Archive for the ‘Uncategorized’ Category
Posted by Taboo on December 28, 2009

අප සත්වැනි මහින්ද මහ රජ්ජුරුවන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රරත්නය වන නාමල් ලෝරන්ස් කුමාරයා ‘තරුණයින්ට හෙටක්’ නිර්මාණය කිරීම සඳහා දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කර ඇත්තේය. මේ ව්‍යාපාරය තුළින් මෙතෙක් බිහිකොට ඇති එකම තරුණ නයුවා ඔහු පමණක්ම නොවන්නට මේ අතිශයින් ප්‍රශස්ත උත්සාහයකැයි ලේඛකයා සිතයි. සිංහල බෞද්ධ ගොවිගම මහල්ලන් විසින්ම පාලනය කරනු ලබන මේ කොදෙව්වෙහි යව්වනයන් ගැනද යමකු නමට හෝ අවධානය යොමු කිරීම ප්‍රශංසනීය උත්සාහයක් නිසාය.
අද්‍යතන ලංකා දේශපාලනය ලොම් හැළුණු, හිස නර කෙසින් වැසුණු (සමහරවිට මුසුප්පු යොදා කළුකරගත්), ගත කුදුව ගිය බමුණු මහල්ලන් විසින් අරක්ගෙන ඇති ආකාරය පෙන්නා දීම සඳහා තම්බපන්නියේ යෝධ අමාත්‍ය මණඩලයේ වයස් මට්ටම් ගෙන හැර පෑම පමණක් වුව ප්‍රමාණවත්ය.
අපේ ශතකය ඉක්මවන කැබිනට්, කැබිනට් නොවන හා නියෝජ්‍ය අමාත්‍යවරුන් අතුරින් වයස අවුරුදු තවමත් හතළිහ නොඉක්මවූ ඇමතිවරු දෙදෙනෙකි. ඒ ඛනිජ තෙල් සම්පත් ඇමති දුමින්ද දිසානායක (උපන් අවුරුද්ද 1979) හා අභිනව සංචාරක ඇමති අචල සුරංග ජාගොඩයි (1973).
අපේ රටේ දළ ආයු අපේක්ෂකතාව වසර 72කි. දේශපාලනයට පිවිසිය හැකි අවම වයස වසර 18කි. මේ දෙකෙහි මධ්‍ය ලක්ෂය වසර අවුරුදු හතළිස් පහකි.
වසර හතළිස් පහ නොඉක්මවූ ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන් සංඛ්‍යාව ශතකයකිනුත් මඳකින්, කලින් කී දෙදෙනා හැරුණු විට, සතරෙකි. ඒ නවින් දිසානායක (1969), කරුණාඅම්මාන් (1968), ලසන්ත අලගියවන්න (1967), හා පාඨලී චම්පික රණවක (1965) ය. මේ අපේ ඇමති මණ්ඩලයේ ‘කොල්ලන්ය’. අවශ්‍යම නම් මීට ගෙවීයන වසරෙහි හතළිස් පස්වන උපන්දිනය සැමරූ පවිත්‍රා වන්නිආරච්චිද, මිලින්ද මොරගොඩද, ජොන්ස්ටන් ප්‍රනාන්දුද එක් කර ගත හැකිය. එවිට ගණන නවයෙකි. මධ්‍ය ලක්ෂ්‍යයෙන් මෙපිට හා එපිට අනුපාතය ඉන් පසුවද 1:10 කි.
අනෙක් පැත්තෙන් සීයලා නම් ඇමති මණ්ඩලයට ප්‍රයිවට් බස් එකක් පුරවන්නට තරමටම සිටිති. හැට පැනපු සීයලා නොව හැත්තෑව පැනපු සීයලාය.
රත්නසිරි වික්‍රමනායක ජොලි සීයා (1933), වසර පනහකටත් ඉහතදී මළ බණ්ඩාරනායක සමඟ දේශපාලනය කළ දි. මු. ජයරත්න සීයා (1936), ඒ. එච්. එම්. ෆවුසි සීයා (1937), තිස්ස විතාරණ සීයා (1934), ඩිව් ගුණසේකර සීයා (1935), පී. දයාරත්න සීයා (1936), ආර්. එම්. ධර්මදාස බණ්ඩා සීයා (1938), සරත් අමුණුගම සීයා (1939), අතාවුද සෙනෙවිරත්න සීයා (1931) හා විශ්වා වර්ණපාල සීයා (1936) මින් කිහිප දෙනෙකි. මේ සියල්ලන් අතුරින්ද දඹ නාකියා වන එම්. එච්. මොහොමඩ් මුත්තා ඉපැදී ඇත්තේ 1921දීය. තම නිවෙස එහා පැත්තේ කනත්තටත් මොහු අමතකව ගිය සෙයකි.
මේ සීයලාට සාපේක්ෂව රාජපක්ෂ මහ රජ්ජුරුවන් වහන්සේද (1945), ඊයේ පෙරේදා පැංසොං ගිය සරත් ෆොන්සේකාද (1950) නාඹර තරුණයන්ය. මේ නිසා තාරුණ්‍යයට හෙටක් සංවිධානය හැට පස් වියැති රාජපක්ෂ තරුණයා වෙනුවෙන් රූපවාහිනී දැන්වීම් නිර්මාණය පනස් වියැති ඩලස් අලහප්පෙරුම තරුණයාට සාධාරණීකරණය කළ හැක්කේය.
ලේඛකයා දන්නා තරමින් (වැරදි නම් නිවැරදි කරන්න.) අපේ රටේ රජයේ සේවකයකු විශ්‍රාම යන වයස වසර 58ය. දෙකේ පන්තියට ඉගැන්වූ සුමනාවතී ටීචර්ද පනස් අට ඉක්මවූ පසු, පන්තිය වෙනත් ගුරුවරියකට භාරදී විශ්‍රාම යන්නේ මේ වයස ඉක්මවූ කෙනකු තවදුරටත් දෙකේ පන්තියට ඉගැන්වීමට පවා දුර්වල කායික හා මානසික තත්වයකට පත්වේ යැයි රජය උපකල්පනය කරන නිසා විය යුතුය. තරුණයන්ට ඉඩ සලසා දීමේ තර්කයද රජයේ සේවකයින් පනස් අටෙන් (හෝ සමහරවිට සේවා දිගුවන් සහිතව වසර හැටෙන්) විශ්‍රාම ගැන්වීම සඳහා භාවිතා කෙරේ. එසේ නොවන්නේ නම් තරුණයින් අතර තමන්ට තැන නොලැබේ යැයි කම්පතයක් (frustration) ඇතිවන බවට ප්‍රතිපත්ති සම්පාදකයෝ පෙන්නා දෙති.
නමුත් සුමනාවතී ටීචර් විශ්‍රාම ගන්වන තර්කය දේශපාලනයේදී අදාළ නොවන්නාක් සේය. වසර හැත්තෑවක් වන සරත් අමුණුගම මහල්ලාට දිසාපතිවරයකු වී තනි දිසාවක් ගැන තීරණ ගැනීමේ හැකියාවක් නැතැයි තීරණය කරන රජයම ඔහුට රටේ සියළු දිසාපතිවරුන් පාලනය කරන අමාත්‍යවරයා හැටියට ඊට වඩා බෙහෙවින් බරපතළ තීරණ ගැනීමේ බාධාවක් නොදකී. රටේ දෙවන පුරවැසියා සාමාන්‍යයෙන් විශ්‍රාම යන වයසට දශක දෙකකට කිට්ටු කාල සීමාවක් ඉක්මවා තිබීම කිසිවෙක් අවදාමනක් සේ නොදකිති. ඔහුගේ පූර්වගාමිනිය වූ සිරිමා බණ්ඩාරනායක අත්තම්මා අගමැති පුටුව අතහැරියේ මහළුව, බිහිරිව, අඩක් අන්ධව නැඟී සිටින්නට තියා ඡන්දය සලකුණු කරන්නටවත් නොහැකි තැනට සපැමිණි කල්හිය. ජොලි සීයාගේ වෑයම බණ්ඩාරනායක අත්තම්මාගේ රැකෝඩ් එක කැඩීම විය හැකිය.
මහල්ලන්ට තීරණ ගැනීමද, තරුණයන්ට කොඩි සිටුවීමද, කඩේ දිවීම්ද භාරදෙන දේශපාලන සම්ප්‍රදාය රාජපක්ෂයට පමණක් සීමාවූ එකක් නොවේ. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහද, ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහද, හෙළ උරුමයේ නායක එල්ලාවල මේධානන්දද හැට පැනපු නාකියෝය. වර්තමාන ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයින්ට සාපේක්ෂව සරත් ෆොන්සේකා නම් තවම තරුණයෙකි. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගියත් හැට පිරෙන්නට තවමත් වසරක් වත් ඇති නිසාය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, එක්සත් ජාතික පක්ෂයේත් තරුණ නයුවන් නැතිවාම නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම් ඒ රාජපක්ෂගේ ඥාතියකු හෝ ඔහු විසින්ම දේශපාලනයට ගෙනා සජින් වාස් ගුණවර්ධන බඳු පෞද්ගලික මිත්‍රයෙකි. එක්සත් ජාතික පක්ෂයේ නම් ඒ බොහෝවිට රනිල් වික්‍රමසිංහගේ ලිංගික සහකරුවෙකි. මේ දිනවල පැල් බැඳගෙන සරත් ෆොන්සේකාට කඩේ යාමේ නිරතව සිටින්නාක්සේ පෙනෙන අජිත් පෙරේරාටද තොප්පිය අවශ්‍යනම් දාගත හැකිය.
ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන තත්ත්වය මීටත් ශෝචනීය වේ. ජවිපෙ එහි ඉතිහාසයේ පටන්ම දැඩි තරුණ හඬකට හිමිකම් කියූ පක්ෂයකි. එහි තාරුණ්‍ය නැඹුරුතාව කෙතෙක්ද යත් 1971දී සැලසුම් කරන ‘අවිගත් විප්ලවය’ වයස පනහට වැඩි සියල්ලන් මරා දමන එකක් බවටද කට කතා පැතිර යන්නේය. මේ අනුව එවකට පේරාදෙණිය සරසවියේ ජවිපෙ සිසු නියමුවෝ වයසක, විශේෂයෙන් සම්ප්‍රදායික වාමාංශික දේශපාලන පක්ෂවලට හිතවත්, ආචාර්යවරුන් එල්ලා මැරීම සඳහා ගස්ද තෝරා ගනිති. මේ ඒ නොමේරූ ම්ලේච්ඡ අදහස් අනුමත කිරීමක් නොව ඒ යුගයේදී ජවිපෙ තුළ තාරුණ්‍යයේ හඬට ලැබුණු ඉඩ පිළිබඳ ඉඟියකි. තවත් නිදසුන් අවශ්‍ය නම් අසූව දශකයේ ජවිපෙ තරුණයන් විසින් සංවිධානය කෙරුණු ‘විමුක්ති ගී’ ප්‍රසංගය දැක්විය හැකිය.
අද වන විට සෝමවංශ අමරසිංහ සිංහල බෞද්ධ කෙවුල් (= කරාවේ) මහල්ලාගේ නායකත්වය යටතේ ගෝත්‍රික පක්ෂයක් බවට පත්ව ඇති ජවිපෙ එහි තරුණ හඬ පමණක් නොව, කාන්තා හඬද, නිකෙවුල් (එනම් කරාවේ නොවන) කුලවල හඬද යටපත් කොට ගෙන සිටී. ජවිපෙ බිම් මට්ටමේ තරුණ සාමාජිකයන්ගේ කටයුතු පෝස්ටර් ඇලවීමට, නායකයින්ට කතා කිරීම සඳහා වේදිකා තැනීමට හා සරසවි නවකයින්ට කොක්ක දැමීමට සීමා වී තිබේ. අඩු තරමින් 1970-80 යුගයන්හීදී නමට හෝ තිබුණු සංවාද අද ජවිපෙ තුළ නොවේ. මේ යුගයේදී බිම් මට්ටමේ ජවිපෙ තරුණ ක්‍රියාධරයන්ට රෝහණ විජේවීර සමඟ කරන්නට ලැබුණු සංවාදය වත් අද බිම් මට්ටමේ ජවිපෙ තරුණයන්ට අමරසිංහ සමඟ කළ නොහැකිය.
ලංකා දේශපාලනයේ තරුණ හඬ යටපත්ව ඇත්තේ දේශපාලනයෙට දීර්ඝකාලීන පළපුරුද්දක් අවශ්‍ය නිසා යැයි කෙනකු තර්ක කළ හැකිය. එහෙත් මේ අවලංගු තර්කයකි. බොහෝ වෘත්තීන්ට පළපුරුද්ද වැදගත්ය. දශක ගණනක පළපුරුද්දෙන් යුතු වෛද්‍යවරියක සීමාවාසික පුහුණුව ගිය මාසයේ නිමාකළ වෛද්‍යවරියකට වඩා වෘත්තියට සුදුසු වන්නේ දෙවැන්නිය ආයාසයකින් කල් ගෙන කරන රෝග විනිශ්චයක් පළමුවැන්නිය තම පළපුරුද්ද මත වඩා ඉක්මණින්, වඩා නිවැරදිව කරන හෙයිනි. දේශපාලනය මීට වෙනස්ය. දේශපාලන මහල්ලෝ පළපුරුද්ද කෙසේ වෙතත් තාරුණ්‍යයේ ගැටළු අවබෝධයේ දැඩි දුබලතාවයක් දක්වති. විශ්වා වර්ණපාල සීයා සරසවි සිසුන්ගේ ඇසින් සරසවියන්හි ගැටළු නොදකින්නේය. සරත් අමුණුගම සීයා පරිපාලන සේවයට ඇතුළුවන යව්වනයින්ගේ ගැටළු නොහඳුන්නනේය. ඒ තරමටම මහළු නොවෙතත් නිමල් සිරිපාල ද සිල්වා තම ප්‍රශ්න හඳුනා ගනිතැයි කියන තරුණ වෛද්‍යවරයකු/වරියක නැත. මොවුන්ගේ ගැටළු විසඳිය හැක්කේ තරුණ නායකත්වයකට පමණකි. අවාසනාවකට එබඳු තරුණ නායකත්වයක් වර්තමානයෙහි දක්නා නොලැබේ.
තරුණ නියෝජනය අතින් වර්තමාන රාජපක්ෂ රෙජීමය 1977 සිට බලයට පත් වූ සියළුම රජයන්ට පසුපසින් සිටින්නේය. 1977දී ජේ. ආර්. ජයවර්ධන රජයේ ප්‍රබල අමාත්‍යවරුන් දෙදනකු වූයේ එවකට තරුණයින් වූ ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායකය. මීට අමතරව රනිල් වික්‍රමසිංහ, ගාමිණී අතුකෝරාල, අනුර ඩැනියෙල්ස්, අසෝක වඩිංගමංගාව, වි ජ මු ලොකුබණ්ඩාර, රේණුකා හේරත් බඳු එවකට යොවුන් වියේ වූ විශාල පිරිසක් මන්ත්‍රීවරුන් වශයෙන් පත්වන්නෝය. ප්‍රේමදාස යුගයේ මේ නියෝජනය යම් පමණෙකින් අඩුවන මුත් තරුණ තරුණියන් ඉලක්ක කොට ක්‍රියාත්මක වන ඇඟලුම් කර්මාන්තය වන් ව්‍යාපෘති තුළින් ඒ අඩුව පිරෙන්නේය. මීට අමතරව ප්‍රේමදාස ප්‍රාදේශීය මට්ටමින් තරුණ නායකත්වය නැඟීමට රුකුල් දෙයි. ප්‍රාදේශීය සභාවලට තරග කරන්නන්ගෙන් යම් ප්‍රතිශතයක් අනිවාර්යයෙන්ම තරුණයන් විය යුතු බවට නීති ගෙනෙන්නේ ඔහුය. චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ ලලිත් හා ගාමිණීගේ භූමිකාව රඟන්නේ එවකට තරුණයින් වන එස්. බී. දිසානායක හා මංගල සමරවීර විසිනි. අද නැවත අපි 1965 හෝ 1970දී බිහිවූ මහල්ලන්ගේ ආණ්ඩු කරා ගොස් සිටිමු. වැඩවසම් යුගයේ රාජසිංහ රජ්ජුරුවන්ටත් සිටියේ මෙවැනි ලොම් හැළුණු ඇමති මණ්ඩලයක් විය හැකිය.
2008 නොවැම්බරයේ එවකට හතළිස් හත් හැවිරිදි, සාපේක්ෂව අඩු පළපුරුද්දකින් යුතු බරක් ඔබාමා එවකට හැත්තෑ දෙහැවිරිදි අතිශයින් දීර්ඝ පළපුරුද්දකින් යුතු ජෝන් මැකේන් සමඟ ඇමරිකාවේ ජනාධිපති පදවිය පිණිස තරග වදින්නේය. මෙහිදී යම් පිරිසක්, විශේෂයෙන් නව යොවුනන්, ඔබාමාගේ වයස සලකා ඔහුට ඡන්දය ප්‍රකාශ කළ බැව් පැහැදිළිය. අවාසනාවකට ලාංකීය යොවුන් ඡන්ද දායකයාට එවන් අවස්ථාවක් හිමි වන්නේ නැත. රාජපක්ෂ හැට හතර හැවිරිදිය. ෆොන්සේකා පනස් නව හැවිරිදිය. මේ දෙදෙනාම ප්‍රතික්ෂේප කරන ලේඛකයාගේ පැරණි දේශපාලන සගයන් තෝරාගෙන ඇති වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා හැට හය හැවිරිදිය.
යව්වනයේ සගයිනි, තාරුණ්‍යයට හෙටක් සඳහා මහල්ලකුට ඡන්දය ප්‍රකාශ කරව්. ඉන්පසු ඔවුන් තම දරුවන් හා එක්ව දරුවන් තොපගේ තාරුණ්‍යය සොරා ගන්නා සැටි බලව්. තොපට ඉතිරි වී ඇති එකම විකල්පය ඒය.
Posted in Uncategorized | Tagged: 1971, Abdul Hameed Mohamed Fowzie, Achala Suranga Jagodage, Athauda Seneviratne, අචල සුරංග ජාගොඩ, අතාවුද සෙනෙවිරත්න, අනුර ඩැනියෙල්ස්, අසෝක වඩිංගමංගාව, ආර්. එම්. ධර්මදාස බණ්ඩා, එක්සත් ජාතික පක්ෂය, එම්. එච්. මොහොමඩ්, එල්ලාවල මේධානන්ද, එස්.බී.දිසානායක, ඒ. එච්. එම්. ෆවුසි, කරාව, කරුණාඅම්මාන්, ගාමිණී අතුකෝරාල, ගාමිණී දිසානායක, ගොවිගම, චන්ද්‍රිකා බණ්ඩාරනායක, ජනතා විමුක්ති පෙරමුණ, ජවිපෙ, ජේ. ආර්. ජයවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩලස් අලහප්පෙරුම, ඩිව් ගුණසේකර, තරුණයෝ, තාරුණ්‍යයට හෙටක්, තිස්ස විතාරණ, දි. මු. ජයරත්න, දුමින්ද දිසානායක, නවින් දිසානායක, නාමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, පවිත්‍රා වන්නිආරච්චි, පාඨලී චම්පික රණවක, පී. දයාරත්න, පේරාදෙණිය සරසවිය, බණ්ඩාරනායක, බරක් ඔබාමා, බෞද්ධ, මංගල සමරවීර, මහින්ද රාජපක්ෂ, මිලින්ද මොරගොඩ, රත්නසිරි වික්‍රමනායක, රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂ, රේණුකා හේරත්, ලංකා දේශපාලනය, ලලිත් ඇතුලත්මුදලි, ලසන්ත අලගියවන්න, වි ජ මු ලොකුබණ්ඩාර, වික්‍රමබාහු කරුණාරත්න, විමුක්ති ගී, විශ්‍රාම වයස, විශ්වා වර්ණපාල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සංචාරක ඇමති, සජින් වාස් ගුණවර්ධන, සත්වැනි මහින්ද මහ රජ්ජුරුවන් වහන්සේ, සරත් අමුණුගම, සරත් ෆොන්සේකා, සිංහල, සිංහල බෞද්ධ, සිරිමා බණ්ඩාරනායක, සෝමවංශ අමරසිංහ, Barack Obama, Chandrika Bandaranaike, DEW Gunasekera, Disanayaka Mudiyanselage Jayaratne, Duminda Dissanayake, Gamini Athukorale, Gamini Dissanayake, J. R. Jayawardene, Janatha Vimukthi Peramuna, JHU, John Mccain, Johnston Xavier Fernando, JVP, Lalith Athulathmudali, Lasantha Alagiyawanna, M. H. Mohamed, Mahinda Rajapaksha, Mangala Samaraweera, Milinda Moragoda, Navin Eranjan Dissanayake, Nimal Siripala De Silva, Patali Champika Ranawaka, Pavithra Devi Wanniarachchi, Petikirige Dayaratna, Premadasa, Presidential Election Sri Lanka, Presidential Election USA, R.M. Dharmadasa Banda, Ranil Wickremasinghe, Ratnasiri Wickramanayaka, Renuka Herath, Retirement age, S. B. Dissanayake, Sarath Fonseka, Sarath Leelananda Bandara Amunugama, Sirima Bandaranaike, SLFP, Somawansa Amarasinghe, Tissa Vitharana, University of Peradeniya, UNP, W J M Lokubandara, Watareke Arachchilage Wiswa Warnapala, Wickramabahu Karunaratne, Youth | 16 Comments »
Posted by Taboo on December 22, 2009

සංවේදී සිංහයා හා අසංවේදී සිංහයා අතර ගල උඩ සටන වසරේ වඩාත්ම උත්කර්ෂවත් සිද්ධිය බවට පත්වන ලකුණු පෙනෙන්නට තිබුණේය. එය පැවැත්වීමට නියමිතව තිබූ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකාගාරයේ සියළු ටිකට්පත් විකිණී අවසාන වූයේ මාස ගණනකට කලිනි.
තරග දිනය එළඹියේ මිලියන ගණනකගේ රුධිර පීඩනය රසදිය මිලිමීටර් එකසිය හතළිහේ සීමාවට බොහෝ එපිට යවමිනි.
රවින්ද්‍ර රන්දෙනිය, ජැක්සන් ඇන්තනි ජෝ අබේවික්‍රම, කමල් අද්දරආරච්චි ඇතුළු පිරිසක් සුගතදාස ක්‍රීඩාංගනය අභියස ටෙන්ට් එකක් අටවාගෙන පන් මළු විකුණමින් සිටියහ. ඒ කඩේ යන්නන්ගේ පාවිච්චිය උදෙසාය. සෝමරත්න දිසානායකද බිරිඳ රේණුකා බාලසූරිය සමඟ හඳුන්කූරු විකුණමින් සිටියේය. පැකට් එකක මිළ රුපියල් දහසකි.
“ඇයි මෙච්චර ගණන්?” ඇසූහ, ප්‍රේක්ෂකයෝ.
“මේවා සාමාන්‍ය හඳුන්කූරු නෙවෙයි. හදල තියෙන්නෙ සංවේදී සිංහයගෙ බෙටි වේලලා අරගෙන. පත්තු කළාම ගෙදරටම ශාන්තියක් වෙනවා. සිතූ පැතූ සම්පත් සියල්ල ලැබෙනවා. අපිත් දවස ගානෙ පත්තු කරන්නෙ මේව.”
එතැනින් යන්නට ආ එස්. බී. දිසානායකද, ජොන්ස්ටන් ප්‍රනාන්දුද බෙටි හඳුන්කූරු පැකට් එක ගානේ මිළට ගත්තෝය.
තරගයට පෙර ක්‍රීඩාංගනයේ ආකාස කුසුමක් පිපුණේය. මාලිනී ෆොන්සේකා, සංගීතා වීරරත්න හා අනර්කලී චියර් ලීඩර්ලාගෙනි. සැට විය ඉක්මවූ ප්‍රේක්ෂකයන් කිහිපදෙනකු මේ සන්දර්ශනයේ උත්කර්ෂය කරණ කොට ගෙන හෘදාබාධයන් වැළඳී පුටුවලම මියැදී සිටිනු පසුව නිරීක්ෂණය කරන ලද්දේය.
“සන්ධ්‍යා රාණි නම් පැටිස් හදල, නිළියකට සොමියක් ගන්ඩ කාමරයක් දීල කීයක් හරි හම්බ කළා. මට එහෙමත් බෑනෙ. නාකි මට දැන් ෆිල්ම්ස් නැති එකේ කීයක් හරි හොයා ගන්ඩ ඕනැනෙ මල්ලියෙ”
මාලිනී ෆොන්සේකා පසුව ස්වාධීන රූපවාහිණියට කීවාය.
අසංවේදී සිංහයාටද චියර් ලීඩර්ලා සිටි මුත් රයිෆල් උස්සාගෙන, යුනිෆෝම් පිටින් ඩියුටි සිටි නිසා උහු සංදර්ශන පෙන්නන්නට නොගියෝය.
තරගය ඇරඹිණි. බොහෝ වේලාවක් යනතුරු කවුරු දිනත් දැයි නිශ්චය කරගත නොහැකි විය. සිංහයන් දෙන්නාම සිටියේ කරට කරය. හරියට ලයන් කිංග් හි මුෆාසා හා ස්කාර් වගේය.
අසංවේදී සිංහයා සංවේදී සිංහයාට මරු පහරක් දුන්නේය. ඒ දැක ප්‍රේක්ෂකාගාරයේ හුන් ශෂි වීරවංශගේ සියොළඟ සීතල වී ගියේය.
“සංවේදී සිංහයා පැරදුනොත් නම් ගේත් හදල ඉවරයි ඩාලිං” ඇය අසල සිටි පෙම්බරයාට කෙඳිරුවේය.
නිමල් සිරිපාල ද සිල්වා මොන ගේදැයි ඇසුවේය.
හදිසියේ සංවේදී සිංහයා අසංවේදී සිංහයාට මරු පහරක් දුන්නේය. එය දුටු සෝමවංශ අමරසිංහට මුත්‍රා පහවූයේ ඉදිරියෙන් වාඩිවී සිටි රනිල් වික්‍රමසිංහගේ රුපියල් පන්දාහේ කමිසයත් තෙමාගෙනය. “බ්ලඩි තර්ඩ් ක්ලාස් ඉඩියට්!” රනිල් වික්‍රමසිංහ තමාටම මුමුණා ගත්තේය.
“දෙන්නම් තොට, හතර අවුරුද්දක් කාපු ජරාව කටින් එන්න!” අසංවේදී සිංහයා සිතුවේය.
“දෙන්නම් උඹට ගංජා දත් සෙට් එක බඩට යන්න!” සංවේදී සිංහයා සිතුවේය. (අසංවේදී සිංහයාගේ දත් කලු ඔහු ගංජා අදින බැවිනියි කීවේ මහින්ද අබේසුන්දරය.)
හදිසියේ පිටිය මැදට කඩා වැදුණු කොණ්ඩය අවුල් කරගත් ප්‍රේක්ෂකයකු අසංවේදී සිංහයාට දිගට හරහට අතින් පයින් පහර දෙන්නට පටන් ගත්තේය. ආරක්ෂකයන් පැමිණ ඔහු ඉවත් කොට සිංහයින් සටන් කරන විට මැදට පැනීමේ භයානක කම කියා දුන්නෝය. මේ වියරු මිනිසා කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නලින් ද සිල්වා ලෙස පසුව හඳුනා ගන්නා ලදී.
තව බොහෝ වේලාවක් යනතුරු සටන පැවතියේය. හේතුව සිංහයන් දෙදෙනාම පාවිච්චි කළ උපක්‍රම සමාන වීමය. ප්‍රේක්ෂකයෝ හෙම්බත් වූහ.
“මූට මෙහෙම ගහල පරද්දන්ඩ බෑ. පැනපු ගමන් මුගෙ ඔළුවම ගිලින්ඩ ඕනෑ!”
සංවේදී සිංහයා සිතුවේය.
“මූට මෙහෙම ගහල පරද්දන්ඩ බෑ. පැනපු ගමන් මුගෙ ඔළුවම ගිලින්ඩ ඕනෑ!”
අසංවේදී සිංහයාද සිතුවේය.
දෙදෙනාම එකම මොහොතක ක්‍රියාකාරී වූහ. අසංවේදී සිංහයා සංවේදී සිංහයාගේ ඔළුව ගිල්ලේය. සංවේදී සිංහයා අසංවේදී සිංහයාගේ ඔළුව ගිල්ලේය. මේ දෙකම එකම මොහොතෙහි නැනෝ තත්පරයක වෙනසක් නැතිව සිදු වූ නිසා පූර්ව භාග නැති පශ්චාත් භාග දෙකක් ඇති අපූරු සත්ත්වයකු බිහිවිය.
සටන නැවතිණි. එහෙත් සිංහයෝ දෙදෙනා අධෝමුඛ වලින් එකිනෙකාට බැණ ගත්තෝය.
“හොරා!” අසංවේදී සිංහයා මොර ගෑවේය.
“ද්‍රෝහියා!” සංවේදී සිංහයා මොර ගෑවේය.
“කවුද දන්නෙ නෑ සුදු කොඩි උස්සගෙන එද්දි නඩේසන් මැරුවෙ?” අසංවේදී සිංහයා ඇසුවේය.
“දන්නෙම නෑ වගේ ලසන්ත මැරුවෙ කවුද කියල…” සංවේදී සිංහයාද අත ඇරියේ නැත.
හෙම්බත් වූ ප්‍රේක්ෂකයෝ ගෙදර ගියෝය. මංගල සමරවීර පමණක් යා යුතු අත නොදැන, මනමේ කුමරිය සේ ප්‍රේක්ෂකාගාරයේ තනිවී සිටිනු දක්නා ලදී.

Posted in Uncategorized | Tagged: Akasa kusum, anarkali akarsha, අනර්කලී, අසංවේදී සිංහයා, එස්.බී.දිසානායක, කමල් අද්දරආරච්චි, ජැක්සන් ඇන්තනි ජෝ අබේවික්‍රම, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නඩේසන්, නලින් ද සිල්වා, නිමල් සිරිපාල ද සිල්වා, මංගල සමරවීර, මහින්ද අබේසුන්දර, මාලිනී ෆොන්සේකා, රනිල් වික්‍රමසිංහ, රවින්ද්‍ර රන්දෙනිය, රේණුකා බාලසූරිය, ලසන්ත වික්‍රමතුංග, ශෂි වීරවංශ, සංගීතා වීරරත්න, සංවේදී සිංහයා, සන්ධ්‍යා රාණි, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය, සෝමරත්න දිසානායක, සෝමවංශ අමරසිංහ, B. Nadesan, Insensitive Lion, ITN, Jackson Anthony, Joe Abeywickrama, Johnston Fernando, Kamal Addaraarachchi, Lasantha Wickramatunga, Lion King, Mahinda Abeysundara, Malini Fonseka, Mangala Samaraweera, Nalin De Silva, Nimal Siripala De Silva, Ranil Wickremasinghe, Ravindra Randeniya, Renuka Balasuriya, S. B. Dissanayake, Sandhya Rani, Sangeetha Weeraratne, Sensitive Lion, Shashi Weerawansa, Somaratne Dissanayake, Somawansa Amarasinghe, University of Kelaniya | 22 Comments »
Posted by Taboo on December 21, 2009

ලසන්ත - මියෙන්නට මොහොතකට පෙර
2009 ජනවාරි දෙවැනිදා - කිලිනොච්චි ජයග්‍රහණයේ පශ්චාත්-උණුසුම දඩමීමා කොට ගනිමින් අතිශය නිර්ලජ්ජි හා අනුකම්පා විරහිත ආකාරයෙන් සිරස TV මැදිරිය මුළුමනින්ම කුඩුපට්ටම් කොට දමනු ලබයි. ආරක්ෂක ලේකම්ගේ ඍජු තර්ජන හමුවේ, සිරස ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා වූ (කරුමයට දෙමළකු වූ) ශෙවාන් ඩැනියෙල්ට ජීවිතාරක්ෂාව උදෙසා සැඟවෙන්නට බල කෙරේ.
2009 ජනවාරි අටවැනිදා – සන්ඩේ ලීඩර් කතුවරයා වූ ලසන්ත වික්‍රමතුංග කොළඹ නගර මධ්‍යයේදී හඳුනා නොගත් උල් ආයුධයකින් ඇන අමානුෂික ලෙස මරා දමනු ලබයි. මේ ගැන BBC වාර්තාකරු ප්‍රශ්නකළ විට ආරක්ෂක ලේකම් “Who is Lasantha Wickramatunga?” යි අසා වියරු ලෙස සිනාසෙයි.
2009 ජනවාරි විසිතුන්වැනිදා – රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන් මරා දැමීමට සමාන මෙහෙයුමක් ක්‍රියාත්මක වේ. ඔහුගේ දිවි ගැළවෙන්නේ බිරිය ධම්මිකා තෙන්නකෝන් අතිශය නිර්භීත ලෙස පැණසරව, තමන්ට වන තුවාලද නොතකමින් මැරයන්ගේ උල් ආයුධයේ එල්ලෙන බැවිණි.
මේ සිදුවීම් ත්‍රිත්වය විසින් නිර්මාණය කරන ලද භීතිය දේශීය ජන මාධ්‍ය එකක් නෑර ලාංකීය මාධ්‍ය ඉතිහාසයේ එතෙක් කිසි දිනෙක අප නොදුටු ආකාරයේ ධ්‍රැවීකරණයකට (polarisation) ලක් කරන්නේය. සියළු පුවත්පත් ඒක්ෂ්ණයෙන් දිනමිණෙහි, ඩේලිනිව්ස්හි කාබන් කොපි බවට පත් වන අතර ජාතික රූපවාහිණිය, සිරස, ස්වර්ණවාහිණිය අතර වෙනස වියැකී යයි. මහ රජාණන්ගේ අසුචි සුවඳය කියා ලිවීම මාධ්‍ය සදාචාරයට පටහැණි සේ නොගැණෙන අතර අවස්ථාවේ හැටියට ගත හැකි එකම පියවර ලෙස මාධ්‍යවේදීන් විසින් සලකන තත්ත්වයට පත් වේ. එතෙක් යම් ස්වාධීනත්වයක් දැක්වූ ‘රාවය’ වැනි මාධ්‍ය පවා ආණ්ඩුවේ ප්‍රධාන වැරදි නොදකින ස්ථාවරයකට තල්ලු වේ. කාලයක් ඉතා නිර්භීත හා ප්‍රශස්ත මාධ්‍ය මෙහෙවරක නියැළුණු වික්ටර් අයිවන් පවා පීඩිතයා අතැර, පීඩකයා හා රොද බඳින්නට සැරසෙන ලෙසක් පෙනී යයි.
රටේ සිදුවෙමින් පැවති ක්‍රියාදාමයන් හා මාධ්‍ය කතිකාවන් අතර විශාල හිඩැසක් ප්‍රාදුර්භූත වේ. යුද්ධය ඒ වන විට අවසාන අදියරට ළඟාවෙමින් පවතින අතර එය අවසන් වන්නේ ඉතාම දැවැන්ත සමූලඝාතනයකැයි උපකල්පනයට කරුණු වේ. (එහෙත් එය එලෙසින්ම සිදු වූයේ නොවේ.) පොදු ජන මාධ්‍ය මේ හැකියාව ගැන වචනයක් වත් නොදොඩා යුද්ධයට ආවඩමින් ඊට උල්පන්දම් දෙමින් සිටිති. LTTEයටත් ලංකා රජයේ හමුදාවන්ටත් මැදිව, අතිශය කුඩා බ්ම් කඩෙක මූලික පහසුකම්වත් නැතිව සිටි ලක්ෂ තුනකට අධික සිවිල් පුරවැසියන්ගේ ජීවිත සුරක්ෂිතභාවය පිළිබඳව කිසිදු සහතිකයක් නොවේ. ඒ ගැන කතා කිරීම පවා ‘දේශද්‍රෝහී’ හංවඩුව ගසා ගැනීමක් සේ සැලකේ.
මිනිස්සු භීතියට විවිධාකාරයෙන් ප්‍රතිචාර දක්වති. බොහෝදෙනකු ඊට දක්වන සාමාන්‍ය ප්‍රතිචාරය අවදානමින් පළායෑමය. පළායෑම තුළින් යම් යම් අවස්ථාවන්හීදී අවදානම අවමකරගත හැකි බැව් සැබෑය. එහෙත් සමහර අවස්ථාවන්හීදී පළායෑම වැරදි විය හැකිය. ඉන් ප්‍රහාරකයාට තවත් පහර දෙන්නට දිරි ලැබෙන නිසාය. සමහරුන් අවදානම දැක දැක ඊට එදිරි වන්නේ එනිසාය.
බුද්ධ ධර්මයෙහි සඳහන් ලෙසින් ‘සම-සුඛ-දුක්ඛ ‘යැයි සැලකිය හැකි ආකාරයේ මිතුරන් සිව්දෙනෙක් 2009 පෙබරවාරි මස මුල් සතියෙක කොළඹට නුදුරු අවන්හලක මධුවිතක මුවාවෙන් සෙට් වෙති. එහෙත් අරක්කු බෝතලයකට වඩා හිස් නොකරති. මේ සටහන් තබා නොගන්නා ලද, අවිධිමත් හමුවීමේ අරමුණ වන්නේ සියළුම මාධ්‍ය ධ්‍රැවීකරණය වන තත්ත්වයක් තුළ අන්තර්ජාලයෙහි නිර්නාමිකත්වයට මුවා වී එම ධ්‍රැවීකරණයට හසු නොවන නිදහස් සිංහල වෙබ් අඩවියක් (බ්ලොග් අඩවියක් නොව) නිර්මාණය කිරීමය. එය සියළු මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික ජනමාධ්‍ය දැඩිලෙස වාරණයට නතු කර ඇති මැලේසියාවේ Malaysiakini විසින් රඟනු ලබන භූමිකාව රඟ දැක්විය යුතු යැයි පූර්ව එකඟතාවයක් වේ. පවත්නා තත්ත්වය තුළ එය කිරීම අතිශය අවදානම් කටයුත්තක් බව නොකිවමනාය. නමුත් එම අවදානමම අදාළ කටයුත්තට අවශ්‍ය ‘ත්‍රිල් එක’ සපයනු ලබයි.
දීර්ඝ කතාවක් කෙටියෙන් කියන්නේ නම් මේ වෙබ් අඩවිය කිසිදා උපත නොලබන්නේය. ඊට හේතු ගණනාවකි. එකකුට ගැටළුව ඇත්තේ ආණ්ඩුව සමඟ නොව රනිල් වික්‍රමසිංහ සමඟය. ආණ්ඩුව කොයිතරම් වැරදි කළත් රනිල් වික්‍රමසිංහ බලයේ සිටි යුගයේ ඊට වඩා වැරදි කොට ඇති බැව් ඔහු පුන පුනා තර්ක කරයි. අදහස් හොඳ මුත් පිටරටක සිට කරනවා නම් මිස සහයෝගය නොදිය හැකි බැව් ඒවන විට වරක් හතරවැනි තට්ටුවේ සිරි නරඹා තිබුණු තවකෙක් ස්ථීරව කියා සිටිති. දුෂ්ඨයාට අනුකම්පා විරහිතව මඩ ගැසීමෙන් සමාජ ප්‍රතිසංස්කරණය කළ හැකියයි තරයේ විශ්වාස කළ, ඒ වන විටත් එවැනි සාර්ථක උත්සාහ තුළින් ප්‍රතිඵල ලබා සිටි, තෙවැන්නාගේ කැමැත්ත Lanka Gossip වැනි සීරියස් නැති හාස්‍යෝත්පාදක අඩවියක් (මඩවියක්?) කිරීමය. මූලික කරුණු ගැන වූ මේ පරස්පර මත මුල් අදහස ව්‍යවර්ථ කර දමනු ලබන්නේය. මීට අමතරව මේ සියළු දෙනාටම ඊට වැය කළ හැකි කාලය සීමිතය, විශේෂයෙන්ම නියත අවදානම හැර අන් කිසිම ප්‍රතිලාභයක් නැතිවූ කල්හි.
නමුත් මේ උත්සාහය මුළුමනින් ඵල රහිත වන්නේ නොවේ. වෙනස්කම් වලින් යුතුව වුවද , සති කිහිපයකින් පසු Taboo Subjects බ්ලොග් අඩවිය බිහිවන්නේ මුල් හමුවේදී පළකරනු ලැබූ යම් යම් අදහස්, එලෙසින්ම නොවුනද, නිර්මාණාත්මකව භාවිතා කිරීම තුළිනි. (“උඹල එකෙකුටවත් බැරිනම් මම තනියෙන් බ්ලොග් එකක් කරනවා!”) පැහැදිළි හේතූන් මත එය මුලින් අදහස් කරන ලද අඩවිය මෙන් දැඩි ලෙස දේශපාලනික නොවේ. එසේම නමින් හා දේශපාලනික නොවූ මුල් සටහන් කිහිපයෙන් එහි දේශපාලන ස්වරූපය ඕනෑකමින්ම සඟවනු ලබයි. එසේම එය මුලදී බලාපොරොත්තු වූවාට වඩා හාත්පසින් වෙනස් මාවත්හි ගමන් ගනී. කොටින්ම එය සමූහ උත්සාහයක් ලෙසින් මුලින් කරන්නට අදහස් කළ අඩවියෙන් ඉඳුරා වෙනස්ය. මුලින් අදහස් කළ අරමුණු නොවූ හෙයින් එහි ගැටළුවක්ද නොවේ.
Taboo Subjects නමින් නොදන්නා බොහෝ පිරිසක් එය තනි පුද්ගලයකුගේ උත්සාහයක් සේ දකිති. ලිපි බහුතරයක් ලියැවෙන්නේ, හෝ අඩු තරමින් යළි ලියැවෙන්නේ එකකු අතින් නිසා එය එක්තරා මට්ටමකට නිවැරදිය. නමුත් ඒ උත්සාහය තුළ කිහිප දෙනකුගේ අදහස්, දත්ත, තොරතුරු වූ බැව්, ඔවුන් ‘කොපි රයිට්ස්’ ඉල්ලා නොසිටියද, නොසැඟවිය හැකිය.
මේ දීර්ඝ අටුවාව මේ Taboo Subjectsහි සියවන සටහන බව කීමටය. වසරකට අඩු කාලයක් තුළ සටහන් සියයක් තබා පිවිසුම් (hits) ලක්ෂයකට මඳක් අඩු ප්‍රමාණයක් ලබා ගැනීමට අපි සමත්ව සිටිමු. (මේ ලියන විට 98,407 කි.) ඒ අනුව සාමාන්‍යය එක් සටහනකට පිවිසුම් 1,000 ගණනේය. අන්තර්ජාල භාවිතාව ජනගහණයෙන් සියයට එකක් වන රටක එක බ්ලොග් සටහනක් දහසකට කිට්ටු පිරිසක් කියැවීම සතුටට කාරණාවකි.
මේ මොහොත වන විට Tabooගේ අනන්‍යතාවය රහසක් නොවන අට දෙනක් සිටිති. මේ හෙළිකිරීම් සියල්ල කිරීමට වූයේ විශේෂ හේතූන් මතය. (උදාහරණයක් හැටියට, මින් එකකුගේ කාර්යය Taboo හිටිහැටියේ අතුරුදහන් වුවහොත් එකෙණෙහි සියළු බ්ලොග් පෝස්ට මකා දමා, ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි පියවර ගැනීමය.) මේ අට දෙනාගෙන් සය දෙනක් මෙහි නමින් හෝ නොනමින් කමෙන්ටු ලියති. ඒ කවුදැයි මෙතැන නොලියැවෙන්නේ ඔවුන්ගේ අනන්‍යතාවයද Tabooගේ අනන්‍යතාවය සේම තවදුරටත් ආරක්ෂා කළ යුතු බැවිනි.
වසරකට කිට්ටු, අපේ ගමන්මඟ, ජයග්‍රහණ පරාජයන් ගැන අපි කතා නොකරමු. පහත කමෙන්ට් තීරුව ඔබට විවර කරන්නේ ඒ පිණිසය.
තවත් කෙටි සටහනක් පමණක්. දුකා, ෂාන් ඇතුළු පිරිසක් බොහෝ කාලයක් තිස්සේ Taboo හමුවීමට අවස්ථාව ඉල්ලති. ඊයේ ඊට රජරට පුත්‍රයාද එක් විය. මේ පිරිස හා වරක්වත් මුණ ගැසෙන්නට නොලැබීම Tabooට දැඩි වේදනාවක් වුව ඔහු හුදෙකලාවට ප්‍රිය කරයි. බ්ලොග් හමුවලට Taboo නොයන්නේ එනිසාය. මූණු පොතේ ප්‍රොෆයිල නොතනන්නේද එනිසාය. Taboo හමුවිය හැකි එකම තැන මේ අඩවිය කරගෙන ඇත්තේද එනිසාය.
Posted in Uncategorized | Tagged: උපාලි තෙන්නකෝන්, කිලිනොච්චි, කොළඹ, ජාතික රූපවාහිණිය, ඩේලිනිව්ස්, දිනමිණ, ධම්මිකා තෙන්නකෝන්, රිවිර, ලසන්ත වික්‍රමතුංග, ශෙවාන් ඩැනියෙල්, සන්ඩේ ලීඩර්, ස්වර්ණවාහිණිය, සිරස, සිරස TV, BBC, Blog, Chevaan Daniel, Colombo, Daily News, Dinamina, Kilinochchi, Lanka Gossip, Lasantha Wickramatunga, media freedom, Polarization, Rivira, Rupavahini, Sinhala Bloggers, Sirasa TV, Sunday Leader, Swarnavahini, Taboo Subjects, Upali Tennekoon | 47 Comments »
Posted by Taboo on December 20, 2009

පිය සටහන් මැකී නොමැත තව – මා ආ දිගු ගමනේ
මගේම පියවර මත පා තබමින් – ඔබ එනු දුටුවෙමි මා ලුහුබඳිමින්…
මගේ අතීතය මා ඉදිරියෙන් හිඳගෙන සිටියි, පෙප්සි කෝලා වීදුරුව සෙමෙන් හිස් කරමින්. රළ බිඳෙන හඬ විටින් විට අපේ සංවාදයට බාධා කරයි.
“වැඩියෙන්ම කැමති සිංහල බ්ලොග් අඩවි පහක් කියන්න” බොහෝවිට මිතුරන්ගෙන් අසන පැණයක් මම ඔහුට යොමු කරමි.
“දුකා, පුලිනතලාව, කතන්දරකාරයා…ඒ එක්කම මං දවස ගානෙ මුලින්ම කියවන්නෙ Taboo Subjects. අනේ, ලියන්නෙ කවුද දන්නවය?” ඔහු අසයි.
මම උරහිස් හකුළුවමි.
“නෑනෙ. දන්නවනම් මටත් කියන්න. ඇයි ඒක මුලින්ම කියවන්නෙ?”
“දන්නෙ නෑ. මං කැමතියි ඒක කියවන්න.”
ඔහු Taboo Subjects වෙත ආකර්ෂණය වීම ගැන මම පුදුම නොවෙමි. වසරකට ආසන්න කාලයක් තිස්සේ Taboo ලියා ඇත්තේ ඔහුගේම කතාවය; ඔහුද තවම නොදන්නා ඔහුගේ අනාගතය විසින් පින්තාරුකරන ලබන කතාවය. ඔහු නොවේ නම් අන් කවරෙක්ද ඊට ආකර්ෂණය වන්නේ?
උත්තල දර්පනයක මෙන් නොව අවතල දර්පණයක නාභි දුර සෙවීම අසීරුය. තාත්ත්වික වස්තුව සම්පාත කළ යුතු වන්නේ අතාත්ත්වික ප්‍රතිබිම්බය සමඟය. මම මේ අසීරු උත්සාහයේ නියැලී සිටිමි. මතකය මා දහ අටහැවිරිදි වියට කැන්දාගෙන යයි.
ඝර්ෂණය රහිත සුමට කප්පියක් වටා යන ලනුවක එක් කෙළවරක ස්කන්ධය m වන දර්පනයක් එල්ලා ඇත. අනෙක් කෙළවරේ ස්කන්ධය m වන වඳුරෙකි. වඳුරාට තම ප්‍රතිබිම්බය නොදැක සිටීමට හැකිවන්නේ:
(a) ලනුව දිගේ ඉහළට නැඟීමෙනි.
(b) ලනුව දිගේ පහළට බැසීමෙනි.
(c) නොසැළී එතැනම සිටීමෙනි
(d) ඉහත කිසිවකින් නොවේ.
“ඇස් දෙක පියා ගැනීමෙනි” එහා පුටුවේ එකා ප්‍රශ්න පත්තරය තැනූ මහාචාර්යවරයාට කිණ්ඩියක් දායි. මම වඳුරාද දර්පනයද අමතක කර ඩෙස්ක් ලාච්චුව අස්සේ සඟවාගත් ‘ගොළු හදවත’ කියවමි. තාමත් දම්මි සුගත්ට වෙරළු දුන් තැනට පැමිණ නැත.
භෞතික විද්‍යාවත් දම්මිත් හැරුණු විට මගේ ගැටවර ලෝකය අරක් ගන්නා දේ බොහොමයකි.
මාක්ස් – ලෙනින් – හැමදාම තේරුම් ගන්නට උත්සාහ දරණ ද්වන්ධනාත්මක භෞතිකවාදය – ගුණදාස කපුගේ – නන්දා මාලිනි – මහගමසේකර – තුංමං හන්දිය – මහාචාර්ය කාලෝ ෆොන්සේකා – මක්සිම් ගෝර්කිගේ අම්මා – රිචඩ් ද සොයිසා – Lepidoptera – d ගොනුවේ මූලද්‍රව්‍ය: Sc, Ti, V, Cr, Mn, Fe, Co, Ni, Cu, Zn – cos(a+b) = (cos a)(cos b)-(sin a)(sin b) – මෙතෙක් කල් සිරුර තුළ සැඟව සිට එකසැණින් ක්‍රියාත්මක වන්න පටන්ගෙන ඇති හොර්මෝන – හැමදා ඇස ගැටුණු වස්තූන්ගේ වෙනදා නුදුටු අපූර්වත්වය – ලිංගික ආකර්ෂණය – අනාගතයක් නොදැකම, ලෝකයට රහසින් දළු ලන්නට වෙර දරණ අසම්මත ආදරය.
විසඳුමක් නැත ලෝකයෙන් – සමාවක් නැත ලෝකයෙන්
අසම්මතයේ පෙම්වතුන් අපි – දෛවයට ඉඩ දී බලා සිටිමූ, බලා සිටිමූ…
Let us stop this. It will not work.
Stop what?
Everything…Stop everything.
Why?
You know that. I know that. It will not work. Its crazy.
You are selfish.
I am not selfish. There is no point in this.
But you liked it. Why the hell you said yes, if you didn’t like it?
No. It is not relevant now. Be my friend as before. As always. Be my best friend. I will do anything for you. Not this. Please.
බෞද්ධාලෝක මාවතේ එක් අන්තයකදී හිත් පිත් ඇති යව්වනයකු වේදනාවේ බරින් මියගොස් නිර්මාණාත්මක රොබෝවක් පණ ලබයි. මේ රොබෝව බෞද්ධාලෝක මාවතේ අනෙක් අන්තයට පයින් ඇවිද යන්නේය. මිනිස්සු ඔහු දෙස ඇස් දල්වා බලති. බොහෝ වේලාවකට පසු ඔහුට අවබෝධවන්නේ ඇවිදිමින් සිටින්නේ තනි සෙරෙප්පුවක් පැළැඳ බවය. අනෙක කොහි නැතිවීද නිච්චියක් නැත. අනාගතය අහිමිවූවකුට සෙරෙප්පුවකින් කිම් පලද?
ඇළ දොළ දුටුවා – ඉර හඳ ඇසුවා
අතින’ත ගෙන අප දෙඩූ කතාබහ
එනමුදු එදවස් සඟවනු හැකිවෙයි
ඉරට හඳට ඇළදොළට කතා බැහැ
මීට සමාන්තරව තවත් අන්දරයක් දිව යන්නේය.
ප්‍රාග්-ජංගම දුරකථන යුගයේ මම තැපැල් කන්තෝරුවකින් ගෙදරට කතා කරමි.
“අම්මෙ, අපි තවමත් සඟරාවෙ පෲෆ් බලනවා. ටිකක් හවස් වෙයි එන්න.”
ඇය මොහොතක් නිහඬව හිඳී. ඉන් පසු ඔෆ්සෙට් ප්‍රින්ටරයෙන් මුද්‍රිත පිටු ගලා එන්නාක් සේ මෙන් වචන රිසීවරය ඔස්සේ ගලා එයි.
“හොඳයි වැඩේ, දැන් දවස් දෙකක් ඔතැන. ඉස්කෝලෙ යන්නෙ නැද්ද? කන්නෙ මොනවද, නිදාගන්නෙ කොහෙද? ඔය ඇඳුම්වත් මාරු කර ගන්නෙ නැද්ද? අඩු ගානෙ ඔය හඩු ඇඳුම්වලින් දාඩිය ගඳ ගහන්නෙ නැද්ද?”
“ඉන්ඩකෝ, මේක හදාගෙන එනකල්. බලල කියන්නකෝ මීට කලින් මොන ඉස්කෝලෙන්ද මේ වගේ කොලිටි සඟරාවක් ගැහුවෙ කියල!”
“විභාගෙටත් ලියන්නකො එහෙනම් සඟරා ගහපු හැටිම!” ඇය කියතැයි මට සිතෙයි. එහෙත් ඇය එසේ නොකියයි.
නිල් තණ පලසෙහි ගැටුනු දෙපාවයි – කෝල හැගුම් කෙලි කවට සිනාවයි
මල් නැටුමයි කලගෙඩි නැටුමයි -මගේ දැස තුළ යළිත් ඇඳේවිද…
මා හැදු පාසල් මවුනි දයාදර…මා හැදු පාසල් මවුනි දයාදර…
වසර ගණනාවකට පසු ඔහු විසින් පා නඟනු ලබන්නේද මා පා නඟා ගිය මේ මඟම නොවන්නේද?
කාලය ගෙවී යයි. හිරු බසියි. කොයි තරම් ආස්වාදජනක වුවද කෙනකුට සීමා විරහිතව අතීතය හා රැඳී සිටිය නොහැකිය. අපි සමුගනිමු.
“අනේ, Taboo Subjects ලියන්නෙ කවුද දැනගත්තොත් මටත් කියන්න. කතා කරන්න ආසයි.” ඔහුගේ සමු ගැනීමේ වචන.
“හොඳයි” මම කියමි. Taboo ලියන්නේ ඔහු විසින්ම බව ඔහු කවදා හෝ දැන ගනු ඇතැයි මම සිතමි.
Posted in Uncategorized | Tagged: අටහැවිරිදි විය, අතීතය, අසම්මත ආදරය, කතන්දරකාරයා, ගුණදාස කපුගේ, තුංමං හන්දිය, දුකා, නන්දා මාලිනි, පාසල් සඟරාව, පුලිනතලාව, බෞද්ධාලෝක මාවත, මහගමසේකර, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මාක්ස්, රිචඩ් ද සොයිසා, ලිංගික ආකර්ෂණය, ලෙනින්, සිංහල බ්ලොග් අඩවි, Baudhdhaaloka Mawatha, blogging, Forbidden Love, Gunadasa Kapuge, Lenin, Lepidoptera, love, Mahagamasekara, Marx, Nanda Malini, Past, Prof. Carlo Fonseka, Richard de Zoysa, School Magazine, Sinhala Blogging, Taboo Subjects, teen | 24 Comments »
Posted by Taboo on December 18, 2009

"මෙන්න බලාගනින්, මං හැමදාම තොපිට දාන පොත!"
තෙර නමක ගැමුණු කුමරු දෙමළුන් සමඟ සටනට යන පවත් අසා, සිවුරු හැර පියා ‘ථෙරපුත්තාභය’ නමින් ඔහු සෙබළමුළුවට එක්වූ බැව් මෙරට ප්‍රචලිත මිථ්‍යාවකි. ඊටත් වඩා ප්‍රචලිත මිථ්‍යාවක් වන්නේ මැතිවරණ කොමසාරිස් පදවි ලත් දයානන්ද දිශානායක නම් රජයේ නිලධරයා කාර්යශූර, අවංක, අපක්ෂපාතීව තම රාජකාරියෙහි නියැළෙන මහාජන සේවකයකු (public servant) බවය.
දයානන්ද දිශානායක නම් මේ පුද්ගලයාගේ වැටුප ගෙවනු ලබන්නේ මැදමුලන දොන් ඇල්වින් අන්කල්ගේ බූදලයෙන් නොව මහජන මුදලිනි. එසේ හෙයින් ඔහුගේ පක්ෂපාතීත්වයක් ඇතිනම් ඒ ඇතිවිය යුත්තේ මෙරට පොදු ජනතාවට මිස අන් කිසිවකුට නොවේ. විශේෂයෙන්ම මැතිවරණයකදී තරග වදින අපේක්ෂකයකුට නොවේ.
පොදු ජනතාව ඔහුගෙන් බලාපොරොත්තුවන කාර්ය භාරය කවරේද? (i) කොයිතරම් කම්බා හොරකුට වුව, අවශ්‍ය සුදුසුකම් සපුරාලන්නේ නම් හා මැතිවරණයකට ඉදිරිපත් වීමට අවශ්‍ය නම් ඊට පහසුකම් සපයා දීම, (ii) එහිදී ඡන්ද අපේක්ෂකයාගේ/ අපේක්ෂිකාවගේ තරාතිරම, ධනය, බලය නොසළකා, ඔහුට හෝ ඇයට තම මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පරිසරය සකසා දීම, (iii) කිසිම අපේක්ෂකයකුට, අපේක්ෂිකාවකට තම ධනය හා බලය භාවිතා කොට මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට ඉඩ නොදීම හා (iv) මැතිවරණයකදී (දිශානායක ගොයියා සේම මහජන මුදලින් යැපෙන) රාජ්‍ය මාධ්‍යයන්හි සමබරතාව ආරක්ෂා කිරීම මේ අතර ප්‍රධානය. මැතිවරණ කොමසාරිස්ගේ පුටුවේ ඔළුව ලොකු, වේලිච්ච පොල් අත්තක් නොතියා, මහජන මුදලින් මාසිකව වැටුප් ලබන රජයේ නිලධරයකු පත්කොට ඇත්තේ එනිසාය. ඒ රජයේ නිලධරයාට වැටුපට අමතරව මහජන මුදලින් ඉන්ධන පුරවනු ලබන මෝටර් රථයක් ඇතුළු වරප්‍රසාද දී ඇත්තේද එනිසාය.
අවශ්‍යතාවයක් තිබේ නම්, හා කොන්දක් කියා අවයවයක් ඇත්නම් තම රාජකාරිය, තමන් වග කිවයුතු මහජනතාව වෙනුවෙන් නොපිරිහෙළා ඉටු කිරීමට දයානන්ද දිශානායක නම් මේ රජයේ නිලධරයාට කිසිම බාධාවක් නැත. ඔහු සාමාන්‍ය රජයේ සේවකයකු මෙන් පදවියෙන් පහ කළ හැක්කේ නොවේ. ඔහු පදවියෙන් පහ කළ හැක්කේ මැතිවරණ කොමිසමක් පත්කිරීමෙන් පසුව පමණකි. මැතිවරණ කොමිසමක් පත් කිරීම තුළින් තමන්ට අවාසියක් වන බැව් දන්නා වර්තමාන පාලකයා විවිධ බොරු හේතු මවමින් ඒ මඟ හරින බවද රහසක් නොවේ. ඉදින් තමන්ගෙන් මහජනතාව වෙනුවෙන් ඉටු විය යුතු සේවාව ඉටු නොකිරීමෙන් මොහු වළකන්නේ කවුරුද? මොහු කාට නම් බිය විය යුත්තේද?
එසේ නම් මොහුගේ වර්තමාන හැසිරීම සිය කැමැත්තෙන්ම බලැත්තන්ගේ කටුකන බල්ලාගේ තත්ත්වයට පත්වීම බව උපකල්පනය නොකළ හැක්කේද?
දයානන්ද දිශානායක නම් මේ පුද්ගලයා පසුගිය වසර කිහිපය තුළ පක්ෂග්‍රාහීව හැසිරී ඇති අවස්ථා ගැන උදාහරණ ගණනාවකි.
1. 2005 ජනාධිපතිවරණයේදී උතුරු නැඟෙනහිර ඡන්ද පොළ ගණනකම ඡන්දදායකයින්ට තම ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි කරන ලද්දේය. (LTTEයේ බලපෑමකින් තොරව මේ පිරිස නිදහස්ව ඡන්දය ප්‍රකාශ කළේ නම් රටේ ජනාධිපති වන්නේ රාජපක්ෂ නොව රනිල් වික්‍රමසිංහ බවටද කෙනකුට අවශ්‍යනම් ඇක්සිමයක්ද ගොඩ නැඟිය හැකි මුත් එය මෙතැනට අනදාළය.) මෙවන් අවස්ථාවකදී මැතිවරණ කොමසාරිස් විසින් කළ යුත්තේ අදාළ ඡන්ද පොළ වල වාර්තා වූ ඡන්ද සංඛ්‍යා ශූන්‍ය කොට ඒවාට පමණක් මැතිවරණය නැවත පැවැත්වීමය. එහෙත් ඔහු කළේ ඡන්දදායකයින් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් බලහත්කාරයෙන් වළක්වන ලද බැව් දැන දැනම ඒ ඡන්ද පොළ ඡන්ද ශූන්‍ය නොකොට නීත්‍යානුකූල ලෙස පිළි ගැනීමය.
2. පසුගිය වසර කිහිපය තුළ පවත්වන ලද සියළුම පළාත් සභා මැතිවරණ වලදී රජයේ දේපොළ හා රාජ්‍ය මාධ්‍ය ඉතාම නිර්ලජ්ජි ලෙසින් එළිපිටම බලයේ සිටින පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදා ගන්නා ලද්දේය. මෙහි කූට ප්‍රාප්තිය දකුණු පළාත් සභා මැතිවරණයේදී බන්ධනාගාර රැඳවියන් පිරිසක් පවා බලය හිමි පක්ෂයේ මැතිවරණ වේදිකා ගොඩ නැඟීම සඳහා යොදා ගැනීමයි. මේ කිසිම අවස්ථාවක, ඒ ගැන පැමිණිළි ලැබීමෙන් පසුව පවා දයානන්ද දිශානායක විසින් ඒ වැලැක්වීමට ගත් කිසිම පියවරක් නොවේ. මෙය මේ පුද්ගලයා තම රාජකාරිය පැහැදිළි ලෙස පැහැර හැරීමකි.
3. 2010 ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමේ සිට මේ දක්වා රටේ හැම තැනෙක ගම නියම් ගම් සිසාරා බිම්හතු පිපෙන්නාක් සේ වේගයෙන් දැවැන්ත කටවුටයන් මතු වන්නට පටන් ගත් බැව් අන්ධයකු නොවන ඕනෑම කෙනෙකුට පෙනී යායුතුය. ඇස් දෙකක් කියා දෙයක් තිබේ නම් මේ කටවුටයන් අද ජනාධිපතිවරණයේ නාම යෝජනා භාරගන්නා ලද තම කාර්යාලයට කිලෝ මීටරයකට නොඅඩු දුරින් මතුව ඇති බවත්, මේ වන තුරුම ඒවා නොගැලවී “අඩෝ දිශානායක, උඹ කවුද ඩෝ මට පාට් දාන්න?” යි අසන්නාක් සෙයින් ඇඟිල්ල දිගුකොට ගෙන ඍජුව නැඟිට සිටින බවත් මේ හැට හැවිරිදි මහල්ලාට වුව නොපෙනී යාමට කාරණාවක් නැත. ඒවා ඉවත් කරනවා තියා, ඉවත් කරන ලෙස නීත්‍යානුකූලව පොලීසියට දැන්වීමටවත් මොහු උත්සුක වී ඇතිද? මොහු මේ සම්බන්ධයෙන් පොලීසියට එක ලිපියක් හෝ ලියා තිබේද?
දයානන්ද දිශානායක විසින් මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය සේවකයන් යොදා ගැනීමේදී ආණ්ඩු පක්ෂයේ බලවතුන් ලබාදෙන ප්‍රමුඛතා ලේඛන අනුව කටයුතු කරතැයි එක්සත් ජාතික පක්ෂය කාලයක පටන් කරන චෝදනාවකි. විරුද්ධ පක්ෂය හැමවිටම ඡන්ද දූෂණ ගැන අතිශයෝක්තියෙන් කතාකරන බැව් සැලකුව මනාය. එසේ වෙතත් දිශානායකගේ මෙතෙක් ක්‍රියා කලාපය ගැන සලකා බලන විට මෙය නොවිය හැක්කක්ම නොවේ. එසේම පළාත් සභා මැතිවරණයන්හීදී හැමවිටම යම් දිස්ත්‍රික්කයක ආණ්ඩු පක්ෂය ලබන තැපැල් ඡන්ද ප්‍රතිශතය අදාළ දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂය ලබන සාමාන්‍ය ඡන්ද ප්‍රතිශතයට ඉදිරියෙන් ඇති බැව් හිතළුවක් නොව ඔප්පු කළ හැකි කාරණාවකි. උදාහරණයක් හැටියට දකුණු පළාත් සභා මැතිවරණයේ හම්බන්තොට, ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලින් ආණ්ඩු පක්ෂය (රාජ-පක්ෂය) ලබා ඇති සාමාන්‍ය ඡන්ද ප්‍රතිශත 67%, 68% හා 68% වෙද්දී, එම දිස්ත්‍රික්ක වලින්ම රාජ-පක්ෂය ලබා ගන්නා තැපැල් ඡන්ද ප්‍රතිශතය පිළිවෙළින් 75%, 77% හා 74% වේ. මෙය හුදෙක් අහම්බයක්ද?
මේ සියල්ල අමතක කරමු. දයානන්ද දිශානායක මැතිවරණ කොමසාරිස් නාම යෝජනා දිනයේදී නාම යෝජනා භාරදීමේ කටයුතු ආවරණය කිරීම පිණිස රජයේ ඍජු පාලනය යටතේ පවත්නා ‘ජාතික’ රූපවාහිනියට පමණක් අවසර දෙන්නේ එහි පක්ෂග්‍රාහීභාවය නොදන්නා තොත්ත බබකු නිසාද? මේ ‘ජාතික’ යැයි කියා ගන්නා රූපවාහිනිය ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් කෙනකු වන සරත් ෆොන්සේකාගේ රූපය පෙන්වනවා තියා ඔහුගේ නම පවා සඳහන් නොකිරීමෙන් ජනාධිපතිවරණ සටනේ සමතුලිතභාවය නැතිවන බැව් මේ හැට හැවිරිදි ළදරුවාට වැටහෙන්නේම නැත්ද?
රජයේ සියළුම ජනමාධ්‍ය එක් අපේක්ෂකයකු වෙනුවෙන් අන්තවාදී ලෙස පට්ටපල් බේගල් ඇදබාමින් පක්ෂග්‍රාහීවීම වැළක්වීමට තමා සතු බලතල උපයෝගීකරගනු වෙනුවට දයානන්ද දිශානායක කරන්නේ කුමක්ද? “එකක් පක්ෂග්‍රාහී කියා හිතෙන්නේ නම් වෙනත් චැනල් එකක් බැලුවා නම් හරිනෙ” කියා ෂේප් න්‍යාය පාවිච්චි කිරීමය. මේ මොහු තමන් නිරුවත් බව දැන දැනම ඒ වසා ගැනීමට කිසිදු උත්සාහයක් නොකොට “අනේ ඕයි, මං දිහා නොබලා වෙන දිහාවක් බලනවකො” කීමක් නොවන්නේද?
මේ ලියන්නේ අප සරත් ෆොන්සේකාගේ දේශපාලනය ගැන එකඟ වන නිසා නොවේ. සරත් ෆොන්සේකාගේ දේශපාලනය ගැන අපට බරපතළ ගැටළු ඇත්තේය. (සරත් ෆොන්සේකාගේ පමණක් නොව ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාගේද මගෝඩි දේශපාලනය ගැනද අපි ලියා ඇත්තෙමු.) නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක මැතිවරණයකට තරග වදින, සරත් ෆොන්සේකාද ඇතුළු සියළු අපේක්ෂකයින්ට සාධාරණය ඉටුවිය යුත්තේය. මැතිවරණ කොමසාරිස් වැටුප් ලබන්නේ ඒ පිණිසය.
ඉදින් ඔහු ඒ රාජකාරිය ඉටු නොකරන්නෙහි නම් ඒ රජයේ නිලධරයකු හැටියට තමන් විසින් මහජනයාට ඉටුවිය යුතු රාජකාරිය පැහැර හැරීමකි. එය මහජන මුදල් කොල්ල කා පුද්ගලික බැංකු ගිනුම් තර කර ගැනීමට, මහා ප්‍රාසාද ගොඩ නැංවීමට සමාන ජඩකමකි.
මොළය කළඳක් හෝ තිබේ නම්, දේශපාලනයට නවමු සරත් ෆොන්සේකාට කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට මේ වන විට පෙනී යා යුත්තේ දයානන්ද දිශානායක පදවියෙන් ඉවත් කිරීම (හෝ වඩා ප්‍රශස්තව එම පදවිය අහෝසි කොට මැතිවරණ කොමිසමකට ඒ කාර්යය භාර දීම) විධායක ජනාධිපතිකම අහෝසි කිරීමටත් වඩා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත හැකි හා ගත යුතු පියවරක් බවය.
Posted in Uncategorized | Tagged: 2005 ජනාධිපතිවරණය, 2010 Presidential Election, කටවුටයන්, ගාල්ල, ජනතා විමුක්ති පෙරමුණ, ජනාධිපති, ථෙරපුත්තාභය, දයානන්ද දිශානායක, දොන් ඇල්වින් රාජපක්ෂ, පක්ෂග්‍රාහී, පක්ෂග්‍රාහීභාවය, පළාත් සභා මැතිවරණ, පොදු ජනතාව, පොලීසිය, මාතර, මැතිවරණ කොමසාරිස්, මැතිවරණ ප්‍රචාරක කටයුතු, මැතිවරණය, මැදමුලන, රජයේ දේපොළ, රජයේ නිලධරයා, රනිල් වික්‍රමසිංහ, රාජ්‍ය මාධ්‍ය, වරප්‍රසාද, සරත් ෆොන්සේකා, හම්බන්තොට, Biased behavior, Cutouts, Dayananda Dissanayake, Don Alwin Rajapakse, Election, Election Campaigning, Election Commission, Election Commissioner, Galle, Hambanthota, Janatha Vimukthi Peramuna, JVP, LTTE, Mahinda Rajapaksha, Matara, Police, President, Provincial Council Elections, public servant, Public Service, Rajapakse, Rajapakse cutouts, Ranil Wickremasinghe, Sarath Fonseka, State media, State Property | 28 Comments »
Posted by Taboo on December 15, 2009

A ට B ගෙන් යම් අසාධාරණයක් සිදුවේ. මෙවිට A ඊට වෛර බැඳ B ගෙන් පළි ගැනීමට තීරණය කරයි.
මෙය ලේඛකයාට තේරුම් ගත හැකි සංසිද්ධියකි. එක්තරා පමණකට ඔහුට එය අනුමත කළ හැකිය. වරදට බඳුන්වන්නා තමන්ගෙන් පළි නොගනීය කියා විශ්වාසයක් ඇතිනම් මිනිසුන් මීට වඩා බොහෝ වැරදි කරනු ඇත. ඔවුන් වරදින් ඈත් කරන එක් කාරණාවක් නම් වරදට බඳුන්වන්නා පෙරළා පහර දේය කියා ඇති බියයි. ළදරුවකු යටකර දමන බස්-රියැදුරකු, මහරෑ නිවසට පනින සොරකු, ගැට කපන්නකු ගස් බැඳ කටින් ලේ දමන තුරු පහරදීම නීති විරෝධී හා අශික්ෂිත විය හැකිය. නමුත් මේ අශිෂ්ඨ පළිගැනීම එවන් වරදකට යොමුවීමට මිනිසුන් අධෛර්‍යමත් කිරීමෙන් සමාජයට යම් යහපත් පණිවිඩයක් දෙයි. මේ නිසා පීඩිතයකු පෙරළා පීඩකයාගෙන් පළිගන්නවා දකින විට ලේඛකයාගේ සිත්හි යම් කාලකණ්නි සතුටක් මෝදුවේ.
ලේඛකයාට තේරුම්ගත නොහෙන පළිගැනීම පීඩිතයා තමන්ටද මහා විනාශයක් පමුණුවා ගනිමින් කරන එකය. මෙය අතාර්කිකය. හුදෙක් පළි ගැනීමේ චිත්ත ප්‍රීතිය උදෙසා කෙනකු තමන්ටම හානි කරගත යුතු නොවේ.
දෙමළුන්ට සිංහල බෞද්ධ ගෝත්‍රික සමාජයෙන් 1956 සිට දැවැන්ත අසාධාරණයන් වූ බව අවිවාදිතය. මේවායින් බොහොමයක් තවමත් සිදුවෙමින් පවතී. ශිෂ්ට ලෙස හා නැණවත්ව පළිගන්නවා නම් දෙමළුන් විසින් කළ යුතුව තිබුණේ මෝඩ ලෙස ආයුධ අතට ගැනීම නොව එක්කෝ ඇමෙරිකාවේ කල්ලන් කලාක් මෙන් තම අයිතිවාසිකම් උදෙසා අහිංසාව පෙරටු කොට ගත් නිරායුධ දේශපාලන සටනකට එළඹීමය. නැතිනම් තමන් සතුවූ, සිංහලයන් සතු නොවූ විදෙස් සම්බන්ධතා, වෙළෙඳ ශිල්පීය නිපුණතා භාවිතාකොට සිංහලයන්ට කරන්නට නොහැකි වූ වාණිජ ලෝකය ජය ගැනීමෙන් සිංහලයන්ට වඩා උසස් තත්ත්වයකට ලඟා වීමය. එසේ කළේ නම් සිංහල ආධිපත්‍යයට සැබැවින්ම අභියෝග කළැයි ඇමෙරිකානු කල්ලන් බරක් ඔබාමා ජනාධිපති වු අවස්ථාවේ ඇතිකොටගත් නිරාමිස ප්‍රීතියට සමාන සතුටක් භුක්ති විඳින්නට අද ඔවුන්ට අවස්ථාව ලැබෙන්නට ඉඩ තිබුණේය. හුදෙක් පළි ගැනීමේ තෘප්තිය උදෙසා මෝඩ ලෙස ආයුධ අතට ගැනීම තුළින් අවසානයේ දරුණුම අවාසිය සිදුවූයේ ඔවුන්ටය. දැන් ලංකාවේ වාර්ගික දෙමළු මෑත ඉතිහාසයේ අන් කවර කලෙකටත් වඩා අභිමානය බිඳ වැටීමකට ලක්ව සිටිති. කොටින්ම තමන්ගේම වර්ගයා සමූලඝාතනය කළ සතුරන් දෙදනකුගෙන් ‘වඩා හොඳ එකා’ තම නායකයා තෝරා ගැනීමේ අසීරු අවස්ථාවකට ඔවුන් යොමුකරනු ලදුව ඇත. බොහෝදුරට ඔවුන්ගේම පළිගැනීමේ වූ වියරු විනාශකාරී ආශාව නිසාය, ඔවුන් මේ අවාසනාවන්ත තත්ත්වයට පත්ව සිටින්නේ.
හුදෙක් චිත්ත ප්‍රීතිය උදෙසා කරනු ලබන පළි ගැනීම් වල අන්තය ස්වනාශක මෙහෙයුම්ය. (suicide operations) මේවා හෙළා දැකිය යුත්තේ ඒ අන්ත අමානුෂික නිසාම පමණක් නොවේ. ස්වනාශක මෙහෙයුමක් අතාර්කිකය. සිය දිවි නසා ගන්නා තමන් ජය ලබනවාද, නැත්ද යන්න වත් නොදනී. ජය ලැබුවද ඒ ජය ආස්වාදය කිරීමේ අවස්ථාව ලබා නොගනී. ඔහු හෝ ඇය මිය යන්නේ අනුන් වෙනුවෙනි. ගෝත්‍රික අවශ්‍යතා උදෙසා කෙතෙක් සාධාරණීකරණය කරනු ලැබුවද, මේ අතාර්කික හැසිරීමකි. (irrational behavior) ‘මට පෙර රට’ ආකර්ෂණීය සටන් පාඨයක් වුවද, අනුන් වෙනුවෙන් තමන් විනාශ වීම, තමන් වෙනුවෙන් අනුන් විනාශ කිරීම සේම සමාජ ප්‍රගමණයට හානිකරය. එනමින්ම නොවූවත් ගෞතම බුදුන් පවා තාර්කික හැසිරීම (rational behavior) අර්ථ දක්වා ඇත්තේ තමන්ටත් අනුන්ටත් දෙපිරිසටම යහපතක් කරන ක්‍රියාවක් ලෙසිනි. එයින් එක් පාර්ශවයක් හෝ අමතක කළ නොහැකිය, අරමුණ කෙතෙක් යහපත් වුවත්.
සරත් ෆොන්සේකා අද අවතීර්ණව ඇත්තේ ස්වනාශක මෙහෙයුමක් පිණිසය. ඔහු ජනාධිපති පොරයට එක් වන්නේ මෙරට සුවහසක් පීඩිත ජනතාවට විමුක්තිය උදාකර දීම අරමුණු කොට නොවේ. මෙරට ආර්ථිකය නැංවීමටද නොවේ. දුප්පත්කම නැති කිරීමටද නොවේ. ඔහු විධායක ජනාධිපති කමට විරුද්ධ නිසාද නොවේ. නැති-බැරි මිනිසුන් ඇති-හැකි මිනිසුන් කිරීම සඳහාද නොවේ. නැතිවී ගිය මාධ්‍ය නිදහස නැවත ලබා ගැනීම පිණිසද නොවේ. කොටින්ම වඩා විනයගරුක සමාජයක් බිහිකිරීමටද නොවේ. සමාජවාදී වේවා, ධනවාදී වේවා, වාමාංශික වේවා, දක්ෂිණාංශික වේවා, වර්ගවාදී වේවා, නොවේවා – මේ කිසිම දේශපාලන අරමුණක් ඔහුගේ උත්සාහයේ නැත. එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ සතු අංග විකල දේශපාලන ඇජෙන්ඩාවන් වත් ඔහුට විෂය නොවේ. ඔහුගේ ඒකායන අරමුණ වී ඇත්තේ තමන්ට අසාධාරණයක් කරනු ලැබී යැයි ඔහු සිතන රාජපක්ෂ රෙජීමයෙන් පළි ගැනීමය. ඔහුගේ අස්වීමේ ලිපියේ සිට අද දක්වා ක්‍රියා කලාපය තුළින් ගම්‍ය වන්නේ මේ පළි ගැනීමේ වියරු ආසාවයි. දැන් එය ඍජුව හෝ වක්‍රව, එකට හිටි කාලයේ නඩේසන්-පුලිදේවන්-රමේශ් මරා දැමූ කුඩු කෑ විත්ති තලුමරමින් හෙළිදරව් කිරීම දක්වා දුරගොස් තිබේ. (මෙය Sunday Leader පුවත්පතට වූ වැරදීමක් සේ අර්ථ දක්වන්නට තරම් අපි මෝඩ නොවෙමු. Sunday Leader සේවය කරන්නේ කාටද යන්න රහසක් නොවන නිසාය.)
මහින්ද රාජපක්ෂද චන්ද්‍රිකා කුමාරතුංග රෙජීමය යටතේ දැඩි ලෙස අසාධාරණයට ලක්වූ පුද්ගලයෙකි. එහෙත් ඔහු මොනම අවස්ථාවකවත් තම සටන හුදෙක් චන්ද්‍රිකා කුමාරතුංගගෙන් පළි ගැනීමේ සටනක් බවට පරිවර්තනය කර ගත්තේ නැත. තම කුරහන් පැහැ සාටකය ඉවත් කොට නිල් පැහැ සාටකයක් භාවිතා කලයුතු යැයි එවකට පක්ෂ නායිකාව වූ කුමාරතුංග කියා සිටින විටද ඔහු ප්‍රතිචාර නොදක්වා එය අසා සිටියේය. තමන් ඇයට වඩා බලයක් ලබා ගන්නා තුරුම කොයිතරම් ලොකු වෛරයක් ඇය කෙරෙහි තිබුණද එය නොපෙන්වා දෙකට තුනට නැමී ‘යේස් මැඩම්’ කීවේය. මේ බයකට හෝ නෝංජල් කමකට කළ දේවල් නොවේ. තෙම්පරාදු පොලිතීසියකු වූ රජපක්ෂට චන්දිකා කුමාරතුංගගෙන් පළි ගන්නවාට වඩා වැදගත් කටයුතු කරන්නට තිබුණේය. ඔහු කුමාරතුංගගෙන් පළි නොගත්තා නොවේ. නමුත් ඒ ප්‍රමුඛතා ලේඛනයේ ඊට ඉහළින් තිබූ අනෙකුත් බොහෝ දේ අත්පත් කර ගැනීමෙන් අනතුරුවය. එසේම තමාට විනාශයක් කර ගැනීමෙන් තොරවය.
සරත් ෆොන්සේකා එසේ නොවේ. එක්කෝ ඔහු දැවැන්ත රාජ්‍ය තන්ත්‍රය හා මුහුණට මුහුණ ලා සටන් වැද තමාට දිනන්නට යම් අවස්ථාවක් ඇතැයි මෝඩ ලෙස විශ්වාස කරයි. (මෙය යුද්ධයකදී නම් සාර්ථක උත්සාහයක් විය හැකිය. දැවැන්ත බලමුළු හා සටන් වැද ජයගත් කුඩා හමුදා ගැන යුද ඉතිහාසයේ ඕනෑතරම් වාර්තා වේ. එහෙත් දේශපාලනය යුද්ධයක් නොවේ. සරත් ෆොන්සේකා තවමත් මේ වෙනස තේරුම් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත.) එසේ නැතිනම් ඔහු තමා ජය නොගන්නා බව දැන දැනම හුදෙක් රාජපක්ෂ පවුල සුන්නද්දූලි කිරීමේ හෝ හැකි උපරිම විනාශය කිරීමේ වියරු ආශාවෙන් තම මෙහෙයුම් කටයුතු ඉදිරියට ගෙනයයි. මෙය ප්‍රභාකරන් තමා පරදින බව දැන දැනම කොළඹ හා ගුවන් තොටෙහි විනාශයක් කරන්නට මදුරු ගුවන් යානා එවමින් ස්වනාශක මෙහෙයුමක් කළාට සමානය. ඉන් ඔහුට හෝ අන් කිසිවකුට අත්වූ වාසියක් නැත.
අඩු තරමින් ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් ජය ගන්නේ නම් මේ වියරු උත්සාහයෙහි අර්ථයක් තිබේ යැයි සිතිය හැකිය. නමුත් ඒ හැකියාව පවා දිනෙන් දින ක්ෂය වෙමින් පවතී. කවුරු කමති වුවද නැතද ජනාධිපතිවරණයෙන් ඔහු ජය ගැනීමට ඇති සම්භාවිතාව තවමත් ඉතා අල්පය. මසකට මඳක් වැඩි කෙටි කාලයක් තුළ ප්‍රතිඵලයේ වෙනසක් වේ යැයි සිතනු අසීරුය. ප්‍රධාන පක්ෂ දෙකින් එකක් පරාජයට පත්වූ විට ඔව්හු ඊළඟ මැතිවරණය ගැන සිතා සිත සනසා ගැනීමට වෙර දරති. සරත් ෆොන්සේකාට පරාජයෙන් පසුව එවැන්නක් වත් කළ හැක්කේද? ඔහු මේ ගෙනයන මෙහෙයුමේ අවසානය කොතැනද? පැදුරෙන් බිමට වැටුණු විට නොරිදුනද, ඇඳෙන් බිමට වැටුණු විට රිදෙන බව ඔහුට නොවැටහෙන්නේද?
මෙහිදී ෆොන්සේකාට අපූරු සටන් සගයකුද හමුවී ඇත. ඒ ජනතා විමුක්ති පෙරමුණය. ජවිපෙ සමන්විත වනුයේද හුදෙක් තම සන්තුෂ්ඨිය පිණිස, තමන් විනාශ වී හෝ පළිගැනීමේ වියරු ආසාවෙන් මඬනා ලද පිරිසකගෙනි. 1971දීද, 1989දීද ඔවුන් විසින් ගනු ලැබූ පියවර ස්වනාශක මෙහෙයුම් මිස වෙනෙකක් ලෙස අර්ථ දැක්විය නොහැකිය. මේ උත්සාහයන් නිමා වන්නේ ජවිපෙට හෝ අන් කිසිවකුට වාසියක් අත් නොකැර දෙමිනි. ලාල්කාන්ත සහෝදරයා විසින් වර්තමානයේ ගෙනයනු ලබන (මෙතෙක් අසාර්ථක වූ නිසා දැනට නවත්වා ඇතැයි පෙනෙන) වැඩවර්ජන දාමයද මීට සමානය. මේවායේද අරමුණ අයිතීන්, වරප්‍රසාද හෝ වැඩි පඩි දිනා ගැනීම නොව, තමන්ට පුකට පයින් ගසා එළවූ රාජ්‍යතන්ත්‍රයට උපරිම ලෙස හානි පැමිණවීමය. එහි “තොට දෙන්නම් වැඩේ!” කියා සිතන මෝඩ චණ්ඩියකුගේ චින්තනයට අමතරව කිසි දෙයක් නැත.
දේශපාලනයෙන් විනිර්මුක්ත වූ සරත් ෆොන්සේකාගේ සටනට මේරූ දේශපාලන අදහස් පැමිණිය යුතුව තිබුණේ එක්සත් ජාතික පක්ෂයෙනි. නමුත් වර්තමාන එක්සත් ජාතික පක්ෂයට එවන් ශක්‍යතාවයක් නොමැත. එජාපය මේ වන විට සරත් ෆොන්සේකාටද වඩා නිර්දේශපාලනිකය. ඒකාටද මේකාටද මඩ වීසි කරනවාට වඩා වැඩි දෙයක් එජාපයෙන් බලපොරොත්තු විය නොහැකිය.
සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ යම් සාධනීය ලක්ෂණ ඇති බව ලේඛකයා පිළිගනී. මින් සමහරක් ගැන ඔහු දැනටමත් ලියා ඇත. එහෙත් තමන්ට දේශයකට නායකත්වය දිය හැකැයි සිතන මේ පුද්ගලයාට “මගෙ කුකුළා මැරූ එකා” පරසක්වළ ගහන්නට කඳදෙව් රදුන්ට ආයාචනා කළ රැ. තෙන්නකෝනුන්ගේ මෝඩ ගැමියාගේ වෛරී මානසිකත්වයෙන් මිදිය නොහැක්කේ නම් ඔහුගේ ඉදිරි ගමන් මඟ අතිශයින් සැක සහිත, දුෂ්කර එකක් බව පමණක් සටහන් කළ යුතුය. ඔහුගේ ගමන් මඟේ සහකරුවන්ට උකුණු හිසක් තරම් වත් මොළයක් තිබේ නම් මේ ඒ ගැන ගැඹුරින් සිතන්නට කාලයයි.
Posted in Uncategorized | Tagged: ආර්ථිකය, ජනතා විමුක්ති පෙරමුණ, තාර්කික හැසිරීම, දෙමළ, පළි ගැනීම, මට පෙර රට, මාධ්‍ය නිදහස, රාජපක්ෂ පවුල, ලාල්කාන්ත, විධායක ජනාධිපති, සරත් ෆොන්සේකා, ස්වනාශක මෙහෙයුම, සිංහල, Country before Self, economy, Irrational Behavior, Janatha Vimukthi Peramuna, JVP, Lalkantha, Mahinda, Mahinda Rajapakse, media freedom, Rajapakse family, Rational Behavior, Revenge, Sarath Fonseka, Sinhala, Suicide Operations, Sunday Leader, Tamil | 37 Comments »
Posted by Taboo on December 8, 2009

සුමනසිරි බණ්ඩා දිසානායක ඒ පැත්තේ සිට මේ පැත්තට අඩව්වක් අල්ලා ඇත. මේ සාම්ප්‍රදායික ජනමාධ්‍යයකට නම්, දිවයින හා ලංකාදීප පත්තරවල ප්‍රාදේශීය පුවත් යටතේ නිරන්තරයෙන් පළවන, තිස් පස් වියැති විවාහක කාන්තාවක් දරු දෙදෙනාද සැමියාද අතහැර විසි දෙවියැති නාඹර තරුණයකු හා පැණයාම තරම් වත් ප්‍රවෘත්තිමය වැදගත්කමක් නැති සිද්ධියකි. මේ මෙවන් පළමු අඩව්ව තියා දිසානායකගේ වත් පළමු අඩව්ව නොවන නිසාය. අවසාන එකද කියා ඔහුට වත් නිශ්චයක් නැති සෙයකි. එසේ හෙයින් මේ ගැන කතා කිරීම පවා කාලය නාස්තියක් හැටියට කෙනකු දකින්නට පිළිවන.
එතකුදු වුව අන් සියළු අඩව් වල නැති, වෙනෙකක් තියා දිසානායකගේ පළමු අඩව්වේ වත් නැති විශේෂත්වයක් මෙහි වේ. මේ සටහන එනිසාය.
සාමාන්‍යයෙන් පොලිතීසියන් පක්ෂ මාරු කරන්නේ මී කඩා අත ලෙව කන්නට නොවේ. වැලේ වැල් නැතුව සිටින ගාමිණී ලොකුගේලාට, ජී. එල්. පීරිස්ලාට පවා මාරුවෙන් පසු රුපියල් මිලියන නොව බිලියන ගණනින් මූල්‍ය වටිනාකම මැණිය හැකි ඇමතිකම් ලැබෙන්නේය. විමල් වීරවංශට කෝටිගණන් වටිනා මාළිගා ඉදිකර ගන්නට ලැබෙන්නේය. පියසිරි විජේනායකට ඇමතිකමකට අමතරව තමන් කළ මිනීමැරුමකින්ද ගැලවී සිටින්නට හැකි වන්නේය. තොණ්ඩමන්ට ඇතෙක් බරට රත්තරන් ලැබුණා විය හැකිය. මේ අපේ රටේ පාදඩ පිල් මාරු දේශපාලනයේ සාමාන්‍ය ස්වභාවයයි.
දිසානායකටද පිල්මාරුව නිසා ප්‍රතිලාභ නොලැබෙන්නේය අපි නොකියමු. එහෙත් ඒ අත ලෙව කෑමට පමණකි. දිසානායක රාජපක්ෂ කඳවුරට යන්නේ ධන තණ්හාවෙන් නොවේ. ඔහු ගාමිණි ලොකුගේගෙන්, ජී. එල් පීරිස්ගෙන්, විමල් වීරවංශගෙන්, පියසිරි විජේනායකගෙන් වෙනස්ය. දිසානායක මේ අඩව්ව අල්ලන්නේ නොකැර බැරි කමට තමන් ජීවිත කාලයක් තිස්සේ දැරූ ජනාධිපති සිහිනය සදහටම අමතක කරමිනි. රාජපක්ෂ, ගුත්තිල ගඳඹුන් මෙන් මහළු වයසේ වුව වෙණ ගායනා නොඅතහරින බවද, අතහරීනම් අතහරින්නේද තම පුත්‍රයා එතැනට අනුප්‍රාප්තිකයා කොට බව දිසානායක දනී. බල පිරමීඩයේ මුදුන රාජපක්ෂටද, දෙවන පෙළ රාජපක්ෂ රජ පවුලටද හිමිවූ කළ දිසානායකට වැඩිම වුණොත් ලැබෙන්නට නියමිත සුද්දන් පස්ස හෝදන හටි කියන්නට රත්නසිරි ජොලි සීයාට ලැබී ඇති ආකාරයේ තෙවන පෙළ පදවියකි. ලොකුගේලාට, ජී. එල්. පීරිස්ලාට, විජේනායකලාට මෙන් දිසානායකට මේ රන් ආකරයක් නොවේ. එහෙත් ඔහු අත අන් විකල්පයක් නැත. තමන්ට සිර දඬුවම්ද ඇතුළුව අනේක දණ්ඩන කොට, සිය පවුලම අන්ත දුක්ඛ දෝමනස්සයන්ට ලක් කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සැතිරිය තමන්ට ඉහළින් එක්සත් ජාතික පෙරමුණට එකතුවීම ඔහුට ආත්ම ගෞරවයක් යන්තමින් හෝ ඇති පුද්ගලයකු සේ දරා ගත නොහැකිය. කෙතෙක් පිළිකුල් කටයුතු කාර්යයක් වුව රාජපක්ෂගේ පා නැමැඳීම ඔහුට ඊට වඩා සුවදායකය.
මේ අඩව්වට වඩා දිසානායකට මතු කිසිදින නොලැබෙන සේ ජනාධිපති පදවියේ ද්වාරය වැසීයාම ප්‍රවෘත්තියකි. ඒ ඔහු පනස් හයේ දරුවකු නිසාය.
දළ නිර්වචනයකට අනුව පනස් හයේ දරුවන් වූ කලී 1956දී සිදු වූ සමාජ පරිවර්තනයේ ඍජු ප්‍රතිඵලයක්සේ එතෙක් ඔවුන්ට විඳින්නට ඉඩ නොලැබූ වරප්‍රසාද වලට උරුමකම් කියන්නට ලැබුණු මෙරට අති බහුතර (විශාල ලෙස සිංහල) ජනගහණයයි. මේ ජනගහණය වැදගත් වන්නේ ඔවුන් අයත් ජන කොට්ඨාශ ඒ වනතුරුම අධිරාජ්‍යවාදීන් විසින් නිර්වචනය කරන ලද නිර්නායක (ඉංගිරිසි බැරිවීම, ටයි කෝට් නොහැඳීම, අක්කර ගණනින් වතුපිටි කුඹුරු හරකා බාන නැතිවීම) මත කොන්වී සිටීම නිසාම නොව, නිදහස් ලංකාව තුළ ස්වෝත්සාහයෙන් නැඟී සිටින්නට උත්සාහ දරණ ලද පළමු ජන කොටස සේද ඉතිහාස ගත වන නිසාය.
චන්ද්‍රිකා කුමාරණතුංග හෝ, රනිල් වික්‍රමසිංහ හෝ, රවි කරුණානායක හෝ රුක්මන් සේනානායක හෝ පනස් හයේ දරුවෝ නොවෙති. ඔවුන් පැවත එන්නේ චිරාත්කාලයක් තිස්සේ සුද්දන්ට කත් ඇද ඒ හිලව්වට තාන්න මාන්න ලද කොළඹ එලයිටයට (Colombo elite) අයත් පවුල් කිහිපයකිනි. මේ සුද්දන් විසින් තමන් රට දී ගිය දිනෙක රට පාලනය කරන්නට ඇතිකරන ලද කළු සුද්දන්ගේ පන්තියේ අවසාන පුරුක් කිහිපයකි. පනස් හයේ සමාජ පරිවර්තනය මොවුන්ගේ ජීවිතවල යම් වෙනසක් ඇතිකොට තිබේනම් ඒ පැවැත්ම උදෙසා ඔවුන්ට සිංහල කතා කිරීමට බල කිරීම තුළින් පමණකි. අනෙක් අතට සිංහලය ඉංගිරිසියට වඩා හුරු මැදමුලන පර්සි (හෙවත් මහින්ද) හෝ ජෝර්ජ් (හෙවත් ගෝඨාභය) රාජපක්ෂද පනස් හයේ දරුවෝ නොවෙති. මේද සුද්දන්ට පඬුරු පාක්කුඩම් දී, “ඩී. එම්., මේං උඹේ පාට” කියා මේසය මතට කකුල තියා තම සපත්තුවේ රොන් මඩ දුඹුරු පැහැය සාටකයට උරුම කරදුන් සුදු ඒජන්තයකුගෙන් විවරණ ලද ප්‍රාදේශීය සම්ප්‍රදායික රදළ පවුලක අවසාන පුරුක්ය. ඔවුන් රවි කරුණානායකගෙන් වෙනස් කරන ‘සිංහල බෞද්ධකම’ හෝ ‘ගැමි පසුබිම’ කොළඹ සිට හම්බන්තොටට ඇති කිලෝ මීටර දෙසිය ගණනක දුරෙහි පරාවර්තයක් මිස වෙනෙකක් නොවිය හැකිය. ඩී. ඒ. රාජපක්ෂගේ නමේ ඩී. ඒ, ඇත්තේ ‘දොන් ඇල්වින්’ සඳහා මිස ‘ධර්මදාස ආරච්චිලාගේ’ සඳහා නොවන බව අප අමතක නොකළ යුතුය.
සුමනසිරි බණ්ඩා දිසානායක මොවුන් සියල්ලන්ගෙන් වෙනස්ය. ඔහු ආකාර ගණනාවකටම පනස් හයේ දරුවෙකි. කොළඹ එලියටයේ හෝ ප්‍රාදේශීය රදළ පවුලක සාමාජිකයකු නොවන දිසානායකගේ පියා අධිරාජ්‍යවාදී යුගයේ සිට ගෙන ආ දේශපාලන උරුමයක් සිය පුතුට දායාද නොකරන්නේය. අධ්‍යාපනය සඳහා තම පුත්‍රයා රෝයල් කොලීජියට, සැන් තෝමසයට තියා ඩී. ඒ. රාජපක්ෂ හෝ සරත් ෆොන්සේකාගේ පියා තම දරුවන් යැව්වාක් සේ ආනන්දයට හෝ නාලන්දාවටත් යවා ගැනීමට නොහැකි හෙයින් සුමනසිරි බණ්ඩාට අධ්‍යාපනය ලැබීමට සිදුවන්නේ පොරමඩුල්ල සෙන්ට්‍රල් එකේය. සහෝදර සහෝදරියන් සිව් දෙනකුගෙන් යුතු පවුලක සාමාජිකයකු වන ඔහුට ඉගෙනීමට සිදුවන්නේ අන්ත දුෂ්කරතා මැදය. වෛද්‍යවරියක වන දිසානායකගේ සොයුරිය පුවත්පතකට කියා තිබුණේ බොහෝ කාලයක් යනතුරු තම නිවසට විදුලි බලය නොතිබූ බවත් අප්පච්චි නිතරම කියන්නට පුරුදුව සිටියේ “උඹල හතරදෙනා ගෙදරට ආලෝකය දෙනකල් අපට අමුතුවෙන් ලයිට් ඕනැ නෑ” කියා බවත්ය. උසස් පෙළ සමත් වන දිසානායක තවත් පනස් හයේ අපූර්ව ප්‍රතිඵලයක් වන විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුළු වෙයි. එහිදී දේශපාලනයේ මුලකුරු කියන ඔහු කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය ඔස්සේ ආ ගමන ප්‍රකටය. මේ කිසි ලෙසකින්වත් රෝස මල් ඇතිරූ මාවතක පිය නැඟීමක් නොවේ. ඒ දීර්ඝ ගමනේදී ඔහු දෙවරක් සිර බතෙහි රස බලන්නේය.
වයඹ ඡන්ද මංකොල්ලයට නායකත්වය දීම, සුසන්තිකා සිද්ධිය වැනි පුද්ගලික වැරදි සේ සැලකිය හැකි සිද්ධි කිහිපයක් අමතක කර දැමූ විට සුමනසිරි බණ්ඩා දිසානායක ගමන් කොට ඇත්තේ ඕනෑම පනස් හයේ දරුවකු විසින් ගමන් කළයුතු මාර්ගයේ බව පැහැදිළිය. පනස් හයේ දරුවකුට ඉහළට නඟින හිණිමඟෙහි ඔහු ගමන් කළ එකට වඩා හොඳ මාර්ගයක් තිබිය නොහැකිය. එසේම දිසානායක මෝඩයකු නොව දක්ෂයෙකු බවටද කිසිම සැකයක් නැත. විශේෂයෙන්ම කඳ බඩ මිසක හිස සුන් අද්‍යතන පොලිතීසියන් අතර ඔහු කදෝපැණියන් මැද වොට් සීයේ විදුලි බුබුළකි. මෙවැන්නකුට රටේ ජනාධිපති පදවිය දක්වා ගමන් කළ හැකිව තිබුණේ නම් අපේ රටේ සාමාන්‍ය මිනිසුන්ටද ඕනෑම ඉහළ තැනකට යාහැකි බවට අපට උදම් අනන්නටද, මහා සමාජ පරිවර්තනයක් සේ මාර්ටින් වික්‍රමසිංහගේ සිට නලින් ද සිල්වා දක්වා බොහෝ දෙනකු විසින් හඳුන්වා දෙනු ලබන 1956 සමාජ පරිවර්තනය සැබෑ ආර්ථික සමාජ විප්ලවයක් සේ සලකා සතුටු වන්නටද ඉඩ තිබුණේය.
නමුත් සිදුව ඇත්තේ කුමක්ද? මේ රටේ නායකත්වය ප්‍රවේණි උරුමය ලෙසින් සලකා සිටින පිරිසක් මේ සැබෑ පනස් හයේ දරුවාගේ, (ලේඛකයා එක්තරා මට්ටමකට අකැමැති, එහෙත් වඩා හොඳින් අර්ථය ප්‍රකාශවන පදයක් භාවිතා කරන්නේ නම්) ‘ජනතා පුත්‍රයාගේ’ මඟ අහුරා සිටීමය. ඔහුට පළමු බ්ලේඩ් තල පහර වදින්නේ චන්ද්‍රිකා කුමාරතුංගගෙනි. දෙවන බ්ලේඩ් තල පහර රනිල් වික්‍රමසිංහගෙනි. ඒ නිකම්ම නොව මාරාන්තික විය හැකි තුවාල ඇති කරන බ්ලේඩ්තල ප්‍රහාරයන්ය. මේ දෙදෙනාම බලයට පත් කිරීම සඳහා දිසානායක අනුපමේය මෙහෙයක් කළ බව අමතක නොකළ මනාය. එහෙත් කුමාරණතුංගසේම වික්‍රමසිංහද මේ මිනිසා පෙළන්නේ අනුකම්පා විරහිතවය. ඒ ඔවුන්ගේ පුද්ගලික සේම පන්තිමය අවශ්‍යතාද වෙනුවෙනි.
දැන් ඔහු රාජපක්ෂට එක්ව ඇතද ඒ ජනාධිපති වීමේ සිහිනය අතහරිමිනි. රාජපක්ෂ කවුද කියා අප සේම දිසානායකද දනී. ඔහුට කඩේ යෑම වෙනුවෙන් වලව්වේ කොල්ලාට ලැබෙන සත විසිපහ වත් තමාට නොලැබෙන බවද ඔහු දනී. එහෙත් සුමනසිරි බණ්ඩාට ඒ හැරුණු විට වෙන කළ හැකි දෙයක් නැත. ඔහු සිටින තත්ත්වයේ සිටියෙහි නම් මහෞෂධ පණ්ඩිතයන්ට වුව ගත හැකි අන් විකල්පයක් නොවේ.එක් වලව්වකින් දොට්ට දමන සේවකයකු තවත් වලව්වකට රිංගා ගන්නාක් සේම දිසානායකද මැදමුලන වලව්වේ මුළුතැන්ගෙයි බත් දංකුඩ ටික සප්පායම් වන්නට යන්නේ බඩගින්නටය. කොයි තරම් ඕනෑකම තිබුණද, තමන්ට වලව්වේ හාමු විය නොහැකි බව ඔහු පසක් කොට ඇත. ‘නිදහස’ ලබා වසර හැටකට පසු වුව තවමත් එය උරුමව ඇත්තේ සුද්දා විසින් බිහිකරන ලද පරවේණි උරුමක්කාර පන්තියකයට. ඒ පන්තියේ සාමාජිකයකු නොවන දිසානායකට මුළුතැන්ගෙයි බංකුව හිමිවීමද එක්තරා ආකාරයක සැනසීමක් වන්නේ එයද නොලද්දන් ඕනෑතරම් සිටින නිසාය.
මේ සිංහල බෞද්ධ ගොවිගම සුමනසිරි බණ්ඩා දිසානායකගේ ඛේදවාචකයයි. අසිංහල අබෞද්ධ දිසානායගම්ගේ ඛේදවාචකය මීටත් වඩා ශෝචනීයය.
සුනිල් එදිරිසිංහ හිතන්නේ තවමත් බිත්තියේ එල්ලී ඉන්නේ පස්වන ජෝර්ජි රජ්ජුරුවන්ගේ පින්තූරය බවය. නැත. ජෝර්ජි රජ්ජුරුවන්ගේ පින්තූරය ගලවා දැන් බොහෝ කල්ය. ඒත් අපට එය ගැලවූ බව නොපෙනෙන්නේ එතැනම චන්ද්‍රිකා රැජිනියගේත්, මිහිඳු රජ්ජ්ජුරුවන්ගේත් පින්තූර අප අපම එල්ලා ගන්නා බැවිනි.
සුමනසිරි බණ්ඩා දිසානායක නොහොත් එස්. බී. දිසානායකගෙන් ඇසුයේ නම් කියනු ඇත්තේ ජෝර්ජි රජ්ජුරුවන්ගේ හා මිහිඳු රජ්ජුරුවන්ගේ පින්තූරවල ලොකු වෙනසක් නැති බවය. දිසානායගම් ගෙන් ඇසුවොත් සරත් රජ්ජුරුවන්ගේ පින්තූරය එල්ලුවත් එසේමැයි කියනු ඇත.
මේ දිසානායකගේ හා දිසානායගම්ගේ පමණක් නොව අප බොහෝ දෙනකුගේද ඛේදවාචකය බැව් අපට කවදා නම් වැටහේද?
Posted in Uncategorized | Tagged: 1956, අධිරාජ්‍යවාදීන්, එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පෙරමුණ, කළු සුද්දන්, කොමියුනිස්ට් පක්ෂය, ගාමිණී ලොකුගේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ජනාධිපති පදවිය, ජී. එල්. පීරිස්, ඩී. ඒ. රාජපක්ෂ, තොණ්ඩමන්, දිවයින, දොන් ඇල්වින් රාජපක්ෂ, පනස් හයේ දරුවන්, පනස් හයේ දරුවෝ, පර්සි රාජපක්ෂ, පියසිරි විජේනායක, පිල් මාරු දේශපාලනය, පොරමඩුල්ල සෙන්ට්‍රල්, මැදමුලන, රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක, රාජපක්ෂ, රුක්මන් සේනානායක, රෝයල් කොලීජිය, ලංකාදීප, විද්‍යෝදය විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සරත් ෆොන්සේකා, සිංහල, සුමනසිරි බණ්ඩා දිසානායක, හම්බන්තොට, Chandrika Bandaranaike, Chandrika Kumaratunga, Children of 56, Colombo elite, Communist Party of Sri Lanka, Defection, G. L. Pieris, Gamini Lokuge, Mahinda Rajapakse, Piyasiri Wijenayake, politics, Ranil Wickremasinghe, Ravi Karunanayake, Royal College, Rukman Senanayake, S. B. Dissanayake, Sarath Fonseka, Sinhala, SLFP, Sri Lanka, Sumanasiri Banda Dissanayake, Thondaman, UNF, United National Front, UNP | 63 Comments »
Posted by Taboo on December 5, 2009

දිගින් දිගටම දේශපාලනය ගැන කතා කළ නිසා දේශපාලනයෙන් බැහැරව සටහනක් තියන්නට කල්පනා කළා. ඊට ආසන්න හේතුව මෑතදී කියැවූ පොතක්. (නමුත් මේ ඒ පොත ගැන විචාරයක් නොවේ.)
‘මගේ පුංචි කුමරිය’ (My Little Princess) මානව සම්බන්ධතාවයන්හි සංකීර්ණ ගුඪ ස්වභාවය අධ්‍යයනයෙහි රිසි සැම විද්‍යාර්ථියකු විසින්ම කියැවිය යුතු කෙටිකතා සංග්‍රහයක්. පොත ඉංගිරිසි සිංහල දෙබසින්ම ඇතත් සිංහල පොතේ ගලනයට මා වඩාත් කැමතියි. කතුවරයා නිර්මාණකරණයට නවකයකු වෙතත් ආර්ථික විද්‍යාඥයකු හා ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා සේ වඩා ප්‍රකට ආචාර්ය ඩබ්ලිව්. ජී. විජේවර්ධන.
පොතට එන්නට පළමු අප ජීවිතය ගැන අතිශයින් සාමාන්‍යකරණය කළ සිද්ධාන්තයක් දෙකක් කියවමු. මානවයා සමාජශීලී සත්ත්වයෙක්. මේ සත්ත්වයාගේ පැවැත්මට ඉතාම අවශ්‍ය දෙයක් තමයි ආදරය. මෙහෙම කියන්න මහාචාර්ය කාලෝ ෆොන්සේකා. ඔහු එය ඉලස්තරසණය සඳහා මානව ප්‍රේමය හා බළල් ප්‍රේමය සංසන්දනය කරනවා. මේ දෙකටම මූලික වන්නේ හොර්මෝන. හොර්මෝන ශ්‍රාවය වීම නැවතුනදා බළල් ප්‍රේමය අහවරයි. හොර්මෝන මඟින් උත්තේජනය නොකරන ලද බළල් තඩියකු කොයිතරම් ආකර්ෂණීය බැළලියක දුටුවත් ඔවුන් අතර ප්‍රේමයක් හට ගන්නේ නැහැ. නමුත් මානවයා මීට බෙහෙවින් වෙනස්. මානව ප්‍රේමය මැස්ලෝගේ මිනිස් අවශ්‍යතා පිරමීඩයේ යටි තලයේ නොව ඉහළ තල වල ක්‍රියාත්මක වන සංකීර්ණ සංසිද්ධියක්. හෝර්මෝන වල බලපෑමෙන් බොහෝ ඈතට යන දෙයක්. “ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි; පාරිශුද්ධයි; සෞම්‍යයි” කියා කවියකුට මානව ප්‍රේමය වණන්නට පිළිවන් වන්නේ මේ නිසා. මහාචාර්ය ෆොන්සේකා කිවා වගේ බළල් ප්‍රේමය ගැන එසේ කවි ලියන්නට බැහැ.
ආදරය සම්බන්ධව තවත් අපූරු කාරණාවක් වන්නේ එහි ‘ගනු’ හා ‘දෙනු’ ලෙස ද්විත්ව ක්‍රියාකාරීත්වයක් දක්නට ලැබීමයි. හැම වෙළෙඳ භාණ්ඩයක් සේම ආදරයද අපට ලැබෙන්නේ නම් (විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය වාගේ නොමිළයේ ලැබෙන්නේ නම්) අප වඩාත් කැමතියි. නමුත් ජීවිතයේ කටුක යථාර්ථය එසේ වන්නේ සීමිත අවස්ථා කිහිපයකදී පමණක් වීම. අප අනිවාර්යයෙන්ම ආදරය ලබන අවස්ථාවක් වන්නේ කුඩාවියේදී මව් ඇකයේ සුරතල් වන කාල සීමාව. එයින් පසු සුන්දර ගැටවර විය අප වෙහෙසකින් තොරව ආදරය දිනා ගන්නා තවත් අවස්ථාවක්. අප බොහෝ දෙනකු අත්විඳ ඇති, මිතුරු බ්ලොග්කරුවන් කිහිපදෙනකු දනටමත් අත්විඳින ‘ටීන් ලව් එක’ වෙළෙඳ ගනුදෙනුවක් නොවෙතැයි මා කිව්වොත් ගැටවර ආදරය ගැන බොහෝ අත්දැකීම් ඇතැයි පෙනෙන අපේ බ්ලොග් සහෘදයා ‘දුකා’ මා හා එකඟ වනු ඇතැයි සිතනවා. නමුත් වයසින් මුහුකුරා යත්ම ආදරය තව දුරටත් නොමිළයේ ලැබෙන වෙළෙඳ භාණඩයක් නොවන බව අපට පැහැදිළි වෙනවා. ඉන්පසු ගෙවී යන වසරින් වසර ආදරයේ ‘මිළ’ අධික වෙනවා. කවුරුන් හෝ අපට ආදරය කරන්නේ අපෙන් පෙරළා ආදරය ලැබෙන්නේ නම්.
‘මගේ පුංචි කුමරිය’ පොතේ එක් කතාවක එන මැදිවියේ පිරිමියකු වන අල්මේදා මේ කටුක සත්‍යය වටහා ගන්නෙක්. තමා අවට ඇති හැමකෙනකුම තමන්ට ආදරය කරන්නේ පෙරළා යමක් බලාපොරොත්තුවෙන් බවයි ඔහු අවබෝධකොට ගන්නේ. උදාහරණයක් හැටියට බිරිඳ ඔහුට ආදරය කරන්නේ මාසේ අන්තිමට පඩිපත ගෙදරට ගෙනැවිත් දෙන නිසා. (වැඩිවියපත්) දරුවන් ඔහුට ආදරය කරන්නේ ඔහු ඔවුන්ට ආර්ථික ශක්තියක් වන හෙයින්. කාර්යාලයේ ලොක්කා හැමදාම උදේට සිනාසී ‘ගුඩ් මෝනිං’ කියන්නේ ඔහු මැසිවිලි නොනඟා වැඩ ටික වෙලාවට කර දෙන නිසයි. ඒ හැරුණුවිට ඔහු ඔහු වීම නිසා පමණක් ආදරය කරන කිසිවකු නැති බව ඔහු වටහා ගන්නවා. මේ මැදිවියේ පිරිමියා ආදරය සොයා යන්නේ එසේ පෙරළා යමක් නොලබාම තමන්ට ආදරය කරන එකම ජීවියා සේ දකින බලු පැටවකුගෙන්.
පොතට නම දෙන ‘මගේ පුංචි කුමරිය’ කතාවේ එන මහළු කථිකාචාර්යවරයා මීට වඩා සංකීර්ණ චරිතයක්. තම බිරියගෙන් දික්කසාද වී, දරුවන් එතෙර යෑම නිසා හුදෙකලා වී ඉන්නා මේ මිනිසා තම ජීවිතයේ හුදෙකලාව පුරවා ගැනීමට ආදරය බලාපොරොත්තුවන්නේ තම තරුණ සිසුවියකගෙන්. ‘මගේ පුංචි කුමරිය’ (My Little Princess) ලෙසින් හඳුන්වනු ලබන්නේ ඇය. මේ බොහෝදෙනා ඇසූ පමණින් සිතන ආකාරයේ ලිංගික ආශ්‍රයක් නොවේ. මහළු කථිකාචාර්යවරයා වශීවන්නේ ඇගේ රූපයට නොවෙයි. ඇය කොහොමටත් රූමත් යුවතියක් ලෙස නිරූපනය කෙරෙන්නේ නැහැ. කථිකාචාර්යවරයා සේම පාඨකයාද ඇගේ රුව දකින එකම අවස්ථාව අසනීප වී දින කිහිපයක් සරසවියට නොපැමිණි අවස්ථාවක කථිකාචාර්යවරයා ඇය දකින්නට බෝඩිමට ගිය අවස්ථාවේ දුහුල් ඇඳුමකින් සැරසී ඔහු ඉදිරියට පැමිණීම. ලිංගික ඇසුරක් අවශ්‍ය වී නම් ඇගෙන් හෝ වෙන කෙනකුගෙන් පහසුවෙන් එවැන්නක් ලබා ගන්නට බැරිකම නැතිවත් කථිකාචාර්යවරයා ඇගේ ඇසුර පතන්නේ අන් කිසිවකු විසින් නොපුරවන ලද හිස් ඉඩක් පුරවාගැනීම සඳහා පමණයි. ඔහු එහි වරදක් දකින්නේ නැහැ. මෙහි ඔහුත් අපත් වෙන් කරන්නේ අප බොහෝදෙනකු එවැනි හිස්තැන් තියාගෙනම ජීවිතය ගෙනයන අතර ඔහු එක්තරා මට්ටමකට නිර්භීත ලෙස ඒ හිස්තැන පිරවීමට දරණ උත්සාහයයි.
නමුත් වර්තමානයේ අප ජීවත්වන සිංහල බෞද්ධ වික්ටෝරියානු ගෝත්‍රික සමාජය මෙවැනි සංකීර්ණ ප්ලැතොනික ආදරයක් (Platonic Love) වටහා ගැනීමට තරම් මුහුකුරා ගොස් නැහැ. මේ සමාජයට ඔහු ‘එළ කෑල්ලකට සෙම හළන්නට යන පට්ට නාකියෙක්’ පමණයි. වඩා සාධාරණ වුනොත් Sugar Daddy කෙනෙක්. එතැනින් එපිට මේ සම්බන්ධතාවයේ සංකීර්ණත්වයක් දකින්නට සමාජයට උවමනා නැහැ. ප්‍රේමය මානව සංවර්ධනය සඳහා නොව හුදෙක් වර්ගයා බිහිකිරීමේ හා පෝෂණය කිරීමේ මෙවලමක් සේ දකින සමාජයට එක්කෝ ලිංගික එක්වීමක් මඟින් සරු ජනිතයන් බිහිකළ හැකි, නැතිනම් එසේ බිහිවන්නන් පෝෂණය කළ හැකි සම්බන්ධයකින් මිසක වෙනත් සම්බන්ධයකින් ඵලක් නැහැ. මේ ප්ලැතොනික සම්බන්ධතාවය ලාංකීය ගෝත්‍රික සමාජයේ ඊර්ෂ්‍යාවට හා වෛරයට ලක්වන්නේ ඒ නිසා. මේ ඉරිසියාකාරයින් විසින් ඊට පහර දීම සඳහා යොදා ගන්නේද නිර්නාමික කැලෑ පත්තර, ඊ-මේල් ආදී ඊටම වෙන්වී ඇති සාම්ප්‍රදායික මෙවලම් කිහිපයක්. මේ සාම්ප්‍රදායික මිසයිල ප්‍රහාරයන් ඉදිරියේ නොසැලී නොබිඳී තිබෙන්නට තරම් කථිකාචාර්යවරයාගේ ප්ලැතොනික ආදරය සවිමත් නැද්ද යන පැණය පොත කියවන්නට මා ඉතිරි කරනවා.
කතුවරයා විසින් සමාජයට ඉතිරිකරන ප්‍රශ්නය මීට වඩා සංකීර්ණයි. ගැහැණියක හා පිරිමියකු අතර සාමාන්‍ය මිත්‍රත්වය ඉක්මවා යන සම්බන්ධතාවයක් හැමවිටම විවාහයෙන් කෙළවර විය යුතු ආකාරයේ, වට්ටෝරු සිත්තම්පටවල අප දකින ප්‍රේම සම්බන්ධයක්ම විය යුතුද? වර්ගයා පවත්වාගෙන යාමේ අරමුණක් නැතිව මානවයකු හා මානවිකාවක අතර ආදරයක් ගොඩ නොනැඟේද? නැවතත් කාලෝ ෆොන්සේකා මහාචාර්යතුමන් කරා පැමිණෙන්නේ නම් මානව ප්‍රේමයේ ඒකායන අරමුණ වර්ගයා බිහිකිරීම හා පවත්වාගෙන යාම නම් මානව ප්‍රේමය හා බළල් ප්‍රේමය අතර වෙනසක් තිබේද?
සමරිසි පෙම (gay love) හා සමරිසි විවාහ (gay marriages) පවුල් සංස්ථාවේ පවැත්මට තර්ජනයක් සේ දකින පිරිස් බටහිට රටවල සුලබයි. (මෙය වෙනම කතා කළ යුතු මාතෘකාවක්) ලිංගික සම්බන්ධතා ඇතිව හෝ නැතිව විවාහ වී දරුවන් තැනීමේ අරමුණින් තොරව විෂම ලිංගික (heterosexual) ආදර සම්බන්ධතා ඇතිවීමද එසේ පවුල් සංස්ථාවේ පැවැත්මට තර්ජනයක්ද? රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ “දරුවකු බිහි කරන්නට බැරි එකාට මොන ජනාධිපතිකම්ද?” යි නියම සිංහල බෞද්ධ වික්ටෝරියානු ගෝත්‍රිකයකුගේ හඬින් ප්‍රශ්න කළ ජේ. ආර්. පී. සූරියප්පෙරුම, සරත් ෆොන්සේකා ගැන තවමත් නිහඬ එනිසාද? සූරියප්පෙරුමගේ ‘අපේ ගමේ’ මහින්දලා ශිරන්තිලා ගේත් මාර්ටින් වික්‍රමසිංහගේ හතළිහේ දශකයේ කොග්ගල නන්දලා පියල්ලාගේත්, කරුණාසේන ජයලත්ගේ හැටේ දශකයේ හොරණ සුගත්ලා දම්මිලාගේත් ආදරයන් තුළම විසි එක්වැනි සියවසෙහි අපද සිරවී සිටිය යුතුද? සුගත්ලා දම්මිලාගේ වෙරළු හුවමාරුකරගන්නා ආදරයෙන් ඔබ්බට අප ගමන් කළ යුතුද නැද්ද?
Posted in Uncategorized | Tagged: affection, Ape Gama, අපේ ගම, ආචාර්ය ඩබ්ලිව්. ජී. විජේවර්ධන, ආදරය, කරුණාසේන ජයලත්, කෙටිකතා සංග්‍රහය, ගැටවර ආදරය, ජේ.ආර්. පී. සූරියප්පෙරුම, දම්මි, දුකා, නිර්මාණකරණය, නිරුවත, පවුල් සංස්ථාව, ප්‍රේමය, ප්ලැතොනික ආදරය, බළල් ප්‍රේමය, මගේ පුංචි කුමරිය, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මාර්ටින් වික්‍රමසිංහ, මැස්ලෝගේ මිනිස් අවශ්‍යතා පිරමීඩය, රනිල් වික්‍රමසිංහ, රාගය, ලාංකීය ගෝත්‍රික සමාජය, ලිංගික ආශ්‍රය, වර්ගයා බිහිකිරීම, විවාහය, ශ්‍රී ලංකා මහ බැංකුව. Central Bank of Sri Lanka, සමරිසි පෙම, සමරිසි විවාහ, සරත් ෆොන්සේකා, සුගත්, හුදෙකලාව, හොර්මෝන, cat love, Dr. W. G. Wijewardena, Gay Love, gay marriages, J. R. P. Suriyapperuma, Karunasena Jayalath, Loneliness, love, Marriage, Maslow's hierarchy of needs, My Little Princess, Nudity, Platonic Love, Prof. Carlo Fonseka, Ranil Wickremasinghe, Sarath Fonseka, sex, Short Story Collection, Sugar Daddy, Teen Love | 15 Comments »
Posted by Taboo on December 3, 2009

ඡායාරූපය: www.indi.ca
මේ අවස්ථාවේදී බොහෝ දෙනකුගේ මාතෘකාව වී ඇත්තේ ජනාධිපතිවරණයයි. ලේඛකයා ඉන් අඩියක් ඔබ්බට ගොස් 2010 ජනවාරි මාසයෙන් පසු උද්ගත විය හැකි තත්ත්වය ගැන සංවාදයක් ඇරැඹීමට අදහස් කරයි. ඒ ලාංකිකයන් බොහොමයකට සේම ඔහුටද වඩා වැදගත් වන්නේ ගෝත්‍රික සටනක් බවට පත්ව ඇති මෙවර ජනාධිපතිවරණය නොව ඉන් පසුව සිදුවන ක්‍රියාවලිය නිසාය. (ජනාධිපතිවරණය වැදගත් වනු ඇත්තේ එහි එක් පාර්ශවයක් නියෝජනය කරමින් පුද්ගලික වාසි ලබා ගැනීමට අපේක්ෂාවෙන් ඉන්නා අජිත් පී. පෙරේරා බඳු පොලිතීසියන් හා දෙපසට බෙදී තම පාර්ශවය වෙනුවෙන් කඩේ යාමට සැදී පැහැදී ඉන්නා බ්ලොග්කරුවන් කිහිප දෙනකුට පමණකි.)
ජනාධිපතිවරණයෙන් වර්තමාන පාලකයාම සමහරවිට සුළු වැඩි ඡන්ද ගණනකින් හෝ යළි බලයට පත්වීම මේ වන විට නිශ්චයකි. එසේ වන්නේ රාජපක්ෂ, ෆොන්සේකාට වඩා ‘හොඳ’ නිසාවත්, පළපුරුදු නිසාවත්, ජනතාව රාජපක්ෂ වඩා ප්‍රියකරන නිසාවත් නොවේ. පවත්නා ක්‍රමය තුළ විධායක ජනාධිපතිවරයකු, ඔහු හෝ ඇය කොයිතරම් දුර්වල වුවද, දෙවන ධුර කාලය සඳහා බලයට පත්වීම සියයට සියයක්ම පාහේ නිශ්චයක් වන නිසාය. තමාද එක තරගකරුවකු සේ සලකා, තමන්ගේ බලතල අතහැර සාධාරණව තරගයක නියැලීමේ සම්ප්‍රදායක් අපේ නායකයන්ට නැත. ජනාධිපති රාජපක්ෂ තරග කරන්නේ ජනාධිපති රාජපක්ෂ ලෙසිනි. තමාගේ පාලනය යටතේ පවත්නා සමස්ත රාජ්‍යතන්ත්‍රයම ඔහු තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් යොදාගනු ඇති බවට කිසිම සැකයක් නැත. මෙය හුදෙක් රාජ්‍ය මාධ්‍ය අසදාචාරාත්මක ලෙස තමාගේ ප්‍රචාරක ව්‍යාපාරයට යොදා ගැනීමට සීමා නොවේ. හැම රජයේ ආයතනයක්ම ස්වකීය සම්පත් (වාහන, පුද්ගල, මුදල්) විශාල ප්‍රමාණයක් පාලක පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට යොමු කරයි. (දකුණු පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ වේදිකා තැනීමට සිරකරුවන් පවා යොදා ගැනුණේය.) පොලීසිය ආණ්ඩු පක්ෂයට කීකරුවන අතරම විරුද්ධ පක්ෂයට කෙනෙහිළි කරයි. වෙනෙකක් තියා නිදහස්ය අප සිතා සිටින දයානන්ද දිශානායක නම් වූ මැතිවරණ කොමසාරිස්වරයාද බලයේ සිටින පාලකයාට ‘යර්ස් සර්’ කියන බයාදු රජයේ නිලධරයෙකි. ත්සුනාමියක් බඳු මේ දැවැන්ත රාජ්‍ය යාන්ත්‍රණයට එරෙහිව සටන් වැද ජය ගැනීමට කිසිම විරුද්ධ පාක්ෂික අපේක්ෂකයකුට පුළුවන්කමක් නැත. සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් වුව මෙහි වෙනසක් වෙතැයි සිතිය නොහැකිය. එක්තරා මට්ටමක නිදහසක් අත්විඳි සිරස වැනි මාධ්‍ය පවා පසුගිය සමයේ නිහඬ කොට තිබීම රාජපක්ෂගේ ජය තව දුරටත් තහවුරු කරයි.
ජයග්‍රහණයෙන් පසු රාජපක්ෂ කෙසේ හැසිරේද යන්න නිශ්චය කර ගත හැක්කේ ජනාධිපතිවරණය තුළ මතුවන කාරණා (issues) සලකා බැලීමෙනි. 2005 ජනාධිපතිවරණයේදී මතුවූ ප්‍රධාන කාරණාව ජනවාර්ගික ගැටළුව හා යුද්ධයයි. ඊට විසඳුමක් ලබා දීම රාජපක්ෂ හමුවේ වූ ප්‍රධානතම අභියෝගය විය. ඔහු මේ ඇජෙන්ඩාවට අනුව ක්‍රියා කොට මේ වන විට යුද්ධය මුළුමනින්ම නවතා ජනවාර්ගික ගැටළුව තව ටික කලකට හෝ බලයෙන් යටපත් කර ඇත. 2010 ජනාධිපතිවරණය මෙබඳු ජනතාවට වැදගත් විය හැකි තනි ප්‍රධාන ගැටළුවක් වටා සංකේන්ද්‍රීය වනු ඇතැයි සිතනු උගහටය. එනිසා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය තනිකරම රාජපක්ෂගේ ජනප්‍රියතාව මත තීරණය වනු ඇත. මෙය “අප ඔබට කැමති නිසා ඔබ පත් කර ගන්නවා. ඔබට හොඳයි කියා සිතෙන දෙයක් දෙයක් කරන්න” යි සමස්ත ජනතාව රාජපක්ෂට කීමකි. වෙනත් වචන වලින් කිව්වොත් “බ්ලෑන්ක් චෙක්” එකක් ප්‍රදානය කිරීමකි. මේ “බ්ලෑන්ක් චෙක්” එක රාජපක්ෂ කිසිම පැකිලීමකින් තොරව ස්වාර්ථය පිණිස භාවිතා කරනු ඇතැයි සිතිය හැකිය.
පසුගිය වසර කිහිපය තුළ ඔහුගේ හැසිරීමෙන් රාජපක්ෂගේ දීර්ඝ කාලීන අරමුණු පැහැදිළිය. ඔහුගේ අවශ්‍යතාවය තමන්ගේ රාජ්‍යයේ මහ රජතුමා බවට පත්වීමය. වැඩවසම් රාජ්‍යයක රාජ්‍යත්වයට පත්වීම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මහජන ඡන්දයෙන් තෝරා ගැනෙන පාලකයා (විධායක බලය ඇතිව හෝ නැතිව) වීමට වඩා ආස්වාදනීය අත්දැකීමකි. මහජන ඡන්දයෙන් පත්වන පාලකයකු යම් නියත කාලයකින් පසු පරාජයට පත්වී හෝ විශ්‍රාම ලබා ඉවත යයි. රටක රජුට එසේ නොව ජීවිතාන්තය දක්වා රට ආණ්ඩු කළ හැකිය. විධායකය පමණක් නොව ව්‍යවස්ථාදායකයද, අධිකරණයද තම සිතැඟි පරිදි පාලනය කළ හැකිය. රජයෙන් තම පවුල සඳහා නියමිත යැපීම් දීමනා ප්‍රමාණවත් නොවේ නම් සිතැඟි පරිදි ඒවා වෙනස් කර ගත හැකිය. රාජ්‍ය භාණ්ඩාගාරය තමන්ගේ පුද්ගලික ධනයේ සේ සලකා ක්‍රියා කළ හැකිය. (අගමැති කොතලාවලට වරක් ප්‍රශ්නයක් මතුවූයේ ලංකාවේ අගමැති නමට ලැබුණු සුදු හංසයින් දෙදනකු තම පුද්ගලික නිවස වන කඳවල වලව්වට ගෙනයාම ගැනය. රජවරුන්ට මෙබඳු ගැටළු නැත. රජයට ලැබෙන ඕනෑම දෙයක් රජතුමාගේය.) එපමණක් නොව තමා සිහසුන හැර යද්දී, කිසිම අපහසුවකින් තොරව පුතනුවන්ට එය උරුම කොට දිය හැකිය. රටක රජුට තමන්ට සිතෙන සිතෙන ආකාරයෙන් බදු පැණවීමටද ඒ මුදල් සියල්ල තම භාණ්ඩාගාරයට යොමු කර ගැනීමටද හැකිය. රටේ සියළුම ව්‍යාපාරික කටයුතු පාලනය කළ හැකිය. වැඩවසම් රාජ්‍යයක ධනවත්ම පුද්ගලයා රජතුමාය. කොයිතරම් ධනවත් වුව යම් සිටුවරයකුගේ ධනය රජුගේ ධනයට වඩා වැඩි වී යැයි බෞද්ධ සාහිත්‍යයේවත් කිසි තැනෙක සඳහනක් නොවේ.
මේ නිසා තම දෙවන ධූර කාලය තුළ රාජපක්ෂ මේ අරමුණු ඉටුකර ගැනීම උදෙසා ක්‍රියා කරනු ඇතැයි සිතිය හැකිය.
1. රාජපක්ෂ ‘රජ’ පවුල ලංකාවේ බලවත්ම පවුල බවට පත් කිරීම
2. රාජපක්ෂ ‘රජ’ පවුල ලංකාවේ ධනවත්ම පවුල බවට පත් කිරීම
3. තම රාජ්‍ය කාලය ජීවිතාන්තය දක්වා බැරිනම්, හැකි උපරිම කාලසීමාව දක්වා දීර්ඝ කර ගැනීම. (මෙය ප්‍රායෝගිකව වසර විස්සක් විය හැකිය.)
4. තමා බලයෙන් ඉවත්ව යද්දී තම වැඩිමහළු පුතු ඒ තනතුරට පත් කිරීම සඳහා පදනම සකස් කිරීම
5. ප්‍රාදේශීය මට්ටමින් තමන්ගේ බලය තහවුරු කර ගැනීම පිණිස රූකඩ පළාත් සභා ආණ්ඩු බිහි කිරීම හා පවත්වාගෙන යාම
6. තමන්ට අවශ්‍ය තීරණ පහසුවෙන් ගැනීමට හැකිවන සේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන හැකි උපරිම මට්ටමට නිහඬ කිරීම
7. විරුද්ධ දේශපාලන මතවාද පාලනය කිරීම හා විරුද්ධ පක්ෂය හැකි උපරිම ලෙස මර්ධනය කිරීම (රනිල් වික්‍රමසිංහ නම් දේශපාලන නපුංසකයා සිටින තුරු මෙයට ලොකු අමතර වෙහෙසක් දැරිය යුතු නොවේ.)
8. තමන්ට විවේචනාත්මක අභියෝගයක් එල්ල විය හැකි මාධ්‍ය නිහඬ කිරීම
9. සුළු ජාතීන් මර්ධනය කොට සියළු රාජ්‍ය හා වෙළෙඳ බලතල තමා අයත්වන සිංහල බෞද්ධ ගෝත්‍රික සමාජය අත කේන්ද්‍රගත කිරීම
10. දියවී යන තම ප්‍රතිරූපය පවත්වා ගැනීම සඳහා මහජන මුදලින් දැවැන්ත ආයෝජන සිදු කිරීම (දැයට කිරුළ වැනි ප්‍රදර්ශන, යෝධ කටවුට් හා ප්‍රතිමා, මුද්දර, නෝට්ටු යනාදියට රුව යොදා ගැනීම, පෝස්ටර් ව්‍යාපාර )
මේ සියල්ල රාජපක්ෂට සාක්ෂාත්කර ගත හැක්කේ එකම ආකාරයකින් පමණකි. ඒ ඉඩි අමීන් සේ දුර්දාන්ත ඒකාධිපතියකු බවට පත්වීමෙනි. එසේ හෙයින් ඔහු ඉදිරි වසර හය තුළ එතැනට ගමන් කරතැයි සිතීම තර්කානුකූලය. ඉඩි අමීන්ට සේම මෙහිදී ඔහුටද විරුද්ධතා (විශේෂයෙන්ම බටහිර රටවලින්) මතුවීමට ඉඩ ඇතද දැනටමත් රාජපක්ෂ රටේ මානසිකත්වය සකසා ඇත්තේ බටහිර රටවල්, අන්තර්ජාතික ආයතන වලින් එල්ල වන කවර හෝ විරෝධතාවයක්, එහි ඇත්ත නැත්ත සොයා නොබලාම ප්‍රතික්ෂේප කිරීමටය. (උදා: චැනල් 4 වීඩියෝව ඉදිරිපත්කරන ලද අවස්ථාවේ එය ප්‍රතික්ෂේප කරන ලද්දේ කිසිම පරීක්ෂණයක් පැවැත්වීමට කලිනි.) එහෙයින් ඔහුට එතැනට ගමන් කිරීමට කිසිම බාධාවක් නොවේ.
රට වැඩවසම් සමාජයක් කරා ගමන් කිරීමත්, ඒ වැඩවසම් සමාජය තුළ පූර්ණ බලැති රජ පවුලක් ඇති වීමත්, ඒ රජ පවුල විසින් තමන්ගේ ඕනෑ එපා කම්වලට අනුව රටේ ආර්ථිකය මෙහෙයවීමත් කවර හෝ දේශයකට අන්තරාදායක බව අමුතුවෙන් කිවමනා නොවේ. අවාසනාවකට මේ අන්තරාය එතැනින් කෙළවර නොවන්නේය. ඉදිරි වසර හය තුළ මීට අමතරව සිදුවිය හැකි තවත් භයානක ව්‍යසනයක් නම් ජනතා විමුක්ති පෙරමුණ ලංකා ඉතිහාසයේ තෙවන වතාවට ආයුධ අතට ගැනීමය. මෙය එක්තරා අන්දමකට අසූව දශකයේ සිදුවූ ක්‍රියාවලියම පුනරාවර්තනය වීමක් විය හැකිය. අසූව දශකයේ ජනතා විමුක්ති පෙරමුණ ආයුධ අතට ගන්නේද නිශ්චිත අරමුණක් ඇතිව නොව දැඩි ඉච්ඡා භංගත්වයේ (extreme frustration) ප්‍රතිඵලයක් ලෙසය. අද රාජපක්ෂ විසින් සකසනු ලබන වටපිටාව තුළ මෙය නැවත සිදුවීමේ දැඩි අවදානමක් පවතී. (ජවිපෙ නිර්දෝෂී බව මින් අදහස් නොවේ.) කාගේ හෝ වරදකින් ඇතිවන මේ ‘කැරැල්ල’ 1971 හෝ 1989 සිදුවූවාටද වඩා දරුණු ක්‍රම භාවිතා කොට මර්ධනය කෙරෙනු ඇත්තේය.
මේ දකුණය. මීට සමාන්තර ක්‍රියාවලි උතුරේ හා නැඟෙනහිර සිදුවිය හැකිය. මිලිටරි බලයෙන් LTTEය අතුගා දැමුවාට LTTEය බිහිවීමට තුඩුදුන් හේතු සාධක කිසිවක් ඉවත් කිරීමට රාජපක්ෂට තවමත් නොහැකි වී ඇති නිසාය. රටේ සම්පත් හා අවස්ථා වර්ගවාදී පදනම මත තෝරාගත් සුළු ජනකොටසක් අතර අසමමිතිකව බෙදී යාම අපේ රටේ ජනතාව තව දුරටත් නිහඬව ඉවසා සිටිනු ඇතැයි සිතිය නොහැකිය.
මේ සටහනෙහි අරමුණ රාජපක්ෂ වෙනුවට සරත් ෆොන්සේකා පත් කොට ගැනීමෙන් මේ ව්‍යසනයෙන් මිදිය හැකිය කීම නොවේ. ෆොන්සේකාද රාජපක්ෂගේ නිවුන් සොහොයුරා බඳු ගෝත්‍රික නායකයෙකි. බලයට පත්වූ පසු ඔහු විසින්ද සමාන ක්‍රියාදාමයක් නොගෙන යනු ඇති බවට කිසිම සහතිකයක් නොවේ. (පෙර ලියා ඇති නිසා ෆොන්සේකා ගැන අළුතින් ලිවීම අර්ථ විරහිතය.) ඊට අමතරව, කලින් පැහැදිළි කළ ආකාරයට පවත්නා සන්දර්භය තුළ ෆොන්සේකා බලයට පත්විය හැකි ඉඩ අතිශයින් අල්පය. බිත්තර බිඳෙන්නට පළමු කුකුළු පැටවුන් ගණන් කළ යුතු නොවේ.
මෙරට නුදුරු අනාගතයෙහි අන්තනෝමතික වැඩවසම් ඒකාධිපති පාලනයක් බිහිවීම නතර කළ හැකි එකම ප්‍රායෝගික මාර්ගය සේ ලේඛකයාට පෙනෙන්නේ සමතුලිත පාර්ලිමේන්තුවක් ඇති කිරීමය. ප්‍රබල විපක්ෂයක් ගොඩ නැගීම තුළින් ජනධිපතිවරයාගේ හිතුවක්කාර ක්‍රියා යම් මට්ටමකට පාලනය වේ. එහෙත් මේ රටේ ඡන්දදායකයා නැමැති මෝඩයාගේ චින්තනය හොඳින් දන්නා නිසා ඒ ගැනද වැඩි බලපොරොත්තු තබා ගැනීමට ඔහු පැකිළෙන්නේය.
Posted in Uncategorized | Tagged: 2010 ජනවාරි, 2010 Presidential Elections, ආර්ථිකය, ඉඩි අමීන්, උතුර, ඒකාධිපති, කොතලාවල, ගාර්දිහේවාගේ සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා, චැනල් 4 වීඩියෝව, ජනතා විමුක්ති පෙරමුණ, ජනපතිවරණය, ජනවාර්ගික ගැටළුව, ජනාධිපති රාජපක්ෂ, දකුණු පළාත් සභා මැතිවරණය, දයානන්ද දිශානායක, නැඟෙනහිර, පළාත් සභා ආණ්ඩු, මහින්ද රාජපක්ෂ, මාධ්‍ය, මැතිවරණ කොමසාරිස්, මැතිවරණ ව්‍යාපාරය, යුද්ධය, රාජපක්ෂ රෙජීමය, වැඩවසම් රාජ්‍යය, විධායක ජනාධිපති, සරත් ෆොන්සේකා, සිංහල බෞද්ධ ගෝත්‍රික සමාජය, සිරස, Channel 4 video, East, Election campaign, Election Commissioner, Ethnic Issue in Sri Lanka, Executive President, Idi Amin, Janatha Vimukthi Peramuna, JVP, LTTE, Mahinda Rajapaksha, media freedom, North, politics, Presidential Elections, Prime Minister of Sri Lanka, Provincial Councils, Sarath Fonseka, Sirasa, Sirasa TV, SLFP, Sri Lanka, Sri Lanka economy, UNP, War in Sri Lanka | 28 Comments »
Posted by Taboo on December 2, 2009

බහුවෙ සරණං යන්ති – පබ්බතානිච වනානිච
ආරාම රුක්ඛ චෙතියානි – මනුස්සා භය තජ්ජිතා
නෙතං මෙ සරණං ඛේමං – නෙතං සරණ මුත්තමං
නෙතං සරණ මාගම්ම – සබ්බ දුක්ඛා පමුච්චති
බියෙන් තැතිගත් බොහෝ මනුෂ්‍යයෝ, පර්වතද, වනයන්ද, ආරාමද, වෘක්ෂයන්ද (ගස්ද), චෛත්‍යයන්ද සරණ යෙති.
මේ (ඔවුන්) ආරක්ෂා කරන සරණක් නොවේ. උතුම් වූ සරණක්ද නොවේ. මේ කිසිවක් සරණ යෑමෙන් සියළු දුකින් මිදීම නොවන්නේමය.
– ධම්මපදය, බුද්ධ වග්ග (188, 189)
Posted in Uncategorized | Tagged: ආරාම, චෛත්‍ය, ධම්මපදය, පර්වත, බිය, භීතිය, මනුෂ්‍යයෝ, වන, වෘක්ෂ, සරණ, Buddha Dhamma, Buddhism, Dhamma Thoughts, Dhammapada, Fear, Humans, The right path | 68 Comments »