Archive for November, 2009
Posted by Taboo on November 23, 2009

මල්ලියේ, දැන් ඔය කිට් එක ගලවමු.
සරත් ෆොන්සේකාගේ දේශපාලන ආගමනයේ හෝ අඩු තරමින් එවන් රාවයක් පැතිර යාමේ ලේඛකයා දකින එක් සාධනීය ප්‍රතිඵලයක් නම් මෙතෙක් සිවිල් සමාජයට අනවශ්‍ය හිරිහැරයක් වූ ‘මිලිටරි වන්දනාව’ නතර වීමය. මෙය හොඳ දෙයකි. පසුගිය සිව් වසරක කාලය තුළ සිදුවූයේ නිදහසෙන් පසු තියා අප දන්නා කාලයක් තුළ ඉන් පෙරවත් නොවූ විරූ ලෙස සොල්දාදුවා සිවිල් වැසියාගේ කරට නැඟ ගැනීමය. සිවිල් වැසියාට එය මුවින් නොදොඩා ඉවසීමට සිදුවූයේ දැවැන්ත රාජ්‍ය අනුග්‍රහයක් යටතේ ‘රණවිරු’ යන ආකර්ෂණීය යෙදුමට මුවා වී මිලිටරීකරණය පුම්බා තබා බයිනෙත්තුවක් අමෝරාගෙන තමන් මරන්නට එන හෝ තමන්ගේ පුතු, දියණිය ත්‍රස්තවාදී ලේබලය අලවා අනිවාරතයේ මරා දමන ලද සොල්දාදුවකුට පවා එරෙහිව වචනයක් ලිවීම මහා ව්‍යසනයකට අත වැනීමක් වූ නිසාය. තිස්සනායගම් වසර විස්සකට බරපතළ වැඩ ඇතිව සිරගත කරන ලද්දේ සොල්දාදුවා දෙවියකු සේ සලකා වැඳ නොවැටී ඔහුගේ අන්තනෝමතික ක්‍රියා කලාපය ප්‍රශ්න කළ නිසාය. ත්‍රිකුණාමලයේදී අපොස උසස්පෙළ හදාරන දෙමළ සිසුන් පස්දෙනකු ශ්‍රී ලංකා හමුදාව මඟින් ඝාතනය කරනු ලැබුවායි කියන ලද කල්හි අසාධාරණය දැක දැක ඔවුන්ගේ මාපියන්ට නිහඬ වීමට සිදුවූයේ එනිසාය. දෙමළකු මිලිටරීකරණය ප්‍රශ්න කිරීම යන්තම් මාස කිහිපයකට ඉහත ආනන්තරිය පාප කර්මයකට සම විය.
සරත් ෆොන්සේකා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ තමන්ට ඇති අයිතිය භාවිතා කොට දේශපාලනයට පිවිසීම මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කළ ආකාරය සිනහ උපදවන සුළුය. යාන්තම් මාස කිහිපයකට පෙර ගැබ්බර කාන්තාවක් තම අසුනින් නැඟිට සොල්දාදුවකුට එය පරිත්‍යාග කිරීම අනුදත් සිංහල බෞද්ධ ගෝත්‍රික සමාජයම, සොල්දාදුවන්ට මිනරල් වෝටර් බෝතල් යවන්නට පාසල් ළමුන් මාර්ගයෙන් මුදල් එකතු කිරීමේ වරදක් නොදුටු සිංහල බෞද්ධ ගෝත්‍රික සමාජයම, දැන් පත්ව ඇත්තේ “ප්‍රභාකරන් අල්ලන්න ආමි එක මොන බම්බුවද කළේ; අපේ මහරජතුමා නොහිටින්න ආමි එකෙන් අල්ලයි උගෙ නැට්ට!” මානසිකත්වයටය. ඔවුනට අනුව ප්‍රභාකරන් හා සටන් වැදී ඇත්තේ අලිමංකඩ ස්ථානගත යුද භටයන් නොව පාමංකඩ සිට මෙහෙයුම් කටයුතු කළ පොලිතීසියන්ය. (මෙහි යම් ඇත්තක් ඇත. එහෙත් සැබෑ තතු මේ අන්තයටම විකෘති කළ යුතු නොවේ.)
මහ රජාණන් විසින් දැන් සෙනෙහෙබරව වැළඳගනු ලබන්නේ මාස කිහිපයකට ඉහතදී LTTE රූකඩ ලෙසින් නම්කොට තිස්සනායගම් ලෙසින්ම සිරභාරයට ගන්නට ඔන්න මෙන්නව සිටි දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන්ය. පාතරසය ගන්නේ කරන්නාගොඩ සමඟ නොව කරුණා සමඟය. දිවයින ඒෂියන් ට්‍රිබියුන් ආදී රාජපාක්ෂික මාධ්‍ය මේ වන විට ඔහුගේ දියණියන්ද ඇද ගනිමින් සරත් ෆොන්සේකාට පෞද්ගලිකව මඩ ගැසීමේ පහත් ව්‍යාපාරයකට අවතීර්ණ වී සිටිති. මෙය සරත් ෆොන්සේකා (හා හමුදාව) අහිංසක දෙමළ වැසියන් මැරුවාය කියා අවලාද නැඟීම තරම් දුරදිග ගොස් ඇත. (මෙහිද ඇත්තක් තිබිය හැකි මුත් යුද ජයග්‍රහණයේ සම්පූර්ණ ගෞරවය ගන්නට දත කන පොලිතීසියන් මෙහිදී නිදහස් වන්නේ කෙසේද අපැහැදිළිය.) සරත් ෆොන්සේකාට එරෙහිව දැන් මහත් ආවේගයකින් බ්ලොග් ලියන්නේද මාස කිහිපයකට පෙර අල්ලන ටවුමක් ටවුමක්, ගමක් ගමක් ගානේ ‘රණ විරුවන්’ සිංහ කොඩි ඔසවා ගෙන සිටිනු දැක්වෙන ඡායාරූප පළකළ බ්ලොග් කරුවන්මය. (එක් වර්ගවාදී බ්ලොග්කරුවකු තම බ්ලොග් අඩවියෙහිම නිර්නාමික ප්‍රතිචාරයක් දමාගනිමින් සරත් ෆොන්සේකාගේ පුක සුදුද කියාද අසා තිබුණේය. මාස කිහිපයකට ඉහත පුදුකුඩුඉරිප්පු සටන් පැවති සමයෙහි යුද විරෝධී බ්ලොග්කරුවකු විසින් මෙවැන්නක් විහිළුවට හෝ ඇසුයේ නම් උද්ගත විය හැකි තත්ත්වය සිතා ගැනීමට පවා අපහසුය.)
සරත් ෆොන්සේකාගේ නම භාවිතා කිරීමකින් තොරව, දුරදිග සිතා බලා හෝ නොබලා මහරජාණන් විසින් කරන ලද “ඊයේ දේශප්‍රේමියා හෙට දේශද්‍රෝහියකු විය හැකිය” යන ප්‍රකාශය මිලිටරි වන්දනාවේ මිනී පෙට්ටියට ගැසූ අවසාන ඇණය හා සැලකිය හැකිය. එක අතකට මෙය හාස්‍යජනක ප්‍රකාශයකි. ඒ මේ කතාව කියන්නේද, මීට මාස කිහිපයකට ඉහත, මේ රටේ සිටිය හැක්කේ දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන් යනුවෙන් දෙකොටසක් පමණැයි කී මුවින්ම නිසාය. එසේ වීනම් දේශප්‍රේමියකු නොවන සරත් ෆොන්සේකා අනිවාර්යයෙන්ම දේශද්‍රෝහියෙකි. ඊට හෙට වන තුරු සිටිය යුතු නොවේ. ඔහු දේශද්‍රෝහියකු වන කළ ඔහු අණ ලබා ප්‍රභාකරන් හා සටනෙහි නියැළි හැම සොල්දාදුවකුම ඉබේම දේශද්‍රෝහියකු බවට පත්වේ. මෙය ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට නොව එම යුද්ධයේම අතුරු ඵලයක් සේ ඇතිවූ දැවැන්ත මානව හිමිකම් කඩවීම් හා සිවිල් ඝාතන විරුද්ධවීම නිසා වර්ගවාදී රාජ්‍යතන්ත්‍රය අතින් හෝ එසේවත් නැතිව හුදෙක් සිංහල බෞද්ධ නොවීම නිසා නිස්කාරණයේ දේශද්‍රෝහී ලේබලය වැදුණු සියල්ලන්ගේ සැනසුමට හේතුවක් වන්නේ මිලිටරිය දේශද්‍රෝහීන් වනකල යුද්ධයට විරුද්ධවූ සියල්ලන් මහරජාණන්ගේ අර්ථ දැක්වීමට අනුව ඉබේම දේශප්‍රේමීන් වන නිසාය.
රාජපක්ෂ රෙජීමයේ මේ මත පෙරළිය මෙරට පොදු ජනතාව ආරෝපණය කර ගත යුතු නොවේ. යුද්ධයක් තිබුණා හෝ නැතා වේවා සිවිල් ජනතාව විසින් ආරක්ෂක හමුදාවට සැලකිය යුතු ආකාරයක් ඇත. යුද භටයෝද සමාජයේ අනෙක් කොටස් සේම සමාජයට අත්‍යාවශ්‍ය සේවාවක් කිරීමෙහි නියැළෙති. වෛද්‍යවරයා රොගීන් සුවපත් කිරීමෙන් සමාජයට සේවයක් කරන්නාක් සේම, කසළ ශෝධකයා අනුන්ගේ කසළ ඉවත් කිරීමෙන් පරිසරය වඩා යහපත් තැනක් බවට පත් කරන්නාක් සේම සොල්දාදුවාද සමාජයට ආරක්ෂාව සැපයීමෙන් මෙහෙයක් කරයි. ඔහු වැටුප් ලබන්නේ එනිසාය. කරන සේවය වෙනුවෙන් කසළ ශෝධකයා “අපෙන් එකෙකි මේ මිනිසා” කියා උඩ දමා ඔහුගේ සවළට පූජා පැවැත්විය යුතු නැතිවා සේම සොල්දාදුවාද කර උඩ තබා ගැනීමේ කිසිම අවශ්‍යතාවයක් නැත. ඒද අනෙකුන් සේම සාමාන්‍ය පුද්ගලයෙකි. සොල්දදුවාට අනෙකුන්ට නැති වල්ගයක් හෝ අං තට්ටුවක් නැත.
සොල්දාදුවා අනෙකුන් මෙන් නොව රැකියාවේදී තම ජීවිතය පරදුවට තියතැයිද, සමහරවිට එය අහිමි කර ගනිතැයිද, සදාකාලික ආබාධිත තත්වයකට පත්වනු ඇතැයිද මෙහිදී කෙනකු තර්ක කළ හැකිය. ඇත්ත. සැම වෘත්තියකමට පොදු රැකියා-මර (occupational hazards) යුද හමුදා වෘත්තියට විශේෂයෙන් අදාළය. යුද භටයකු රණ බිමේදී මිය යාමේ හෝ ආබාධිත වීමේ අවදානම වෛද්‍යවරයකුට රෝගියකුගෙන් H1N1 වෛරසය බිහිවීමේ අවදානමට හෝ ඉදිකිරීම් කම්කරුවකු උසෙකින් වැටී මිය යාමේ, ආබධිත තත්ත්වයට පත්වීමේ අවදානමට වඩා වැඩිය. යුද භටයන්ට අනෙක් කිසිම වෘත්තියකට නැති සුවිශේෂ වරප්‍රසාද ලබා දී ඇත්තේ එනිසාය.
අපොස සාමාන්‍යපෙළ සමතුන්ට අන් කිසිම සහතිකයක් නැතිව, තරග විභාග වලට පෙනී නොසිට, සරල පරීක්ෂණ කිහිපයකින් පසුව යුද සේවයට එක් විය හැකිය. එහිදී ඔවුන් පිහිටවනු ලබන ආරම්භක වැටුප් තලය එම අධ්‍යාපනික සුදුසුකම්ම ඇතිව රජයේ හෝ පුද්ගලික අංශයේ හිමි කර ගත හැකි අන් කවර හෝ රැකියාවක වැටුපකට වඩා වැඩිය. පුද්ගලික අංශයේ නම් අපොස සාමාන්‍යපෙළ යනු කාර්යාල කාර්ය සහායක හෝ පුහුණු සේවක පදවියකට වැඩි පදවියක් ලබා ගත නොහැකි සුදුසුකමකි. මේ වැටුපට අමතරව අන් කිසිදු රාජ්‍යසේවකයකු නොලබන විශේෂ වරප්‍රසාද වලට යුද භටයෝ හිමිකම් කියති. ආබාධිත තත්ත්වයට පත්වුවහොත් මිය යන තෙක් උසස් වීම් සමඟ විශ්‍රාම වැටුප් හිමිවේ. මියගියහොත් උසස්වීම් සමඟ එම වැටුප බිරියට හෝ දෙමාපියන්ට ලබා ගත හැකිය. මෙබඳු සුවිශෙෂ වරප්‍රසාද ඇත්තේ අන් කවර රැකියාවකද?
මීට අමතරව යුද්ධය පවත්වා ගැනීම වෙනුවෙන් පසුගිය සමයේ සමස්ත සමාජය විසින් යුද භටයින් වෙනුවෙන් කරන ලද කැපවීම අති විශාලය. අද රජයේ සේවකයින්ට වැඩි පඩි ඉල්ලා අරගල කිරීමට සිදුව ඇත්තේ යුද්ධය පවත්වා ගැනීම වෙනුවෙන් මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය ඉහළ යාමෙන් ජීවන වියදම අත පොවන මානයෙන් ඉහළ ගොස් ඇති නිසාය. ජනප්‍රිය පාසලකට ළමුන් ඇතුළත් කිරීමේදී 20%ක් (සිසුන් 40 සිටින පන්තියකින් අට දෙනකු) යුද භටයින්ගේ දරුවන් සඳහා වෙන් කර ඇත. ඊට අන් කිසිම සුදුසුකමක් අවශ්‍ය නොවේ. මේ සියල්ල විවිධ නම් වලින්, විවිධ ව්‍යාපෘති යටතේ යුද හමුදා භටයින්ගේ පැවැත්ම වෙනුවෙන් මුදල් එකතු කර ගන්නවාට අමතරවය. අපි වෙනුවෙන් අපි නිවාස අරමුදලක් කියාද එකක් තිබේ. උන් වෙනුවෙන් බෝධි පූජා තියන්නට වැය කරන ලද කාලය ශ්‍රමය හා මුදල් අමතක කරමු.
එහෙයින් සොල්දාදුවා කරෙන් බිමට ඇද දමන්නට සිදුවීම කිසිසේත්ම කම්පාවට හේතුවක් නොවිය යුතුය. එය විය යුත්තකි. මෙයින් අදහස් කරන්නේ අද රාජපක්ෂ රෙජීමය කරන්නාක්සේ සමස්ත සමාජය විසින් සොල්දාදුවාගේ ඔළුවට ඉඳුල් වතුර හැලිය යුතු බව නොවේ. එහෙත් අන් හැම වෘත්තියකටම සේම මිලිටරියටද උරුම තැනක් ඇත. ඔවුන් සිටිය යුත්තේ එතැනය. මිලිටරිය සිවිල් සමාජය විසින් මල්පුදා හඳුන්කූරු අල්ලා දේවත්වයට පත්කොට පුද කිරීම සමාජයේ ඉදිරි ගමනට දරුණු බාධාවකි. සිවිල් සමාජය මිලිටරිය විසින් පාලනය නොකළ යුතුය. එහෙයින් කාරණා මෙසේ සිදුවීම ගැන අප සතුටු විය යුතුය. ඊට මඟ පෑදීම ගැන සරත් ෆොන්සේකාට අප ස්තූතිවන්ත විය යුතුය.
(මෙහි සාකච්ඡා කොට ඇත්තේ සිංහල සමාජය හා යුද හමුදා – විශේෂයෙන් දක්වා නැතද නාවික ගුවන් ඇතුළත්ව – අතර අන්තර්ක්‍රියාකාරිත්වය පමණි. උතුරේ දෙමළ සමාජය හා යුද හමුදා අතර අන්තර්ක්‍රියාකාරිත්වය වෙනම මාතෘකාවක් නිසාද, ලේඛකයාට ඒ ගැන පළමෝත අත්දැකීම් නැති නිසාද මෙහි සාකච්ඡා කොට නැත.)
Posted in Uncategorized | Tagged: අධ්‍යාපනික සුදුසුකම්, අපොස සාමාන්‍යපෙළ, ආනන්තරිය පාප කර්මය, ජනප්‍රිය පාසල්, ත්‍රස්තවාදී, ත්‍රිකුණාමලය, තිස්සනායගම්, දෙමළ, දෙමළ ජාතික සන්ධාන, දෙමළ සිසුන්, දේශද්‍රෝහි, දේශප්‍රේමි, ප්‍රභාකරන්, පුදුකුඩුඉරිප්පු, බෝධි පූජා, මානව හිමිකම් කඩවීම්, මිලිටරි වන්දනාව, මිලිටරීකරණය, යුද භටයෝ, රණවිරු, රාජපක්ෂ රෙජීමය, රාජ්‍ය අනුග්‍රහය, විශ්‍රාම වැටුප්, ශ්‍රී ලංකා හමුදාව, සරත් ෆොන්සේකා, සිංහල බෞද්ධ ගෝත්‍රික සමාජය, සිවිල් සමාජය, සොල්දාදුවා, Bodhi puja, Civil Society, GCE (O/L), H1N1 virus, Human Right violations, Human Rights, LTTE, militarization, Military Worshipping, occupational hazards, patriotic, Patriotism, Popular Schools, RajapakSha Regime, Sarath Fonseka, Sri Lanka Army, Tamil, Tamil Students, terrorism, terrorist, Tissainayagam, TNA, Trincomalee, Velupillai Pirabaharan | 21 Comments »
Posted by Taboo on November 19, 2009

සති කිහිපයකට ඉහත ලේඛකයාගේ දුර ඥාතියෙක් මිය ගියේය. කිලෝමීටරවලින් පමණක් නොව සියළු ආකාරයෙන්ගෙන් කොළඹින් බොහෝ ඈත, දකුණු පළාතේ පිටිසර ගම්මානයක විසූ, ‘අමරසේකර මාමා/සීයා’ ලෙස හඳුන්වනු ලැබූ මේ ඥාතියා ලේඛකයා සමඟ හෝ ඔහුගේ පවුල සමඟ කිට්ටු සම්බන්ධතාවයක් පවත්වා ගත්තකු නොවේ. මේ ඥාතියා දුප්පත්ය. ඔහු තමන්ගේ හා බිරිඳගේ කුස පුරවා ගත්තේ කුලී වැඩ කිරීමෙන් ලද සීමිත ආදායමිනි. එතකුදු වුවත් ඔහු නොවේ අනුන්ට අතපාන්නට කැමති වූයේ, කරදරයකදීවත්. අළුත් අවුරුද්දට හෝ මුදලක් ඔහු අත තබනු හැකිවූයේ පෙරැත්තයකින් පසුය. ලද පමණින් සතුටු වීමට හැකිවීම උත්තම ගුණාංගයක් නම් ඔහු උතුම් මිනිසකු විය.
මේ ඥාතියාගේ අභාවයෙන් පසු එතෙක් කිසිවකු නොසිතූ තත්වයක් උද්ගත වූයේය. ඔහුගේ බිරියගේ යැපීම සඳහා ආදායම් මාර්ගයක් නොමැති බව කාටක් පසක් වූයේ හත්දොහේ දානය දුන්නාට පසුවය. (ඔවුනට දරුවෝ නොවූහ.) ඇය ජීවිතයේ කිසිදිනෙක රැකියාවක්, අඩු තරමේ ස්වයං රැකියාවක් හෝ කර නොතිබුණාය. සැමියාගේ ඉපැයීම් ඇගේ එකම ආදායම් මාර්ගය විය. කුඩා ගෙපැලක් ඉදිකර තිබුණාට අමතරව, ඔහු සතු ඉතිරිකිරීම් කිසිවක් වීය නොසිතමි. (අමාරුවෙන් එදා වේල සරි කර ගන්නා මිනිසුන්ට ඉතිරිකිරීම් සිහිනයක් පමණකි.) වයස අවුරුදු පනස් පහක මේ දිළිඳු නූගත් කාන්තාවට කවර ලෙසකින් නම් දිවි සුරැකීම පිණිස රැකියාවක් සොයා ගත හැක්කේද?
ඇයට හිමි එකම ඉරණම තම ස්වාමි පුරුෂයා අභිමානයෙන් පිළිකෙව් කළ අනුන්ට අතපා ජීවත්වීමේ මාර්ගයට අවතීර්ණ වීම පමණකි. කිසි ලෙසක ‘පොහොසත්’ යන විශේෂණය භාවිතා කොට විස්තර කළ නොහැකි ඇගේ ඥාතීන්ට එය අමතර බරක් වෙයි. දැන් ඔවුන්ට කරන්නට සිදුව ඇති කැපවීම අළුත් අවුරුද්දට දාහේ නෝට්ටුවක් හෝ සීයේ නෝට්ටු කිහිපයක් අතමිට මොළවනවාට කිහිප ගුණයෙකින් වැඩිය. වයස අවුරුදු පනස් පහක මහළු කාන්තාවකට අවශ්‍ය කුසට අහර පමණක් නොවේ. ඇගේ ඖෂධ සඳහාද මාසයකට නියමිත මිලක් වේ. මින් යම් කොටසක් රජයේ රෝහලින් නොමිළේ ලැබුනද ඊට යාමට පවා බස් වියදම් දැරුව මනාය. ඊට අමතරව ඈ ගිලන් වන කල්හි තනි නොතනියට කිසිවකු රඳවා තැබිය යුතු වේ. මේ සියල්ල මූල්‍යමය වටිනාකම් වලට පරිවර්තනය වන්නේය. ඒ දැරිය යුත්තේ ඥාතීන්ය. තමන්ගේද, තම දෙමාපියන්ගේද, තම දරුවන්ගේද, කුස පිරවිය යුතු, ලෙඩට බෙහෙත් ගත යුතු, කප්පරක් අමතර අවශ්‍යතාවලට උරදිය යුතු ඥාතීන්ය. ඒ තමන් දවසේ පැය අටක් දහයක් කඹුරා, ඉන්පසු තවත් පැය දෙක තුනක් බස්රියට දුම්රියට වියදම් කොට දුෂ්කර ක්‍රියා කොට උපයන සොච්චමිනි. ටික කලකට නොව අවම ලෙස තව වසර පහළොවක් විස්සක් ඔවුන් මේ බර ඇදිය යුතු වේ. මෙසේ පැවසීම අනුකම්පාවිරහිත කුරිරුකමකැයි කෙනකුට පෙනී යා හැකිය. එහෙත් ඒ වගකීම දරන්නට සිදු වන්නන්ට එය කිසි ලෙසකින්වත් ප්‍රසන්න කටයුත්තක් නොවේ. ඔවුන් මේ සමාජ කටයුත්ත කළ යුතු වන්නේ තමන්ගේ දහසකුත් එකක් සිහින ඊට යට කරමිනි. සමාජවාදය දේශනාවට වඩා භාවිතය ඉතා අසීරුය.
මේ හුදෙකලා ප්‍රශ්නයකැයි නොසිතමි. අද යම් රැකියාවකින් මුදලක් උපයන හැම කෙනකුටම පාහේ තම ආසන්නතම පවුලට (immediate family) අමතරව තව කටවල් කිහිපයකට ආහාර සොයන්නට සිදුවීම සාමාන්‍ය සිද්ධියකි. සමහරවිට ඒ මහළු දෙමාපියන් විය හැකිය. (රජයේ විශ්‍රාම වැටුපක් කියා එකක් තිබුණාට, අපේ රටේ විශ්‍රාමිකයන්ගෙන් 90%ක්ම ලබන්නේ රුපියල් 3,000ට අඩු මාසික ආදායමකි. මේ නිසා අති බහුතරයක් විශ්‍රාමිකයන්ට අනිවාර්යයෙන් අනුන්ගෙන් යැපීමට සිදුවේ. දරුවන් සෙවනෙහි සිටිය යුතු දෙමාපියන්ගෙන් මහළු නිවාස පිරී යන්නේද එනිසා විය යුතුය.) සමහරවිට ලේඛකයාට මෙන් දුර ඥාතීන්ය. සමහරවිට ආබාධිත දරුවන්, සහෝදරයන්ය. තම ලේ නෑයින්ගේ නැති බැරිකමට පිහිටක් නොවී ස්වාර්ථය සලසා ගත හැක්කේ අප අතුරින් ඉතාම ආත්මාර්ථකාමී සුළු කොටසකට පමණකැය සිතමි.
තනිව නැඟීමට පවා අසීරු කඳු ගැටයක් වන ජීවිතය තවත් කෙනකු උසුළාගෙන කෙලෙස නම් තරණය කළ හැක්කේද?
අපේ පැත්ත සම්පූර්ණයෙන් අමතක කොට යැපෙන්නන්ගේ පැත්තෙන් බැලුවද මේ පිළිගත හැකි තත්ත්වයක් නොවේ. තමන්ගේ බත්පත පිණිස අනුන් මත යැපෙන්නට කැමති කවර මිනිසාද? ගැහැණියද? තමන් “පිං” හැර නැවත යමක් සමාජයට නොදෙන බව දැන දැනම අනුන්ගේ යමක් බලපොරොත්තු වන්නට වීම ඔවුන්ගේ අභිමානයට පහරක් නොවන්නේද, විශේෂයෙන්ම අනුන්ට අතපා ජීවත් වීම අනුනොදක්නා සංස්කෘතියක් තුළ?
අපේ රටේ මේ ගැටළුව තවදුරටත් උග්‍ර වීමට හේතුව දිනෙන් දින වයස්ගතවන ජනගහණයයි. වඩා දියුණු වූ සෞඛ්‍ය සේවාවන්හි පිළිසරණ ලබන ජනතාව දීර්ඝායු ලබති. එහෙත් යම් වයස් මට්ටමකදී, ආර්ථික හා සාමාජීය හේතූන් නිසා ඔවුන් ශ්‍රම බලකායෙන් ඉවත් කරනු ලබති. මෙහි නොවැලැක්විය හැකි ප්‍රතිඵලය රටේ වැඩකරන්නන්ට සාපේක්ෂව නොකරන්නගේ (යැපෙන්නන්ගේ) ප්‍රතිශතය ඉහළ යාමය. අඩු වයස නිසා ශ්‍රම බලකායට ඇතුළු කරගත් නොහෙන ළමුන්ද, ආර්ථික වශයෙන් සඵලදායී නොවන ශිෂ්‍යයන්ද ඊට එක්වූ විට යැපෙන්නන්ගේ ප්‍රතිශතය තවත් ඉහළ යයි. (වෙන රටවල මෙන් පාර්ට් ටයිම් ජොබ්ස්, සමර් ජොබ්ස් කර ආදායමක් උපයා ගන්නා සිරිතක් නැති අපේ රටේ බොහොමයක් තුන්වන වසර හතරවන වසර සරසවි ශිෂ්‍යයන්ගේ පවා බරපැණ දරන්නේ දිළිඳු දෙමාපියන්ය. ඔවුහුද කිසිම ලජ්ජාවකින් තොරව තම දෙමාපියන් දවස තිස්සේ කඹුරා උපයන මුදල තම පැවැත්මට පමණක් නොව පෙම්වතියට සුවඳ විලවුන් මිලට ගැනීමටද වැය කරති.)
මාක්ස්වාදියකු ලෙස හිතන පතන සමයේ ලේඛකයාට මේ සියල්ල ධනේශ්වර ක්‍රමයේ වැරදි ලෙස සිතා ලෙහෙසියෙන්ම හිත හදා ගැනීමට පුළුවන්කම තිබුණේය. ලෝකයේ සියළු ප්‍රශ්න ඇතිවන්නේ ධනපති ක්‍රමය විසින් පීඩිතයන් සූරාකන නිසාය යන්න ප්‍රායෝගික නොවුනද අතිශයින් සුන්දර සිතිවිල්ලකි. දුකට මුල පෙර භවයන්හි කළ කර්මය යැයි බෞද්ධයන්ගේ කල්පනාවට සමාන සොඳුරු සිතිවිල්ලකි ඒ. එයින් මේ සියල්ලන්ගෙන් අපට අත සෝදාගෙන ඉවත් වීමට හැකිවෙයි. ධනපති ක්‍රමය අපේ නිර්මාණයක් නොවන නිසාය. කවදාවත් ඇති නොවන බව දන්නා විප්ලවයක් මාර්ගයෙන් මේ සියළු ප්‍රශ්න දූරිභූත වේයැයි අප පැරැන්නන් දියසේන කුමාරයා ගැන තැබූ විශ්වාසයෙන්ම විශ්වාස කරන්නෝද වෙති. ලේඛකයාට ඇති ගැටළුව තව දුරටත් එවැනි රෝමෑන්තික සුරංගනා ලෝකයක ජීවත් වීමට ඇති නොහැකියාවය.
යැපෙන්නන්ගේ ගැටළුවට මුල (ඕනෑම අර්ථ ක්‍රමයකට පොදු) සූරාකෑම නොවේ. සූරාකෑම (exploitation) ගැන ගැටළුවක් මතුකළ හැක්කේ පවා මේ පිරිස ආර්ථික ක්‍රියාවලියෙහි කොටසක් නම්ය. එහෙත් මේ කිසිවෙක් ආර්ථික ක්‍රියාවලියෙහි කොටස්කරුවෝ නොවෙති. ඔවුන් විසින් කරනු ලබන කිසිම නිෂ්පාදනයක් නැත. ඔවුන් සමාජයට බරක් වන්නේද එනිසාය. මොන තරම් යහපත් ලෙස ආදායම් බෙදීයන අර්ථක්‍රමයක් නිර්මාණය කළද මොවුන්ට අනුන්ට බරක් වීමට සිදුවේ. බෙදී යනු ඇත්තේ අනුන් උපයන ආදායම්ය. න්‍යායාත්මක පූර්ණ කොමියුනිස්ට් ක්‍රමයක් තුළදී ඔවුන්ගේ බර ඥාතීන්ට නොව සමස්ත සමාජයට ඉසිළීමට සිදුවනු ඇත. එය කිසිසේත් ගැටළුවට විසඳුමක් නොවේ. චීනයේ සිදුවන්නට ඇත්තේ මෙයයැයි සිතමි. ග්‍රාමීය චීනය තවමත් අපටද වඩා දුප්පත් එනිසාය. තමන් රැකියාවක් නොකොට අනුන්ගේ යැපෙන්නන් විශාල ප්‍රතිශතයක් ඉන්නා ප්‍රජාවන්, කවර අර්ථ ක්‍රමයක් යටතේ වුව සඵලදායී (productive) නොවේ.
යැපෙන්නන් විසින් ඔවුනට පමණක් නොව සමස්ත සමාජයටම ඇති කරනු ලබන ගැටළුවට ලේඛකයා දකින්නේ එකම විසඳුමක් පමණකි. ඒ ඔවුන්ගෙන් කොටසක් වත්, පාර්ශ්විකව හෝ නිෂ්පාදන කාර්යයට දායක කර ගැනීමය. මෙය වසර හැට ඉක්මවූ කාන්තාවන් ගාමන්ට් ෆැක්ටරියක සේවයට යැවීමට අනුබල දීමක් සේ වරදවා තේරුම් නොගත යුතුය. එහෙත් ‘ආකාස කුසුම්’ හි සන්ධ්‍යා රාණි පැටිස් තනා වෙළඳපළට නිකුත් කර දිවි සරි කරගන්නවාක් සේ යැපෙන්නන්ද ආදායම් මාර්ග විවෘත කර ගැනීමට උත්සුක විය යුතුය. මේවා අනිවාර්යයෙන්ම කය වෙහෙසා කරන රැකියා විය යුතු නොවේ. දියුණු අර්ථක්‍රමයන්හි කය නොවෙහෙසා වුව, ආබාධිතයකුට වුව කළ හැකි රැකියා අවස්ථා වේ. රජයෙන් ඔවුන්ට ඒ සඳහා පහසුකම් ලැබෙන ආකාරයේ ප්‍රතිපත්ති සම්පාදනය විය යුතුය. එසේ නොවන්නේ නම් යැපෙන්නන් සමාජයට පමණක් නොව ඔවුනටද බරක් වීම නොවැළැක්විය හැක්කේය.
Posted in Uncategorized | Tagged: Akasa kusum, අනුකම්පාව, ආකාස කුසුම්, ආර්ථික ක්‍රියාවලිය, ආර්ථිකය, ඉතිරි කිරීම්, කොමියුනිස්ට්, චීනය, ඥාති සම්බන්ධතා, දරිද්‍රතාවය, දුප්පත්, දුප්පත්කම, ධනේශ්වර ක්‍රමය, ඵලදායීතාව, මාක්ස්වාදය, යැපෙන්නෝ, වැඩ කරන ජනතාව, විරැකියාව, ශ්‍රම බලකාය, සන්ධ්‍යා රාණි, Capitalism, China, Communism, dependents, economy, Marxism, poverty, productivity, relationships, Sandhyaa Rani, savings, sympathy, unemployment, work force | 8 Comments »
Posted by Taboo on November 17, 2009

මේ රාජ්‍ය ආයතන මාර්ගයෙන් “ඊ-නිර්මාණකරුවන්ට” ප්‍රදානය කරනු ලබන්නේය කියන “සම්මාන” ගැන ලියැවෙන තෙවන සටහනය. මේ සටහන ලිවීමට ආසන්න හේතුව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මිතුරන් එකිනෙකා විසින් තම තමන්ගේ බ්ලොග්වල පුන පුනා වහෙන් ඔරෝ බාසාවෙන් පළ කරනු ලබන නිවේදනයකි. මේ වන විට දස වතාවකට වඩා පුනරුච්චාරණය කොට ඇති මේ නිවේදනය උගුරට හොරා බෙහෙත් කෑමකි. ඒ ගැන ලේඛකයා පුදුම නොවේ. තමන් කොයිතරම් නිග්‍රහයට පත් කළද, තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය (Information and Communication Technology Agency හෙවත් ICTA) හා මේ සිද්ධියට ඍජුව වගකිවයුතු .lk වසම් අධිකාරිය බාර ආචාර්ය ගිහාන් ඩයස් තරහ නොකැරගෙන සිටීම යෙහෙකිය ඔවුන් කල්පනා කරනවා වන්නට පිළිවන. එවැනි බැඳීම් නැති හෙයින් කිව යුත්ත කෙළින්ම කීමටය මේ කෙටි සටහන.
රාජ්‍ය ආයතන මාර්ගයෙන් “ඊ-නිර්මාණකරුවන්ට” හෝ බ්ලොග්කරුවන්ට දෙනු ලබන්නේය කියන සම්මාන තනිකරම මගෝඩි ක්‍රියාවලියකි. මෙවන් “සම්මාන” දීම සඳහා මේ කිසිම ආයතනයකට සදාචාරාත්මක අයිතියක් නැත. අද සිංහල භාෂාවෙන් නිර්මාණය වෙමින් පවතින කිසිම ඩිජිටල් අන්තර්ගතයක් මොවුන්ගේ මැදිහත්වීමකින්, උත්තේජනයකින් ඇති වූවක් නොවේ.
Kottu.org හා “සිංහල බ්ලොග් කියවනය” වැනි සින්ඩිකේටරයන් බිහිව ඇත්තේ මේ කිසිම ආයතනයක සම්මාදමක් නැතිව තනිකරම පුද්ගලික උවමනාව මත තනි පුද්ගලයන්ගේ වියදමිනි. මලින්ත සමරකෝන්, බුද්ධික ජයසිංහ, කාලිංග ඇතුලත්මුදලි, සුපුන් සුදාරක ඇතුළු පිරිසක් සිංහල බ්ලොග් කියවනය නිර්මාණයෙහිද, ඉන්ඩි සමරජීව Kottu.org නිර්මාණය කිරීමෙහිද ප්‍රධානත්වයක් ගෙන කටයුතු කළයි අසා ඇත්තෙමි. (මේ නම් සඳහන් කෙරෙන්නේ ඔවුන් කළ සද්කාර්යය අගය කළයුතු නිසාය. මේ කිසිවකු මම නමින් මිස නොදනිමි. වරදක් ඇතොත් නිවැරදි කෙරෙත්වා!) සම්මාන දෙනවා නම් දිය යුත්තේ ඔවුන්ටය. මේ කර ඇති කාර්යයම ඊට ප්‍රමාණවත්ය. ඊට තව තරග අවශ්‍ය නොවේ.
විදේශාධාර මිලියන ගණනින් නාස්තිකරමින් තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් කරන ලද එකම කටයුත්ත යුනිකෝඩ් සම්මතය හඳුන්නා දීමක් පමණක් විය හැකිය. එහෙත් යුනිකෝඩයට බොහෝ ඉහත සිංහල අන්තර්ගතයන් (තිබස් බඳු වෙනත් ෆොන්ට භාවිතාවෙන්) බිහිවූ අතර කන්දක් විලි ලා වැදූ මී පැටවකු බඳු, තවමත් යංසයන් රේපයන් එල්ලා හැලෙන යුනිකෝඩය නැතිවද අද සිදුවෙමින් පවතින පරිවර්තනය වීමට ඉඩ තිබුණේය. (උදාහරණයක් හැටියට ඉතාමත් ඉහළ පාඨක ප්‍රතිචාරයක් ලබන ලංකාදීප, ලක්බිම හා ලංකා ඊ-නිව්ස් මංගත පුවත්පත් තවමත් යුනිකෝඩය භාවිතා නොකරයි.)
තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය හා .lk වසම් අධිකාරිය “ඊ-නිර්මාණකරුවන්ට”, බ්ලොග්කරුවන්ට “සම්මාන” දීමට මැදිහත් වන්නේ එකම හේතුවක් නිසාය. ඒ දැනට වර්ධනය වෙමින් පවතින සිංහල ඩිජිටල් අන්තර්ගතයන් පිළබඳ ගෞරවයෙන් කොටසක් තමන් ඩැහැ ගැනීම සඳහාය. මේ නිර්ලජ්ජිත ක්‍රියාවලියකි. තමන්ගේ කිසිම සම්මාදමකින් තොරව අනුන් කළ දෙයක ගෞරවය ගැනීමට කැස කවන්නෝ අපේ පිළිකුලට මිස ගෞරවයට පාත්‍ර වෙත්ද?
උන්ගේ ආච්චිලාගේ සම්මාන උන්ටම තියාගන්නට කියමු. අප මෙතෙක් කල් ඩිජිටල් අන්තර්ගතයන් නිර්මාණය කළේ උන්ගේ සම්මාන වෙනුවෙන්ද? නැත. අපි අපේ ගමන යමු. ඊට කාගෙන් හෝ කිහිලිකරු අවශ්‍ය නොවේ.
Posted in Uncategorized | Tagged: .lk වසම් අධිකාරිය, ආචාර්ය ගිහාන් ඩයස්, ඉන්ඩි සමරජීව, ඊ-නිර්මාණකරුවන්, කාලිංග ඇතුලත්මුදලි, ඩිජිටල් අන්තර්ගතය, තිබස්, තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය, බ්ලොග්කරුවන්, බුද්ධික ජයසිංහ, මලින්ත සමරකෝන්, යුනිකෝඩ් සම්මතය, ලංකා ඊ-නිව්ස්, ලංකාදීප, ලක්බිම, විදේශාධාර, සම්මාන, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය, සිංහල භාෂාව, Buddhika Jayasinghe, Digital content, Dot lk domain registrar, Dr. Gihan Dias, Indi Samarajiva, Kalinga Athulathmudali, Lakbima, Lankadeepa, Lankaenews, Malinthe Samarakoon, Sinhala Bloggers, Sinhala Bloggers' Union, Thibas, Unicode | 45 Comments »
Posted by Taboo on November 11, 2009

කරාව කොඩිය
අපි සරත් ෆොන්සේකා පුද්ගලිකවත්, දේශපාලනිකවත් කියැවීම හමාර කොට සිටිමු. දැන් ඇත්තේ ඔහු ගෝත්‍රිකව කියැවීමය. මෙය අප්‍රසන්න මාතෘකාවක් විය හැකිය. නමුත් මේවන විටත් එය කෙළින්ම නොවුනත් වරහන් ඇතුළේ කතාබහ කෙරෙන මාතෘකාවක්ව පවතී.
මීට අදාළ ආසන්නතම සිද්ධිය ජනපතිවරණයට ඉදිරිපත්වන්නේ නම් ‘සංඝාඥාවක්’ (එය කවරක් හෝ වේවා) කොට එය නතර කරවන බවට ධර්මවිජය පදනම නම් සිංහල බෞද්ධ අන්තවාදී එන්ජීඕවක් නියෝජනය කරමින් මැදගම ධම්මානන්ද නම් බෞද්ධ භික්ෂුවක් ප්‍රකාශ කිරීමය. (20,000 පමණ වන මෙරට බෞද්ධ භික්ෂූන් වෙනුවෙන් තනි බෞද්ධ භික්ෂුවකට මෙබඳු ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයක් කිරීමට ඇති අයිතිය වෙනම සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයකි. එසේම සරත් ෆොන්සේකා සමඟ මොන මතවාදීමය ගැටළු තිබුනද, වැඩවසම් යුගයට උචිත මෙබඳු උන්මත්තක ක්‍රියා මාර්ගයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීම අවුරන්නට උත්සාහ ගන්නේ නම් මේ ලේඛකයා පවා දැනට වඩා ඉඳුරා වෙනස් දේශපාලන ආස්ථානයක් ගනු ඇති බව පමණක් සටහන් කළ යුතුය.)
මැදගම ධම්මානන්දගේ ප්‍රකාශය වැදගත් වන්නේ ඔහු තම තනතුරු නාමය තුළ ‘අස්ගිරි’ යන වචනය භාවිතා කිරීම නිසාය. තම එන්ජීඕ ප්‍රතිරූපය වෙනුවට සියම් නිකායික භික්ෂු ප්‍රතිරූපය ඉස්මතු කර ගැනීමේ සවිඥානක උත්සාහයක් නොවේද මේ? මෙය තව දුරටත් පැහැදිළි වන්නේ අදාළ ‘සංඝාඥාව’ (එය කවරක් හෝ වේවා) නිකුත් කිරීමට එක්වූ සංඝ සමාජයේ සාමාජිකයන් නොවන පිරිස සැලකූ කල්හිය. විමල් වීරවංශගේ, ගුණදාස අමරසේකරගේ හා මැන්දිස් රෝහණදීරගේ රාජපාක්ෂිකභාවය නොරහසකි. ඉතිරි දෙදෙනා ඊට එක් වන්නේ ඔවුන්ගේ පටු වර්ගවාදී අදහස් නිසාමද?
නැත යන්න ලේඛකයාගේ අදහසයි. අන්ත සිංහල වර්ගවාදියකු වුව දෙමළ බලය ඉඳුරා බුන් කළ වර්තමාන දශමහායෝධාවතාරය සේ ගිණිය හැකි සරත් ෆොන්සේකා විෂයෙහි මෙබඳු දැඩි පියවරක් වෙනත් කිසිම උත්තේජනයක් නැතිව ගණිතැයි අපේක්ෂා කළ නොහැකිය. හරිස්චන්ද්‍ර විජේතුංග හා ඕල්කට් ගුණසේකර යන දෙදෙනාම අතීතයේදී නියෝජනය කොට ඇත්තේ අන්ත සිංහල වර්ගවාදී දේශපාලනය පමණක් නොවේ. මේ තම තමන් අයත් වන කුල වෙනුවෙන් පැහැදිළි දායකත්වයක් දක්වන ලද චරිත ද්වයකි. (හරිස්චන්ද්‍ර විජේතුංග තම ත්‍රී-වීලර් පක්ෂය නම්කොට ඇත්තේද ‘භූමිපුත්‍ර’ පක්ෂය ලෙසින් මිස ‘සාගරපුත්‍ර’ හෝ ‘වෘක්ෂපුත්‍ර’ පක්ෂය ලෙසින් නොවන බවද සැලකුව මනාය.)
එසේනම් කුමක්ද මේ තර්ජනය? පුද්ගලික, දේශපාලන හෝ වාර්ගික අර්ථයෙන් කළ එකකට වඩා හුදෙක් කරාවේ කුලයේ ෆොන්සේකා රටේ නායකත්වයට පත්වීම වළකන්නට “තෝ ආවොත් බලාගෙනයි” කියන, ගොවිගම ප්‍රමුඛ අනෙකුත් කුලයන් පත්තු කරන පළමු වෙඩි උණ්ඩය නොවේද මේ?
මෙය තව දුරටත් පැහැදිළි කොට ගත හැක්කේ සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ පෙර සූදානම් කතාව කියැවීමෙනි. මෙහි ඇති කිසිම දේශපාලනයක් නැත. මේ කතාව ඇරැඹෙන්නේ බොහෝ දෙනා සිතනවාට පෙරය. එසේම එය ඇරැඹෙන්නේ එජාපයෙන් හෝ ජවිපෙන් නොවේ. එජාපයේ සමහර කොටස් සේම ජවිපෙද බලාපොරොත්තු තියාගෙන සිටි පොදු අපේක්ෂකයා සරත් ෆොන්සේකා නොව සරත් නන්ද සිල්වාය. ඔවුන් ෆොන්සේකාගේ නැට්ටේ එල්ලෙන්නේ පසුවය. දැනට හෙළිවෙමින් පවතින තොරතුරු අනුව ෆොන්සේකාට මේ බලපෑම මුලින්ම එල්ල වෙන්නේ තම කුලයෙනි.
ගාර්දිහේවාගේ සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා අයත් වන කරාව කුලය ගැන බොහෝ දේ කතා කළ හැකිය. (වැඩි විස්තර: http://www.karava.org හා http://www.defonseka.com සමහරවිට ලංකාවේ කුලයක් සම්බන්ධව වඩාත්ම විස්තර ඇති අඩවි දෙක මේ විය හැකිය.) දැනට පොදු ව්‍යවහාරයේ මසුන් මරන්නන්ගේ කුලය ලෙස සැලකෙතත් කරාව කුලය පුරාණ භාරතයේ කෞරව හා ක්ෂත්‍රිය වංශ වලින් පැවත එතැයි එකුලයෙහි ඇත්තන්ගේ මතයයි. මේ ගැන ඓතිහාසික තොරතුරු ලේඛකයා නොදනිතත් කරාව කුලය අතීතයේ ලාංකීය සමාජයේ සැලකිය යුතු තැනක් හිමිකොට ගෙන තිබූ බව අනුමාන කළ හැකිය. එසේම මේ රණකාමීන්ගේ කුලයක් බවටද සැක නැත. LTTEයට එරෙහි යුද්ධයේදී පෙරමුණ ගත් ෆොන්සේකලා, සිල්වලා, ප්‍රනාන්දුලා අයත් වූයේ මේ කුලයටය.
කරාව කුලය වැදගත්කමින් දෙවන තැනට පත්වන්නේ යටත් විජිත සමයේදීය. ඒ පළමුව ලන්දේසීන්ගේ හා පසුව ඉංග්‍රීසින්ගේ පා ලෙවකා තාන්න මාන්න ලබන පිරිසක් ‘ගොවිගම’ නමින් අළුත් කුලයක් අටවා ගන්නා නිසාය. පුරාණ සිංහල ග්‍රන්ථයන්හි ‘ගොවි’ කුලයක් ගැන කියැවෙතද ‘ගොවිගම’ ලෙසින් කුලයක් හඳුනා නොගැනේ. එසේම මේ ගොවිතැනෙහි යෙදුනන්ගේ කුලය නම් බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෙළෙඳ, ශුද්‍ර සේ බෙදුණු ආදි සමාජය තුළ එය අයත් විය යුතුව තිබුණේ ඉහළම නොව පහළම මට්ටමටය. ගොවියාට ඒ සමාජයේ ලැබුණේ එතරම්ම පහත් සැලකීමකි. (උම්මග්ග ජාතකයේ මහෞෂධ පණ්ඩිතයන් නිග්‍රහයට ලක් කළ යුතු හැම තැනෙකදීම සේනකාදී අනෙකුත් පණ්ඩිතයන් විසින් යොදා ගනු ලබන්නේ ‘ගොවියා පුත්’ යන යෙදුම බව සිහියට ගන්න.)
පළමුව ලන්දේසීන්ටද, දෙවනුව ඉංග්‍රීසීන්ටද නිර්ලජ්ජි ලෙස ගැතිකම් කොට තනතුරු, නම්බුනාම ලබාගන්නා බණ්ඩාරනායකලා, සේනානායකලා, ජයතිලකලා, විජයවර්ධනලා, වික්‍රමසිංහලාගේ මුතුන් මිත්තන් විසින් වැරදි ඉතිහාසයක් මවා පාමින් ‘ගොවිගම’ කුලය නිර්මාණය කරනු ලබන්නේ එතෙක් සමාජයේ ඉහළම කුලයක් සේ ගැණුනු කරාව කුලයට අභියෝගයක් ලෙසය. රටේ දේශපාලන හා ව්‍යාපාරික බලය ගෝත්‍රිකව ඩැහැ ගැනීමේ අපේක්ෂාව හැරුණු විට විට ගොවිගම කුලයට අන් කිසිම පොදු අනන්‍යතාවයක් නැත. මේ නව කුලය වර්ධනය කිරීම ඉතාම සියුම්ව සිදුවේ. එක් පියවරක් දහ අටවන වන සියවස විට නවමු සියම් නිකාය බොදුනු බලය පිරිහුණු, සැලකිය යුතු කරාව ජනගහණයකින් යුතු, පහතරට යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට කිරීමට මූල්‍යාධාර ලබා දීමය. (සුනීත වැනි සැඩොලුන්ට ගෞතම බුද්ධ සමයේ බුද්ධ ශාසනයට පිවිසිය හැකි වුවද වර්තමාන සියම් නිකාය ගොවිගම හැර අන් කිසිම කුලයක කෙනකු මහණ නොකරයි. කොයි තරම් ‘සුපිරි දේශප්‍රේමීන්’ වුවද කවදා හරි මහණ වෙන්නට අවශ්‍ය වුවහොත් සරත් ෆොන්සේකාට පමණක් නොව ශවීන්ද්‍ර ද සිල්වාටද, විමල් වීරවංශටද සියම් නිකායේ දොර විවර නොවනු ඇත්තේය.) දෙවන පියවර ඒවන විට බල බිඳෙමින් පවතින උඩරට රදළයන් සමඟ ආවාහ විවාහ මඟින් සම්බන්ධතා ගොඩ නඟාගෙන ඔවුන්ද ‘ගොවිගම’ අනන්‍යතාවයේ කොටස්කරුවන් කර ගැනීමය. මෙය අන්ධයා හා කොරාගේ එක් වීමකි. උඩරට රදළයන්ට කබල් ගාන්නට වංශයක් තිබේ; නමුත් ධනයද යටත් විජිත රජයේ පිළිගැනීමද බලාපොරොත්තුවන තරමින් නැත. පහතරට නැඟීඑන රදළයන්ට ඉතිහාසයක් නැතද, ධනයද, සුද්දන්ගේ පා ලෙවකා ලබාගත් අද්මිනිස්ත්‍රාත් බලයක්ද ඇත. තම නොහැකියාවන් වසා ගැන්මට හැකියාවන් එක් කිරීම තුළින් මේ දෙපිරිස විසින් ජන කොට්ඨාශයක් අළුතින් නිර්මාණය කරනු ලැබේ. (වැඩි විස්තර සඳහා කුමාරි ජයවර්ධනගේ Nobodies To Somebodies : The Rise of the Colonial Bourgeoisiee in Sri Lanka කියවන්න.)
මේ ‘ගොවිගම’ කුලය ඉතාම අපූරු නිර්මාණයකි. එහි නයුවෝ සුද්දන් ඉදිරියෙහි දණින් වැටෙති. උන් වෙනුවෙන් හැකි හැම බලුකමක්ම කරති. (යටත් විජිත අවදියේ සුද්දන් කළ වැරදි ලෙස අද අප දන්නා බොහොමයක් වැරදි මොවුන් කළ ඒවාය.) උන්ගේ ආගම් වැළඳ ගනිති. (ලේඛකයාගේ මතකය අනුව මයිකල් රොබට්ස් වරෙක ප්‍රකාශ කළේ මේ පවුල් වලින් වැඩිහරියක් පෘතුගීසි සමයේ රෝමානු කතෝලිකද, ලන්දේසි යුගයේ රෙපරමාදු හෝ ප්‍රොතෙස්තන්තද, ඉංග්‍රීසි සමයේ ඇංග්ලිකන්ද වී අද බෞද්ධ වී ඇති බවයි.) ඒ සියල්ල මැද ස්වදේශිකයන් අතර කේසර සිංහයන් සේ ඔවුන්ගේ ගැලවුම් කාරයන් ලෙසද පෙනී සිටිති. වෝර් බොන්ඩ්ස් මිළට ගැනීම තමන් යුද්ධයේදී මිතුරු පිළට දැක්වූ පක්ෂපාතීත්වයක් සේ සලකන්නැයි බයාදු ලෙස ආණ්ඩුකාරයාට ලියන අනගාරික ධර්මපාලම ‘සුද්දාට තලනු’ යි ඉඳුරා වෙනස් බසක් ස්වදේශිකයන් ඉදිරියේ මොරදෙයි. ඊට රැවටෙන ස්වදේශිකයෝ ධර්මපාල යුග පුරුෂයෙකැයි තෙමේම ඇඳ ගනිති.
නව ‘ගොවිගම’ කුලයෙහි සටකපට උපායන් කොයිතරම් සියුම්ද යත් ඔවුහු යාබද ඉන්දියාවේ සිදුවූවාක් බඳු නිදහස් සටනක් නැතිවම රට සියළු ජන කොටස් වෙනුවෙන් සිංහල බෞද්ධ ගොවිගම ආධිපත්‍යයට රට බාරදී යන තැනට සුද්දා පත් කරනු ලබන අතර ඉන් පසුව පවා දශක හයක් යනතුරු ඒ ආධිපත්‍යය නොබිඳ රැක ගැනීමට සමත් වෙති. සේනානායකලා, කොතලාවලලා, බණ්ඩාරනායකලා, ජයවර්ධනලා, රාජපක්ෂලා රටේ මහ ජනතාවට පෙන්නා දී ඇත්තේ නිල්, කොළ පාට තවරමිනි. නමුත් මේ බොරුවට දෙපැත්තට බෙදී අපට පෙනෙන්නට සටන් කළ එකම පැහැයක සතුන් රැළකි. මොවුන්ගේ ඇති කිසිම වෙනසක් නැත. (ගොවිගම කුලයේම වුව රනිල් වික්‍රමසිංහ මීට වෙනස් චරිතයකැයි සිතමි. එසේ වී ඇත්තේද ඔහු මේ පොළොවේ පය ගසා නොසිටින කෙනකු නොවන නිසා විය හැකිය.)
වසර හැට එකක් තුළ මේ ගොවිගම ආධිපත්‍යයට ඍජුව අභියෝග කළ දේශපාලන නායකයින් බිහිව ඇත්තේ සිව්දෙනකු පමණකි. පළමුවැන්නා සී. පී ද සිල්වාය. චෙල්වනායගම් ගේ පූර්ණ සහය ලැබ 1960දී තමන්ගේ අගමැතිකම යටතේ ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව ලබන සී. පී. ද සිල්වාට ඒ අවස්ථාව නොලැබෙන්නේ අග්‍රාණ්ඩුකාර ගොවිගම කුලයේ ඔලිවර් ගුණතිලක එය වළකන බැවිණි. වෙනත් දේශපාලන සළු පිළි පොරවා ගෙන වුව රෝහණ විජේවීර හා විජය කුමාරතුංග එක්තරා මට්ටමක බලයක් ලබා ගන්නා මුත් දෙදෙනාම අකාලයේ මිය යාම නිසා එය ඇණහිටී. ඒ අනුව ගොවිගම ආධිපත්‍යයට අභියෝග කර ජය ගන්නා එකම අවශේෂ-කුල දේශපාලකයා වන්නේ ආර්. ප්‍රේමදාසය. ඒද කුලයට වඩා පන්තිය වැදගත් වන මොහොතක ඔහු බිහිවීම නිසාය.
ගාර්දිහේවාගේ සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා ජාතික තලයේ දේශපාලනට අවතීර්ණ වීම කරාව කුලයට අතිශයින්ම වැදගත් වන්නේ එනිසාය. තම ආධිපත්‍යය පැහැරගෙන සියවස් ගණනක් තමන් දෙවැනි තැනට පත්කළ ගොවිගම කුලය පැරදිය නොහැකිනම් ඔවුන්ට කරටකර සටනක් දෙන්නට මෙතරම් සුදුසු අවස්ථාවක් මෑත ඉතිහාසයේ මෙතෙක් පහළව නැත. ෆොන්සේකාගේ ආගමනය ගැන අධිරාජයා කලබොල වී සරමේ මුත්‍රා කරගන්නේද ඔහුට එකතුවෙන එජාප ජවිපෙ ඡන්ද අතළොස්ස ගැන සිතී නොව රුහුණු පුරවර මහා පරිමාණ කරාව ඡන්ද බැංකු ගැන සිතා විය හැකිය.
දේශපාලන වශයෙන් පමණක් කල්පනා කොට මේ ලේඛකයා විටෙක උපකල්පනය කළේ සරත් ෆොන්සේකා ජනපතිවරණයකට ඉදිරිපත්විය හැකි ඉඩ නොගිණිය හැකි තරම් අවම බවය. නමුත් ගෝත්‍රික කියැවීම තුළ එය වෙනස් විය හැකිය. මේ කිසිවක් තවම අවසාන නිගමන නොවේ. අපි කතා කරමු.
Posted in Uncategorized | Tagged: Anagarika Dharmapala, Asgiri, අනගාරික ධර්මපාල, අස්ගිරි, ආර්. ප්‍රේමදාස, උම්මග්ග ජාතකය, එජාප, එන්ජීඕ, ඔලිවර් ගුණතිලක, කරාව, ක්ෂත්‍රිය, කුමාරි ජයවර්ධන, කුලය, කෞරව, ගාර්දිහේවාගේ සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා, ගුණදාස අමරසේකර, ගොවිගම, ජනපතිවරණය, ජයතිලක, ජවිපෙ, ධර්මවිජය පදනම, පහතරට, ප්‍රජාතන්ත්‍රවාදය, බණ්ඩාරනායක, බ්‍රාහ්මණ, බෞද්ධ භික්ෂුව, භූමිපුත්‍ර පක්ෂය, මයිකල් රොබට්ස්, මහෞෂධ පණ්ඩිතයන්, මැදගම ධම්මානන්ද, මැන්දිස් රෝහණදීර, රදළ, රෝහණ විජේවීර, වික්‍රමසිංහ, විජය කුමාරතුංග, විජයවර්ධන, විමල් වීරවංශ, වෛෂ්‍ය, ශවීන්ද්‍ර ද සිල්වා, ශුද්‍ර, සංඝාඥාව, සරත් නන්ද සිල්වා, සරත් ෆොන්සේකා, සියම් නිකාය, සී. පී ද සිල්වා, සේනානායක, හරිස්චන්ද්‍ර විජේතුංග, Bhoomiputhra Party, Buddhism, caste, Caste in Sri Lanka, Caste System, Democracy, Dhamavijaya Foundation, Ethnic Issue, Govigama, Gunadasa Amarasekera, Harischandra Wijetunga, JVP, Karava, Kumari Jayawardena, LTTE, Mendis Rohanadheera, NGO, Nobodies To Somebodies : The Rise Of The Colonial Bourgeoisiee In Sri Lanka, Oliver Goonatilake, politics, Presidential Election, R. Premadasa, racism, Rohana Wijeweera, Sarath Fonseka, Sarath Nanda Silva, Siam Nikaya, Siyam Nikaya, Ummagga Jathakaya, UNP, Vijaya Kumaratunga, War in Sri Lanka, Wimal Weerawansa | 47 Comments »
Posted by Taboo on November 9, 2009

කවරක් මැය කොට ගත්තද පසුගිය මාස කිහිපය මුළුල්ලේ ලේඛකයා විසින් යත්නයෙන්ම අත්හළ මාතෘකාවක් වූයේ ස්වකීය වෘත්තීය ජීවිතය හා සබැඳි සිද්ධීන්ය. ඊට හේතුව බොහෝ කාලයකට ඉහත පීඨාධිපතිවරයකු විසින් ‘ඇතුළත ගිනි පිටතට නොදෙන්නැ’යි දෙනු ලැබූ උවදෙසකි. එහෙත් පසුගිය සතියේ දවසක, මූසල උදෑසනක, දරුණු වැසි සහිත කාලගුණය විසින් පාළු කාමරයක හුදකලා කොට තිබියදී සගයකු විසින් පුරසාරම් මුඛයෙන් ප්‍රකාශිත මේ ලිංගික අත්දැකීම සිරකොට තැබීම කුහක කමකැයි ඔහුට සිතුණේය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යනු වෙනස් මැටියෙකින් නිර්මිත මිනිසුන් කොට්ඨාශයක් නොවෙති. ඔවුහුද ලෙයින් මසින් සැදි, මේ ගෙන්දගම් පොළොවේ පය ගසා නැඟී සිටීමට වෙරදරන පෘතග්ජන මනුෂ්‍යයෝය. සරත් විජේසූරිය මහැදුරුතුමන්ගේ ‘මගේ නඩුව ඉවරයි’ නවකතාවෙන් පිළිඹිබු කෙරෙන ලෙසින්ම පටු හැඟීම්වලින් පාලනය කරනු ලබන්නෝය; අපාය සහායකයෝය; කලාතුරෙකින් යහපත් මිනිස්හුය. උපකල්පිත උගත්කම විසින් ඔවුන් අනෙකුන්ගෙන් වෙනස් කරනු ලබන්නේය සිතීම හිතළුවකි.
මගේ වෘත්තීය සගයා වයස තිහකට මඳක් වැඩි විය හැකි කථිකාචාර්යවරයෙකි. විවාපත් වී වසර තුනක් හෝ හතරක් විය හැකිය. දරුඵල ලබා නැත්තේය. දැනට මාස කිහිපයක සිට, රජයේ ආයතනයක සේවය කරන ඔහුගේ බිරිඳ පුහුණුවක් සඳහා එතෙර ගොසිණි. මේ ඉසඹුව කම් සැප ඉල්ලා හඬන තම යව්වන සිරුර සංතෘප්තිමත් කිරීම සඳහා සුදුසු නිදහසට කාරණයකැයි ඔහු කල්පනා කරයි. බොහෝ විට සිදුවන පරිදි ඔහුගේ ගොදුර නවයොවුන් සරසවි දියණියකි.
දඩයක්කාරයා තමාම නොවන බවත්, තමා විසින් කරන ලද්දේ අනෙකෙකුගේ දඩයමින් කොටහක් ඩැහැ ගැනීම පමණක් බවත් ඔහු කියයි.
“දන්නවද කවුද සෙට් කළේ කියල. ඩොක්ටර් …… මිනිහ ඒකිට උගන්නන්නේ ස්ටැටිස්ටික්ස් විතරක්ම නෙවෙන පාටයි.”
මේ දැනට මැදිවිය පසුකරමින් ඉන්නා, කලෙක ලේඛකයාගේද ගුරුවරයකු වූ, දැන් තට්ටය පෑදුනු ජ්‍යෙෂ්ට ආචාර්යවරයෙකි. එකල අපි ඔහුට Student කීමු. අනෙකුන්ට මෙන් වලහා, බූරුවා, තට්ටයා නොකියා ගෞරවාන්විත නාමයක් දුන්නේ ඔහු ඊට නිසි වූ නිසාය. Student Distribution හඳුන්නා දුන් කිසිදා තම නමින් පළ නොකළ පර්යේෂකයා තරමටම සීතලයකු වූ නිසාය. ඩොක්ටර් …… නරක මිනිසෙකැයි මම නොසිතමි. නමුත් තනතුරුවලට, ගෙවල්වලට, යානවාහනයන්ට ලොබ බැඳ ලොක්කන්ගේ දියණියන් කරකාරයට ගන්නා අහිංසකයන්ට ජීවිතය පුරා තම අඹුවන්ගේ සිරකරුවන් බවට පත්වනු මම දැක ඇත්තෙමි. ඩොක්ටර් …… තම සිර මැදුරෙන් පිටත නැවුම් පිච්ච මල් සුවඳක් සොයනවා විය යුතුය.
පාඨකයින් අපේක්ෂා භංගත්වයට පත්විය හැකි මුත් සගයාගේ ලිංගික අත්දැකීම පියවරින් පියවර විස්තර කිරීම අනුචිත යැයි ලේඛකයාගේ කල්පනාවය. ඒ ඔහු අශෝක හඳගම නොවන නිසාය. සිද්ධිය වූ දිනය හෝ වේලාව වැදගත් නොවතුදු ස්ථානය වැදගත්ය. ඒ මා කලින් කී ඩොක්ටර්……ගේ නිල කාමරයය.
ජ්‍යෙෂ්ට ආචාර්යවරයා විසින් “සර්ව හොඳට බලාගන්න” කියා සිය නිල කුටියෙහි තනි කරනු ලැබීමෙන් පසුව, ගම කොහේද, ඉගෙන ගන්නේ මොනවාද, සරසවිය ගැන ඈ සිතන්නේ කුමක්ද වැනි කෙටි පිළිසඳර ප්‍රශ්න කිහිපයකින් පසුව, ඇයම පුරුදුකාරියක ලෙසින් ලිංගික අභ්‍යාසයට අවතීර්ණ වූ බව මගේ සගයා විස්තර කරන්නේ ස්ටැන්ලි කුබ්‍රික්ගේ සිතුවම්පටයකටත් වඩා සජීවී ආකාරයෙනි.
“මාර බඩුවක්. ඒකිට කිසි ගාණක් නෑ බං. කියන්නත් කලින් බ්ලව්ස් එක ගලවන්න යනකොට මුලින්ම මම නැවැත්තුවා. මෙන්න විනාඩි පහකට පස්සෙ එක පාරටම ඔක්කොම ගලවනවා ඒකිම කිසි ගාණක් නැතුව…”
කාමයෙන් අන්ධ වූ මා සගයා නොදකින පසුතලය මම දකිමි. මේ කටයුත්ත වින්දනයක් වන්නේ ඔහුට මිස ඇයට නොවේ. ඇගේ අභිප්‍රාය හැකි ඉක්මණින් එක දාගෙන, කළ යුතු නිසාම කරන මේ අප්‍රසන්න කාරිය අහවර කිරීමය. තම ලිංගික සහකරුවාට ඇඳුම් එකින් එක, කටයුත්තේ තෘප්තිය ඉහළින්ම විඳිමින්, ගලවන්නට ඉඩ දීම නිකරුණේ කාලය වැය කිරීමකි. ස්වේච්ඡාවෙන්ම ඈ ඊට ඉදිරිපත්වන්නේ එනිසාය.
“ඇඳල ඇඳල හමගිය, ඉරිච්චි බ්‍රා එකක් ඇඳගෙන හිටියෙ. මුනුත් අපි ඒ දවස් වල ඇන්ද වගේ තමා තාම අඳින්නෙ…”
“කෙල්ල ලස්සනද?” මා අසන්නේ “කෙල්ල දුප්පත්ද?” අසන්නට බැරි නිසාය.
“අනර්කලී තරම් නෑ. මේ බදුල්ල පැත්තෙ බෝගොඩ පාලම දිහාවෙ පිටිසර ගමක එකියක්නෙ. මූණ නං ගන්ඩ දෙයක් නෑ. ඒත් ඇඟ ලස්සනයි. කළුයි. කෙට්ටුයි. ගැට දොඩම් ගෙඩි දෙකක් තරම් වත් නෑ. නියම ගාන.”
මේ ගම්බද කෙල්ලන් හැම එකියක්ම නොවැඩුණු කෙසඟ සිරුරකට හිමිකම් කියන්නේ මන්දැයි මා සගයා නොදන්නවා විය යුතුය. ගමේ කෙල්ලන් සේම කොල්ලෝද කුඩා කළ නිසි අහරක් නැතිව මන්ද පෝෂණයට ලක් වූවෝය. දරුවන් හයක් හතක් ඉන්නා, දෙමාපියන්ට එක වේලකටවත් පෝෂ්‍යදායී ආහාරයක් නැති පවුල්වල උපත ලබන මොවුන්ගේ මන්දපෝෂණය පටන්ගන්නේ ළදරුවියේදී මව්කිරක් කියා දෙයක් නොලැබීමටත් පෙරාතුව, මව්කුසේදීමය. වැඩිවිය පත්වන කල පිඟානට බෙදෙන කොස් පොළොස් මැල්ලුම්වල, බත්, කිරි, බිත්තර, මස්, මාළු වල ඇති පෝෂ්‍ය ගුණය නැත. කුඩා කල සිට නගරයේ හැදී වැඩී කලාතුරෙකින් විනෝදගමනකට පමණක් කොළඹින් පිටට යන මා සගයා සිතනු ඇත්තේ උන් මේ කෙසඟ සිරුරු තනා ගන්නේ ඕනෑකමින් රූප ලාවන්‍ය උපදෙස් මත ඩයට් කර, සිය පිය බිරිය කරන ආකාරයට සිරුර සකසා ගන්නා උපක්‍රම අනුගමනය කිරීම නිසා කියා විය යුතුය.
සගයා සිසුවියගේ නම මට නොකියන්නට පරෙස්සම් වෙයි. ඇය මගේද සිසුවියක් විය හැකි නිසාය සිතමි. එහෙත් ගමේ විස්තර ඔහු නොදැනුවත්වම ලිස්සූ නිසා අවශ්‍ය නම් මට ලෙහෙසියෙන් ඇය වෙන්කොට ගත හැකිය. මම ඊට නොවෙහෙසෙමි. ශිෂ්‍යාවන් සමඟ මගේ ඇති සබඳතාවය වෙනස්ය. මම “හදන්න බැරි ගණන් අහගන්නට” ඔවුන්ට කාමරයට එන්නට නොකියමි. පැවරුම් අප්‍රසිද්ධියේ නොව ප්‍රසිද්ධියේ අගයමි.
සගයාගේ එකම දුක් ගැනවිල්ල ලිංගික අත්දැකීම පූර්ණත්වයට පත් කර ගැනීමට බැරිවීම ගැනය. ඒ ඇගේ අකැමැත්තක් නිසා නොව ඔහු වෙත කොන්ඩෝමයක් නොතිබුණු හෙයිනි. “ඒත් අවුලක් නෑ. ඩොක්ටර්…… කිව්ව ඕනැ වෙලාවක කියන්න කියල…”
මේ සිද්ධිය බ්ලොගයේ ඇතුළත් කරන්නට වැඩියත්ම මා පෙළඹවූයේ ඉන්පසු ඔහු කියූ දෙයයි.
“මට ඒකි ගැන පව් කියල හිතුන මචං. කීයක් හරි දෙන්න කියල හිතාගෙන හිටියෙ. ඒත් මං වොෂ් එකක් දාගෙන එනකොට ඒකි ගිහින්. මම ඩොක්ටර්……ට රුපියල් දෙදාහක් දීල ආව දෙන්න කියල. ඩොක්ටර් …… නම් කිව්ව ඕනැත් නෑ කියල…”
දැවැන්ත දැනුම් සම්භාරයක්, රැකියාවක් ලබා ගත හැකි උපාධි සහතිකයක් ලබාගන්නට ගමේ සිට එන යුවතියන් නැණවතුන්ට, විද්‍යාර්ථින්ට කෙම් බිමක් වේය කියනු ලබන මේ පරිසරය තුළ කෙතෙක් දරුණු ලෙස සූරාකෑමට ලක්වන්නේද යන්න වටහා ගැන්ම සඳහා මේ කියමන ප්‍රමාණවත්ය සිතමි. ඇගේ ලිංගික පහසෙහි මිළ කණිෂ්ඨ ගුරුවරයකුට රුපියල් දෙදහසකි. ඒද “පව් කියලා හිතෙන” නිසාය. ඇයගේම ජ්‍යෙෂ්ට ගුරුවරයා ඊට මිළක් ගෙවීම පවා අවශ්‍ය නැති ආකාරයේ සිම්පල් දෙයක් බව සිතයි. මෙය මාක්ස් විසින් වත් අර්ථ නොදක්වන ලද ආකාරයේ, වැඩවසම් යුගයේ මිස පූර්ව ධනවාදී යුගයේවත් සිදුවිය නොහැකි ආකාරයක නින්දනීය කුරිරු සූරාකෑමකි. (මේ ලේඛකයා ඇසූ පළමු සිදුවීම නොවේ. නමුත් මින් පෙර මෙවැනි සිද්ධීන් ඔහු අසා තිබුණේ වැඩිකොටම ශිෂ්‍යයකු හැටියට හෝ තෙවන පාර්ශවයක මුවිනි. දඩයම්කරුවාගෙන්ම මේ තරම් විස්තර ඇතිව ඇසූ පළමු වතාවයි මේ.)
මම මේ සිසුවියගේ දෙනෙතින් ලොව දකින්නට උත්සාහ කරමි. ඇය මේ ක්‍රියාවෙහි යෙදෙන්නේ කැමැත්තකින් නොවිය හැකිය. තම මිතුරියන් සේම ඇයද එක පිරිමියකු තෝරාගෙන ඔහු සමඟ හන්තාන කඳු මුදුනේ පැලක් අටවන දිනය ගැන සිහින මවන්නට ආසා කරනවා විය යුතුය. එහෙත් මා නොදන්නා කවර හෝ හේතුවක් නිසා ඇයට මේ කාලකණ්නි ජීවිතය ගත කරන්නට සිදුව ඇත. ඩොක්ටර් …… ඇයට මුදලින් ආධාර කරනවා විය හැකිය. පුංචි කටවල් හතර පහකට බත් කටක් දෙකක් සඳහා මාස්පතා යවන්නට මුදලක් දෙනවා විය හැකිය. නැතිනම් පියකු නැති අඩුව සපුරනවා විය හැකිය. කවරක් කළද ඔහු ඇගෙන් පෙරළා අපේක්ෂා කරන දෑ කවර සමාජයක සදාචාරයට වුව අනුකූල විය නොහැකිය.
මම ජීවිතය තේරුම් ගන්නට උත්සාහ නොකරමි. එබැවින් මේ තවත් අසම්පූර්ණ සටහනක නිමාවය.
සැයු: මෙහි දැක්වෙන චිත්‍රය වානිජමය නොවන කටයුත්තක් (non commercial) සඳහා Creative Commons යටතේ http://igorandandre.blogspot.com/2008/09/prints-update.html ගෙන් ලබා ගන්නා ලදී. ස්තූතියි.
Posted in Uncategorized | Tagged: අනර්කලී, ආචාර්යවරුන්, උපාධිය, කථිකාචාර්ය, කාමය, කොන්ඩෝම, ඩොක්ටර්, පෘතග්ජන මනුෂ්‍යයෝ, මගේ නඩුව ඉවරයි, මන්ද පෝෂණය, ලිංගික අත්දැකීම්, ලිංගික අභ්‍යාසය, විශ්වවිද්‍යාල, සරත් විජේසූරිය, ස්ටැන්ලි කුබ්රික්, සිසුවිය, Condom, Degree Certificate, Education in Sri Lanka, Free Education, Lecturer, Malnutrition, poverty, sex, sexuality, Student Distribution, Student Teacher Sexual Relationships, University Acedemics, University Life | 58 Comments »
Posted by Taboo on November 7, 2009
කනා මිණි වළලු නැඟි රැස් මල් කැණැතී
මනා දිඟු ඇඟිළි නව තඹ ළපලු ඇතී
දනා කැමැති දෙන පළඹත එසුර පතී
දිනා දිමුතු සිරි අතු සුරතුර පැවතී
– සැළලිහිණි සන්දේශය, විභීෂණ දේව වර්ණනාව
පෙර කළ මහ පිනැති, ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ විමල් වීරවංශ මැතිසඳ විබිසණ සුරිඳුන් හා සමවනුයේ, සිරි රහල් හිමියන්ගෙන් ණයට ගත් උපමාවකින් කියැවෙන ලෙසට උහු දෑත් සුරතුරෙහි ශාඛාවන් හා සැසඳිය හැකි හෙයින්ම නොවේ. දක්ෂිණ දේශය අඩවිය කොට ගත් විබිසණ සුරිඳුන් සේම වීරවංශ මැතිඳෝද තම පිළ හැර දමා පසමිතුරු පිළෙහි සරණ සොයා ආවෝය. එසේ අවුදින් තම පැරැණි පිළට “අහා, තෙල සුළුදිය කොල්ලනි, අපට මිස තොපට දිනුම් නොවේය” කියමින් මහත්වූ නිග්‍රහ කළෝය.
මේ සකල සමානතා අතරට තවත් නවමුවක් එක් කෙරෙමින් වීරවංශ මැතිඳෝ දැන් කලකට ඉහත විබිසණ දෙවිරදුන් තම ප්‍රාසාදය ගොඩ නැංවූ කැළණි ගං මිටියාවතෙහිම තම කුටුම්භය උදෙසා කොත් අගට මිණි පැමිණිය රමණීය තෙමහල් පායෙක් ගොඩ නඟමින් සිටිති. රාවයේ අලුගුත්තේරු මාද්දියකාරයින් කියන හැටියට මෙහි ඇස්තමේන්තුගත වියදම රුපියල් වලින් නම් සිව් කෙළක් (පර සුද්දාගේ මිලියන වලින් හතළිහක්) ඉක්මවන්නේය. ඒ ආරක්ෂක පද්ධති හා පිහිනුම් තටාක වැනි සුකුරුත්තම් නැතිවය. ඒවාට තව අමතර වැයක් විය හැකිය. මේ තෙමහල් පායෙහි බිම් මහළෙහි වපසරිය පර්චස් දහයකි. ඉඩම පර්චස් තිහකි. පර්චසයක වෙළඳ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට එපිට මිස මෙපිට නොවන හෝකන්දරිනි. ඉඩමේ වටිනාකමද මේ කෝටි හතරට අමතරවය.
බාල්දුවුණු රුපියල් වලින් පවා කෝටි සතරක් හෙවත් මිලියන හතළිහක් (40,000,000) යනු සුළුපටු මුදලක් නොවෙයි. මසකට රුපියල් 20,000ක ආදායමක් ලබන සාමාන්‍ය රජයේ සේවකයකු ඒ වෙනුවෙන් මාස 2,000ක් එනම් වසර එකසිය හැටහතක් (167) කැඹරිය යුතු වන්නේය. ශ්‍රී ලංකාද්වීපයෙහි මන්ත්‍රීශ්වරයකුගේ මාසික වැටුප සියළු දීමනා සමඟ රුපියල් ලක්ෂයකට ආසන්නය. වසරකට ඒ රුපියල් ලක්ෂ දොළහකි. තමා මන්ත්‍රීවරයකු වූ වසර අට මුළුල්ලේ නොකා නොබී, ඇඳුමක් කැඩුමක් මිළට නොගෙන සිය පවුල සමඟ හෙළුවෙන් පිටකොටුවේ බෝධිය යට නිදාගෙන, දේශයේ දූ පුතුන්ගේ සම්පත් බැංකුවේ සියයට දහසයේ ස්ථිර තැන්පතුවල දමා ඉතිරිකළත් වීරවංශ මැතිඳුන්ට ඉතිරි කරන්නට ලැබෙන්නේ රුපියල් මිලියන විස්සකට හෙවත් කෝටි දෙකකට සමාන මුදලකි.
දේශප්‍රේමී අවංක විමල් වීරවංශ මැතිඳුන් මහාජන මුදලින් රුපියල් කෝටි හතරක් පිල්ලි ගැසුවාය අපි මොහොතකටවත් නොසිතමු. එවැනි ජරා වැඩ කරන්නේ NGO ඩොලර් වලින් වැටුප් ලබන (අපගේද බ්ලොග් සෘහදයන් වන මකබාස්, Beyond Frame, තරංග ජයසේන හෙවත් කූඹියාද ඇතුළු) ඩොලර් කාක්කන්ය. දේශප්‍රේමීන්ට රුපියල් කෝටි හතරක් උපයා ගැනීමට ඕනෑතරම් සම්මා ආජීවයන් ඇත්තේය.
සමහරවිට එය ප්‍රාතිහාර්යයකින් ලැබෙන්නට ඇත. විමල් වීරවංශ මැතිඳුන් දිවා රෑ නැතිව, සීගිරි වන්දනාවකටවත් ඉස්පාසුවක් නොගෙන රට ජාතිය, ආගම රැක ගැනීම සඳහා දරණ උදාර මෙහෙවර ගැන පඬුපුල් අසුන හුණු වූ සක් දෙවිඳුන් හොර රහසේම උහුගේ ගෙදර පිළිකන්නේ කැරට් විසිහතරේ මසු දහසක පැසෙක් දමා ගියා විය හැකිය. නැතිනම් තිස් තුන් කෝටියක් සම්‍යදෘෂ්ටික දෙවි දේවතාවන් රුපියල ගණනේ හැට් කලෙක්ශන් පාරක් දමා ඒ මුදල ඔහුගේ ගිණුමට බැර කළාද විය හැකිය. එසේද නොමැතිනම් සිව් මහ බඹුන් පෙළහර පා වීරවංශ මැතිඳුන් බැහැර කෙරෙන අසුචි, සිරුරු කිස නිමවන මොහොතේම දඹ රත්තරන්වලට පරිවර්තනය කළ දුන්නාද නොවෙන්නටම බැරිය.
අනෙක් අතට මේ මුදල වීරවංශ මැතිඳුන්ගේ පිය ඇඹෙනිය වූ ශීර්ෂා උදයන්ති රණසිංහ හෙවත් ශෂී වීරවංශ මැතිණියන් විසින් සෙව්වාද විය හැකිය. රාවය කියන හැටියට නම් ඇයට රැකියාවක් හෝ ව්‍යාපාරාදී ආදායම් මාර්ගයක් නැත. ඇය බඳු රුවැති කතකට මසුරන් සොයන්නට රැකියාවක් හෝ ව්‍යාපාරයක් ඇවැසි නැති බැව ඒ උපන්ගෙයි මෝඩයෝ නොදනිති. එක රැයකට ඇය වැනි සුන්දර ළඳකට කොපමණ මුදලක් උපයා ගත හැක්කේද? ලෙහෙසියෙන්ම ඇයට දිනෙකට රුපියල් විසි දහසක පමණ ආදායමක් ලබා ගත හැකිවනු ඇත්තේය. ඉතින් රුපියල් කෝටි හතරක් සෙවීම මහ කජ්ජක්යැ? ඉදින් වීරවංශ මැතිඳුන්ට මහාජන මුදල් ගසා කන්නට කවර නම් අවශ්‍යතාවයක් වේද? උහු එසේ කළාය චෝදනා කරන්නන්ගේ මුඛයන්හි ශෂී වීරවංශ මැතිණියන්ගේ පියොවුරු වලටද වඩා විශාල ගෙඩි හට නොගත යුත්තේද?
විමල් වීරවංශ මැතිඳුනට ප්‍රාතිහාර්යයෙකින් මේ සිව් කෙළක් ධන සම්භාරය පහළ වන්නට ඇත්තේ හෝ උහු ඇඹෙනිය විසින් ඒ මුදල උපයන්නට ඇත්තේ මැතිඳුන් “කම් ඕ, ගෝ චිකාගෝ” කියා ජනතා විමුක්ති පෙරමුණින් රජ වාසලට බඩ පිණුමක් ගැසුවාට පසු වන්නට ඇතැයි අපගේ අවංක කල්පනාවය. මක් නිසාද යත්, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීශ්වරයන්ට වැටුප් ලබා ගැනීම තහනම් කොට ඇති බැව් අප අසා ඇති හෙයිනි. උන්ගේ ඉපැයීම් සියල්ල පක්ෂ අරමුදලට යායුතුලු. කුටුම්භ රක්ෂණයට බර පැණ සැපයෙන්නේ පක්ෂයෙන්ලු. (සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීශ්වරයාට නම් අනෙකෙකු විසින් ගැබ්බර කරන ලද ළඳක් භාර්යාව හැටියට දායාද කොට දුන්නේද පක්ෂයයි. කෙසේවෙතත් ඒ අතුරු කතාවෙකි.) ඉදින් වීරවංශ මැතිඳුන්ට පුද්ගලික වස්තූන් කොහි වෙයිද?
මහ පිනැති විමල් වීරවංශ මැතිසඳ දේශප්‍රේමය විකොට මසුරන් ඉපැයීය යන චෝදනාව අප අළුයම ලූ කෙළ පිඬක් සේ බැහැර කරමු. පර සුද්දන්ට මේ රට සූරාකෑමට ඉඩ නොදීමෙන් උහු කරන ලද මහඟු සේවාව කෙතරම්ද? මව්බිම ලංකා පදනමේ (දොන්) ආරියසීල (ඩි සිල්වා) වික්‍රමනායකලා, කුලතුංග රාජපක්ෂලා, වේගපිටියලා උන් කරන ලද මේ සේවාව සලකා බලා වැඩිම උනොත් දරුවකුට පොල් ටොපියක් දෙකක්, මිළෙන් අඩු DSI සපත්තු කුට්ටමක් හෝ ගෙදර පාවිච්චියට ගෑස් සිලින්ඩරයක් දෙන්නට ඇත. එසේ නැතිව දේශප්‍රේමය වෙන්දේසි කොට අසදාචාරාත්මකව සිව් කෙළක් ධනය සොයන්නට තරම් අමනයකු නොවේ වීරවංශ මැතිසඳ. එවැනි මාටියා ගැසීම් කළේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේලාය; රවි කරුණානායකලාය; නිමල් සිරිපාල ද සිල්වලාය. දේශප්‍රේමී විමල් වීරවංශ මැතිසඳ සර්ෆ් එක්සෙල් වලින් නහවා ගත් ආකාරයේ පාරිශුද්ධ පොලිතීසියෙකි. මහාජන මුදල් මාටියා ගසනවාට වඩා පිය බිරිඳ වෛශ්‍යා වෘත්තියෙහි යොදවා කුටුම්භ රක්ෂණයෙහි නියැලීම නම්බුකාර බැව් ඔහු නොදන්නෙහිද?
අපිදු ගරු විමල් වීරවංශ නම් වූ පින්බර කෝටිපති පොලිතීසියාට සුබ ගමන් පතමු. එමතු නොව අපගේ දේශප්‍රේමී පාඨකයන්ට උන්ට සුබ පැතීම උදෙසා කමෙන්ටු තීරුවද විවර කොට ඇත්තේය.
Posted in Uncategorized | Tagged: Ariyaseela Wickramanayake, කුලතුංග රාජපක්ෂ, කූඹියා, ජනතා විමුක්ති පෙරමුණ, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, ඩොලර් කාක්කන්, තරංග ජයසේන, දේශප්‍රේමය, දොන් ආරියසීල ඩි සිල්වා වික්‍රමනායක, නිමල් සිරිපාල ද සිල්වා, මව්බිම ලංකා පදනම, රවි කරුණානායක, රාවය, විභීෂණ, විමල් වීරවංශ, වේගපිටිය, ශෂී වීරවංශ, ශීර්ෂා උදයන්ති රණසිංහ, සම්පත් බැංකුව, සර්ෆ් එක්සෙල්, සැළලිහිණි සන්දේශය, සිරි රහල් හිමියන්, සුනිල් හඳුන්නෙත්ති, සුරතුර, Beyond Frame, DSI, Jeyaraj Fernandopulle, JVP, Kulathunga Rajapaksha, NGO, Nimal Siripala De Silva, Patriotism, Ravaya, Ravi Karunanayake, Sampath Bank, Shashi Weerawansa, Sheersha Udhayanthi Ranasinghe, Sunil Handunnetti, Surf Excel, Vibheeshana, Wimal Weerawansa, Wimal Weerawansa's house | 37 Comments »