද්ධියේ එල්ලා මැරීම බඳු වැඩවසම් යුගයේදී සාර්ථක ලෙස අත්හදාබලන ලද උපක්‍රම භාවිතය තුළිනි. එය එසේම කළ නොහැකි නම් අඩු තරමින් සංකේත භාවිතයෙන් ඒ රාජපාක්ෂිකභාවය ගොඩ නැංවිය යුතු වේ.

මේ සඳහා එල්ලුම් ගහ ප්‍රමාණවත් නොවේනම් අනාගතයේදී ඇතුන් ලවා පෑගීම වැනි දඬුවම් පවා යොදාගත හැක්කේය. මේ සියල්ලම වැඩවසම් සමාජයේ අංගෝපාංගය. ඒවා, අමුතුවෙන් මර්ධනයක් සේ වරදවා වටහා ගත යුතු නොවේ.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 20 Comments »

මල් කුමාරයා හා මහා බ්ලොග් රාජයා | The Prince of Flowers and King of all Blogs

Posted by Taboo on September 4, 2009

mr_072008_01

තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ (කාටත් තේරෙන බසින් කියන්නේ නම් ICTAහි) මල් කුමාරයා අපේ අනුකම්පාවට බඳුන් විය යුතු ආකාරයේ ළාමක ටිං ටිං චරිතයකි. ජනමාධ්‍යවේදියකු වීමට සිහින මවමින් සිටි ඔහුට කවදාවත් ඒ අවස්ථාව නොලැබෙන්නේ තොඳොල් FM සේවාවන්හි ගිරා පැටවුන් පැටික්කියන් තරමටවත් ඔහු නිර්මාණාත්මක නොවන හෙයිනි. සිරසින්ද, ස්වර්ණවාහිණියෙන්ද ප්‍රතික්ෂේප වන ඔහු ජනමාධ්‍යවේදය පොතෙන් හදාරා, ක්ෂේත්‍රයට අළුතින් යමක් රැගෙන ආ නොහී කොන් වූ දහසකුත් නවකයන් අතර එකකු පමණක් වෙයි.

අනෙක් නවසිය අනූ නවයෙන් මල් කුමාරයා වෙනස් වන්නේ තම අභිප්‍රාය සඵල නොවූ කළ, එවක අළුයම ලූ කෙළපිඬක් තරමට වත් නොවටනා එහෙත් පසුව උදාගිර සූර්යෝපමාන වන්නා වූ දේශපාලකයකුගේ වාලධියෙහි එල්ලෙන්නට තරම් ඔහුට කපටි බුද්ධියක් තිබූ නිසාවෙනි. තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයට පස්සා දොරින් ඔහු රිංගා ගන්නේ මේ දේශපාලකයාට, එනම් අද අපේ සත් වැනි මහින්ද මහ රාජොත්තමයානන්ට පින් සිදුවන්නටය. මේ දේශපාලන බලය නොවේනම් රජයේ ආයතනයක් අතුගෑමට වත් සුදුසුකමක් නැති පුද්ගලයෙකි මල් කුමාරයා.

තමන්ට යමක් අත්පත් කරගත් නොහෙන කළ මේ රටේ මිනිස්සු වෙනත් බොහෝ දෑ කරති. වෛද්‍යවරයකු වන්නට බැරි ශිෂ්‍යයකු දන්ත වෛද්‍යවරයකු වන්නාක් සේම චිත්‍රපටයක් නිර්මාණය කරගත නොහෙන්නන් නිර්දය විචාරකයින් වන බව, ජයවිලාල් විලේගොඩ සමරු උළෙලකදී කීවේ වසන්ත ඔබේසේකරය. මල් කුමාරයා මේ සම්බන්ධයෙන් තව පියවරක් ඉදිරියට ගොස් ඇත. ඒ තමන්ට කිසිදා නොතිබූ නිර්මාණ හැකියාවක් තිබෙන පුද්ගලයන් තෝරා ඔවුන්ට ‘සම්මාන පිරි නැමීමට’ කටයුතු කිරීම මාර්ගයෙනි.

කවදාවත් තමා බ්ලොග් එකක් නොලියූ මල් කුමාරයා දැන් සරම කැහැපට ගසාගෙන ලක ලැහැස්ති වන්නේ මහා බ්ලොග් රාජයා සොයා සම්මාන දීමටය. මේ ගොළුබෙල්ලකු වේගවත්ම චීටාට සම්මාන පිරි නැමීමට හෝ, මීමින්නකු ශක්තිමත්ම හස්තිරාජයා තෝරා සම්මාන පිරි නැමීමට සමාන කටයුත්තකි. බ්ලොග් ලිවීම කළුද සුදුද නොදන්නා මේ පුද්ගලයාට යම් බ්ලොගයකට මහා බ්ලොග් රාජයා සම්මානය පිරිනැමීමට අවසර දී ඇත්තේ කා විසින්ද? සත්වැනි මහින්ද රජෝත්තමයානන් වහන්සේගේ සුවච කීකරු අතවැස්සකු වූ පමණින් බ්ලොග් වලට සම්මාන දීමට කෙනෙකුට දේව වරමක් ලැබේද?

තමාගේ නොහැකියාව වසා ගැනීමටදෝ දැන් ඔහු මේ කටයුත්තට දෙකේ පන්තියේ ළමයින් පිරිසක්ද සම්බන්ධ කරගෙන ඇත. දැන් අපට බ්ලොග් ලිවීම කියා දෙන්නේ මේ දෙකේ පන්තියේ මල්ලිලාය. හරි ෂෝක්ය. මේ රටේ වැඩිහිටියන් නැතැයි උපකල්පනය කොට ‘වැඩිහිටියන්ට පමණයි’ චිත්‍රපට තහනම් කරන රටක මේවාත් මහ දේවල් නෙවේය. දැන් මේ මල්ලිලා සාහිත්‍ය අඩවියකුත් අටවාගෙන බ්ලොග් ලියන හැටි කියාදෙමින් රට වටේ යති. ඔවුන් දකින විදියට වර්ඩ්ප්‍රෙස් හෝ බ්ලොග්ස්පොට් වලට පිවිසීමට දන්නා ඕනෑම කෙනකුට බ්ලොග් ලිවිය හැකිය. ‘මගේ රට’, ‘මගේ ගුරුතුමී’, ‘මගේ පූසා’, ‘මා ගිය විනෝද ගමනක්’ වැනි මාතෘකා මේ බ්ලොග් මල්ලිලාට අපූරුය. මේ නොමේරූකමට අඬන්නද හිනාවෙන්නද සිතාගනු බැරිය.

අනෙක් අතට මේ දේශපාලන අරමුණක් ඇති ක්‍රියාවලියකි. තව ටික දවසකින් මල් කුමාරයා මේ බ්ලොග් මල්ලිලා හමුවී, “අනේ මල්ලි, අපි අහවල් බ්ලොග් එකට සම්මාන දීලා මහා බ්ලොග් රාජයා කරමු නේද ?” කියා අසනු ඇත. මල් කුමාරයා තමන්ට පොකට් මනි දෙන තාක් කල් මේ මල්ලිලාට මොන බ්ලොග් එක මහා බ්ලොග් රාජයා වුනත් කමක් නැත. එනිසා පැත්තක ඉන්නා කුදුවී ගිය නාකි සිංහයකු අල්ලාගෙන මේ තමා කේසර සිංහ රාජයා යැයි සිංහාසනරූඪ කරන්නට කිසිම බාධාවක් නැත. බ්ලොගවකාශය ගැන මෙලෝ හසරක් නොදන්නා දේශපාලකයන්ටත්, නිලධරයන්ටත් ඒ නාටු සිංහයාද මහා රාජසිංහයකු සේ පෙනෙනු ඇත. මෙය එතරම් අසීරු කටයුත්තක් සේ නොපෙනෙන්නේ යම්තම් හෝ ආත්ම ගෞරවයක් ඇති බ්ලොග්කරුවකු මේ දෙකේ පන්තියේ මල්ලිලාගෙන් ‘සම්මාන’ ඉල්ලා නොයන හෙයිනි. අඩු තරමින් තම රාජාපක්ෂික නොසඟවන බ්ලොග්කරුවන් පවා මේ තරගයට ඇතුළු වී නැත. (තමන් සින්ඩිකේටරයට එක්ව ඇත්තේ පුළුල් පාඨක පිරිසක් සඳහා පමණක් බව බූන්දියේ ඇත්තන් දැනටම කියා ඇත.) සත්වැනි මහින්ද මහරාජෝත්තමයානන් වහන්සේගේ සළු පිළි ගළවන බ්ලොග්කරුවන්ට උන්වහන්සේ යටතේම ඇති රාජ්‍ය ආයතනයකින් සම්මාන පිරිනොනැමෙන බැව් දැන ගැනීමට තරම් අපි වයසින්ද නුවණින්ද මුහුකුරා ගොස් ඇත්තෙමු. ඒ නිසා අනිවාර්යයෙන්ම ‘මහා බ්ලොග් රාජයා’ සම්මානය ලැබෙනු ඇත්තේ ලජාවක් නැතිව සත්වැනි මහින්ද මහාරාජෝත්තමයානන් වහන්සේ වෙනුවෙන් කඩේ යන බ්ලොගයකටය. එය එක්තරා මට්ටමකින් රාජෝත්තමයානන් බ්ලොගවකාශයේ විවේචනයට බඳුන් වීම අනියමින් පාලනය කිරීමකි. (මේ කියන්නේ හැම බ්ලොග්කරුවකුම මේ ‘දෙකේ පන්තියේ සම්මාන’ බලාගෙන තම ස්ථාවරය වෙනස් කරනු ඇතැයි අප සිතන බව නොවේ.)

මල් කුමාරයා මේ සියල්ලක් කරන්නේ තමන්ට දෑවැද්දට ලැබුණු ධනසම්භාරයෙන් නම් ඒ ගැන කතාකිරීමේ අයිතියක් අප කිසිවකුට නැත. ඒත මේ ඔහු වනසන්නේ මහජන මුදල්ය. මහජන මුදලින් ‘සම්මාන’ දෙන විට එය සිදුවිය යුත්තේ විනිවිද පෙනෙන ආකාරයටය. ජයග්‍රාහකයන් නම් කළ යුත්තේ බ්ලොග් ලිවීම දන්නා පිරිස්ය. දෙකේ පන්තියේ මල්ලිලා නොවේ. දෙකේ පන්තියේ මල්ලිලා විසින් දෙනු ලබන සම්මානය සම්මානයක් නොව අවමානයකි.

සැබෑ තරගයක් තිබීමේ අවශ්‍යතාවයක් තිබුණා නම් මල් කුමාරයා මේ කටයුත්ත භාරදෙනු ඇත්තේ දෙකේ පන්තියේ මල්ලිලාට නොව වගකිවයුතු රාජ්‍ය ආයතනයකටය. විනිශ්චය සපයනු ඇත්තේ ඒ ගැන දැනීමක් ඇත්තන්ය. (ඔවුන් කවුදැයි හෙළි කිරීම ක්‍රියාවලියේ විනිවිද භාවය සඳහා වැදගත්ය.) ඇගයෙනු ඇත්තේ පැනලා තරගයට ඉදිරිපත් වන බ්ලොග් පමණක් නොවේ. එහෙත් දේශපාලන අරමුණු ඇති රාජ්‍ය ආයතනයකින් හා ඒ දේශපාලන අරමුණු ක්‍රියාත්මක කිරීම තමාගේ එකම රාජකාරිය කරගත් මල් කුමාරයා අතින් එවැන්නක් බලාපොරොත්තු වීම ඉබ්බාගෙන් පිහාටු බලාපොරොත්තු වීමකි.

මාධ්‍යවේදීන් රැවටීම ගැන මල් කුමාරයාට ඉතිහාසයක්ද ඇත. ඔහු මාධ්‍යවේදීන්ට තොරතුරු තාක්ෂණය ඉගැන්වීමටය කියා කැන්දාගෙන එන්නේ ඔවුන්ට නොමිළයේ පරිගණක ප්‍රදානය කිරීමට පොරොන්දු වෙමිනි. (තම ආයතනයට නිරන්තර ප්‍රචාරයක් ලබා ගැනීමට මේ හොඳ ඇමකි.) පාඨමාලාව අවසානයේ පොරොන්දු වූ පරිගණක නොලැබුනු විට කුපිත වන මාධ්‍යවේදීන් තම පුවත්පත් හරහා මේ ක්‍රියාවලිය ප්‍රශ්නකිරීම ආරම්භ කරන කල්හි ඔහු ඒය නිහඬ කිරීම සඳහා යොදාගන්නේ තම මිතයකු වන දීප්ති කුමාර ගුණරත්නය. වික්ටර් අයිවන්ට බැගෑපත්ව තම සගයා ගැන කිසිත් නොලියන ලෙස ආයාචනා කිරීමට දීප්තිට සිදු වන්නේ මේ අනුවය.

මල් කුමාරයාත් බ්ලොග් මල්ලිලාත් තම තමන්ගේ රිසිය පරිදි ‘මහා බ්ලොග් රාජයා’ සම්මාන ප්‍රදානය කරන්නේ නම් මෙවැනි දේශපාලන ක්‍රියාවලි වලට පිටින් සිටින අපට කළ හැක්කේ සීමිත දේවල් කිහිපයක් පමණකි. එකක් මේ ‘සම්මාන’ පිදීම සමස්ත බ්ලොගවකාශයෙහි නොව එහි තෝරාගත් කුඩා කොටසක පමණක්, බ්ලොග් ලිවීම ගැන මූලික අවබෝධය හැරුණු විට වෙනත් කිසිවක් නොදන්නා පාසල් සිසුන් පිරිසක් විසින් අතින් සිදුවන්නක් බවට හෙළිදරව් කිරීමය. අනෙක මේ දේශපාලන ක්‍රියාවලිය පසුපස ඇති අරමුණු පැහැදිළි කර දීමය. කවර බාධක ආවත් මේ බ්ලොග් අඩවිය තවදුරටත් ඒ නොකර නොසිටින බව පමණකි කීමට ඇත්තේ.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , | 35 Comments »